ඉගෙනීමයි ක්‍රීඩාවයි සමබර කරගෙන චරිත් එයාගේ අරමුණට ගියා | සිළුමිණ

ඉගෙනීමයි ක්‍රීඩාවයි සමබර කරගෙන චරිත් එයාගේ අරමුණට ගියා

- මම මැච් බලද්දී චරිත් පුතත් පුංචි කාලේ ඉඳලම මගේ ළඟින් වාඩි වෙලා මැච් බලන්න පුරුදු වුණා
- ඉස්සර පුතා ඇල්පිටියේ ඉඳලා කොළඹට බස්වල ලොකු බෑග් අරන් යද්දී මිනිස්සු බණිනව ලු.
- හැමදාම එහෙම බැණුම් අහන්න බැහැ කියලා 19න් පහළ ක්‍රීඩා කරලා ලැබුණු සල්ලිවලින් පුතා මුලින්ම පොඩි කාර් එකක් ගත්තා
- ක්‍රිකට්වලට තිබුණ ආශාව නිසාම පුතා හීන දැක්කේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ආනන්දෙට එන්න
- මුදල්වලට හෝ ප්‍රසිද්ධියට ඇතිවෙන බැඳීම් සුන්දර නැහැ වගේම පැවැත්මකුත් නැහැ. ඒ නිසා අවුරුදු 10ක් තිස්සේ පුතා ආදරය කරන දුවව ලේලි කරගන්න මම කැමතියි
- විභාග තිබ්බ කාලේ පුතා එංගලන්තයේ මාස දෙකකට තරගවලට සම්බන්ධ වෙලා හිටපු නිසා උසස් පෙළ විභාගෙ කරන්න බැරි වුණා

දැනුම් තේරුම් ඇති වයසකදී දකින සිහිනවලට වඩා එතරම් දැනුම් තේරුම් නැති කුඩා වයසකදී දකින සිහින සිය ජීවිතයේ නියත ඉලක්කය සහ අරමුණ බවට පත්කර ගත් විට ඒ සිහින සැබෑ කරගැනීමට වැඩි අවස්ථාවක් සැලසේ. ඊට හේතුව ඒ සිහිනය හඹායෑම පිළිබඳ සිතේ ඇතිවන දැඩි උනන්දුව සහ කැපවීමයි. මෙවර අපේ කතාබහ එසේ සිහින සැබෑ කරගත් යෞවනයකු පිළිබඳවයි. 

ක්‍රිකට් ක්‍රීඩාවේ හතර කොනවත් නොදැන සිටි වයසකදී, ක්‍රිකට් පිත්ත අතට ගන්නට සිතේ තිබූ දැඩි ආශාව සහ වුවමනාව නිසාම ක්‍රිකට් ක්‍රීඩා කරන්නට කොළඹ පාසලකට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් ශිෂ්‍යත්ව විභාගය ද සමත් වූ ඔහු අන් කිසිවකු නොව, චරිත් අසලංක ය.

1997 වර්ෂයේ ජූනි මස 29 වැනිදා ඇල්පිටියේදී උපත ලැබූ චරිත්ගේ පියා විජිත් ප්‍රියන්ත ව්‍යාපාරිකයෙකි. මව, තනුජා කැටපේආරච්චි ය. චරිත් පවුලේ දෙවැනි දරුවා වුවත් පවුලට එක්වූ පළමු පිරිමි දරුවාය. ඒ නිසා මවුපියන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ආදරය ඔහුට ‍ නොඅඩුව හිමි විය. ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය සැබෑ කරගත් චරිත් අසලංක නම් දිරිය තරුණයාගේ පියා ද කලක් ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට සිහින දුටු අයෙකි. ඒ සිහිනය බොඳව ගියත් ඔහු තම පුතුගේ සිහිනය සැබෑවක් කරගන්නට හැකි උපරිමයෙන් දිරිය ශක්තිය ලබාදුන්නේය. මේ චරිත්ගේ පියා, විජිත් ප්‍රියන්ත ඒ ගැන සිළුමිණ ට කී කතාවයි.

