පිය­යුරු පිළිකා අව­ධා­නය අව­දා­න­මෙන් මිදීමේ මඟයි | Page 2 | සිළුමිණ

පිය­යුරු පිළිකා අව­ධා­නය අව­දා­න­මෙන් මිදීමේ මඟයි

ක්තෝබර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකමින් පියයුරු පිළිකා පිළිබඳ ජාත්‍යන්තර දැනුවත් කිරීම් කරන්නේ මේ වන විට ලංකාවේත්, ලෝකයේත් දිනෙන් දින කාන්තාවන් අතර පියයුරු පිළිකා වැඩි වීමේ අවදානම කරණ කොටගෙනය. ශ්‍රී ලංකාවේ වසරකට පිළිකාවෙන් පමණක් 14,000 ක් මියයති. දිනකට නව රෝගීන් 90 ක් සොයා ගනිද්දී ඊට සමගාමීව පිළිකා රෝගීන් 40-45 ක් දිනකට මියැදෙති. ලංකාවේ පමණක් නොව ලෝකයේත් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති පියයුරු පිළිකා රෝගීන් පමණක් වසරකට 4,500 කට ආසන්න ප්‍රමාණයක් අඩු වැඩි වශයෙන් හඳුනා ගැනෙන අතර, දිනකට හඳුනා ගන්නා පියයුරු පිළිකා රෝගීන් ගණන 14 ක් පමණ වෙයි. මේ හේතුවෙන් අප රටෙහි වසරකට 700 දෙනකු මිය යන අතර, දිනකට දෙදෙනකු පමණ මියයති.

 

වර්තමානය වන විට පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ප්‍රවණතාවයක් පවතින අතර කලින් හදුනාගතහොත් අවදානමින් මිදීමේ හැකියාවද ඇති පිළිකා වර්ගයකි. පියයුරු පිළිකා යනු ලොව පුරා කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ පිළිකාවකි. පසුගිය දශක කිහිපය තුළ, පියයුරු පිළිකා ඇති වීම ගෝලීය වශයෙන් ඉහළ ගොස් ඇති අතර, පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර නියෝජිතායතනයේ (IARC) දත්තවලට අනුවද පියයුරු පිළිකා මරණ අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් ගෙන ඇත. ලංකාවේ කාන්තාවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින පිළිකා අතර 26.2 % ක් වැලඳී ඇත්තේ පියයුරු පිළිකාවය. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා 13% ක්ද, ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා 7% ක්ද, ගැබ්ගෙල පිළිකා 6% ක් මේ වන විට හඳුනා ගෙන ඇත්තේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ 2019 අවසන් දත්ත වාර්තාවට අනුවය.

පියයුරු පිළිකා ඇති වීම වයස අවුරුදු 50න් පසු ආර්තවහරණයත් සමඟ සිදුවන්නක් බව බොහෝ දෙනාගේ මතයයි. නමුත් වයස අවුරුදු 20 සිට පියයුරු පිළිකා සෑදීමේ හැකියාවක් පවතින බව දිනෙන් දින හමුවන රෝගී වාර්තා අනුව පැහැදිලි වන කරුණකි. වෛද්‍ය වාර්තා අනුව අන් පිළිකා වර්ග මෙන් නොව පියයුරු පිළිකා මුල් අදියරේදී හඳුනාගැනීමෙන් අතුරු ආබාධ හට ගැනීමකින් තොරව ප්‍රතිකාර මඟින් අවදානම අඩු කරගත හැකිය. ඒ සඳහා ප්‍රතිකාර කිරීමේ පහසුකම් මෙන්ම මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමේ පහසුකම්ද අප රජයේ රෝහල් සතුව පවතී.

“ පිළිකාවක් කියන්නේ අසාමාන්‍ය මෙන්ම පාලයකින් තොරව සිදුවන සෛල වර්ධනයක්. පියයුරු පිළිකාවක් අවදානමක් හෝ මරණාසන්න තත්ත්වයන් දක්වා වර්ධනය වන්නේ මුල් අවස්ථාවේ එය නිසි හඳුනා ගැනීමකින් තොරව ප්‍රතිකාරයක් සිදු නොවූ විටදියි. පියයුරෙන් වර්ධනය වන මේ පිළිකා සෛල අවසානයේ ඉන් බැහැරට රුධිරය හා වසා ගැටිති දක්වා වර්ධනය වී අවසානයේ අක්මාව, පෙනහලු, මොළය අස්ථි දක්වා වර්ධනය විය හැකියි. පියයුරු පිළිකාවක් ඔඩු දුවන මේ තත්ත්වය භයානකයි.

