
පෙර ලිපි මඟින් ගණදෙවියන්ට සිදු කරනු ලබන පූජාවන් ද ස්තෝත්‍ර ද එයින් ප්‍රයෝජනයක් ලබා ගෙන ගණදෙවි ආශීර්වාදය ලබාගන්නා අයුරු ඔබ දැනුම්වත් කළ ද තවත් බොහෝ ආකාරයේ ගණදෙවි පූජාවන් පැවැත්වෙන බව ඇතැම් විට ඔබ නොදන්නවා ඇත. ගණදෙවියන්ගේ පිහිට භක්තියෙන් සහ විශ්වාසයෙන් යුතුව අයැද සිටින්නන්ට එය අනිවාර්යයෙන් ලැබෙන බව බැතිමතුන්ගේ විශ්වාසයයි. එබැවින් ගණදෙවියන් සඳහා ඔබගේ නිවෙසේදීම කළ හැකි පූජාවක් සහ ගණදෙවි පිහිට ලබා ගැනීමට සරලව සිදු කළ හැකි පූජාවක් ගැන මෙවර ඔබ දැනුම්වත් කරමි.
ගණදෙවියන් සඳහා සිදු කරනු ලබන ‘කලාසම් පූජාව’ හා ඉතා සබැඳි ලෙස සිදු කළ හැකි මේ පූජාව සඳහා ඔබට පොල් ගෙඩියක්, බුලක් කොළ 4ක්, කහ සහ සුදු පාට මල්, ඇඹුල් කෙසෙල් හෝ රත් කෙසෙල් ගෙඩි 2ක්, සින්දුර්, සුදු හඳුන්, තින්නෝරු හෙවත් සාම්බ්‍රානි කුඩු ස්වල්පයක් සූදානම් කර ගන්න. මෙය ද සරල එහෙත් ගණදෙවියන් දැඩි කැමැත්තක් දක්වන පූජාවකි. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් විභාග ආදියට මුහුණ දීමට යන අවස්ථාවේදී මෙය සිදු කර ගෙන යෑමට හැකි නම් ඉතා මහඟු ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.
පළමුව පොල් ගෙඩිය ගෙන පිරිමි බෑය මඳක් වැඩි වන ලෙස බිඳ ගන්න. මෙහිදී එම පොල් වතුර ටික ද පිරිසුදු භාජනයකට එකතු කර ගන්න. ඉන් පසු බුලත් කොළ 3ක් ගෙන එහි නටුව පැත්ත ඇතුළට සිටින ලෙස ‘කලාසම’සකස් කර ගත් ආකාරයට තැන්පත් කර ගන්න. ඒ මත කෙසෙල්, කහ සහ සුදු පාට මල් බුලත් කොළයක් මත තබා සින්දුර්, සුදු හඳුන් කුඩු සහ තින්නෝරු හෙවත් සාම්බ්‍රානි ස්වල්පයක් තැන්පත් කර එය ද එහි තබන්න. මේ පූජාව ඔබට නිවෙසේදී පහන පත්තු කරන ස්ථානයේ හෝ කෝවිලකදී පූජා කළ හැකිය. කෝවිලකදී නම් පූජා කිරීමෙන් පසුව එය ඔබට නැවත ලැබීමට සලසන අතර, නිවෙසේදී සිදු කරන්නේ නම් එය ගණදෙවි රූපය අසලම තබන්න.
ඔබ එකතු කරගත් පොල් වතුර පිරිසිදු පිත්තල බඳුනකට හෝ වීදුරුවකට දමා එය ද පූජා කළ හැකිය. ඉතුරු පොල් බෑය ද මෙම පොල් බෑය ද පසුව ඔබට කිරි ආහාරයක් පිසීම සඳහා යොදාගත හැකිය. එහෙත් මෙහිදී හොඳින්ම සිහි තබාගත යුත්තේ එම පොල් කුමන අවස්ථාවකදීවත් පිලී සහිත ආහාර පිසීමට යොදා නොගැනීමටයි. වඩාත් සුදුසුම දේ වන්නේ එයින් කිරිබතක් සෑදීමයි. එය ද කුඩා පිත්තල භාජනයකට ගුලි වශයෙන් ස්වල්පයක් සුදානම් කර පූජා කළ හැකිය.