“මමත් පාසල් යන කාලේ ක්‍රිකට් ක්‍රීඩා කළා. ලෙදර් බෝල ගහපු කෙනෙක්. නමුත් අන්තිමට මම ක්‍රිකට් පැත්තකින් තියලා දිගටම වොලිබෝල් ක්‍රීඩා කළා. කොහොමටත් මම ක්‍රීඩාවට ආදරේ කරන කෙනෙක් . කවදටත් ශ්‍රී ලංකා තරග අත අරින්නේ නැතුව බලපු කෙනෙක්. මම මැච් බලද්දී චරිත් පුතත් පුංචි කාලේ ඉඳලම මගේ ළඟින් වාඩි වෙලා මැච් බලන්න පුරුදු වුණා. මැච් බැලුවට එයාට ඒ කාලේ ඒ ගැන එච්චර තේරුමක් තිබ්බේ නැහැ. හැබැයි ඒ ගැන ටිකින් ටික උනන්දු වෙන බව පේන්න තිබුණා. පුතා මූලික අධ්‍යාපනය ලැබුවේ ඇල්පිටිය කනිටු විද්‍යාලයෙන්. දවසක් පුතා මට ඇවිත් කිව්වා, “තාත්තේ මට ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙන්න ඕනේ, කොළඹ ආනන්ද විද්‍යාලයට යන්න” කියලා. මම ඇහුවා,“ ඒ මොකටද” කියලා. ඒ වෙලාවේ පුතා කිව්වා, “කොළඹ ආනන්ද විද්‍යාලයට ගියොත් මට ක්‍රිකට් ගහන්න පුළුවන්” කියලා. මම ඒ වෙලාවේ පුතාට කිව්වා, “එහෙමනම් ඔයා ශිෂ්‍යත්වයෙන් පාස් වෙන්න, ඔයාගේ මාමත් කොළඹ ඉන්න නිසා එහේ ඉඳලා ඉස්කොලේ යන්න පුළුවන්” කියලා. මාමා කිව්වේ මගේ බිරියගේ මල්ලී. ඔහු පදිංචි වෙලා හිටියේ කොළඹ. ඒ කිව්ව විදිහටම ලකුණු 176ක් ලබාගෙන පුතා ශිෂ්‍යත්වයෙන් පාස් වුණා. ඒ අවුරුද්දේ කොළඹ ආනන්දෙට ඇතුළත් කරගත්තේ ලකුණු 174න්. නමුත් ඒ වෙද්දී චරිත්ගේ මාමා අවුරුදු 31දී හදිසියේම ජීවිතයට සමු දුන්නා. ඒ නිසා චරිත්ව කොළඹ යවන්න මගේ කැමැත්තක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම කිව්වා එහෙම නම් ඔයාව ධර්මාලෝකෙට දාන්නම් කියලා. චරිත් කිව්වා මට බැහැ එහෙම නම් මාව රිච්මන්ඩ් හරි මහින්ද හරි දාන්න කියලා. කොහොමහරි අපි පාසල් දහයකට විතර ඇප්ලයි කළා. අන්තිමට පුතා රිච්මන්ඩ් විද්‍යාලයට තේරුණා. ඒ පාසලේ 13න් පහළ ඉඳලම පුතා ක්‍රිකට් සෙල්ලම් කළා. උදේට ස්කූල් වෑන් එකේ ගිහින් ප්‍රැක්ටිස් ඉවර වෙලා බස් එකේ ගෙදර ආවා. එයා කැමතිම ක්‍රීඩකයා සනත් ජයසූරිය."

චරිත්ගේ ආදරණීය පියා සිය පුතු සැබෑ කරගත් සිහින චාරිකාව පිළිබඳ මතක ආවර්ජනය කරමින් කීවේය. වමත් පිතිකරුවකු ලෙස පාසලේදී දක්ෂතා දැක්වූ චරිත් සාමාන්‍ය පෙළ විභාගයෙන් ද විශිෂ්ට ලෙස සමත් විය.

