සැත්කම් නොකර සන්ධි රෝග සුව කරන ඉසිවරයා | Page 2 | සිළුමිණ

සැත්කම් නොකර සන්ධි රෝග සුව කරන ඉසිවරයා

මෙවර අපේ සුව අරණ කතාබහට එක් වූයේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව හටගන්නා ගුද්‍රසි ස්නායු තෙරපුම හෙවත් සයිටිකා රෝග සුව කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයකි. එපමණක් නොව ආතරයිටිස්, අංශභාගය සහ සන්ධි ආශ්‍රිත රෝග සඳහා ඔහුගේ ප්‍රතිකාර අත් දුටු බොහෝ දෙනා එහි විස්මිත ගුණය ගැන පවසන්නේ ඉතා සතුටිනි. සයිටිකා රෝගීන් සඳහා බටහිර වෙදකම මඟින් සැත්කම් සිදු කරන්නේ රෝගියා වෙත වගකීම පවරමින් වුවද ඇතැම් විට එම සැත්කම් සාර්ථක වන්නේ සියයට 50කි. එහෙත් අප මේ කියන්නට යන වෛද්‍යවරයා කිසිදු සැත්කමකින් තොරව ඉතා කෙටි කාලයක් ඇතුළත සයිටිකා රෝගීන් සුව කරන්නේ ඍෂිවරයකු මෙනි. ඔහු නමින් වෛද්‍ය ගයාල් පෙරේරා ය. 

විදුහල්පතිවරයකු වූ බී.ඒ විලියම් පෙරේරා සහ ගුරුවරියක වූ ජේ.රණවකට දාව 1971 දෙසැම්බර් මස 22 වැනිදා ගංගොඩවිල දී උපත ලැබූ ඔහුගේ වේලපත්කඩය කියැවූ ජ්‍යෝතිෂවේදියා අනාවැකි පවසා ඇත්තේ හෙතෙම කෙදිනක හෝ රෝගීන් සුවපත් කරන වෙදැදුරකු වන බවය. එයින් ඉතා සතුටට පත් මවුපියෝ තම පුතණුවන්ට බමුණු ආරච්චිගේ ක්‍රිෂාන් ගයාල් පෙරේරා යැයි නම් තැබූහ. කුඩා කල පටන් ගයාල් පෙරේරා වෙදැදුරකු වීමට හීන මැව්වේ තම මැණියන්ගේ දෙසොහොයුරන් වෙදකම් කරනු දැකීමෙනි. ඔවුහු ගාල්ල කිරිනැළිය වෙද පරපුරට උරුමකම් කීවෝය.

වැඩි කල් යන්නට මත්තෙන් පියාට මහියංගණයට මාරුවක් ලැබීම හේතුවෙන් මව ද මාරුවීමක් ගෙන කුඩා ගයාල් සමඟ මහියංගණයට ගියේය. මැදගම කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත්ව වසර දෙකක පමණ කාලයක් එහි අකුරු කළ ගයාල් පසුව මහියංගණ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. ඉහළ ලකුණු ලබා ශිෂ්‍යත්වයෙන් සමත් වූ ගයාල් කොළඹ ඉසිපතන විද්‍යාලයට ඇතුළත් විය. නැන්දනියගේ නිවෙසේ සිට පාසල් ගියද මවුපියන් මතකයට එන විට කුඩා ගයාල්ට කොළඹ විසීමට සිත් නොදුන්නේය. ඒ වන විට මාපිය දෙපළ බදුල්ල ප්‍රදේශයේ පාසලකට මාරුවක් ලැබ එහි සේවය කරමින් සිටියහ. බදුල්ලට ගිය ගයාල් එතැන් සිට පාසල් දිවිය නිමා කළේ ද බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙනි. ජීව විද්‍යාව ඇතුළු විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියද ඔහුට විශ්වවිද්‍යාල වරම් අහිමි විය.එහෙත් ඔහු සිය අරමුණ අමතක නොකළේය. වෙදැදුරන් වූ සිය මාමාවරුන්ගෙන් මෙන්ම වෙනත් විවිධ වෙදැදුරන් සොයා ගොස් සිංහල වෛදකම පිළිබඳ අත්දැකීම් රාශියක් ලැබුවේය. අනතුරුව කොළඹට පැමිණි ගයාල් ඇක්වයිනාස් අධ්‍යාපන ආයතනයට බැඳී කෘෂිකර්ම ඩිප්ලෝමාව හදාරා ඉන් සමත්ව පෞද්ගලික ආයතනයක කෘෂි උපදේශකයකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. එහෙත් වෙදැදුරකු වීමේ ආශාව ඉන් යටපත් නොවීය. ගහකොළ සමඟ ගත කරන සෑම අවස්ථාවකදීම එය නව ප්‍රාණයකින් දලු ලා වැඩිණි. රැකියාවේ නිරත වන අතරතුර වෙදැදුරන් සොයා ගොස් වෙද හෙදකම් පිළිබඳ ප්‍රායෝගිකව උගත්තේය.