පියයුරේ සිදුවන වෙනස් වීම රෝගයේ මූලික ලක්ෂණයක් ලෙස අවදානයෙන් සිටීමෙන් හඳුනාගත හැකියි. මීට අමතරව පියයුරේ ඇතුළත ගැටිත්තක්, පියයුරු සමේ වෙනස්වීමක්, පියයුරේ තුවාලයක්, පියයුරු තුඩුවේ ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක් මෙහි ආරම්භක හා හඳුනා ගැනීමේ රෝග ලක්ෂණයි. මීට අමතරව කිහිල්ලේ වසා ගැටිති, කුද්දටි (වේදනාවක් ඇති හෝ නොමැති) පියයුරු පිළිකාවක් වීමේ හැකියාව පවතිනවා. ආර්ථවහරණයේදී පියයුරේ වේදනාවක් ඇති වීම සාමාන්‍ය දෙයක් වුවත්, දිගින් දිගටම එය ඇතිවීම අසාමාන්‍ය තත්ත්වයක්. මේ පිළිබඳ අවධානයෙන් පසුවීම අවදානම අඩුකර ගැනීමේ එකම මාර්ගයයි“ ඒ අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සිදත් විජේසේකරය.

2005 වසරේදී වසරකට නව පිළිකා රෝගීන් 13,372 ක් සොයා ගනිද්දී 2019 වසරේදී නව පිළිකා රෝගීන් 31, 848 ක් වාර්තා විය‍ පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ වසරකට අලුතින් පිළිකා ‍රෝගීන් 31,000 ක් පමණ සොයා ගන්නා බවත් මේ වැඩිවීමේ ප්‍රවණතාව දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බවයි. නමුත් කාන්තාවන් අතර බහුලව වැලඳෙන පිළිකාවන් අතර පියයුරු පිළිකා විශේෂත්වයක් ගන්නා අතර, වෛද්‍යවරු අවධාරණය කරන්නේ කලින් හඳුනාගැනීම මේ පිළිකාවෙන් ගැලවීමේ එකම මඟ වශයෙනි.

“ පියයුරු පිළිකාවක් කලින් සොයා ගතහොත් මුල් අවස්ථාවේදීම සාර්ථක ප්‍රතිකර්ම හරහා එය මර්දනය කර ගැනීමේ හැකියාව පවතිනවා. මුල් අවස්ථාවේදී පියයුරේ ඇතිවන ගැටිත්තක් කාලයක් යාමේදී වර්ධනය වී පියයුරෙන් බාහිරව තවත් ප්‍රදේශ කරා ව්‍යාප්ත විය හැකියි. රුධිරය හා වසා ආශ්‍රයෙන් පියයුරෙන් ආරම්භ වන පිළිකාව අනිකුත් ස්ථාන කරා ගිය විට එහි දෙවැනි අවස්ථාව සංකීර්ණ විය හැකියි. 2019 වසරේ තුළ පියයුරු පිළිකා රෝගීන් 4447 දෙනෙක් වාර්තා වුණා. ඒ වගේම දිනකට රෝගින් 14 ක් පමණ වාර්තා වුණා. පියයුරු පිළිකා සම්බන්ධයෙන් ලංකාවේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ මේ රෝගය ප්‍රමාද වී සොයා ගැනීමයි. ඒ වගේම මිය යන ප්‍රමාණය නිශ්චිතව පැවැසීමට නොහැකියි. “ඒ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍ය ඩබ්ලිව්. එම්. එස්. වීරකෝන්ය.

වෛද්‍ය වීරකෝන් පවසන පරිදි ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයකට 33 දෙනෙකු පියයුරු පිළිකා අවදානමට නතු වන බවකි. එසේම මෙය කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටද යම් තාක් දුරකට අවදානමක් ගෙන දෙන අතර වසරකට පිරිමින් 100 දෙනෙක් පමණ හමුවෙන බවයි. නමුත් ලොව පිළිගත් සිද්ධාන්තය වන්නේ පියයුරු පිළිකා හැදීමේ අවදානම කාන්තාවන්ට සිය ගුණයක අවදානමක් ගෙන දෙන බවකි.

