කැඩුම් බිඳුම්-ස්නායු රෝග කොන්දෙ අමාරු සුව කර ලෝකයේම නම රැන්දූ හොරිවිල තිස්වැනි වෙද පරපුරේ ජීවකයා | සිළුමිණ

කැඩුම් බිඳුම්-ස්නායු රෝග කොන්දෙ අමාරු සුව කර ලෝකයේම නම රැන්දූ හොරිවිල තිස්වැනි වෙද පරපුරේ ජීවකයා

ශාන්ත සෙනෙවිරත්න වෙද මහ­තා

තීතයේදී කුමන රෝගියාටත් පිහිට වූයේ ගමේ වෙදැදුරන්ය. එය මිල කළ නොහැකි මානුෂික සත්කාරයක් ද විය. එහෙත් අද සමාජයේ ඇතැම්හු බටහිර වෛද්‍ය විද්‍යාවට හා ඖෂධ මාෆියාවට බරපතළ ලෙස ගොදුරු වී සිටිති. ඒ සඳහා විශාල විදේශ විනිමයක් ද වැය කරයි. අද සෙම්ප්‍රතිශ්‍යාවටත් වෛද්‍ය විශේෂඥයකු අවශ්‍ය වන තරමට අප ආකල්පමය වශයෙන් පිරිහී ඇත. එසේ වුවද බටහිර වෙදකමින් නිට්ටාවටම සුව කළ නොහැකි රෝග රැසක් ඇති අතර, කාලාන්තරයක් තිස්සේ එම වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගියා ඉන් සුවයක් නොලබාම ප්‍රතිකාර අත්හරී. එහෙත් මිනිසාට වැලඳෙන රෝග රැසක් නිට්ටාවටම සුව කළ හැකි ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව අධ්‍යයනය නොකළද පාරම්පරිකව දැනුම එක්රැස් කරමින් අත්දැකීමෙන් පරිපූර්ණව වෙදකම් කරන අනුහස් සහිත වෙදැදුරෝ රැසක් මෙරට සිටිති. හොරිවිල වෙද පරපුර යනු එසේ මෙරට පමණක් නොව විදෙස් රටවල ද ප්‍රකට වෙද පරපුරකි. මෙවර සිළුමිණ ‘ඉසිවර අරණ’ වෙන් වන්නේ එම වෙද පරපුරේ තිස් වැනි පරම්පරාව නියෝජනය කරන ශාන්ත සෙනෙවිරත්න වෙදැදුරාණන්ට ය. 

දඹුල්ල හබරණ පාරේ නව වැනි කිලෝ මීටර් කණුව පසුකරත්ම හමුවන හොරිවිල මංසන්දියෙන් වම් පැත්තට ඇති මාර්ගයට හැරී මඳ දුරක් ගිය තැන ‘හොරිවිල හෙළ වෙද ගෙදර’ පිහිටා ඇත. හාත්පස හරිත වර්ණයෙන් ගැවසී ගත් එහි ගෙවත්තට ළඟාවත්ම දැනෙන්නේ ඖෂධීය සුගන්ධයකි. බටහිර වෙදකමින් සරණක් නොලැබූ, විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන බොහෝ ජනයා මෙහි ඇදී එන්නේ පිහිටක් අපේක්ෂාවෙනි. එසේ පැමිණෙන සියලු දෙනා නැවත පිටව යන්නේ අලුත් ජීවිතයක් ලැබූවන් සේ මහත් සොම්නසිනි. කැඩුම් බිඳුම් හා සන්ධි රෝගීන් ඒ අතර විශේෂය.

ශාන්ත සෙනෙවිරත්න වෙදැදුරාණන් මෙලොව එළිය දකින්නේ සේනානායක මුදියන්සේලාගේ කවුරාලගේ හේරත්හාමි වෙද මහතාට සහ සමරකොන් මුදියන්සේලාගේ කරුණාවතී යන මවුපියන්ට දාව 1964 පෙබරවාරි 14 වැනිදාය. සේනාධිලියාගම කනිටු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයටත් ඉන් අනතුරුව කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව, අපොස සාමාන්‍ය පෙළ දක්වා එහි අධ්‍යාපනය ලැබූවේය. එහෙත් ඉගෙනුමට වඩා කුඩා කල සිට ඔහුගේ දැඩි ආශාව වූයේ සිය පියාගේ අඩිපාරේ යෑමය.