වැඩි කල් නොගොස් කෘෂි උපදේශක තනතුරුට සමු දුන් ගයාල්, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශාස්ත්‍රීය පාඨමාලාවට ඇතුළත් විය. එහිදී හඳුනා ගත් පාරම්පරික වෙදැදුරන් සමඟ කුලුපග වූ හෙතෙම ඔවුන් දන්නා ශාස්ත්‍රය ගුරු මුෂ්ටියකින් තොරව ලබා ගැනීමට තරම් වාසනාවන්ත විය. සර්වාංග වෙදකම පිළිබඳ අවධානයක් යොමු කළ හෙතෙම, කැඩුම් බිඳුම් වෙදකමට වැඩි ඇල්මක් දැක්වීය. ඒ පිළිබඳ විශේෂඥයන් සොයා ගමින් ගම ඇවිද යමින් සිය අධ්‍යයනය පුළුල් කර ගැනීමට හේ උත්සාහ ගත්තේය. වෛද්‍ය ගයාල් පෙරේරා ඒ මතක ආවර්ජනය කළේ මෙලෙසිනි.

“මට ලොකු ආශාවක් තිබුණා කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු රෝග ඇතුළු සන්ධි රෝග පිළිබඳ දැනගන්න. මොකද අපේ ශරීරයේ සියලු ක්‍රියාකාරකම්වලට බලපාන්නේ කොඳු ඇට පේළිය සහ ඒ ආශ්‍රිතව පවතින ස්නායු පද්ධතිය. ඒ නිසා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මා විවිධ දේශීය වෛද්‍යවරුන් යටතේ අධ්‍යයනය කළා. වැලිවේරියේ කේ.කේ සිරිපාල වෙද මහත්මයා කොඳු ඇට පෙළ, ස්නායු රෝග ගැන විශාල අවබෝධයක් තිබූ අයෙක්. මා ඔහු වෙත ගොස් ඉගෙන ගත්තා. ඔහු කිසිදු ගුරු මුෂ්ටියක් නැතිව මට ඒ දැනුම ලබා දුන්නා. ඒ වගේම රත්නපුරේ හීන්නිලමේ වෙද මහත්මයා කැඩුම් බිඳුම් වෙදකම ගැන විශේෂඥයෙක්. වෛද්‍ය මනෝජ් මැදගොඩගේ සර්වාංග වෙදකම ගැන විශේෂඥයෙක්. වෛද්‍ය නාමල් ජයරත්න කොළඹ බොරැල්ල ආයුර්වේද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක්. ඒ වගේම කඩවත ප්‍රියන්ත වෙද මහතාත් කැඩුම් බිඳුම් වෙදකම ගැන ප්‍රවීණයෙක්. ඒ අය වගේම තවත් බොහෝ වෙදැදුරන්ගේ ඇසුර ලබමින් මම මගේ දැනුම වැඩි දියුණු කර ගත්තා. ඒ හැම අධ්‍යනයකින්ම උකහාගත් දැනුම එක්තැන් කරලා මගේ පර්යේෂණත් ඊට එකතු කරලා මම මගේම වෛද්‍ය ක්‍රමයක් ගොඩනඟා ගත්තා. ඒ සඳහා නිල වෙදකම පිළිබඳව කළ අධ්‍යනයනුත් මට ගොඩක් උපකාර වුණා. මේ සියලු අධ්‍යයනයන් උකහා ගෙනයි මම වෙදකමට පිවිසුණේ. මේ වනවිට මගේ වෛද්‍ය දිවියට වසර 20ක්.” 