“සාමාන්‍ය පෙළ විභාගය ළංවෙද්දී පුතා ඉගෙනීමට වඩා ක්‍රිකට්වලට උනන්දුයි. මම කිව්වා ඉගෙන ගන්නෙ නැත්නම් ක්‍රිකට් නතර කරලා පාඩම් වැඩ කරන්න කියලා. පුතා මට ආදරෙයි වගේම බයයි. මම මොනවා හරි කිව්වොත් ඊට පිටින් මොකුත් මට කියන්නේ නැහැ. පුතා ක්‍රිකට් පුහුණුවීම්වලට යන නිසා පුතාට පහසු විදිහට ගුරුවරුන් ගෙදරට ගෙන්වලයි අපි එයාට ඉගැන්නුවේ. ඒ නිසයි මම ටිකක් තදින් හිටියේ, එහෙම කැපකිරීම් කරලත් අතරමග අධ්‍යාපනය නතර වෙයි කියලා. පුතා පස්සේ මගේ බිරියට කිව්වලු, “අම්මේ තාත්තට කියන්න බය නැතිව ඉන්න කියලා, මම දෙකම බැලන්ස් කරගන්නම්” කියලා. ඒ කිව්වා වගේම පුතා එයාගේ අරමුණට ගියා.පුතා සාමාන්‍ය පෙළ විභාගයෙන් A 5ක්, B 3ක් හා C සාමාර්ථයක් ගත්තා. මටත් හරි සතුටුයි. නමුත් උසස් පෙළ කළේ නැහැ. විභාග තිබ්බ කාලේ පුතා එංගලන්තයේ හිටියේ මාස දෙකකට තරගවලට සම්බන්ධ වෙලා. මොනවා කළත් එයා කැපකිරීම් කළා ඉගෙන ගන්න වගේම ක්‍රීඩා කරන්නත්. පුතාගේ ලොකුම හීනය වුණේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි. අන්තිමට ඒ හීනෙත් හැබෑ වුණා."

පාසල ක්‍රිකට් ක්‍රීඩාවට තිඹිරිගෙය කරගත් චරිත් පාසලේද දිදුලන ක්‍රිකට් තරුවකි. මෙතෙක් පාසල් හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබාගෙන ඇති ක්‍රීඩකයන් සිටින්නේ සිවු දෙනෙකි. ඒ අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, තිලාන් සමරවීර හා චරිත් අසලංක ය. වර්ෂ 2015 හා 2016 වර්ෂවලදී චරිත් පාසල් හොඳම ක්‍රීඩකයා බවට පත්විය.

විජිත් සහ තනූජා යුවළට දරුවන් පස් දෙනෙකි. පවුලේ වැඩිමහල් දරුවා වන චරිත්ගේ වැඩිමහල් සහෝදරිය කවින්‍යා වන අතර ඇය විවාහකය. ඇයගේ සැමියා තුෂාර ලක්මාල් ය. දෙවැන්නා චරිත් ය. පවුලේ තෙවැන්නා රනුකී වන අතර හතරවැන්නා ඉසිනීය. පවුලේ බඩපිස්සා වන්නේ හිරුක්‍ තවමත් දොළොස් වැනි වියේ පසුවන අතර, ඔහු ද මේ වන විට රිච්මන්ඩ් විද්‍යාලයේ 13න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය දරයි.

