දේශගුණ අර්බුදයෙන් ලෝකය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලෝකයට දෙන දායකත්වය | සිළුමිණ

දේශගුණ අර්බුදයෙන් ලෝකය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලෝකයට දෙන දායකත්වය

මේ අනුව දේශගුණ අර්බුදයට ජයගැනීම සඳහා වූ ගෝලීය උත්සාහයේ අංගයක් වන ජාතිකව නිර්ණය කළ දායකත්ව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සෑම රටක්ම සිදු කළ යුතු වේ. මේ සඳහා ශ්‍රී ලංකාව දායක වීම අපේ රටේ මෙන්ම සමස්ත ලෝකයේම පැවැත්ම සඳහා අප ලබා දෙන දායකත්වයකි.‘දැයෙන් ලොවට’ යන තේමාව බිහි වන්නේ එතැනිනි. එය අපි අපගේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ කෙබඳු අනාගතයක් ද යන්න තීරණය කරන්නකි. 

එබැවින් අප ඒ පිළිබඳව සිදුකරන්නේ කුමක්ද හා සිදු කළ යුත්තේ කුමක්ද යන්න විමසා බැලිය යුතු කරුණකි.ශ්‍රී ලංකාවේ විවිධ අංශ හා විෂයවල ජාතිකව නිර්ණය කළ දායකත්ව දීර්ඝ ක්‍රියාදාමයකින් පසුව හඳුනාගෙන ඇත. දායකත්ව වර්ග දෙකක් වේ. ඉන් එකක් වන්නේ හරිතාගාර වායු විමෝචන අවමකිරීම සඳහා දායක වනදායකත්ව වේ. අනෙක වන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම්වලට අනුහුරුවීම සඳහා දක්වන දායකත්වයි.

ාතකාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස්ඔක්සයිඩ් හා ඕසෝන් වැනි හරිතාගාර වායු වර්ගවල සාන්ද්‍රණය ඉහළ යෑම නිසා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මේ තත්ත්වය නිසා ලෝකයේ සාමාන්‍ය කාලගුණ තත්ත්වවල ඇති වී තිබෙන දීර්ඝ කාලීන වෙනස ‘දේශගුණ විපර්යාස’ ලෙස හැඳින්වේ.

මේ තත්ත්වයට ප්‍රධානතම හේතුව වන්නේ මිනිසා විසින් විමෝචනය කළ හරිතාගාර වායු බැවින් මෙය ‘මානවකෘත’ (anthropogenic) ගැටලුවක්බවට පිළිගැනේ. මිනිසුන් අධික ලෙස හරිතාගාර වායු විමෝචනය කිරීම සිදුකරන්නේ ලෝකයේ කාර්මිකකරණය ආරම්භ වූ19 වන ශතවර්ෂයේ මැද පමණ සිටය. 1850-1900 අතර කාලයේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 2011-2020කාලයේ ලෝකයේ භූමිය මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.09කින් පමණ ඉහළ ගොස් ඇත.පවත්නා තත්ත්වය අනුව අනාගතයේ ඇති විය හැකි උෂ්ණත්වය පිළිබඳ විද්‍යාත්මක අනාවැකි පළ කර තිබේ. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) 6වන ඇගැයීමට අනුව, හරිතාගාර වායු විමෝචන ඉතා අධික ලෙස විමෝචනය වුවහොත් 21 වන ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.3ත් අංශක5.7ත් අතර ප්‍රමාණයකින් ඉහළ යෑමේ ඉඩක් පවතී. කෙසේ වෙතත්, 2050 වර්ෂය වන විට වායුගෝලයට එක්වන හරිතාගාර වායු ප්‍රමාණය හා වායුගෝලයෙන් ඉවත්වන ප්‍රමාණය සමාන මට්ටමකට හෙවත් ‘කාබන් ශුද්ධ ශුන්‍ය’ තත්ත්වයට ගෙන ආ හැකි නම්, 21 වන ශතවර්ෂාවසානයේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1 හා 1.8 අතර ප්‍රමාණයකට සීමා කළ හැකිය.

