අපලෙන් බේරෙන්න සෙත් කවි කියා එද්දී වැරදුණු පොලිස් වෙඩිල්ලෙන් මරු ගෙන ගිය ඉරේෂා | සිළුමිණ

අපලෙන් බේරෙන්න සෙත් කවි කියා එද්දී වැරදුණු පොලිස් වෙඩිල්ලෙන් මරු ගෙන ගිය ඉරේෂා

 

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී ඉකුත් දෙවැනිදා අලුයම කොල්ලයක් සිදු කර පලා යමින් සිටි කොල්ල කල්ලියක් අල්ලා ගැනීමට පොලිසිය තැබූ වෙඩි පහරකට ලක්වීමෙන් බසයක ගමන් කරමින් සිටි විසිනව හැවිරිදි තරුණියක් මිය යෑමේ සිද්ධිය මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වෙමින් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් හබුරුගල, වන්නිගෙවත්ත, අංක 28/ඒ ලිපිනයේ පදිංචිව සිටි බෝමිරියගේ දොන් ඉරේෂා ශ්‍යාමලී නමැති 29 හැවිරිදි තරුණියකි. ඇය උපාධිධාරිනියකි.

ඉරේෂා තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. ඇයට වැඩිමල් සොහොයුරෙක් සහ සොහොයුරියක් සිටී. විවාහක සොහොයුරා පදිංචිව සිටින්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේය.

හබුරුගල ඇලකාක මහා විද්‍යාලයෙන් අකුරු කළ ඉරේෂා අ.පො.ස.උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනය ලැබුවාය. දක්ෂ සිසුවියක වූ ඇය උසස් පෙළ විභාගය සමත් වුවද ඇය රාජ්‍ය සරසවියක වරම් ලබන්නට තරම් වාසනාවන්ත නොවූවාය. ඉන් පසුව බෙන්තොට සමූපාකාර සමිති සංගමයට අයත් හබුරුගල මහගොඩ ග්‍රාමීය බැංකු ශාඛාවේ ලිපිකාරිනියක ලෙස සේවය කළ ඉරේෂා ඒ අතරතුර පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරා එහි උපාධිය ලබා ගත්තාය. කලක් බෙන්තර ඉඳුරුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සංචාරක හෝටලයක ගිණුම් පරීක්ෂකවරියක් ලෙස සේවය කළ ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා පසුව රැකියාවෙන් ඉවත් වූවාය. මේ අතර ඇය කැනඩා විශ්ව විද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණින් එහි රැකියාවකට යාමටද සූදානමින් සිටියාය. මේ සඳහා කැනඩාවේ වෙසෙන ඇගේ මිතුරියක් ඇයට උදවු උපකාර කළාය.

මේ අතර ඉරේෂාට කිසියම් අසනීප තත්ත්වයක් ඇති වීම නිසා ඇගේ මවුපියන් ඇගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්නේ පළපුරුදු ජ්‍යෙතිෂවරයෙකු ගෙනි. එහිදී ජ්‍යෙතිෂවේදියා විසින් මවුපියන්ට පවසා තිබුණේ ඉරේෂාට තදබල මාරක අපලයක් තිබෙන බවය. වයස අවුරුදු 29 ක් වූ ඉරේෂාට ඒ මාරක අපලය සමනය කර ගැනීමට අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳු අබියස කිරිපිඬු පූජාවක් තබන ලෙසට උපදෙස් ලැබී තිබිණි.

මේ ආරංචිය ලද ඇයට සිය පණ මෙන් ආදරය කළ ඉරේෂාගේ වැඩිමහල් සොහොයුරා ජ්‍යෙතිෂවේදියා පැවසූ අයුරින්ම තම නැඟණියගේ අපලය දුරු කිරීම සඳහා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වෙත ගොස් පුද පූජා පවත්වා බාරහාර සිදු කිරීමට ඉදිරිපත් විය.

ජන්ම පත්‍රය බලා කියූ අයුරින්ම නැඟණියගේ අපලය සඳහා සෙත් කවියක්ද ලියවා ගත් සොහොයුරා අනුරාධපුර යාමට නැඟණිය ඔහු පදිංචිව සිටි කිරිබත්ගොඩ සිය නිවෙස වෙත ගෙන්වා ගන්නට කටයුතු කළේය.

