රට ගියත් නොගි­යත් දැන ගත යුතුයි මේ ඇත්තත් | සිළුමිණ

රට ගියත් නොගි­යත් දැන ගත යුතුයි මේ ඇත්තත්

මේ වසරේ මුල් මාස 08 තුළ විදේශ ගමන් බලපත්‍ර හෙවත් පාස්පෝට් 700,000 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණේ මෙවැනි පසුබිමක ය.

2022 වසරේ මාස අට තුළ නිකුත් කරන ලද මෙම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය මඟින්, 2016 වසරේ මුළු වසර සඳහාම නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර 658,725 ක වාර්තාව අබිබවා යමින් සර්වකාලීන ඉහළම සංචාරක ලියකියවිලි නිර්මාණය කර ඇති බවද වාර්තා වේ.

දෙපාර්තමේන්තුවේ ඉතිහාසයට අනුව 2022 අගෝස්තු අවසානය දක්වා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම, පසුගිය වසරේ එම කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර 171,168 සිට 705,412 දක්වා 312% කින් තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි. අගෝස්තු මාසයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රතිඵලය ද පෙර වසරේ එම කාලය තුළ නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍ර 28,976 ට සාපේක්ෂව, 297% ක සැලකිය යුතු ඉහළ යාමක් ලෙස ඔවුන් සඳහන් කළ බව ද වාර්තා වී තිබිණි.

එමෙන්ම, අගෝස්තු මාසයේ දී එක් දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් 116,244 ක් ලැබී ඇති අතර, ඒ මාසය තුළ නිකුත් කර ඇත්තේ 115,152 ක් පමණක් බව දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති අතර, ඔවුන්ට අනුව 2022 වසරේ මුල් මාස අට තුළ මාසිකව විදේශ ගමන් බලපත්‍ර 88,170 කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්, බන්දුල හරිශ්චන්ද්‍ර පැවසූයේ මෙවැනි අදහසකි.

"ගමන් බලපත්‍ර ඉල්ලුම මේ ආකාරයට වැඩි වීමට හේතුව සොයා බැලීම සඳහා, අප පසුගිය දිනවල නියැඳි පරීක්ෂණයක් කළා. ඒ, රටේ විවිධ පළාත්වලින් ආ විවිධ සමාජ ස්ථරවල පුද්ගලයන් 200ක් සහභාගී කර ගනිමින්. එයින් හෙළි කරගත් එක් කාරණයක් වූයේ, මේ හුඟ දෙනෙක් පාස්පෝට් එක හදා තිබෙන්නේ රැකියාවක් නිශ්චිතවම ලැබිලා නෙවෙයි. ලැබෙන ඕනෑම අවස්ථාවක විදේශගත වීමේ අරමුණින්.

ඒ අනුව, 53%ක්ම පාස්පෝට් සාදා තිබෙන්නේ විදේශගත වීමේ අරමුණ ඇතිව වුණත්, කරන රැකියාව පිළිබඳ නිශ්චිත අරමුණක් නැතිවයි. ජීවන වියදම දරා ගැනීමට නොහැකි වීම සහ රටට විදේශ විනිමය එවීමට හැකි වුවහොත් තම පවුලේ අයට යහපත් ජීවිතයක් ගෙවීමට හැකි යැයි ඔවුන් තීන්දු කර ඇති නිසා. කෙසේ වෙතත්, පාස්පෝට් ඉල්ලුම ඉහළ ගිය මේ කාලවකවානුව තුළ එම සේවාව ලබා දීම සඳහා අප උපක්‍රම කිහිපයක් භාවිත කළා.

අපේ ක්‍රියාත්මක වන්නේ Online Appointment ක්‍රමයක්. එහිදී එක් දින සේවාව සඳහා 1,000 කටත් සාමාන්‍ය සේවාව සඳහා 800කටත් අවස්ථාව ලබා දුන්නා. නමුත් මේ තත්ත්වය තුළ එක් දින සේවාව 2,500 දක්වා ඉහළ නැංවූවා. ඒ වගේම කිසිම කලින් වෙන්කර ගත් වෙලාවක් නැතිව ලිඛිතව තහවුරු කළ හැකි, කල් දැමිය නොහැකි තත්ත්වයක දී හදිසියේ විදේශගත වන්නට සිදු වුවහොත් ඒ අයට ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කළා. ඔවුන්ට පෝලිමෙන් පිට යන්න අවස්ථාව දුන්නා. ඒ ක්‍රමය තවමත් ක්‍රියාත්මකයි. අප දැනට නිකුත් කර තිබෙන්නේ සහ වැඩිපුරම නිකුත් කරන්නේ මැද පෙරදිග සේවා පාස්පෝට්. අප 99%ක්ම මුදල් අය කර සේවාව ලබා දෙන රාජ්‍ය ආයතනයක්. ඒ නිසාම අපි රාජ්‍ය ආදායමට විශාල දායකත්වයක් ලබා දෙන ආයතනයක්. පිටරට ඉන්න අපේ අයට එක් දින සේවාවකදී සහ විදේශිකයන් අපෙන් ලබා ගන්නා සේවාවක දී අප අය කරන්නේ ඩොලර්වලින්.