සාමාන්‍යයෙන් කොඳු ඇටපෙළ ආශ්‍රිත ස්නායු රෝගී තත්ත්වයන් හට ගන්නේ එදිනෙදා ජීවිතයේදී අප සිදු කරන ක්‍රියාකාරකම්වලදී මුහුණ දෙන විවිධ අනතුරු හේතුවෙනි. ඇතැම් විට නිසි ඉරියවුවෙන් තොරව බරක් ඔසවා ගෙන යෑම, නිවැරදිව පුටුවක වාඩි වී නොසිටීම, නිවැරදි ඉරියව්වෙන් නිදා නොගැනීම වැනි කරුණු නිසා ද කොඳු ඇටපෙළ ආශ්‍රිතව රෝගී තත්ත්වයන් නිර්මාණය විය හැකිය. එසේම කිසියම් ස්ථානයක ලිස්සා යෑමකින් උකුළු ප්‍රදේශය වේගයෙන් බිම පතිත වීමෙන්, උස් ස්ථානයක සිට පහළට වැටීමෙන් හදිසි අනතුරුක් හේතුවෙන් කොඳු ඇට පෙළේ සිදු වන ගැස්සීමකින් ආදී විවිධ අනතුරු නිසා ද මෙවැනි රෝගී තත්ත්වයකට ගොදුරු විය හැකිය. මෙවැනි අනතුරුක් සිදු වන අවස්ථාවේදී අප බොහෝ දෙනකු ඒ ගැන එතරම් සැලකීමක් නොදැක්වුවද පසුව කිසියම් වේදනාවක් ඇතිවූ පසු වෛද්‍යවරුන් වෙත යෑම සාමාන්‍ය සිරිතය. වෛද්‍ය ගයාල් පෙරේරා ‍ එවැනි රෝගීන් රාශියක් සඳහා ප්‍රතිකාර කර සුවපත් කළ ජීවකයෙකි. 

“සාමාන්‍ය‍ෙයන් ගුද්‍රසි රෝගය නැතිනම් ස්නායු තෙරපුම කියල කියන්නේ කෙනෙකුගේ කොඳු ඇටපෙළේ ඇතිවන ස්නායු තෙරපීමයි. එය විලුඹ දක්වා පැතිරී යනවා. දණ හිස නවා දිගහැරීමේ දී තද වේදනාවක් දැනෙනවා නම් එය ගුද්‍රසි රෝගී තත්ත්වයක්. මෙය සයිටිකා කියා බටහිර වෙදකමේදී හඳුනා ගැනෙනවා. ඒ වගේම ගෙල ආශ්‍රිත ස්නායු තෙරපුම තවත් රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වයන් වර්ධනය වීම නිසා කෙනකු අංශභාගයට ගොදුරු විය හැකියි. ඒ වගේම ළමයින්ගේ කොඳු ඇට පෙළ ඇදවීම, කොඳු ඇට පෙළේ කැල්සියම් තැන්පත් වීම, කොඳු ඇට පෙළ දිරා යෑම වැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමට බොහෝ දෙනකු මා ළඟට පැමිණෙනවා.