ඒ අනුව හැට හය හැවිරිදි වියේ පසුවන සිය මව වූ සුමිතා ජයමාන්නගෙන් සහ පියාණන් වූ බෝමිරියගේ දොන් ඥානසේනගෙන් අවසර ගත් ඉරේෂා ඉකුත් දා පෙරවරුවේ කිරිබත්ගොඩ පදිංචි සිය සොහොයුරාගේ නිවෙස වෙත ගියාය.

පසුදා ඇය වැඩිමහල් සොහොයුරා වූ ප්‍රසාද් සහ ඔහුගේ බිරිය සමඟ අනුරාධපුරයට ගියාය. පිරිස මුලදී තම මෝටර් රථයෙන් අනුරාධපුර ගමන යෑමට සිටියත් පසුව එම මෝටර් රථයේ ටයරයක සිදුවූ ගැටලුවක් නිසා මෝටර් රථයෙන් යන ගමන නතර වී ඇත. අනතුරුව මඟින් බස් රථයෙන් අනුරාධපුරයට ගිය පිරිස දින හතක් තිස්සේ අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳු අබියස සෙත් කවි කියමින් කිරිපිඬු පූජා කර බාරහාර වී එම බාරය ඔප්පු කර ඇත. පසුව ඇය සිය සහෝදරයා සහ ඔහුගේ බිරිය සමඟ අනුරාධපුර සිට ආපසු ඒමට එදින රාත්‍රියේ කහටගස්දිලියේ සිට කොළඹ බලා එන ලංගම බස් රථයකට ගොඩ වූහ. මේ තිදෙනා අසුන්ගෙන ඇත්තේ එම බස් රථයේ පිටුපසම අසුනේය. එසේ සිය සොහෝදරයාගේ නිවස වෙත එමින් සිටියදී ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා තිබේ.

සිය අනාගතය පිළිබඳව නැවුම් සිහින දකිමින් සිටි ඉරේෂා ශ්‍යාමලීට සිය වටිනා ජීවිතයෙන් සමු ගන්නට සිදු වුණේ කොල්ල කල්ලියක් නීතියේ රැහැනට අල්ලා ගන්නට දංඕවිට පොලිසිය සිදු කළ මෙහෙයුමකදීය.

මුලදී බසයේ ඉදිරිපස අසුනක සිටි තිදෙනා පසුව බසයේ සෙනඟ අඩු වීමත් සමඟ බස් රථයේ පිටුපසම අසුනට ගොස් තිබේ. එම අසුනට ගිය තිදෙනා වරකාපොළ, දංඕවිට ආසන්නයට එන විට තද නින්දේ පසු වී ඇත. ඒ මොහොතේ බස් රථයේ පිටුපසින් තහඩුව පසාරූ කරගෙන පැමිණි පොලිස් වෙඩි පහර වැදී ඇත්තේ ඉරේෂාගේ හිසටම බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

නින්දේම සිටි ඇයගේ සිරුරින් ගලා ගිය රුධිරයෙන් හිඳ සිටි අසුන තෙත් වෙද්දී මේ බැව් සොහොයුරාට දැනගත හැකිවූ බව කියයි. පසුව සොහොයුරා විසින් බස් රථයේ රියදුරුට කෑ ගසා මේ බව දැනුම් දී ඉරේෂා වතුපිටිවල රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටද ඉරේෂා මෙලොව හැර ගොසිනි.

අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ශෂිකලා වනිගසුන්දර ඉරේෂාගේ හදිසි මරණය පිළිවඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූවාය. වතුපිටිවල මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඉරේෂාගේ දේහය ඇගේ සොහොයුරා වූ ප්‍රසාද් වෙත බාර කෙරිණි.බෙන්තොට හබුරුගල මුළු ප්‍රදේශයම හඬවමින් ඉකුත් 05 වැනිදා සන්ධ්‍යාවේ ඉරේෂා ශ්‍යාමලී සමුගත්තාය.

ඡායාරූප - කරන්දෙනිය සමූහ

අනුරාධ ප්‍රියදර්ශන

 

 

Comments