කොහොම වුණත් අප පාස්පෝට් පමණක් නෙවෙයි, තවත් සේවා රැසක් ලබා දෙන ආයතනයක්. අපි තමයි මේ රටේ දේශ සීමා පාලකයා වන්නේත්. අපේ රටේ සීමාව පනින්න බැහැ, අපේ රටේ වලංගු ගමන් බලපත්‍රයක් නැතිව. ඒ වගේම, ඒ සීමාව පනින කෙනාට වීසා බලපත්‍රයක් තිබිය යුතුයි. ඒ වගේම අපේ සීමාවට ඇතුළු විය යුත්තේ තොටුපළකින්. එම තොටුපළ යනු, වරායක් හෝ ගුවන් තොටුපළක් විය හැකියි. මේ වෙනුවෙන්ම පාස්පෝට් කන්තෝරුවේ තොටුපළ අංශයක් වෙනම තිබෙනවා. ශ්‍රී ලංකා දේශ සීමාවට ඇතුළු වන ඒ තොටුපළවල අප නිලධාරීන් කටයුතු කරනවා.

ඒ වගේම පුරවැසි පනත ක්‍රියාත්මක කරන්නේත් අපි. ද්විත්ව පුරවැසිභාව ය අහෝසි කරන්නත්, අදාළ නීතිමය කටයුතු කරන්නේත් අපි. ඒ වගේම වීසා අවසර බලපත්‍ර නිකුත් කරන්නේත් අපි. නේවාසික, සංචාරක, ව්‍යාපාරික, අධ්‍යාපනික, සෞඛ්‍ය ආදී විවිධ වීසා ප්‍රමාණයක් අප ආයතනය නිකුත් කරනවා.

එක් දින සේවාව සඳහා රු.15,000ක් සහ සාමාන්‍ය සේවාව සඳහා රු. 3,500 කුත් පමණක් ගෙවා කරගත හැකි වැඩේට, නොවටිනා මුදල් ගෙවා කරගන්නා අයත් සිටිනවා. මේ ගැන කොයි තරම් දැනුම්වත් කළත්, ජනතාවත් ඒ වැරැද්ද කරනවා.

ඒ වගේම, ඈත ගම් දනව්වලින් එන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගැටලු තිබෙන අය වෙනුවෙන් වෙනම සුබසාධන අංශයකුත් තිබෙනවා. අකුරු නොදන්නා සහ ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට එම කවුන්ටරයෙන් උදවු කරනවා. ඒ තැන්වලින් ප්‍රයෝජන ගන්න ජනතාවට පුළුවන්..."

මේ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, අජිත් දිසානායක පැවසූයේ මෙවැනි විවරණයකි.

" අද වෙනකොට විශ්වවිද්‍යාලවල දෙවැනි තුන්වැනි වසරවල සිසුන් පවා පිටරට යන්න අවස්ථා හොයනවා. සමහර අය පාස්පෝට් හදලා හොරෙන්ම වගේ යනවා. ඒ තත්වයට රට පත් වෙලා කියන්නේ බරපතළ තත්ත්වයක්. මොකද මේ යන්න හදන්නේ නිකම්ම නිකම් පිරිසක් නෙවෙයි. යමක් කමක් කර ගන්නට පුළුවන් උගතුන් ටික.

එවැනි පසුබිමක මේ වසරේ අගෝස්තු වන විට ලක්ෂ 7කට ආසන්න පිරිසක් පාස්පෝට් හදලා කියන එක, සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මොකද, රටක වටිනාම සම්පත තමයි මානව සම්පත. රටක දියුණු වෙන්න ඕනේ පළමු දේ තමයි, මානව ප්‍රාග්ධනය.