“ තමන්ගේ පියයුරු ගැන තමන්ම දැනුම්වත් විය යුතුයි. ස්වයං පියයුරු පරීක්ෂාව සැම මසකට වතාවක්ම සිදුකළ යුතුයි. තම පියයුරුවල පොඩි හෝ වෙනසක් ඇත්නම් සුවනාරි සායනවලට හෝ ළඟම ඇති සෞඛ්‍ය සායනයට හෝ රෝහලකට ගොස් ඒ සම්බන්ධ පරීක්ෂාවන් සිදුකර ගත යුතුයි. අවුරුදු 40 න් පසු සෑම කාන්තාවක්ම මේ කටයුත්ත සිදු කළ යුතුමයි. එසේම තමන්ගේ ඥාතියෙකුට පියයුරු පිළිකාවක් තිබුණොත් මේ පර‍ීක්ෂා කිරීමේ වාර ගණන වැඩිකළ යුතුයි. කාත්නාවක් වයසට යාමේදි පියයුරු පිළිකා හැඳීමේ අවදානම වැඩිවෙනවා. එසේම වයස අවුරුදු 20 සිට පියයුරු පිළිකා රෝග ලක්ෂණ හඳුනාගැනීමට හැකියාව පවතිනවා.“ ඒ වෛද්‍ය ඩබ්ලිව්. එම්. එස්. වීරකෝන්ය.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසන්නේ අවදානම් සාධක පාලනය කරගනිමින් පියයුරු පිළිකාවේ අවදානම අඩුකර ගැනීමට නම් රෝගය කලින්ම හඳුනා ගැනීම ඉතා වැදගත් බවයි.

“ කාන්තාවන් දැනගත යුතු කරුණ වන්නේ කලින් හඳුනාගතහොත් පියයුරු පිළිකාවේ අවදානම අඩුකර ගත හැකිවනවා මෙන්ම සම්පූර්ණයෙන්ම පිළිකාවෙන් සුව විය හැකියි. නමුත් අපේ රටේ කල්තියා මෙය හඳුනාගැනීමක් සිදු වන්නේ නැහැ. විදේශ රටවලට සමගාමීව අපේ හඳුනා ගැනීම 50%යි. ලංකාව පුරාම ඇති රෝහල් සායන, සුවනාරි සායන වැනි ස්ථානවලින් මෙන්ම දැනට ආරම්භ කර ඇති පියයුරු සායන හරහා හෝ මේ පරීක්ෂා කරවා ගත හැකියි. කෙනෙක් වයසට ගිය පසු ඉදිරිපත් වීම අඩු යි.

ඒ නිසා මේ වයස් කාලයේදී පිළිකාව අවදානම් තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව වැඩියි. සමහර අය පියයුරෙන් ලේ පැල්ලමක් එන අවස්ථාවේ තමයි බය වෙලා පෙන්නන්න යන්නේ. නමුත් ඒ වන විට පිළිකාව භයානක තත්ත්වයකට පත්විය හැකියි. මේ නිසා අවුරුදු 20 න් ඉහළ වයස් සිමාවේ අය මසකට වතාවක් හෝ පියයුරු පරීක්ෂාව සිදුකළ යුතුයි. මාස් ශුද්ධිය අවසන් වූ පසුයි පියයුරු පරික්ෂාව සිදු කළ යුතුය. අප යම් කාලයක සිට පුරුද්දට මෙන් මේ පරික්ෂාව සිදු කරනවා නම් පිළිකාව පහසුවෙන් හඳුනාගත හැකියි. විදේශයන්වල Screening Test හරහා පියයුරු පරීක්ෂාවන් සිදු කරනවා. නමුත් අපේ රටේ එවැනි පහසුකම් අඩුයි.“ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දුය.

මේ වන විට පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාන 4 ක පිහිටුවා ඇත. නාරහේන්පිට, යාපනය, රත්නපුර හා මාතර පිහිටුවා ඇති කලින්ම පිළිකා රෝගය හඳුනා ගැනීමේ මේ මධ්‍යස්ථාන හරහා අවශ්‍ය පරීක්ෂාවන් සිදු කරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. පිළිකා සම්බන්ධ අදහස් දක්වන විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ අපගේ දෛනික චර්යාවන්හි යම් වෙනස්වීම් පිළිකා අවදානමකට අත වනන බවකි. විශේෂයෙන්ම සිරුරේ ස්ථුලතාව පාලනය කිරීම, නියමිත ශරීර ස්කන්ධ දර්ශකයක් පවත්වා ගෙන යාම, සිරුරේ අධික තෙල් පාලනය කිරීම, ව්‍යායාම මෙන්ම ආහාර රටාවන්හි වෙනස්කම් ඇති කිරීම තුළින් මේ අවදානම අඩුකර ගත හැකි බවයි. යම් යම් හෝර්මෝන වර්ග ගැනීම මෙන්ම විකිරණශීලි ප්‍රතිකාරයන්ට යොමුවීම මෙන්ම පවුලේ අයට රෝගය මතු වී තිබීම වැනි කරුණු කාරණා ඇතිනම් වඩාත් සැලකිලිමත්විය යුතු බව වෛද්‍යවරු පවසති. එසේම උසට සරිලන බරත් පවත්වා ගෙන යාම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.

මුලාශ්‍ර - ජාතික පිළිකා මර්දන වැඩ සටහන

 

Comments