විවාහයට කලින් ඇයව අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ කරන්න මට ඕන වුණේ නෑ | සිළුමිණ

විවාහයට කලින් ඇයව අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ කරන්න මට ඕන වුණේ නෑ

ඇත්තම කිව්වොත්  යශෝධා තමයි  මාව  හොයාගත්තේ

කවදාවත්ම  ඇය මට  සීමා දැම්මෙ නෑ

 

රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණ අනුජ් රණසිංහ පසුගියදා සිය ජීවිතයේ අලුත් කඩඉමකට පය තිබ්බා. ඒ විවාහයත් එක්ක. ඔහුගේ ජීවිතයත් එක්ක දුර ගමනක් යන්න තෝරාගෙන තිබුණේ රංගන ශිල්පිනියක් නම් නෙමෙයි. ඇය ගුවන් සේවිකාවක් වූ යශෝධා ගුණරත්න. අලුත් ජීවිතේ ගැන අනුජ්ට කියන්නට බොහෝ දේවල් තිබුණා.

 

අනුජ් මනමාල කිරිල්ලියක් එක්ක අලුත් කැදැල්ලක් තැනුවා. කොහොමද ඒ ජිවිතේ?

විවාහ ජීවිතේ වරදක් නෑ. ජීවිතේ දැන් හොඳින් ගෙවෙන්න අරගෙන. සුපුරුදු විදිහට යශෝධයි මමයි අපේ වැඩ කටයුතු කරගෙන සතුටින් ජීවත් වෙනවා.

අනුජ්ට කොහොමද ඇය හමුවුණේ?

ඇත්තම කිව්වොත් යශෝධා තමයි මාව හොයා ගත්තේ. එයා මං යන ජිම් එකට ආව කෙනෙක්. මගේ රසිකාවියක්. ඇය මගේ චිත්‍රපට බලලා තිබ්බා. ඒ නිසා ෆේස්බුක් හරහා අපි යාළුවෝ වෙලා සාමාන්‍ය විදිහට කතාබහ කරමින් හිටියා. එක දවසක් ජපානයේ ගිහින් එද්දි මට මොනවද ගේන්න ඕනේ කියලා යශෝධා ඇහුවා. මම ඉල්ලපු හෙයා ටොනික් එක ගෙනත් දෙන්න ආපු දවසේ තමයි ඇයව මගේ හිතට වැදුණේ. ඊට පස්සේ අපි කතාබහ කළා. ඒ කතාබහ තමයි අවුරුදු තුනහමාරක් ආදරය කරලා අපිව විවාහය දක්වා දුර ගෙනාවේ.

ජිම් එකේදි දකින යශෝධා ගැන ඊට කලින් කිසිම විශේෂත්වයක් දැනිලා තිබ්බේ නැද්ද?

මම ජිම් එකට ගියාම වටපිටාව ගැන අවධානය දෙන්නේ නෑ. මාත් එක්ක කවුරු හරි හිනා වුණොත් හිනා වෙනවා එච්චරයි. යශෝධා ජිම් එකේ දැකලා තියෙන කාලේ මට වෙන ආදර සම්බන්ධයක් තිබුණා. අපි දෙන්නා හමුවෙලා කතාබහ කරන තැනට එනකල් මට එහෙම විශේෂ හැඟීමක් යශෝධා ගැන දැනිලා තිබ්බෙත් නෑ. මම මගේ රසිකාවියෝ එක්ක සාමාන්‍ය විදිහට කතාබහ කරන්නේ. ඇයත් මගේ රසිකාවියක්. ඇය කවුද, කොයි වගේ කෙනෙක්ද කියලා විශේෂයෙන් දැනෙන්න ගත්තේ අපේ හමුවීමත් එක්ක.

ආදර කතා පහු කරන් ඇවිත් රංගන ක්ෂේත්‍රයෙන් පිට ඉන්න යශෝධාව ජීවන සහකාරිය විදිහට තෝරා ගත්තේ ඇයි?

කාලය තමයි අපේ සම්බන්ධයට වැදගත් වුණේ. අවුරුදු තුන හමාරක් තිස්සේ මම ඇය කවුද කියලා තේරුම් ගත්තා. ඇයත් මාව තේරුම් ගන්න ඇති. යශෝධා ගුවන් සේවිකාවක්. අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක. නමුත් අපේ ක්ෂේත්‍ර දෙකේදිම අපිට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ලැබෙනවා. එයාගේ ක්ෂේත්‍රය ගැන මුලදි මට තේරුම් නැති තැන් තිබ්බා. ඒ නිසා මතගැටුම්, රණ්ඩු සරුවල් අපි අතර ඇති වුණා. හැබැයි පස්සේ කාලේ මට තේරුණ දේ තමයි ඇය හැමදේම කරන්නේ අපි දෙන්නා වෙනුවෙන්. ඒ හැඟීම ආවට පස්සේ අපිට ජීවිතේ ඉස්සරහට යන්න පහසු වුණා.

පෙම්වතියක් තෝරා ගන්නවට වඩා ජීවිතයේ ඉදිරියට ගෙනියන්න බිරියක් තෝරා ගන්න එක අමාරු වැඩක්. ඔබ හරිම තීරණය ගන්න කාලය ගත්තාද?