නිදසුනක් ලෙස කෙනෙක් පය ලිස්සා යෑමෙන් කොන්ද බිම ඇණුනා කියල හිතමු. ඒ අවස්ථාවේ ඇතැම් විට ඔහුට ක්ලාන්ත ගතියක් ඇති වෙන්න පුළුවන්. එවිට නිවැසියන් කරන්නේ ඔහු හෝ ඇය ළඟම ඇති රෝහල වෙත රැගෙන යෑමයි. එහිදී එක්ස්රේ එකක් ගෙන ඒ පිළිබඳව විමසා බලා ඇතැම් වෛද්‍යවරුන් පවසන්නේ “බයවෙන්න දෙයක් නැහැ උකුළු ඇටේට මුකුත් වෙලා නැහැ, පැරසිටමෝල් පෙති දෙකක් බිව්වම වේදනාව අඩුවෙලා යයි ”කියලා. නමුත් මේ ගැස්සීම නිසා අන්තර් ක්ශේරුකා මඟල නැත්නම් ඩිස් එක එක් පැත්තකින් යන්තමට එළියට පැමිණිය හැකියි. සරලව කිව්වොත්, පිටි ගුලියක් උඩින් සහ යටින් දෙපැත්තකින් තද වුණාම එළියට එනවා වගේ අපේ මේ කොඳු ඇට දෙකක් අතර තියෙන අන්තර් ක්ශේරුකා මඟල බාහිරින් ඇතිවන අධික තෙරපුම නිසා යන්තම් එළියට එනවා. මේ නිසා විටින් විට වේදනාව ඇති වෙන්න පටන් ගන්නවා. බටහිර වෛද්‍යවරයකු ළඟට ගිය ගමන් කරන්නේ මේ සඳහා වේදනා නාශක ලබාදීමයි. නමුත් ඉන් රෝගය සුව වන්නේ නැහැ. වේදනා නාශකවලින් වේදනාව අඩු වෙන්නේ නැතිව ගියාම වේදනා නාශක එන්නත් කරනවා. මේ කාලය තුළ නැවත වතාවක් රෝගියා ලිස්සා වැටුණොත් අර එළියට ආපූ කුඩා කොටස බුබුළක් ආකාරයට පිම්බෙනවා. ඒ තත්ත්වයට ආපුවාම වේදනාව වැඩි වෙනවා වගේම අංශයක් පණ නැති වෙන්න වුණත් පුළුවන්. එහිදී බටහිර වෙදකම අනුව සැත්කමකින් එය ඉවත් කළ යුතු වෙනවා. එයත් සාර්ථක වෙයිද කියලා නිශ්චිතව කියන්න බැහැ. ඒ නිසා තමයි එම සැත්කමේ වගකීම රෝගියාට පවරමින් ලිඛිත සටහනක් තබා අත්සන් ගන්නේ. මොකද මෙය ඉතාම අපහසු සැත්කමක්. වෙනත් ස්නායුවක් කැපී ගියහොත් රෝගියා සදාකාලික අංශභාග රෝගියකු බවට පත් විය හැකියි. නැතිනම් සදාකාලිකව ඇඳකට සීමා විය හැකියි. කිසියම් විදියකින් එය සාර්ථක වුණත් පසුකාලීනව සිදුවන සුළු වැටීමකින් නැවත එය මතුවිය හැකියි. මොකද එය සැත්කමකින් ඉවත් කළාම සිදු වන්නේ බැලුමක හුළං ගියා වගේ එය නැතිව යාමයි. තරලයක් මුකුත් පිටතට එන්නේ නැතිව එය සීල් වෙනවා. නමුත් වැටීමේදී කොඳු ඇට පෙළේ ඇති වන ඇදය ඉන් හැදෙන්නේ නැහැ. කාලයක් ගිහින් යන්තමින් හරි නැවත තුනටිය බිම වැදුණ ගමන් නැවතත් එය එළියට එනවා. ඒ නිසා සැත්කමකින් මෙයට දිගුකාලීන සාර්ථක විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් අපේ වෙදකමේ දී සිදු වන්නේ වැටීම නිසා ඇද වූ කොඳු ඇට පෙළ කිසියම් ආකාරයකට ප්‍රකෘති තත්ත්වයට ආසන්න ආකාරයට නැවත සකස් කිරීමයි. එය සිදු කරන්නේ තෙල් බෙහෙත් සහ පත්තු ආධාරයෙන්. එවිට ක්‍රමයෙන් අන්තර් ක්ශේරුකා මඟල යථා තත්ත්වයට පත් වෙනවා. සැත්කමට සතියක් තියා මා වෙත පැමිණි බොහෝ රෝගීන් මා ඉතා කෙටි කාලයකින් සුවපත් කර තිබෙනවා”

ඊට අමතරව අතපය හිරි වැටීම, ඇඟිලි පුරුක්, මැණික්කටුව, උරහිස, ගෙල ප්‍රදේශයේ සහ දණහිසේ ඇතිවන වේදනාවන්, කොන්දේ කැක්කුම ආදී රෝගී තතත්වයන් ඉතා කෙටිකාලයකින් සුව කිරීමට වෛද්‍ය ගයාල් පෙරේරාට ඇත්තේ විස්මිත හැකියාවකි. ඒ ගැන අප ඔහුගෙන් විමසුවෙමු.

