පර්චස් 10 කින් එළ­වළු වත්තක අස්වැන්න ගත් ගොවි රජෙක් | Page 2 | සිළුමිණ

පර්චස් 10 කින් එළ­වළු වත්තක අස්වැන්න ගත් ගොවි රජෙක්

 

 

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක ඉදිවූ සරුසාර ගෙවත්තක් පිළිබඳ සිළුමිණට ලැබුණු තොරතුරුක් නිසා ඒ පිළිබඳ වාර්තා කරනු රිසියෙන් අපි මොරටුව අඟුලාන බලා පිටත් වුනෙමු. සරතැස අප දවා හළු කරන තරම්ය. දහදියෙන් තෙත්ව ගිය ගතින් යුතුව අප මොරටුව අඟුලාන ස්ටේෂන් පාරේ මාර්ග සංවර්ධන අධිකාරිය යාබදව පිහිටි ලලිත් නන්දන නාගොඩවිතානගේ ගෙවත්තට ගොඩ වුනෙමු. ගෙවත්තට ගොඩවත්ම දහයෙන් පිරී ගිය ගත තරමක් සැහැල්ලු වූයේ හරිතවන් ගෙවත්තේ දර්ශනය නෙත ගැටීමෙනි. මෙතරම් කර්කෂ නගරයක සීතල කඳුකරයේ වැවෙන එළවළු පලතුරු මෙතරම් හොඳින් වැඩී තිබෙනු දුටු පළමු වතාව මේය. අප මෙම ගෙවත්තේ හිමිකරු වන නන්දන නාගොඩවිතානගෙන් මෙහි ආරම්භය පිළිබඳව විමසුවෙමු.

 

“මම 2007 වසරේදී යුද හමුදාවෙන් විශ්‍රාම ගියා. මට තිබුණේ පැන්ෂන් එක විතරයි. වෙන කිසිම ආදායමක් තිබුණෙ නැහැ. බිරියගේ දික්කසාදයෙන් පස්සේ මම දරුවො දෙන්නා එක්ක තනි වුණා. එහෙම ඉද්දී මම මාසෙටම අවශ්‍ය කුළු බඩු එළවළු ගෙදර ගේනවා. ගෙනත් ෆ්‍රිජ් කරනවා. නමුත් ගේන එළවළු සතියක් ෆ්‍රිජ් එකේ තියන්න බැහැ. දවස් හතර පහ යද්දී සවුත්තු වෙනවා. වියදම වැඩි වුණා. මට ඉන්නේ දුවයි පුතයි; ඒ දෙන්නා පාසල් යනවා. ඒ අයගෙ ගමන් වියදම්; ටියුෂන් ෆීස් ගෙවන්න ඕන; කන්න බොන්න දෙන්න ඕන. මේ ඔක්කොම කරන්න වුණේ මගේ පෙන්ෂන් එකෙන්. වෙන කිසිම ආදායම් මාර්ගයක් මට තිබුණේ නැහැ. දරුවො දෙන්නා ඕලෙවල් ඒ ලෙවල් කරනකොට ටියුෂන් යවන්න වුණා. ගෙදර වියදමට සල්ලි නැතිව ගියා. ඊට පස්සේ මිරිස් වර්ග තක්කාලි, ගොටුකොළ, කංකුන් වගේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ හිටෙව්වා. ඒ විදියට ගෙදරට ඕන කරන දේවල් පොඩ්ඩ පොඩ්ඩ හදා ගත්තා. ඒකෙන් ලැබුණ ඵලදාවෙන් යන්තම් ගෙදර වියදම අඩු කර ගත්තා. එහෙම කරගෙන යද්දී අහල පහළ උදවිය මට බීජ වර්ග සහ පැළ වර්ග ගෙනත් දුන්නා විතරක් නෙමෙයි ඒවා නිවැරදිව සිටුවන විදිය ගැන උපදෙස් පවා දුන්නා. වගාවට අවශ්‍ය පොහොර සඳහා කොම්පොස්ට් හදන්න පටන් ගත්තා. ඒකට මඟ නැඟුම ඉමල්ෂන් නිෂ්පාදන කර්මාන්තායතනය මට ගොඩක් උදව් උපකාර කළා. විශේෂයෙන් එහි සභාපතිවරයා එම කර්මාන්තශාලාව ඉදිකර තිබෙන විශාල ඉඩමේ එකතුවන වියළී ගිය කොළ රොඩු, කපා ඉවත් කරන තණ කොළ ගස්වල කොටස් එහි සේවකයන් මඟින් මට ලබා දුන්නා. මං ඒවයෙන් කොම්පොස්ට් නිපදවීමට පටන් ගත්තා. මං ක්‍රම දෙකකට කොම්පොස්ට් හදනවා ඒ බැරල් ක්‍රමයට හා සාමන්‍ය ක්‍රමයට. එයින් මට වගාව සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි සකස් කරගැනීමට හැකි වුණා. මං මේ ගොඩක් දේවල් වවල තියෙන්නේ අහක දාන පොහොර උර හාල් බෑග්වල, ප්ලාස්ටික් බාස්කට්වල. ඒවා ලබාගන්න මොරටුව නගරාධිපතිතුමා මට උදව් කරනවා.