“මගේ තාත්තා හේරත්හාමි වෙද මහතාගේ ඇවෑමෙන් මගේ ලොකු අයියා කරුණානායක වෙදමහතා හොරිවිල මහගෙදර දිගටම වෙදකම පවත්වාගෙන ගියා. ඔහුගේ ඇවෑමෙන් වෙදකම උරුම වුණේ මටයි. ඒ වෙනකොට මගේ පොඩි අයියා සේන බණ්ඩාර වෙද මහතා ගම්පහ කිරිඳිවැල වෙද ගම්මානයේ අපේ පාරම්පරික වෙදකම පවත්වාගෙන යමින් සිටියා. මේ වෙද ගෙදර හැදුණේ 1983 අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ උදාගම් සංකල්පය යටතේ දොම්පේ උදා කළ ගම්මානයේ නිර්මාණය කළ ‘වෙදගම’ නිසයි. ප්‍රේමදාස අගමැතිතුමා මගේ තාත්තට කතා කරලා කියලා තියෙනවා“ හේරත් වෙදමහත්තයා හොරිවිල වෙදකම සියනෑවටත් ගෙනාව නම් හොඳයි නේද? එතකොට රට පුරා ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්නෙ ” කියලා. වෙදගම උදාගමෙහි හොරිවිල කැඩුම් බිඳුම් වෙද ගෙදරක් නිර්මාණය වුණේ එහෙමයි. පස්සේ ඒ ‘වෙදගම’ ‘හොරිවිල වෙදගෙදර’ තාත්තා, මගේ සේන බණ්ඩාර අයියට පවරා දුන්නා. එයත් වෙදකමට හරිම දක්ෂයි.” 

එහෙත් අවාසනාවකට මෙන් ‘හොරිවිල’ වෙද පරපුරේ නම අවභාවිත කරමින් වෙදකමේ නිරත වන්නෝ ද රට පුරා වෙති. ඒ පිළිබඳ සෙනෙවිරත්න වෙද මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“දැන් මමයි අයියයි එයාගේ පුතයි තමයි මේ වෙදකම පවත්වාගෙන යන්නේ. අනික් කිසිම කෙනෙක් අපේ හොරිවිල වෙද පරම්පරාවට අයිති අය නෙමෙයි. බොහෝ දෙනා අතර මතයක් තියෙනවා පරම්පරාවෙන් පිටට මේ දැනුම දුන්නෙ නැති වුණාම වෙදකම විනාශ වෙනවා කියලා. නමුත් එහෙම නොදෙන්නේ හේතුවක් ඇතිවයි. ඒ තමයි මේ අත්දැකීම් අපි ලබන්නේ කුඩා කාලයේ ඉඳලා. අපේ පියාත් එහෙමයි. පියාගේ පියාත් එහෙමයි. කුඩා වියේ පටන් අත්දැකීම් ලබද්දි තමයි අපි ගොඩක් දේවල් දැන ගන්නේ. ඒක අවුරුද්දෙන් දෙකෙන් කරන පාඨමාලාවකින් කරන්න බැහැ. පළපුරුද්දෙන් ම දැන ගන්න ඕන. අපි තෙල් හිඳින්නේ, බේත් හදන්නේ ඒවාට අවශ්‍ය බෙහෙත් හේත් හොයා ගන්නේ ඒ අත්දැකීම්වලින් උකහා ගත්ත දැනුමින්. ඒකට කැපවීම ඇඟෙන්ම එන්න ඕන. ඒ සඳහා සෑහෙන කාලයක් කැප කරන්නත් ඕනේ. එහෙම කරන අය අද ගොඩක් අඩුයි. ගොඩක් අයට ඕනේ ක්ෂණිකව මේ දේවල් දැන ගන්න. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමයි සත්‍යය.” 

හොරිවිල වෙද පරම්පරාවේ ඉතිහාසය බොහෝ ඈතට දිවෙන්නකි. වෙහෙරමහා දේවිය විසින් කරවූ රාමය නම් පන්සලක් මෙහි වෙයි. මහසෙන් රජ දවස මෙම පන්සල පිළිසකර කර ඇත. දිනක් සොරකමේ ගොස් පැමිණි සොර මුළක් මෙම විහාරය අසල ස්ථානයක සැඟව සිට ඇත. මහසෙන් රජු රිටිගල සිට එන අතර මඟදී මෙම පන්සලට පැමිණ සංඝයා වහන්සේ බැහැදැක යන අතරමඟ සොරමුළ දැක වූන් ජීවග්‍රහයෙන් අල්වාගෙන උනුනට හරි අපූරු දඬුවමක් නියම කළේය. ඒ ඔවුන් සැඟව සිටි ස්ථානයේ වැවක් තැනීමටය. ඉන් අනතුරුව එය සොරු හැංගිච්ච විල නමින් ප්‍රකට විය. පසුව ව්‍යවහාරයේදී එය සොරුවිල වී වර්තමානයේ හොරිවිල බවට පත්ව ඇත.

