මීග­මු­වෙන් පැන්නත් ප්‍රංශ දූප­තක හිර­වුණු දැහැමි දුව | සිළුමිණ

මීග­මු­වෙන් පැන්නත් ප්‍රංශ දූප­තක හිර­වුණු දැහැමි දුව

 

 

ස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කරන්න එපා ඔබ නැවත හරවා එවනු ලැබේ'. මේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මෑතක සිට මෙරටට මාධ්‍ය මඟින් දිගින් දිගටම ජනතාව දැනුම්වත් කරන්නේ මෙසේය. නීති විරෝධි සංක්‍රමණය නිසා ඕස්ට්‍රේලියාව මුහුණපා සිටින අසීරු තත්ත්වය එයින් මනාව පිළිබිඹු වේ.

 

මේ වසරේ මුල සිට මෙරට පැවති අයහපත් ආර්ථික තත්ත්වය නිසා නීති විරෝධීව මුහුදු මඟින් ඔස්ට්‍රේලියාව, ඉතාලිය සහ සෙසු යුරෝපා රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ වර්ධනයක් දක්නට ලැබිණි.

නාවික හමුදාව මේ ගැන ලොකු අවධානයකින් පසු වී එසේ නීති විරෝධිව මුහුදු මඟින් විදෙස් රටවලට සංක්‍රමණය වන පුද්ගලයන් සහ බහුදින ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තීව්‍ර කරන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිටය.

එසේ රට වටා සාගරයේ සිදු කරන ලද මේ මෙහෙයුම්වලදී මෙරට අනවසර සංක්‍රමණිකයන් රැගත් බහුදින ධීවර යාත්‍රා 20ක් පසුගිය අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් දක්වා අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවිය. ඒවායේ ගමන් කළ නීති විරෝධි සංක්‍රමණිකයන් 852ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වු අතර ගොඩබිමදී අත්අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 229කි.

ගිය වසරේදී අනවසර සංක්‍රමණිකයන් රැගත් බහුදින යාත්‍රා 1ක් සහ පුද්ගලයන් 103 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.

නාවික හමුදාව පැය 24 මුළුල්ලේම මේ අනවසර සංක්‍රමණිකයන් රැගත් බහුදින යාත්‍රා ගැන සෙවිල්ලෙන් පසු වුවත් මිනිස් ජාවාරම්කරුවන් නාවික හමුදා මුර යාත්‍රාවලට ද හසු නොවී ඇතැම් අවස්ථාවල යාත්‍රා කරන්නේ ඉතා සුක්ෂමවය. නාවික හමුදා මුර යාත්‍රාවලට හසු නොවී එලෙස අනවසර සංක්‍රමණිකයන් ද රැගෙන පලා ගිය යාත්‍රා සංඛ්‍යාව 5කි. එසේ ඕස්ට්‍රේලියාවට එම යාත්‍රා මඟින් ගිය පුද්ගලයන් 238 දෙනෙකුම යළිත් මෙරටට පිටුවහල් කර තිබීමද

සුවිශේෂිය.

ශ්‍රී ලාංකික මිනිස් ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන නාවික හමුදාව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා අවධානයෙන් පසු වෙද්දි පසුගිය දිනෙක වාර්තා වූයේ අනවසර සංක්‍රමණිකයන් 46 දෙනකු රැගෙන මීගමුව ප්‍රදේශයෙන් පිට වූ 'දැහැමිදුව' නැමැති බහුදින යාත්‍රාව ආගිය අතක් නැති බවයි.

දැහැමි දුව මීගමුව ප්‍රදේශයේ මුහුදෙන් යාත්‍රා කිරීම ආරම්භ කර තිබුණේ ජුලි 21 වැනිදාය. මේ තොරතුරු ලැබීමත් සමඟ නාවික හමුදාව මේ ගැන සොයා බැලුවත් ඒ වන විට දැහැමි දුව යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් තිබිණි. එහෙත් පොලිස් බුද්ධි අංශ සහ සී.අයි.ඩී. ය මේ යාත්‍රාවේ ගමනාන්තය ගැනත් එහි ගිය පුද්ගලයන් සහ මිනිස් ජාවාරම්කරු ගැනත් සෝදිසි කිරීම ආරම්භ කර තිබිණි.