අද ඇති වී තිබෙන දේශගුණ විපර්යාස මේ වන විටලෝකයේ විවිධ අංශවලට බලපායි. ගංවතුර, නියඟය, තාප ප්‍රවාහ ආදි ආන්තික තත්ත්ව ඇති වීම මෙන්ම ඒවායේ බලපෑම ද ඉහළ ගොස්ය. ආහාර භෝග රැසක නිෂ්පාදනයට උෂ්ණත්වය බලපායි. මුහුදු මට්ටම ඉහළ යෑම නිසා වෙරළ කලාපයේ විශාල වෙනස්කම් සිදුවෙමින් තිබේ. එසේම ජීවීන් වඳවීමට ඇති අවස්ථා ඉහළ ගොස් ඇති අතර ශාක හා සතුන්ගේ ව්‍යාප්තියේ හා ජීවන රටාවේ ද වෙනස්කම් ඇති වෙමින් තිබේ. එබැවින් අද වන විට ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව දේශගුණ විපර්යාස බවට විවාදයක් නොමැත.

ලංකාවටත් බලපෑම්

දේශගුණ විපර්යාස සඳහා සියලු රටවල් එකම ආකාරයෙන් දායක වී නැත. බොහෝ දියුණු වන රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අඩුය. 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයකු වර්ෂයක දී නිකුත් කරනු ලබන මුළු විමෝචන ප්‍රමාණයේ සාමාන්‍යය ටොන් 1.02ක් තරම් අඩු විය. එසේම හරිතාගාර වායු පිළිබඳ ශ්‍රී ලංකාවේ ගෝලීය දායකත්වය 0.03%ක් තරම් අඩුය.එහෙත් පසුගිය දශකය තුළ විමෝචන ප්‍රමාණයේ වෙනස්කම් සිදුවෙමින් පවතී.

දේශගුණ විපර්යාස නිසා අ‌පේ රටට ද විවිධ බලපෑම් සිදුවෙමින් පවතී. උෂ්ණත්වය ඉහළ යෑම, වර්ෂාපතන රටාව වෙනස් වීම, ආන්තික කාලගුණ තත්ත්ව සුලබ වීම, මුහුදු මට්ටම ඉහළ යෑම, කොරල්පර විරංජනය මේ අතරින් සමහරකි. මේවායින් බොහෝ අංශවලට බලපෑම් කළ හැකිය. අපේ රටේ ආන්තික කාලගුණ තත්ත්ව ඇති වීම මෑත කාලයේ දී ඉහළ ගොස් ඇත. කෙටි කාලයක් තුළ වැටෙන අධික වර්ෂාපතනය හා ඒ නිසා නිතර ගංවතුර තත්ත්ව ඇති වීම හා ක්ෂණික ගංවතුර ඇති වීම මීට නිදසුන්ය එසේම දිගුකල් පවත්නා නියඟයෙන් ද දැඩි බලපෑමක් ඇති කළ හැකිය. අධික උෂ්ණත්වය හා නියඟය නිසා තේ වැනි වැවිලි වගාවලට බලපෑම් ඇති වී තිබේ. එසේම රටේ ප්‍රධාන යැපුම් භෝග වගාව වන වී වගාවගංවතුරේ මෙන්ම නියගයේ ද බලපෑමට ලක් වේ. ශ්‍රී ලංකාව මෑත කාලයේ දී ගෝලීය අවදානම් දර්ශකයේ ඉහළම අවදානමක් ඇති රටවල් දහය අතරට පැමිණියේ මේ ආන්තික කාලගුණ තත්ත්ව නිසාය. එමෙන්ම වෙනත් භෝග, සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, සෞඛ්‍යය, ජෛව විවිධත්වය, සංචාරක ආදි අංශ රැසක දේශගුණ බලපෑමට ලක් වේ. එසේම අනාගතයේ දී එය අදට වඩා බරපතළ විය හැකිය.

මේ ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ 1850-1900 අතර කාලයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ඒ ඒ වර්ෂවල ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය කෙතෙක් ඉහළ ද යන්නයි. ආයතන කීපයක දත්ත වර්ණවලින් දැක්වේ. 