හැමෝම පිටරට යන්න හදනවා කියන්නේ, කෙටි කාලීන වාසි තිබුණත් දීර්ඝ කාලීනව රට අගාධයට යනවා කියන එක. අනෙක තමයි, මෑත කාලීනව විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස සේවයට ආ බොහෝ අය පශ්චාත් උපාධි සඳහා යැයි කියමින් විදේශගත වනවා. ඔවුන් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලක්ෂ 30 ක් විතර ණය ගන්නවා. ඊළඟට, විශ්වවිද්‍යාලය ඇතුළේ ඉගෙන ගෙන ඇවිත් තමන්ගේ විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුවල තත්ත්වය උසස් කිරීම සඳහා කටයුතු කරාවි යන අරමුණ ඇතිව ලබා දෙන ණය මුදලෙන් තවත් ලක්ෂ 40ක් විතර ගන්නවා. ඔය විදියට ලක්ෂ 180 දක්වා ණය ගත් අයත් ඉන්නවා. කැලණිය විශ්වවිද්‍යාලයේ විතරක් මේ විදියට එක එක අරමුදල්වලින් සල්ලි අරන් පශ්චාත් උපාධි සඳහා පිටරට ගිය 13 දෙනකුගෙන් ආපහු ආවේ දෙන්නයි. 11 දෙනකුම ආවේ නැහැ. කෝටි ගණන් රටේ සල්ලිත් අරන්, උපාධිත් අරන් එහෙම නතර වෙලා. කෝ මේවට නීති?

මේ එක විශ්වවිද්‍යාලයක් විතරයි. විශේෂයෙන් රජරට, නැ‌ෙඟනහිර, ඌව වෙල්ලස්ස, සබරගමුව වගේ විශ්වවිද්‍යාලවල ඔය විදියට සල්ලි අරන් පැනපු අය වැඩියි. හේතුව, ඒ විශ්වවිද්‍යාලවලට අලුතෙන් ආ පිරිස වැඩියි. ඒ අයව සහ ඒ විශ්වවිද්‍යාල දියුණු කරන්න ඕනේ නිසා ජනාධිපති අරමුදලින් සහ විද්‍යා පදනම් පවා ඒ කාලේ සල්ලි දුන්නා. සමහර අය ගියේ පවුල් පිටින්. මේ තමයි, උගතුන් රටේ සල්ලි අරන් පැනලා යන විදිය. මේවා නියාමනය කිරීම වහාම ආරම්භ කරන්නට ඕනේ.

හොඳට මතක තබා ගන්න. මේ විදියට ලක්ෂ ගණනින් රට යෑම පිටුපස තිබෙන්නේ හොඳ කතාවක් නෙවෙයි. රටේ අනාගතයට සෘජුවම බලපාන දරුණු ඛේදවාචකයක්.

මේ බුද්ධිගලනය කියන එක, රටකට හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා බොහෝ රටවල් ප්‍රතිපත්තියක් ලෙස ප්‍රති බුද්ධිගලනයක් සඳහායි, සිය රටේ ප්‍රතිපත්ති මෙහෙයවන්නේ. ඒ කියන්නේ විදේශගතව සිටින බුද්ධිමතුන් නැවත රටට ගෙන්වා ගන්නයි සැලසුම් හදන්නේ. නමුත් අපේ රටේ ප්‍රති බුද්ධිගලනය ඇති කිරීම වෙනුවට, බුද්ධිගලනය ඉතා හොඳින් සිදුවීමට අවස්ථාව හදා දී තිබෙනවා. මේ අය ලංකාව දාලා වෙන රටවල සේවයට යන එක හොඳයි, රටට ඩොලර් එනවා නම්. එහෙම එකක් මෙතතැන වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව හැමදාම දුප්පත් රටක්..."

ඒ විතරක් නෙවෙයි, මේ ඛේදවාචකයේ උඩින් නොපෙනෙන තවත් බරපතළ පැත්තක් තිබෙනවා. ඒ තමයි, මේ වගේ රට යන්න දැඩි වුවමනාව තිබෙන අය තමන්ගේ ගේ දොර ඉඩකඩම් හරි විකුණලා යන එක. එහෙම විකුණන ඉඩකඩම් මිලට ගන්නේ කවුද? අඩුවක් නැතිව සල්ලි තිබෙන්නේ කා ළඟද? මුදල් බලය තිබෙන එක්තරා ව්‍යාපාරික කොටසක්, එක්තරා වාර්ගික කණ්ඩායමක් නොදැනීම ක්‍රමක්‍රමයෙන් මේ රටේ ඉඩම් හිමි බලය අයිති කර ගනිමින් සිටිනවා. කොළඹට මේ දේ වෙලා තිබෙනවා. ලන්ඩනයටත් මේ දේම වෙලා තිබෙනවා.

ලන්ඩන් නුවර අද 60%ක් එංගලන්ත ජාතිකයන්ට නෙවෙයි උරුමය. ලන්ඩන් භූමියේ වැඩි අයිතිය තිබෙන්නේ, අරාබි ජාතිකයන්ට. සුල්තාන්වරුන්ට. ඒකම තමයි ක්‍රමක්‍රමයෙන් ලංකාවෙත් සිද්ධ වෙමින් පවතින්නේ. මේ තමයි පාස්පෝට් දීම වැඩි වුණාය කියන කතාව පිටුපස තිබෙන අතිශය ශෝචනීය සහ අතිශය ඛේදනීය සමාජ විද්‍යාත්මක විවරණය..."


 

 

Comments