මෙය ගණදෙවියන් ඉතා ප්‍රිය කරන පූජාවක් වන අතර, බොහෝ හින්දු භක්තිකයන් නිතරම සිදු කරනු ලබන්නකි.
ඔබ නිවෙසේ ගණදෙවියන් හට පුද පූජා පවත්වන්නේ නම් ඔබට යන එන ගමන්බිමන්වලදී ආරක්ෂාවත් සාර්ථකත්වයක් ලබා ගත හැකි දෙයක් නිවෙසේදී ඔබටම පිළියෙල කරගත හැකිය. ඒ සඳහා කෝවිලක් හෝ දේවාලයක් අසල ඇති පූජා භාණ්ඩ අලෙවි සැලකින් සුදු හඳුන් කුඩු, සින්දුර් සහ තින්නෝරු හෙවත් සාම්බ්‍රානි කුඩු ස්වල්පයක් බැගින් මිලට ගන්න. ඒවා පිරිසුදු පිත්තල භාජන තුනක වෙන වෙනම තැන්පත් කර සුදු හඳුන් කුඩුවලට පිරිසුදු ජලය මුසුකොට කලවම් කර තලපයක් ලෙස සාදා ගන්න. මෙය චන්දනම් යනුවෙන් හඳුන් වනු ලබයි. මෙම භාජන තුනම දෙවියන්ගේ රූපය ඉදිරියෙන් තබා පහන් පත්තු කරන්න. ඉන් පසු මීට පෙර ලිපියෙන් ඉදිරිපත් කළ ගණදෙවියන් සඳහා වන ස්තෝත්‍ර ගායනා කරන්න. දින 3කට පසුව ඔබ වැදගත් කටයුත්තක් වෙනුවෙන් නිවෙසින් පිටත් වන විට එයින් තිලකයක් තබාගෙන යන්න. ඔබට යහපතක්ම සැලසෙනුඇත.
ඔබ ගණදෙවියන්ගේ පිහිට පතා බාරයක් ගැට ගසන විට එය ඉෂ්ට වූ පසුව පූජා කිරීමට ගණදෙවියන්ගේ ආභරණ වශයෙන් සැලකෙන අංකූශයක්, ත්‍රිශුලයක්, කෙටේරියක්, පන්හිඳක්, චාමරයක්, සෙම්බුවක්, අක්ෂයක්, නෙළුම් මලක්, ස්වස්තිකයක්, පුස්තකයක් යනාදිය පිත්තලෙන් නිමවා පූජා කිරීමට බාර විය හැකිය. විශේෂයෙන් දරුවන් සම්බන්ධ කරුණුවලදී ගණදෙවි රුවක්, සංඛයක් හෝ සෙම්බුවක් කලාසම ලෙස පූජා කිරීමට බාර හාර විය හැකිය.
ශ්‍රවණ සහ කතා කිරීමේ ආබාධයක් ඇති දරුවන් වෙනුවෙන් සීනුවක්, මිනි ගෙඩියක් හෝ රිදී පහනක් බාර වී එය ඔප්පු කළ හැකිය. ගණදෙවියන් අසරණ අයට ආදරයක් පිහිටක් දක්වන හෙයින් අසරණ දරුවන්ට ආහාර, ඉගෙනුමට පොතපත, දුගී අයට ආහාර සහ වස්ත්‍ර පූජාකර ඒ පින් ගණදෙවියන්ට අනුමෝදන් කර ඔබට ද ඒ පිහිට ලබා ගත හැකිය.
මෙම ක්‍රියාවන් නිසි ලෙස ඉටු කොට භක්තියෙන් විශ්වාසයෙන් යුතුව ගණදෙවියන් වැඳ ගණදෙවි පිහිට ලබාගන්න.