ගෝලීය විසඳුමක්

ගෝලීය උණුසුම් වීම හා දේශගුණ විපර්යාස පිළිබඳ ලෝකයේ අවධානය යොමුවීමෙන් පසු 1992 වර්ෂයේ දී මේ පිළිබඳව කටයුතු කිරීම සඳහා ජගත් මට්ටමෙන් ඇති වූ එකඟතාව දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) නම් වේ. ඒ යටතේ සංවර්ධිත රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා වූ කියෝටෝ සන්ධානය 1997 දී ඇතිකරගන්නා ලදි. කෙසේ වෙතත් එහි සාර්ථකත්වය පිළිබඳ ඇති වූ ගැටලුවලින් පසුව, ජගත් මට්ටමෙන් සම්බන්ධ විය හැකි නව ගිවිසුමක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයක් පිළිගන්නා ලදි. එහි ප්‍රතිඵලය ලෙස, 2015 වර්ෂයේ දී පැරිස් ගිවිසුම ඇති විය. 

පැරිස් ගිවිසුම යටතේ එකඟ වූ මූලික කරුණ වන්නේ 2100 වර්ෂය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2කටහෝ හැකි නම් අංශක 1.5කට සීමා කිරීමය. ඒ 19වන ශත වර්ෂයේ මැදභාගයේ දී පැවති උෂ්ණත්වයට සාපේක්ෂවය. අද වන විට ලෝකයේ උෂ්ණත්වය අංශක එකකට වඩා ඉහළ ගොස් ඇත. ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් ඉලක්ක අත්පත් කරගැනීමට නම්, හරිතාගාර වායු විමෝචන විශාල ප්‍රමාණයෙන් අඩුකිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු වේ. මෙය පහසු කරුණක් නැතත් කළහැකි දෙයකි. දේශගුණ විපර්යාසවල බලපෑම් වළක්වා ගැනීම මෙන්ම පිරිසුදු වාතය, පුනර්ජනනීය බලශක්ති අංශයේ රැකියා වැඩිකිරීම යනාදී බොහෝ ප්‍රතිලාභ ද ඉන් ලබා දෙනු ඇත.

මෙසේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ඉදිරිපත්ව ඇති මූලික ක්‍රමවේදය වන්නේ ‘ජාතිකව නිර්ණය කළ දායකත්ව’ (NDC) ක්‍රමවේදයයි. මේ යටතේ, ස්වේච්ඡාවෙන් තම රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඒ ඒ රටවල් තම රටට කළ හැකි කාර්යයන් පිළිබඳ විස්තර සහිත ප්‍රතිඥාවක් ලබා දී තිබේ. කෙසේ වෙතත් ඒ මුලින් පවසන ලද දායකත්ව ප්‍රයෝගික නොවන බව අනාවරණය වූ පසු ඒ ඒ රටවල් වැඩි දායකත්වයක් කැපවීමක් සිදුකරමින් 2021 වර්ෂයේදී යාවත්කාලීන කළ දායකත්ව ලබා දී තිබේ.

ලෝකයේ රටවල් 2021 දී ලබා දී ඇති දායකත්ව ප්‍රතිඥා පිළිබඳව විශ්ලේෂණය කරමින් 2022 අප්‍රේල් මාසයේ දී පළ වී ඇති අධ්‍යයනයකට අනුව ඒවා සියල්ල ඒ ආකාරයෙන්ම ඉටු කරන්නේ නම් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට සීමා කරගත හැකිය. කෙසේ වෙතත්, වඩාත් සුදුසු ඉලක්කය වන අංශක 1.5 සීමාවේ පවත්වා ගැනීම තවමත් අපහසු විය හැකිය.

ලංකාවට නවමඟක්

2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද සිය පළමු දායකත්ව ප්‍රතිඥාව ලබා දී තිබිණි. ඉන් පසුව ඒ දායකත්ව 2020 දී සමාලෝචනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2021-2030 අතර කාලය සඳහා වන දායකත්ව ඇතුළත් යාවත්කාලීන කළ දායකත්ව 2021 වර්ෂයේ දී අනුමත කරන ලදි. එහි ඇතුළත් වන පරිදි හරිතාගාර වායු විමෝචන අඩුකිරීම සඳහා බලශක්තිය, ප්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, වනාන්තර හා කෘෂිකර්ම යන අංශවල හරිතාගාර වායු විමෝචන 14.5%කින් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ප්‍රතිඥා ලබා දී තිබේ. එසේම විමෝචනය වන හා අවශෝෂණය කරන කාබන් විමෝචන ප්‍රමාණය සමාන වීම හෙවත් කාබන් උදාසීනතාවය 2050 වර්ෂය වන විට අත්පත් කරගැනීමට ද ශ්‍රී ලංකාව අභිලාෂකාමි ලෙස අපේක්ෂා කරයි.,