මේ හොරිවිල වැව 1957 පැමිණි ගංවතුරට කැඩී ගොස් ඇත. එදින හේරත්හාමි වෙදරාල ත්‍රිකුණාමලයේ රෝගියකු පරික්ෂා කර බලා පැමිණෙමින් සිටියේය. වැව් බැම්මට උඩින් වතුර ගලා යමින් ගම යටවෙමින් තිබෙනු දැක හේ මහත් කම්පාවට පත් විය. හෙතෙම වහා ගම් වැසියන් රැස්කර ඔවුන් සමඟ වෙනත් ස්ථානයක පදිංචි විය. එතැන් පටන් හෙතෙම හොරිවිල වෙද මහතා නමින් ප්‍රකට විය.

“අපි විශේෂයෙන්ම වෙදකම් කරන්නේ කැඩුම් බිඳුම් රෝගීන්ට. නමුත් දැන් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගන්නත් බොහෝ දෙනෙක් අප වෙත එනවා. ඒ කොන්දේ අමාරුව, ස්නායු තෙරපීම, උකුල් ඇට දිරා යෑම, උරහිස් අමාරුව නැත්තම් උරස් කුහරයේ කැල්සියම් තැන්පත් වීම. මේක හැදුනම අත පස්සට ගන්න බැහැ. කොණ්ඩේ පීරන්න බැහැ, ලයිට් ස්විච් එකක් දාන්න බැහැ. අනෙක් රෝගය තමයි පැති කුදය. අවුරුදු 13 සිට16 දක්වා දරුවන්ගේ කොන්ද ඇද වීම. මේකට හේතුව තමයි පාසල් යනවිට ළමයි එයාලට දරන්න බැරි තරම් බරක් පිටේ එල්ලා ගෙන යෑම. අද තාක්ෂණයෙන් ලෝකය ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නේ. ටැබ් වැනි උපකරණ ඔවුන් ඒ සඳහා යොදා ගන්නවා. අද අච්චු පොත් වුවමනා නැහැ. පොත්පත් සඳහා වියදම් කරන්න අවශ්‍යත් ඒ නිසා මේ යන අධ්‍යාපන රටාව වෙනස් කරන්න අදාළ බලධාරීන් ක්‍රියා කරන්න ඕන. නැත්නම් අපට උරුම වන්නේ රෝගී ළමා පරපුරක්. සත්ත්ව ලෝකයේ වසර 16 ළමා විය තිබෙන්නේ මිනිසාට විතරයි. ඒ කාලයේ දරුවො හොඳට දුවල පැනල සෙල්ලම් කරන්න ඕන. නමුත් ඒ තත්ත්වය අද ළමයින්ට නැහැ. ඔවුන් උදේ නැඟිට්ට වෙලේ ඉඳන් හැල්මේ දුවනවා. රෝගියෙක් විදියට ජීවත් වෙමින් මොනව ලබාගත්තත් වැඩක් තියෙනවද? මේ නිසා අද ඔවුන් ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකවත් ලෙඩ වෙලා.”

“අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින දණහිස් අමාරුව බටහිර වෙදකමේ ඔස්ටියෝ ආතරයිටිස්, ඔස්ටියෝ පොරොසිස් කියලා හඳුන්වනවා. ඇතැම් කාන්තාවන්ට උදේට ඇවිද ගන්න බැහැ, විලුඹ රිදෙනවා. ඒකට කියන්නේ වාත කණ්ඩිය. ඒ වගේම සමහරුන්ගේ ක්ශේරුකාවේ සම්පූර්ණයෙන්ම කැල්සියම් තැන්පත් වෙනවා. එතකොට හැරෙන්න බැහැ. තවත් රෝගයක් තමයි මාංශපේශි දිය වීම. තාම ඒකට ලෝකේ බෙහෙත් හොයාගෙන නැහැ. ලෙඩේ ඒක කියල හරියට පරීක්ෂණ කරලා රෝග ලක්ෂණ දැනගෙන ආවොත් මට පුළුවන් මාංශ පේශි දිය වීම නතර කරලා දෙන්න. ඒත් දිය වුණු ඒවා සුව කරන්න මට බැහැ. මලබද්ධය, විටින් විට මතුවන හිසේ කැක්කුම, ආමවාතය (ගැස්ටික්), සීනී, ඇඳ වණ මේ සෑම රෝගයකටම අපේ වෙද ගෙදර ප්‍රතිකාර දෙනවා. ”