ඒ අනුව බුද්ධි අංශ සොයා ගන්නේ හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි ප්‍රකට මිනිස් ජාවාරම්කරුවකු ද මේ ජාවාරම පිටුපස සිටින බවයි.

තොරතුරු හෙළි වූ අන්දමට මේ ධීවර යාත්‍රාවේ ස්කීපර් හෙවත් නියමුවා ඔහුය. අඹකඳවිල ජාවාරම්කරුවා සමඟ ඔහුගේ බිරිය මේ යාත්‍රාවේ ගමන් කළාය. එහි ගමන් කරන පුද්ගලයන් අතර කුඩා

ළමයින් ද සිටින බව හෙළිවන්නේ මේ අතරය.

මෙසේ යාත්‍රා කරන දැහැමි දුව බහුදින යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේදී ආපදාවකට ලක්ව ඇති බව හෙළිකර ගැනීමට ද බුද්ධි අංශවලට හැකිවිය.

එසේ කාර්මික දෝෂයකට ලක් වු දැහැමි දුව යාත්‍රාව පසුගිය මාසයේ 16 වැනිදා දියාගෝ ගාර්ෂියා දූපත දෙසට පාවී ගොස් ඇති බව ද එතැන් සිට එම යාත්‍රාව ගැන කිසිම තොරතුරක් අනාවරණය වී නැති බව ද හෙළි වන්නේ ඉන්

අනතුරුවය.

මේ අතර එම යාත්‍රාව දුටු අසල යාත්‍රා කරමින් තිබුණු නෞකාවක් දැහැමි දුව යාත්‍රාව දියාගෝ ගාර්ෂියා දුපතට ගෙන ගොස් තිබිණි. ඉන් අනතුරුව දෙදිනකට පසු දැහැමි දුව නැවත ගමන් ආරම්භ කරන්නේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කර ගැනීමෙන් අනතුරුවය.

එලෙස යාත්‍රා කරන දැහැමි දුව ඉන් අනතුරුව අත්අඩංගුවට ගන්නේ රියුනියන් දූපතේ ආරක්ෂක අංශ මඟිනි. රීයුනියන් දූපත පිහිටා ඇත්තේ ඉන්දියානු සාගර කලාපයේ මැඩගස්කරයට නැ‍ෙඟනහිර දෙසිනි.

එහි විදේශිකයෝ ලක්ෂ දහයක් පමණ වාසය කරන අතර එය ප්‍රංසයට අයත්ය. දැහැමි දුව ධීවර යාත්‍රාවේ හලාවත, කල්පිටිය, මීගමුව, පුත්තලම ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිටින බවට මේ වන විට තොරතුරු හෙළිවී ඇත. එහෙත් එම පුද්ගලයන්ගේ ඥාතීන් කිසිවකු මේ ගැන පොලිසියට පැමිණිලි නොකිරීම ද සුවිශේෂීය.

මේ යාත්‍රාවේ ස්කීපර් හෙවත් නියමුවා හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි නොම්මර එකේ මිනිස් ජාවාරම්කරුවකු බව තොරතුරු හෙළි වන්නේ ඔහුට මීට පෙර ද මිනිස් ජාවාරම් චෝදනා එල්ලවී තිබූ නිසාය. මේ පුද්ගලයා එවැනි ජාවාරම් සම්බන්ධයෙන් මීට පෙර ද පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකි.

රියුනියන් දූපත් වෙරළාරක්ෂක නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන ඇති 46 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම ගැන ඉදිරියේදී කුමනාකාරයකින් කටයුතු කරනු ඇත්දැයි මෙතෙක් පැහැදිලි නැත.

 

 

Comments