හරිතාගාර වායු විමෝචන අවම කිරීම

විශාල ලෙසින් හරිතාගාර වායු විමෝචනය කරන රටක් නොවන නිසා ඒවා අවම කිරීම සම්බන්ධව අපේ රටට කළ හැකි කාර්යය සීමා සහිතය. එහෙත් මේ පිළිබඳව ප්‍රධාන අංශ හයක්ඔස්සේ කළ හැකි ක්‍රියාමාර්ග හඳුනාගෙන තිබේ.

ප්‍රවාහන අංශය

මෙරට වැඩිම හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයක් සඳහා දායක වන්නේ ප්‍රවාහන අංශයයි.ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කරන අතර අංශයේ විමෝචන අඩු කිරීම අභියෝගයකි. ඒ සඳහා ප්‍රවාහන අවශ්‍යතා අඩු කිරීම, පොදු ප්‍රවාහනය භාවිතයප්‍රචලිත කිරීම, විමෝචන අවම හෝ නොමැති වූ ප්‍රවාහන මාධ්‍ය ප්‍රවර්ධනය හා මාර්ග පද්ධති දියුණු කිරීම මේ සඳහා භාවිත කරන උපායමාර්ග අතර වේ.

බලශක්ති අංශය

බලශක්තිය ද හරිතාගාර වායු විමෝචන සඳහා දායක වන ප්‍රධාන අංශයකි. මේ අංශයේ විමෝචන අවම කිරීම සඳහා පොසිල ඉන්ධන වෙනුවට සූර්ය බලය, සුළං බලය හා ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම, උපකරණවල හා පද්ධතිවල බලශක්ති කාර්යක්ෂමතාව දියුණු කිරීම, බලාගාර පරිවර්තනය කළ හැකි තාක්ෂණය භාවිතය වැනි පියවර ගත හැකිය.

කර්මාන්ත අංශය

මෙරට ආර්ථිකයේ වැදගත් අංගයක් වන කර්මාන්ත අංශයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ගත හැකි පියවර රැසක් වේ. ඒවායේ අවශ්‍යතා සඳහා පොසිල ඉන්ධන වෙනුවට තිරසර පුනර්ජනනීය බලශක්තිය (ජෛවස්කන්ධ වැනි) භාවිත කිරීම, පිවිතුරු නිෂ්පාදන ක්‍රමවේදය භාවිතය, චක්‍රිය ආර්ථික සංකල්පය හඳුන්වා දීම හා පරිසර හිතකාමී උද්‍යාන හා කාර්මික ගම්මාන පිහිටුවීම ආදිය වේ

අපද්‍රව්‍ය අංශය

විමෝචන සඳහා බලපෑමක් ඇති කරන අපද්‍රව්‍ය කළමනාකරණයේ විමෝචන සීමා කිරීමේ දී අපද්‍රව්‍ය ජනනය අඩුකිරීම මූලික වශයෙන් කළ හැකි කාර්යයකි. එසේම අපද්‍රව්‍ය වර්ගීකරණය හා ඒවා ප්‍රතිචක්‍රිකරණය හා කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදාගැනීම ඉහළ නැංවීම ද ගත හැකි පියවර අතර වේ. විදුලිය නිපදවීම සඳහා අපද්‍රව්‍ය යොදාගැනීම ද දැන් සිදුකරනු ලැබේත.

වනාන්තර අංශය

වනාන්තර වූ කලී පරිසර සරක්ෂණය සඳහා මෙන්ම හරිතාගාර වායු විමෝචන අවම කිරීම සඳහා දායක විය හැකි අංශයකි. මෙරට වන ආවරණය 2030 වර්ෂය වන විට 32%ක් දක්වා ඉහළ නැංවීම මේ සඳහා ඇති කර ගෙන තිබෙන ඉලක්කයකි. නගර, මහාමාර්ග දෙපස, රජයේ ඉඩම් හෝ ගෙවතු ආදි වනාන්තරවලින් පිටත ඇති ශාක වැස්ම වර්ධනය කිරීම ද හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා උපකාරී වේ.