මේ රෝග බොහෝමයක් ඇති වීමට වර්තමානයේ අප හුරුවී තිබෙන ජීවන රටාව මුළුමනින්ම බල පා ඇති බවත්, විශේෂයෙන්ම අප ගන්නා ආහාර, ආහාර පුරුදු, නව තාක්ෂණය ඊට හේතු වී ඇති බවත් ශාන්ත සෙනෙවිරත්න වෙද මහතා පෙන්වා දෙයි. තාක්ෂණය අපට අවශ්‍ය වුවත් එහි වහලකු නොවිය යුතු බව ද ඔහු අවධාරණය කරයි. 

මේ වෙද ගෙදර අප දුටු තවත් විශේෂ දසුනක් වූයේ ප්‍රතිකාර ලැබීම සඳහා එහි පැමිණ සිටි විදේශිකයන්ය. ඔවුන් පැමිණ ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීමට පමණක් නොවේ මේ විස්මිත වෙදකම පිළිබඳව දැන කියා ගැනීමටය. ඇතැම්හු විශ්වවිද්‍යාල සිසු සිසුවියෝය. ඔවුන් අතර වෛද්‍ය සිසු සිසුවියන් සිටීම ද විශේෂත්වයකි. ඔවුන් පැමිණ ඇත්තේ උපාධි නිබන්ධනය සඳහා මේ වෛකල්පිත වෛද්‍ය විද්‍යාවන් ගැන දැන කියා ගැනීමටය. වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු බටහිර රටවලින් අපේ වෙදකම ඉගෙන ගැනීමට විදේශීය සිසු සිසුවියන් පැමිණ සිටියද අපේ රටේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා කිසිදු ශිෂ්‍යයකු හෝ ශිෂ්‍ය­ාවක ඒ පිළිබඳ ගවේෂණය නොකිරීම එක්තරා අතකින් ඛේදවාචකයකි. මේ විදේශිකයෝ මෙහි පැමිණ මේවා අධ්‍යයනය කරන්නේ ඔවුන් හෙළ වෙදකමේ අගය මැනවින් දන්නා නිසාය. අද හොරිවිල වෙද ගෙදර බෙහෙත් කොටන්නේ, බෙහෙත් අඹරන්නේ, ඔසු සොයා ගෙන එන්නේ, රෝගීන්ට අත් බෙහෙත් ප්‍රතිකාර කරන්නේ විදේශීය සිසු සිසුවියන්ය. ඔවුහු එංගලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ඇමෙරිකාව, ජපානය හා චීනය වැනි රටවලින් පැමිණි භෞත චිකිත්සකයන්, වෛද්‍ය හා හෙද සිසු සිසුවියන්ය. අවට හෝටල් හෝ නිවාස කුලියට ගෙන සිටින මොවුන් උදෑසනින් වෙදගෙදරට පැමිණ මෙහි කාර්යයන්ට දායක වේ. ඔවුන් නැවත පිටව යන්නේ බොහෝ රෑ බෝ වූ පසුවය. ඔවුන් එලෙස සිය කාලය කැප කරන්නේ මෙරට හෙළ වෙදකම මනාව උගෙන ගන්නටය. නමුත් අපේ දරුවන්ට මේවා ඉගෙනීම සිනහ උපදවන දේය. ඔවුන් විමසන්නේ තෙල් බේත් ගුළි, කල්ක පත්තු බැඳලා මොනව කරන්නද කවුද ඕව කරන්නේ කියාය. එහෙත් මේ විදේශිකයෝ කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