“සාමාන්‍යයෙන් බටහිර වෙදකම අනුව ඇඟිල්ලක් රිදුණත් කියන්නේ ආතරයිටිස් කියලා. ආතරයිටිස් වර්ග දෙකක් තියෙනවා. ඒ රුමෙටොයිඩ් ආතරයිටිස් සහ ඔස්ටියෝ ආතරයිටිස්. මේ දෙකෙන් දරුණුම වර්ගය රුමෙටොයිඩ් ආතරයිටිස්. මේ තත්ත්වයට කෙනෙක් පත්වෙන්නේ ඉතාම කලාතුරකින්. නමුත් බොහෝ දෙනා ආතරයිටිස් කියල හඳුන්වන්නේ සන්ධි රෝගයි. සමහරු ආතරයිටිස් කිව්වම මාරාන්තික රෝගයක් වැලඳුනා වගේ බියට පත් වෙනවා. නමුත් මේ රෝග බොහොමයක් හට ගන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු ආබාධ නිසා. බොහෝ දෙනා තුළ “ආතරයිටිස් සනීප කරන්න බැහැ. නිර්වින්දන ඖෂධ ගැනීම විතරයි කළ හැක්කේ” කියලා පුහු මතයක් තියෙනවා. නමුත් ඒ ඕනෑම රෝගියෙක් මා වෙත පැමිණියහොත් සුව කළ හැකි බව ඉතා විශ්වාසයෙන් කියනවා.

ඒ වගේම අපේ දරුවන්ට පාසල් අවධියේ සිටම නිවැරදි ඉරියවු පුරුදු පුහුණු කළ යුතුයි. ඇයි පුටුවක් මේ විදියට සකස් කරලා තියෙන්නේ කියන අවබෝධය ඒ අයට දෙන්න ඕන. එහෙම වුණොත් කොඳු ඇට පෙළ ඇද වීමේ රෝගයෙන් දරුවන් බේරගන්න පුළුවන්. අද හුඟක් ටියුෂන් පන්තිවල පුටුවක් වෙනුවට තියෙන්නේ බංකුවක්. ළමයා ඩෙස් එකට බරදීලා නැමීගෙන පැය දෙක තුනක් එකදිගට වැඩ කරන නිසා දරුවන් ඉක්මනින් කොඳු ඇටපෙළ ඇද වීමේ රෝගයට ගොදුරු වෙනවා. මේ ගැන මවුපියන් සැලකිලිමත් විය යුතුයි. සල්ලි දීලා උගන්වලා දරුවා ලෙඩෙක් වුණොත් වැඩක් නැහැනේ. ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිල්ල යොමු කරන්න කියලා මවුපියන්ගෙන් ඉල්ලනවා.”

අවසාන වශයෙන් වෛද්‍ය ගයාල් පෙරේරා එවදන් කීවේ නිරෝගී දරු පරපුරක් තැනීමේ ජාතික වගකීමට උර දී සිටින ඉසිවරයකු ලෙසිනි. ඔබත් ඉහත කී රෝගාබාධවලින් පීඩා විඳිනවා නම්, නොපමාව වෛද්‍ය ගයාල් පෙරේරා හමු වන්න. හොරණ බස් නැවතුම්පොළෙන් රත්නපුර පාරේ කිලෝ මීටර් එකහමාරක් පමණ ගිය තැන ප්‍රධාන පාරට මුහුණලා ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇති බව ද ඔබගේ පහසුව වෙනුවෙන් සටහන් කරමි.

Comments