සතියේ කල දවස | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - අධ්‍යාපන කටයුතුවලට සුබයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11 සහ 12 වැන්න මතිනි. ආරම්භයේදීම පුණ්‍ය කටයුත්තකට සහභාගි වන අතර, චිත්ත ධෛර්යයෙන් යුතුව වැඩ කරයි. ගෘහ ජීවිතය තුළ සුළු මතභේද ඇති වුවත් දුරදිග නොයයි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට හැකි අතර, ප්‍රාථමික දුවා දරුවනට දෙමාපිය සහයෝගය අත්‍යවශ්‍ය වේ. තුනටියෙන් පහළ අවයවවල සහ විශේෂයෙන් පාදවල වේදනා සහ අසනීප මතු කරයි. ආරම්භයේ පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමෙන්ම අපල මග හැරේ.

අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා

වෘෂභ - මිල මුදල් ලාභ‍

සඳු ගමන් කරන්නේ 8, 9, 10 සහ 11 වැන්න මතිනි. ආරම්භය තරමක් අසුබදායී බවක් පෙන්නුම් කළද මැද කොටසේ සිට යහපත්ය. ගෘහ ජීවිතය තුළ සාමකාමී බව ඇතිවේ. ආදායම් තත්ත්වය සුබ අතට හැරේ. රැකියාව වෙනුවෙන් ඇවිදිලි වැඩිවෙයි. බලාපොරොත්තු නොවූ මුදලක් අතට ලැබේ. අජීර්ණ රෝග, කලවා සහ පාදවල අසනීප මතු වෙයි. හැකි නම් සතිය ආරම්භයේ කරඳ කොළ මත පහන් 7ක් තබා වර්ණවත් සහ සුවඳ මල් බෝධීන් වහන්සේට පූජා කරන්න.

අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස - සිකුරාදා

මිථුන - ආදායම් ඉහළට

සඳු ගමන් ආරම්භ කරන්නේ 7, 8, 9 සහ 10 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ සමාදානය පෙන්වයි. අගහිඟකම් ඇති නොවේ. දුවා දරුවන්ට සිය ඉගෙනීමේ කටයුතු හරිහැටි සිදුකර ගැනීමට හැකියාව ඇත. පොතපත කෙරෙහි ඇල්ම වැඩිවේ. රැකියා සහ ආදායම් ඉපයීමේ මාර්ගවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ මල බද්ධය, මුත්‍රා ආසාදන, පාදවල සහ තුනටිය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි බැවිනි. කොහොඹ පැළයකට ජලය දැමීමෙන් අපල අවම වේ.

අය 11, වැය 8, සුබ අංකය 3, සුබ වර්ණය කොළ, සුබ දවස සඳුදා

කටක - ගෘහ ජීවිතයේ සමගිය වැඩිවේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය සමගියෙන් ගෙනයයි. රැකියා හා ව්‍යාපාර අංශවලින් වැඩි ලාභ ප්‍රයෝජන අත් නොවුනත් එදිනෙදා වියදම් පියවා ගැනීමට හැකි වාතාවරණයක් සැලසේ. කොඳු ඇට පෙළේ වේදනා, මුත්‍රා දෝෂ, අජීර්ණ රෝග, පාදවල වේදනා මතුවිය හැකි අතර, සතුරු කරදර ආදියට ද ඉඩ ඇත. සඳුදා උදෑසන සුදු මල් චෛත්‍යයක් අබියස පුදා කරණීය මෙත්ත සූත්‍රය කියා සතියේ වැඩ ආරම්භ කරන්න.

අය 8, වැය 6, සුබ අංකය 2, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා

සිංහ - දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ

රැකියා සහ ආදායම් මාර්ගවලින් සිතන තරම් ලාභයක් අත් නොවුණද උත්සාහය අත් නොහැර කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. වකුගඩු, මුත්‍රා දෝෂ, අජීර්ණ, තුනටියේ වේදනා පෙන්නුම් කරයි. චිත්ත පීඩා ඇතිවන ආරංචි ද පැමිණිය හැකිය. එසේ නොමැති නම් හිතවතකු අමනාප වීම, ලෙඩදුක් අසන්නට ලැබෙයි. හැකි නම් මේ වස් කාලය තුළ බෝමළුව පිරිසුදු කර පැන් බඳුනක් බෝධියට දමන්න. අපල දුරුවී සහනය සැලසේ. අය 5, වැය 4, සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

කන්‍යා - ස්වයං රැකියාවලට සුබයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ ගැටලු සාකච්ඡා මඟින් සමාදානයෙන් විසඳා ගනියි. රැකීරක්ෂා ව්‍යාපාර අංශවලින් සාමාන්‍ය ආදායමක් උපයයි. නිවෙසේ සිට කරනු ලබන ස්වයං රැකියාවලට සුබයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය උසස්වේ. දැඩි උනන්දුවකින් වැඩ කරයි. උදර රෝග, ගර්භාෂගත රෝග සහ මලබද්ධය ඇති විය හැකිය. ඉගෙන ගන්නා දරුවකුට අවශ්‍ය කරන සුළු දෙයක් හෝ රැගෙන දීමෙන් අපල අඩුවේ.