කාලය ගෙවෙද්දි මට තේරුණ දේ තමයි යශෝධා පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් කියන එක. මම සාමාන්‍යයෙන් වගකීමක් අරන් ජීවිතය ගැන බරක් පතලක් අරන් හිතන කෙනෙක් නෙමෙයි. හැබැයි යශෝ ඊට වෙනස්. එයා වගකීම් සහගතයි. මම හිතපු දේ තමයි මම බරක්පතලක් හිතන්නේ නැති වුණාට මගේ සහකාරියවත් බරක්පතලක් ඇතුව වැඩ කරන්න ඕනේ කියන කාරණාව. ඉතිං ඒ දේ සීයට දෙසීයක්ම ඇය ළග තියෙනවා. ඒ වගේම ආදරය කරන කාලෙදි අපිට අපිව හංගගෙන ජීවත් වෙන්න ඕන වුණේ නෑ. අපි දෙන්නගේම ඇත්ත ස්වරූප දැනගෙන ආදරය කළ කාලය පුරාම අපි ජීවත් වුණේ.

ඔය ආදර කතාවට පවුලෙන් බාධා ආවෙම නැද්ද?

අපේ සම්බන්ධයට දෙපාර්ශ්වයෙම කැමැත්ත ලැබුණා. මගේ අම්මයි තාත්තයි යශෝධාට ගොඩක් කැමැතියි. අපේ අක්කත් ඇයට ආදරෙයි. යශෝධා හැමෝම එක්ක හරිම සුහදශීලියි. ඒ නිසා අපේ සම්බන්ධයට කිසිම බාධාවක් ආවේ නෑ.

විවාහයට කලින් අනුජ් යශෝධාව මාධ්‍යවල ජනප්‍රිය නොකරන්න පරිස්සම් වුණා නේද?

විවාහයට කලින් ඇයව අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ කරන්න මට ඕන වුණේ නෑ. යශෝධා වැඩ කරන ක්ෂේත්‍රය එක්ක එයාට ඩැමේජ් එකක් නොවෙන්න මම වගබලා ගත්තා. එයාගේ ගෞරවය රකින්න මම වග බලාගත්තා. මම හිතුවේ විවාහයෙන් කෙළවර වුණාම මිනිස්සු ඇය ගැන දැන ගත්තොත් ඇති කියලා. කලින් අපේ ෆොටෝ ටැග් කරලා ෆේස්බුක්වල දාන්න එපා කිව්වම යශෝධත් ඒක වැරදි විදිහට හිතුවා. අපේ සම්බන්ධය හංගන්නද හදන්නේ කියලා ඇහුවා. පස්සේ ඇයම තේරුම් ගත්තා එහෙම කරන්නේ හොඳට කියලා.

විවාහයත් එක්ක අනුජ් ගායකයෙකුත් වුණා. ඒ ගැන කිව්වොත්?

ඇත්තටම ඒක හදිසියේ ඇති වුණ සංකල්පයක්. අපේ pre shoot එක කළේ නුවරඑළියේ. ධනුෂ්ක සේනාධීර තමයි ඒ ෂූට් එකත් කළේ. ඒ ෂූට් එකට කලින් දවසේ රෑ මම සිංදු කිව්වා. “උඹට හොඳට සිංදු කියන්න පුලුවන්නේ“ කියලා ධනුෂ්ක මාව මුරුංගා අත්තේ තිබ්බා එදා. ප්‍රී ෂූට් එක කළාට පස්සේ ධනුෂ්ක තමයි කිව්වේ ඒ රූප රාමු ලස්සනයි ඇයි ඒකට ඔයාගේම සිංදුවක් කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ තමයි මනමාල කිරිල්ලි සිංදුව කළේ. ඒ ගීතය ලිව්වේ හර්ෂ උඩකන්ද. මංජුල සිරිවර්ධන තනුව දැම්මා. ශෂීන් ගිම්හාන් තමයි ගීතය සංගීතවත් කළේ. යශෝධට හොරෙන් තමයි ගීතය පටිගත කළේ.

පහුගිය කාලේ පුංචි තිරයට බර තිබ්බ කාලයක් ගෙවුණා කියලත් ආරංචියි?

මොහන් නියාස් මහත්මයාගේ මරිසි ජීවිතේ, නාලක විතානගේ සහ ධනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණය කළ නිර්මාණ දෙකකටත් සම්බන්ධ වුණා. මම ඉස්සරත් ටෙලි නාට්‍ය කළාට, පස්සේ කාලේ මම සිනමාව තමයි වැඩිපුර ෆෝකස් කළේ. සිනමා අධ්‍යක්ෂකවරුන්ම නිර්මාණය කළ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා.

අලුත් සිනමා නිර්මාණවලට දායක වුණේ නැද්ද?

සිනමා නිර්මාණ තුනකට සම්බන්ධ වුණා.

සමහර බිරින්දෑවරු වෘත්තිය ජීවිතේ සීමා මයිම් දාන තැන් තිබෙනවා. ඔබට ඇය කවදාවත් සීමා දාලා නැද්ද?

අනේ නැහැ. කවදාවත්ම ඇය මට සීමා දැම්මේ නෑ. මම සිනමාවේ කරපු පෙම්වතාගේ චරිතවලට ඇය ආස කළා. මම වැඩ නොකර හිටියොත් එයා තමයි මගෙන් අහන්නේ ඇයි චිත්‍රපට කරන්නේ නැත්තේ කියලා. හැමදාම ඇය මාව දිරිගැන්වුවා.

ජීවිතේ ඉදිරියට ඉෂ්ට කර ගන්න තිබෙන්නේ මොන වගේ හීනද?

යශෝධයි මමයි අපේම කියලා ගෙයක් හදාගන්න ඕනේ. ඒ හීන තමයි දැනට ප්‍රමුඛත්වයේ තියෙන්නේ.

 

 

Comments