“එංගලන්තයේ රෝගියකු වෙනුවෙන් වෛද්‍යවරයා වැය කරන්නේ විනාඩි පහක් වැනි සුළු කාලයක් පමණයි. අපිට මේ වෙද මහත්වරු ගැන හරිම පුදුමයි. ඒ අය රෝගීන්ට හොඳට සලකනවා, බලාගන්නවා. ඒකට අපි හරීම කැමැතියි. ඒ වගේම රෝගීන් ගැන හොඳ දැනුමක් මේ අයට තියෙනවා. මෙතනට එන සෑම රෝගියකුටම හොඳින් සලකනවා. ඇතැම් විට කෑම බීම දෙනවා. අපි භාවිත නොකරන බොහෝ දේ මේ අය වෙදකම සඳහා යොදා ගන්නවා. බේත් කොටන ආකාරය වගේම පත්තු බඳින ආකාරය හරියට ක්‍රමවත්ව කරන්න ඕන. අපිට ඒ දේවල් මේ කෙටි කාලය තුළ ඉගෙන ගන්න අමාරුයි. අප කිහිප වතාවක් හෝ පැමිණ සම්පූර්ණයෙන්ම මේ ගැන ඉගෙන ගන්න උත්සාහ කරනවා” ඒ එක් විදේශීය වෛද්‍ය සිසුවකුගේ අදහසකි. ඒ ගැන සෙනෙවිරත්න වෙද මහතා තවදුරටත් මෙසේ ද කීවේය.

“වසර ගණනාවක සිට විදේශිකයන් ප්‍රතිකාර ගන්න මෙහි එනවා. අපේ හෙළ වෙදකම ගැන විදේශිකයන් අතරේ තියෙන්නේ ලොකු විශ්වාසයක්. හොරිවිල වෙද ගෙදරට විදේශීය රටවලින් වෙදකම ගැන ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණෙන්නේ වසර එකොළහක කාලයක සිටයි. ඔවුන් වෙද ගෙදරට පැමිණ බේත් කොටන හැටි, බේත් අඹරන හැටි, බේත් බඳින හැටි, පත්තු බඳින හැටි, අපේ සිංහල වෛද්‍ය ක්‍රමයට අනුව ලෙඩේ හොයා ගන්න හැටි, තෙල් ගාන හැටි, නස්න කරන හැටි හැම දෙයක් ගැනම විමසමින් ඉගෙන ගන්නවා. මේ වන විට හත් අට සීයක් විතර වෛද්‍යවරුන්, හෙදියන් වගේම ඖෂධවේදීන් මෙහි ඇවිත් ඉගෙනගෙන තියෙනවා. මේ අය පුදුම වෙනවා අපේ දේශීය වෙදකමේ ලෙඩ හඳුනා ගැනීම සිදු කරන ආකාරයට. බටහිර වෙදකමේ සිරුරට ඕන තරම් කැල්සියම් දෙන්න පුළුවන්. නමුත් එය නවත්වන්න ඒ අය ළඟ බෙහෙත් නැහැ. ඒත් අපේ වෙදකමේ ඒ සඳහා බෙහෙත් තියෙනවා. බටහිර වෙදකමේ පේශි තද වුණොත් නවත්වන්න පුළුවන් ව්‍යායාම්වලින් විතරයි. ඒත් අපි ගාව ඒ සඳහා බෙහෙත් තියෙනවා. ශරීරයේ ඇට දිරුවහම බටහිර වෙදකමේ බෙහෙත් නැහැ. ඒත් අපේ ගහකොළවලින් හදන්න පුළුවන් බෙහෙත් ඕනැ තරම් අපේ වෙද මහත්වරු ගාව තියෙනවා. මේවා දකින කොට ඔවුන් අපේ හෙළ වෙදකම ගැන පුදුමයට පත් වෙනවා. බටහිර වෛද්‍යවරුන් එම්.ආර්.අයි ස්කෑන් කරල කපන්න කියන යෝජනා කරන කකුල්වලට බේත් බැඳලා සුව කරන ආකාරය දකින මේ විදේශීය දරුවන් හරියට පුදුම වෙනවා. ඔවුන් හරිම උනන්දුවෙන් මේ දේවල් ඉගෙන ගන්නවා.”

මෙතරම් වටිනා දායාදයක් අපට තිබියදී එයින් නිසි ප්‍රයෝජන ලැබීමට නොහැකි වන්නේ අප තුළ ඇති ආකල්පමය දිළිඳුකම නිසාය. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබෙන මේ හෙළ වෙදකම රැක ගැනීමට නම් කඩිනම් ආකල්පමය වෙනසක් අධ්‍යාපනය තුළින් ඇති කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරන්නේ නම් එය රටටම සුබදායක වනු ඇත.

හොරිවිල හෙළ වෙද ගෙදරදී සඳුදා, අඟරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනවලදීත් බියගම (නිදහස් වෙළෙඳ කලාපය පාරේ වැලිහේනේදී) බදාදා සහ යටිනුවර වීදියේ ආයුර්වේද සංස්ථාවේ සෙනසුරාදා දිනවලදී හොරිවිල ශාන්ත සෙනෙවිරත්න වෙද මහතා හමුවිය හැකිය.

Comments