අය 8, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

තුලා - සහෝදර උපකාර හිමිවේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. සොයුරු සොයුරියන්ගෙන් උදවු උපකාර හිමි වේ. මේ සතියේ ගෙදරදොර වැඩකටයුතු සාර්ථක වේ. යුග දිවිය තුළ තරමක ගැටලුකාරී තත්ත්වයන් මතුවේ. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලින් මවුපියන්ට සතුටු විය හැකි අන්දමේ ප්‍රතිඵල පෙන්නුම් කරයි. කොඳුඇට පෙළේ වේදනා, උදර රෝග, හෘදය සම්බන්ධ ගැටලු මතු කරයි. හැකි නම් සඳුදා දින උදේ පළමු පැය 6 -7 අතර චෛත්‍යයක් අබියස සුදු හා තැඹිලි වර්ණ මල් පූජා කර ජය පිරිත කියන්න.

අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සෙනසුරාදා

වෘශ්චික - ධන ලාභ සහිත සතියක්

සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න මතිනි. රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ඉපයිය හැකි සතියකි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද දායක වෙයි. සහෝදර බැඳීම් වැඩිවේ. සහජ දක්ෂතා ඔප් නැංවෙන අතර ඒවාට ජයග්‍රහණ ද හිමි වේ. දත්වල සහ ඇස් රෝග හට ගත හැකිය. හැකි නම් අඟහරුවාදා දින උදේ හෝ සවස චෛත්‍යයක් අබියස රතු මල් පූජා කර අභිසම්භිධාන පිරිත කියන්න.

අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

ධනු - බැඳීම් වර්ධනය වේ

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 සහ සිවුවැන්න මතිනි. සුබ සතියකි. අතපසු වූ වැඩ කොටස් යළි ආරම්භ කිරීමට කටයුතු කරයි. දියුණුවට කටයුතු සලස්වා ගැනීමට උනන්දු වේ. සහෝදර බැඳීම් වර්ධනය වන අතර මවුපියන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් වෙහෙසෙයි. ආර්ථිකය යැපීමට ප්‍රමාණවත්ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙයි. සෙම් රෝග, මුඛ රෝග, උරහිස වේදනා, හෘදය ආශ්‍රිත රෝග මතු කරයි. වෙල් මාළුන්ට, තිරිසන් සතුනට ආහාර දීමෙන් අපල අවම වේ.

අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා

මකර - කෘෂි කාර්මික අංශයේ දියුණුව

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2 සහ 3 වැන්න මතිනි. සතිය මුලදී රැවටිලි ආදියට භාජනය වීම හා පාඩු සිදු විය හැකි වුවත් සතියේ මැද කොටස සුබය. කරන කියන කටයුතුවලින් ප්‍රයෝජන ලබයි. කෘෂිකාර්මික කටයුතුවලද නියැළේ. ආර්ථිකය තරමක් සුබ වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ඵල ප්‍රයෝජන ගත හැකි වාතාවරණයක් ඇත. පා ඇඟිලිවල තුවාල හා පාදවල වේදනා මෙන්ම මුහුණු අවට ඉන්ද්‍රියයන්ගේ අසනීප ඇති විය හැකිය. ආරම්භයේ බුදුන් වහන්සේට පැන් බඳුනක් තබන්න.

අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා

කුම්භ - ලොතරැයි දිනුම්

සඳු ගමන් ආරම්භ කරන්නේ 11, 12, 1 සහ දෙවැන්න මතිනි. අතමිට මිල මුදල් ගැවසේ. විදෙස් ගමන් සඵල වේ. මානුෂීය ගුණධර්ම වර්ධනය වන අතර පුණ්‍ය කටයුතු සිදු කරයි. උසස් අධ්‍යාපනය ලබන දුවා දරුන්ට සුබඵල පෙන්වයි. ආර්ථිකය ශක්තිමත් වේ. එහෙත් වංචනික අයගේ ප්‍රයෝගවලට හසු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. හැකි නම් සතිය ආරම්භයේ වයසක දුර්වල අයකුට ආහාර වේලක් දෙන්න. සහනය සැලසේ.

අය 8, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා

මීන - විදෙස් ගමන් සඵල වේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකියා සහ ආදායම් මාර්ගවලින් අතමිට සරුවේ. ඇවිදිලි වැඩිවේ. නොසිතූ මිල මුදලක් ලැබීමට ඉඩකඩ පවතී. ගෘහ ජීවිතය සාමකාමීය. විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට සුබදායකය. හිතවතුන් අමනාප වීමට ඉඩ ඇති බැවින් වචනය වචනය පරෙස්සමෙන් හසුරු වන්න. කලවා සහ පාදවල වේදනා මතු කරයි. සතිය ආරම්භයේ බෙලිමල්, රණවරා වැනි කහපාට ගිලන්පස තුන් බෝධියටත් භික්ෂුන් වහන්සේලාටත් පූජා කරන්න.

අය 11, වැය 8, සුබ අංකය 9, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා

Comments