කෘෂිකර්ම අංශය

කෘෂිකර්ම අංශයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා යොදාගත හැකි පියවර අතර භෝගවල පසු අස්වනු හානිය අඩු කිරීම, භෝග ඵලදාතාවය වර්ධනය කිරීම, කෘෂි කටයුතු සඳහා යොදාගන්නා බලශක්තියේ දී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය (සුර්ය හා සුළං) ආදිය වේ.

අලාභ හා හානි

දේශගුණ විපර්යාස නිසා ඇති වන අලාභ හා හානි තවත් වැදගත් අංශයකි. දේශගුණ අලාභ හා හානි, ආන්තික තත්ත්ව, සෙමෙන් ඇතිවන ආපදා පිළිබඳතත්ත්ව හා දැනුම පිළිබඳ හිඩැස් හා අඩුපාඩු හඳුනාගැනීම මෙහි දී වැදගත්ය.

එසේම මේවාට මුහුණ දීමේ දී පවත්නා කාලගුණ පුරෝකථන පද්ධති වැඩි දියුණු කිරීම හා දේශගුණ විපර්යාස නිසා ඇති වන අලාභ හා හානි පිළිබඳ තීරණය කිරීමට අපේක්ෂා කෙරේ.

එසේම අලාභ හා හානි වාර්තාකරණයද අවශ්‍ය වේ. අලාභ හා හානි සඳහා සියලු අංශ ආවරණය කරන ආකාරයේ ක්‍රියාකාරී ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කිරීමට යෝජිතය.

මේ දායකත්වය ප්‍රමාණවත් ද?

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ආයතන ගණනාවක් පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විවිධ කටයුතු සිදුකරයි. මෙහි දී ඊට දායක වීම සඳහා එක් එක් පුරවැසියා විසින්තම තමන්ගේ ජීවිතවල හා ජීවන රටාවේ යම් යම් වෙනස් වීම් සිදු කළ යුතු වේ.

‍ෙම් ගැටලුවේ පාර්ශ්වකරුවන් ලෙස මෙරට පුරවැසි අප සැම විසින්ම කළ හැකි කටයුතු ඇති අතර ඒවැනි පියවර කිහිපයක් මෙසේය.

* කෙටි දුර ගමන් සඳහා පැපැදි භාවිතය හෝ පයින් ගමන් කිරීම

* පුද්ගලික වාහන වෙනුවට දුම්රිය හා බස්රිය වැනි පොදු ප්‍රවාහන‌ සේවා භාවිත කිරීම

* නිවාස හා කාර්යාල මට්ටමින් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම

* නිවසේ දී හා කාර්යාලයේ දී බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතය

* කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතය

* උත්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩුකිරීම හා වැළැක්වීම (රූප - සීරෝ වේස්ට් සංකේතයක්?)

* අපද්‍රව්‍ය තෝරා නිසි පරිදි බැහැර කිරීම, ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු කිරීම හා කොම්පෝස්ට් නිපදවීම

* අප පරිභෝජනය කරන භාණ්ඩවල පරිසර බලපෑම් ගැන සැලකිලිමත් වීම

* ආහාර හා ජලය ඇතුළු භාණ්ඩ පරිභෝජනයේ දී අපට ප්‍රමාණවත් තරමින් එය සිදුකිරීම

* වනාන්තර සංරක්ෂණයට මෙන්ම වනාන්තරවලින් පිටත රුක් රෝපණ කටයුතු සඳහා දායක වීම

මේ ආකාරයෙන් තනි තනි පුද්ගලයා ගන්නා පියවර මගින් ඇති වන සාමූහික බලපෑම දේශගුණ සටන ජයගැනීමට ජාතික මට්ටමෙන් මෙන්ම ජගත් මට්ටමෙන් ද බලපෑමක් ඇති කරන්නකි.

විශේෂයෙන් වර්තමානයේ විමෝචන අඩු කිරීමට ලෝකය ලබා දී ඇති ප්‍රතිඥා මගින් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉලක්කයට සීමා කිරීමට මේ තනි පුද්ගලයන් ලෙස ගන්නා පියවර ද උපකාරී වනු ඇත.