"චරිත් කියන්නේ කවදත් කීකරු දරුවෙක්. දඟ වැඩ කළාට හිතුවක්කාර නැහැ. ක්‍රිකට් ගහන්න ඕන නිසාම හොඳින් ඉගෙන ගත්තා. පුතා පෙර පාසල් යන කාලේ දවසක් යාළුවෙක්ගේ බෙල්ලට සෙල්ලම් ප්ලේන් එකක් තියලා තද කරලා ඒ දරුවගේ බෙල්ලත් තුවාල වෙලා ඒ වැරැද්දට එයා පෙර පාසලෙන් දඬුවම් වින්දා. ගෙවල් අවට දරුවෝ එක්ක ක්‍රිකට් ගහපු එකමයි කළේ. ගෙදර ජනෙල්, මාළු ටැංකි තුනක්, බල්බ් සෑහෙන්න කඩලා තියෙනවා ක්‍රිකට් ගහන්න ගිහින්. දැන් මල්ලිත් ගේ ඇතුළේ ක්‍රිකට් ගහලා අලුත් ටීවි එකක් කුඩු කළා. වාහනේ වීදුරු කැඩුවා. ගෙදර ජනෙල්වල වීදුරු නැහැ. චරිත් කිව්වා දැන්ම ඕවා හදන්න ඕනත් නැහැ මල්ලී ඕන විදිහට හිටපුදෙන් කියලා”

සෙනෙහස මුසුවූ ඒ වදන් චරිත්ගේ මවගේ ය. දරුවන් පස්දෙනකු හදා වඩා ගත් ඈ චරිත් ගැන කතා කළේ නිහතමානී ආඩම්බරයකින් යුතුවය.

“ජාතික කණ්ඩායමට පුතාව තෝරා ගත්තා කියලා අපිට කලින්ම ආරංචිය ආවා. නමුත් විශ්වාස කළේ නැහැ පුතා කෝල් කරලා කියනකල් හිටියා. එදා පුතා හරියට සතුටු වුණා. ඉස්සර පුතා ඇල්පිටියේ ඉඳලා කොළඹට ප්‍රැක්ටිස් ගියේ බස්වල. ලොකු බෑග් අරන් යද්දී මිනිස්සු බණිනවලු. කොන්දොස්තරලාත් බණිනවලු. ඒ විදිහට හැමදාම බැණුම් අහන්න බැහැ අම්මේ, මැච් ගහලා ලැබෙන සල්ලිවලින් මුලින්ම කාර් එකක් ගමු කිව්වා. 19න් පහළ ක්‍රීඩා කරලා ලැබුණු සල්ලිවලින් පුතා මුලින්ම පොඩි කාර් එකක් ගත්තා. පස්සේ කොළඹට එන්න පහසු වෙන්න මාලඹෙන් ගෙයක් ගත්තා. පුතා එහේ තනියම ඉන්නේ. සිකුරාදා ඇල්පිටියේ ඇවිත් ආයෙත් සඳුදා කොළඹ එනවා පුහුණුවීම් කරන්න තියෙන නිසා. කඩෙන් තමයි කන්නේ. මස්, මාළු තම්බලා කනවලු. කෑම බීම ගැන පරෙස්සම් වෙනවා. කොළඹ ඉන්න වැඩිපුර කැමති නැහැ. ගමේ නිදහසේ ඉන්න ඕනේ කියලා තමයි නිතරම කියන්නේ. සංචාරයකට ගිහින් ආපහු ලංකාවට එන්න කලින් මට කෝල් කරලා කියනවා අම්මේ මම එනවා බත් එක්ක සම්බෝලයි, කරවලයි හදලා තියන්න කියලා. ගිහින් එද්දී හැමෝටම තෑගි ගේනවා. පුතාගේ පළමුවැනි පඩියෙන් මට රන් කර මාලයක් ගෙනත් දුන්නා උපන් දිනේට. ඒක කරන්න එයා ගොඩක් කල් ඉඳලා හිතාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි ඕනෑම කෙනෙකුට උදව්වක් ඕනෑ වුණොත් පුතා එයාට පුළුවන් මට්ටමින් උදව් කරනවා.”

