යාළුකමටත් එහා ගිය බැඳීමක් අප අතරේ තියෙනවා | සිළුමිණ

යාළුකමටත් එහා ගිය බැඳීමක් අප අතරේ තියෙනවා

එයාට  මං නැතුවත් බෑ  මට  එයා නැතුවත් බෑ

අපි දෙන්නට දෙන්න ආදරෙයි කියාගෙන නෑ

සමාජ මාධ්‍යවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ඇය විටෙක රංගන ශිල්පිනියකි. තව විටෙක නිවේදිකාවකි. වෘත්තියෙන් ඇය ගුවන් සේවිකාවකි. කලා ක්ෂේත්‍රයේ මෙන්ම වෘත්තීය ජීවිතයේදීත් ඇය ජනප්‍රිය චරිතයකි. තමා ගමන් කරන ගුවන් යානයේ ඇය සිටින්නේ දැයි විමසන බොහෝ දෙනෙක් සිටිති. ඒ ඇය ලද ජනතා සම්මානයයි. මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන දිනිති සමඟ කළ කතාබහකි මේ.

රංගනයයි වෘත්තියයි කියන්නේ අහසට පොළොව වගේ ක්ෂේත්‍ර දෙකක්. කලා ක්ෂේත්‍රයට ඔබේ පිවිසීම ගැන සඳහන් කළොත්?

“සිනමාව තමයි මගේ කලා ක්ෂේත්‍රයට පිවිසුම. අශෝක හඳගමගේ අක්ෂරය සිනමාපටය හරහා තමයි ප්‍රේක්ෂකයා මාව හඳුනාගත්තේ. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ස්කෝලර්ෂිප් එකක් ලැබිලා ඔය අතරේ මට ඉන්දියාවට යන්න වෙනවා. ඒ නිසා ටික කාලෙකට කලාවෙන් ඈත්වෙන්න වුණා. උපාධියෙන් පස්සේ චාමර සමරවික්‍රමගේ හාරකෝටිය ටෙලි නාට්‍ය ඔස්සේ නැවතත් මං කලාවට පිවිසුණා. ඊට පස්සෙ දිගටම වගේ හොඳ නිර්මාණ ලැබුණා. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයට ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘සිල්ලර සමනල්ලු’, ‘හිරු ඇවිදින්’, තිළිණ බොරලැස්සගේ ‘නෝ පාර්කින්’, උපුල් රත්නායකගේ ‘බ්ලැක් ටවුන් ස්ටෝරීස්’, නාලක විතානගේ ‘ෂැඩෝ’ වගේම තේජ ඉද්දමල්ගොඩගේ ‘ආශාවරී’ චිත්‍රපටයත් මං රංගනයෙන් දායක වුණ නිර්මාණ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කළා.

මේ දිනවල වැඩිපුරම ප්‍රතිචාර ලබන්නේ සංගීත් එක්ක කරන යූටියුබ් චැනල් එකට. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුව, සංජය නිර්මාල්ගේ BTS වගේම කරපු ෆිල්ම් එකකුත් එන්න තියෙනවා. මං වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. නිතරම ෆ්ලයි කරන්න වෙන නිසා වෘත්තියට බාධාවක් නොවෙන විදියට තමයි වැඩ බාරගන්නෙ. ”

රංගන ශිල්පිනියකට නිවේදිකාවක් වීම අද හරිම පහසුයි. ඔබ නිවේදනයට සම්බන්ධ වෙන්නෙ ?

“එක් අවස්ථාවකදී රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියට නොමිනේට් වුණා. එතනදී හමු වුණු චන්දන සූරියබණ්ඩාර අයිය තමයි මාව ‘සිරස ෆිල්ම් ස්ටාර්’ වැඩසටහන ප්‍රසන්ට් කරන්න සම්බන්ධ කරන්නේ. ඊට පස්සෙ ‘වොයිස්’ වැඩසටහනට සම්බන්ධ වුණා. ස්වර්ණවාහිනියේ ‘සේරා ස්මාර්ට් කිචන්’ වැඩසටහනත් කළා.”

ගුවන් සේවිකාවක් වීම කුඩා කාලෙ ඉඳන්ම දැක්ක හීනයක් ද?