මේවා අපේ දරුවන්ගේ හෙට දවස හා අපේ ලෝකයේ යහ පැවැත්ම වෙනුවෙන් ගන්නා පියවර වේ.

දේශගුණ විපර්යාසයවලට අනුහුරු වීම

අනුහුරු වීම සම්බන්ධව කටයුතු කිරීමේ දී අවධානය යොමුවන ප්‍රධාන ක්ෂේත්‍ර තුනකි. ඒ ආහාර සුරක්ෂිතතාවය, ඔරොත්තු දෙන පරිසර පද්ධති හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යනුවෙනි. ඒ අයටතේ හඳුනාගත් අංශ නවයක අනුහුරුවීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ.

ආහාර සුරක්ෂිතතාව

කෘෂිකර්මය, පශුසම්පත් හා ධීවර කර්මාන්තය සහ වාරිමාර්ග යන අංශවල එකතුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සඳහා ප්‍රධෘන කාර්යයක් ඉටු කරයි. අපේක්ෂිත උෂ්ණත්ව ඉහළ යෑම, අක්‍රමවත් හා අකලට වැටෙන වර්ෂාව හා මෝසම් වැසිවල අනපේක්ෂිත ස්වභාවය හා මුහුදු මට්ටම ඉහළ යෑම උක්ත අංශවලට දැඩි බලපෑමක් ඇති කළ හැකිය. මේ අංශවල යෝග්‍ය අනුහුරුවීමේ ක්‍රියාමාර්ග නොගතහොත් එය රටේ ආහාර සුරක්ෂිතතාවයට අභියෝගයක් වනු ඇත.

ඔරොත්තුදෙන පරිසර පද්ධති

ජෛව විවිධත්වය, වෙරලබඩ හා සාගර යන අංශවලට ඒවාටම අනන්‍ය වූ පරිසර පද්ධති, වාසස්ථාන හා ජීවී විශේෂ ඇතුළත් වේ. මේවායින් සැපයෙන පරිසර පද්ධති සේවා හරහා ඒවා මිනිසුන්ගේ යහ පැවැත්මට දායක වෙයි. දේශගුණ විපර්යාස නිසා ඇති විය හැකි පාරිසරික කලාප වෙනස් වීම, මුහුදේ මතුපිට උෂ්ණත්වය ඉහළ යෑම, වර්ෂාපතන වෙනස් වීම, මුහුදු මට්ටම ඉහළ යෑම වැනි බලපෑම් හේතුවෙන් ජීවීන්ගේ හා වාසස්ථානවල වෙනස් වීම් ඇති විය හැකිය. ඒ වෙනස් වීම් හඳුනා ගෙන, ඒ ජීවී විශේෂ හා වාසස්ථාන අනාගතයේ ඇති විය හැකි වෙනස්වීම්වලට ඔරොත්තු දෙන ලෙස මේ වෙනස් වීම් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස පියවර ගැනීම වැදගත්ය. එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවලට සමස්තයක් ලෙස අහිතකර බලපෑමක් ඇති විය හැකිය.මේ සම්පත් මත රඳා පවත්නා මූලික සේවා අංශයක් ලෙස සංචාරක කර්මාන්තය දැක්විය හැකිය.

සෞඛ්‍යයට හිතකර වාසස්ථාන

ඉහළ උෂ්ණත්වය හා කාලගුණ ආපදා ඇතිවන වාරගණන ඉහළ යෑම, ගංවතුර, නියගය හා නාය යෑම් අවදානම ඉහළ යෑම නිසා රෝග ව්‍යාප්තිය හා මරණ ඇති විය හැකිය. එසේම වාහනයන් මගින් ව්‍යාප්තවන රෝග ඉහළ යෑමෙන් රටේ නාගරික මෙන්ම අර්ධ නාගරික ප්‍රදේශවලවාසය සඳහා අසීරු තත්ත්ව ඇති විය හැකිය. එසේම දේශගුණ ගැටලු නිසා උග්‍ර විය හැකි මන්දපෝෂණය වැනි තත්ත්ව පාලනය කළ යුතු වේ.

Comments