“මගේ දරුවා නිසා කියනවා නෙවෙයි, චරිත් කියන්නේ හරිම ගුණගරුක දරුවෙක්. පිනට ලැදි කෙනෙක් . ක්‍රිකට් ක්‍රීඩකයන් ඉක්මනින් සල්ලි හම්බ කරනවා, සමහර අය වරදට පෙලඹෙනවා කියලා ආරංචි වෙනවා. නමුත් චරිත් කවදාවත් වෙනස් වෙයි කියලා මම හිතන්නේ නැහැ. චරිත් සීයාට හරි ආදරෙයි. පුතාව ප්‍රැක්ටිස් එක්කගෙන ගියේ සීයා. පුතා අයි.පී. එල් තරගයට සහභාගි වෙලා ඉන්නකොට තමයි සීයා මේ ලෝකෙන් සමුගත්තේ. ඒ නිසා පුතා තවමත් සීයාගේ වියෝව ගැන කම්පා වෙනවා. .."

එක්දින තරග දහයක් ක්‍රීඩා කිරීමට මත්තෙන් චරිත් තරගයේ වීරයා බවට පත් විය. ඒ පිතිකරණයට අසීරූ අංක පහේ ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසෙමිනි. එමෙන්ම පළමු එක් දින තරගයේදී හා දෙවැනි එක් දින තරගයේදී අර්ධ ශතක ලබා ගැනීමට ද ඔහුට වාසනාව හිමි විය. ඒ නිසාම ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සඳහා ක්‍රීඩා කිරීමට ද භාග්‍යය ලැබුවේය. 

චරිත් දැන් ජනප්‍රිය මුල්‍ය පැත්තෙන් ස්ථාවරත්වය ඇති යෞවනයෙකි. ඔහුගේ විවාහය පිළිබඳ මවුපියන්ගේ අපේක්ෂා කෙසේද යන්න ගැන ද අප චරිත්ගේ මවගෙන් විමසුවෙමු.

“පුංචි කාලේ පුතා කකුල් දෙකම කලිසමේ එක කකුලට දාගෙන අම්මේ මම ටයිට් ස්කට් එකක් ඇන්දා කියලා විහිළු කරනවා. ඒ වගේ හරිම සරල සුන්දර ජීවිතයක් එයා ගත කරන්නේ, මේ වෙද්දී ආසාවට වාහන දෙක තුනක් මාරු කළත් වෙන වරදක් නම් කළේ නැහැ. ආදරේ කරද්දීත් එහෙමයි. දැන් සල්ලි තියෙන නිසා තත්ත්වය ගැන හිතන්න ඕන කියලා ඉහළ පැලැන්තියේ කෙනෙක් එක්ක විවාහ වෙන්න ඕන කියලා අදහසක් එයාගේ හිතේ නැහැ. පුතාගේ පළමු පෙම්වතිය කාවින්දිකා හංසනි. ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. මේ දෙන්නාගේ ආදරේට දැන් අවුරුදු 10ක් විතර වෙනවා.

ඒ දුවත් ඇල්පිටියේ, පාසල් යද්දී තමයි දැනහඳුනාගෙන ආදරේ කරන්නේ. නොදන්න කෙනෙක් එක්ක විවාහ වෙනවට වඩා එයා ආදරේ කරන කෙනා එක්ක විවාහ වෙන එක හොඳයි කියලයි මම හිතන්නේ. මොකද ඒ දුව පුතාට ආදරේ කරද්දී පුතාට මොකුත් තිබ්බේ නැහැ. දැන් යාළුවෙන කෙනෙක් යාළු වෙන්නේ එයාගේ මුදල්වලට හෝ ප්‍රසිද්ධියට. එහෙම ඇතිවෙන බැඳීම් සුන්දර නැහැ වගේම පැවැත්මකුත් නැහැ. අපේ පවුල හා ඒ දුවගේ පවුලේ අය හරි හිතවත්. ඒ නිසා මම කැමති එයාව ලේලි කරගන්නයි. පුතා මේ වසර අවසානයේ ඒ දුව එක්ක විවාහ ගිවිස ගන්නවා. ලබන වසරේ විවාහ උත්සවය ගන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

Comments