“මම ඉගෙන ගත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකාවෙ. ටවර්හෝල්, ක්ෂේශ්පියර් නාට්‍යවලට පාසල් වේදිකාව සමස්ත ලංකා හොඳම නළුවා, නිළිය සම්මාන දෙකම හිමිකර දුන්නා. බාලිකාවක් නිසා පිරිමි චරිත කරන්න වුණෙත් අපටමයි. අධ්‍යාපනය පැත්තෙනුත් ‘ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්’ කියන තැන මම හිටියා. මගේ තාත්තා ගුරු උපදේශකවරයෙක්. අම්මා ගණිත ගුරුවරියක්. අම්මලට ඕන වුණේ මාවත් උපාධිධාරිනියක් කරන්න. ඒත් මට ඕන වුණේ ලෝකෙ වටේ යන්න. මගේ ජීවිතේට සුන්දර මතකයන් එකතු කරගන්න. ඒකට ඉතින් සල්ලිත් ඕන නිසා මං බැලුවා ඒකට හරියන රස්සාව මොකක්ද කියලා. එතනදි තමයි මං සල්ලිත් ලැබෙන ලෝකෙත් දකින්න පුළුවන් මේ රස්සාව තෝර ගත්තේ.

ගුවන් සේවිකාවක් කියන්නේ වෙනස්ම අත්දැකීමක්. හැමෝටම ළඟා වෙන්න බැරි තැනක්. මේ වෘත්තියේ දි අමතක නොවන අත්දැකීම් ඇති.

ප්ලයි කරන්න මං ගොඩක් ආසයි. ඒ නිසා ඒක මට එපා වෙන්නෑ. මගේ ටෙලි නාට්‍ය බලලා යූටියුබ් එක දැකලා ගොඩක් අය දැන් මාව අඳුනනවා. එයාල ගුවන් යානෙට ආව ගමන්ම කෝ මේකෙ දිනිති ඉන්නවා ද කියලා හොයනවා. මගේ යාළුවොන්ගෙනුත් අහනවලු දිනිති ඉන්නෙ මොන එකේ ද කියලා. ඒ ආදරේ මට ගොඩක් වටිනවා. එක් අවස්ථාවකදි මෙල්බර්න්වලදී මගේ රසිකයෙක් මාව බදාගෙන ගෙදර ගෙනියන්නම ඕන කියලා ඇඬුවා. සිකුරිටි එකෙන් දන්නේ නෑනෙ මං නිළියක් කියලා. එයාලා හිතුවෙ මට කරදර කරන්න හදනව කියලා. සිකුරිටි එකට පැහැදිලි කරලා දීලා බොහොම අමාරුවෙන් විසඳගත්තේ. ඒ වගේ අත්දැකීම් තියෙනවා.

සංගීත්, දිනිති ආදර අන්දරයක් ගැන පළවන පුවත මේ දිනවල සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වෙනවා. ගින්නක් නැතුව දුමක් නගින්නෑ කියලා කතාවකුත් තියෙනවනේ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද?

“සංගීත්ගේ යූටියුබ් චැනලයට සම්බන්ධ වීම වගේම ඔහුගේ පවුල හා සමීප සම්බන්ධයක් පැවැත්වීම මේ පුවතට පාදක වෙන්න ඇති. අපි හොඳම යාළුවෝ. යාළුකමටත් එහා ගිය බැඳීමක් අප අතරේ තියෙනවා කිව්වත් හරි. එයාට මං නැතුවත් බෑ. මට එයා නැතුවත් බෑ. ඒත් අපි දෙන්නට දෙන්න ආදරෙයි කියලා කියාගෙන නෑ. එයා මගෙන් අහලත් නෑ. මං එයාට කියලත් නෑ. අපි අතරේ හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. මං එයාලගේ ෆැමිලි එකත් එක්කත් ගොඩක් සමීපයි. ඒ ලැබෙන ආදරේ ළඟඳි මට තනිකමක් දැනෙන්නෑ.

ඒ කියන්නේ මේ සම්බන්ධය විවාහයකින් කෙළවර වෙන්න පුළුවන් කියන එක ද?

විවාහයකට යද්දි හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි අතරේ හොඳ අවබෝධයක්, ගැළපීමක් තියෙනවා. ඉදිරියේ දී එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.

Comments