මගේ වගාව ක්‍රමයෙන් විශාල වන විට ඉමල්ෂන් ආයතනයේ සේවක පිරිසත් තම සේවා මුරය අවසන් වීමෙන් අනතුරුව මට සහාය දැක්වීමට පැමිණියා. මං ටික ටික වගාව දියුණු කළා. ඔය අතරතුරු සමෘද්ධි බැංකුවේ නිලධාරීන් නිලධාරිනියන් මගේ ගෙවත්ත බලන්න ආවා. ඒ අය මේ ගෙවතු වගාව තවදුරටත් ව්‍යාප්ත කරන්න මට උදව් උපකාර කළා. ඒ අය පොහොර බීජ වර්ග මට ගෙනත් දුන්නා. ඒවගේම 2021 වසරේ රුපියල් 5000ක් වටිනා බීජ පොහොර සහ කෘෂි උපකරණ මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ලබා දුන්නා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්නගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෙවතුවගා තරගයක් පැවැත්වුණා. ඒ තරගයෙන් මගේ ගෙවතු වගාවට ප්‍රථමස්ථානය හිමි වුණා. ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ගෙවතු වගා තරගය සඳහා ද මගේ ගෙවත්ත ඉදිරිපත් කර තිබෙනවා. එය මේ මස දෙවන සතියේ පමණ පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ප්‍රදීප් යසරත්න මෙම ස්ථානයට පැමිණ මගේ වගාව පරික්ෂා කිරීමට නියමිත බව මට දැනගන්න ලැබුණා.”

1967 ජනවාරි 06 වැනිදා පානදුරදී උපන් හෙතෙම පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් හෙතෙම ශිෂ්‍ය බට කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් සිටියදී 1985 ඔක්තෝබර් මස 23 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බල සේනාංකයට එකතු වන්නේය. ඒ කළු ජූලියත් සමඟ වර්ධනය වූ ඊලාම්වාදයෙන් රට බේරා ගැනීමේ උදාර අදිටනිනි. පාබල සේනාංකයේ කටයුතු කරමින් විශාල සේවාවක් ඉටු කළ නන්දන 2007 වසරේදී විශ්‍රාම යනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ පළවන පාබල හමුදා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන්වරයකු වශයෙන් සේවය කර ඇත.

මේවනවිට ඔහුගේ ගෙවත්තේ අමු මිරිස්, කොච්චි මිරිස්, මාළුමිරිස්, තක්කාලි, වම්බටු, තලනබටු, එල බටු, තිබ්බටු, පිපිඤ්ඤා, වට්ටක්කා, පුහුල්, අළු පුහුල්, කැකිරි, මෑ, දඹල, ඇමරිකන් ගොටුකොළ, සලාද කොළ, ගොටුකොළ, මුගුවැන්න, නීරමුල්ලිය, තම්පලා, කංකුන්, නිවිති, ජපන් නිවිති, කතුරුමුරුංගා, මුරුංගා, ලීක්ස්, කැරටි, ගෝවා, මල්ගෝවා ආදී සියලුම එළවළු පලාවර්ග මෙන්ම අන්නාසි, ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, ආණමාලු, සැපතිල්ලා, මාදං, හිඹුටු, ඇඹරෙල්ලා, අඹ, පේර ආදී පලතුරු වර්ග ද වගාකර තිබේ. මීට අමතරව බතල, රාජඅල, කිරි අල, මංඤ්ඤොක්කා, ගහල වැනි අලවර්ගද; අබ, ගම්මිරිස්, රම්පේ, කරපිංචා ආදී කුළු බඩු වර්ග ද; තෙබූ, හාතවාරිය, රණවරා, ඉරිවේරිය, කොවක්කා,වැල්පෙනල, ඉරමුසු, ආදී ඖෂධ වර්ගද මෙම ගෙවතුවගාව තුළ දැකිය හැකිය.

පසුගිය දිනක අමාත්‍ය බන්දුල ගුණවර්ධනයන් මඟ නැඟුම නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ මෙවැනි පරිසරයක මේ ආකාරයෙන් සාර්ථක වගාවක් සිදු කර තිබෙනු දැක බෙහෙවින් සතුටට පත් වූ බවත්, එය නැරඹීමට ද පැමිණි බවත් නන්දන පවසන්නේ ඉතාම සතුටිනි. එහිදී අමාත්‍යවරයා ඔහු හා පැමිණි පිරිසට පවසා ඇත්තේ “රටේ මෙවැනි දිරිය මිනිසුන් සිටිනවා නම් ආහාර අර්බුදයක් ඇති නොවන බවයි. වස විසෙන් තොර කාබනික ගොවිතැන රට පුරා ප්‍රචලිත කිරීමට මෙවැනි වගාවන් මහඟු ආදර්ශයක් සපයන බව”යි.

“මම මේ වගාවන් කිසිවක් මුදලට විකුණන්නේ නැහැ. ගෙදරට අවශ්‍ය ප්‍රමාණය ඇරුණම අනික් සියලු ඵලදාව පන්සලේ දානයට, අහල පහළ උදවියට, මගනැඟුම කාර්ය මණ්ඩලයට හා මට උදව් උපකාර කරන රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙනවා. මගේ වගා කටයුතුවලට ගොඩක්ම මට උදව් වන්නේ දියණිය යොමාලී නාගොඩවිතාන සහ පුතා ඉසුරු නාගොඩවිතානයි. දියණිය කොතලාවල විශ්විවිද්‍යාලයෙන් එල්.එල්. බී උපාධිය ලබා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී එහි අවසන් විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. පුතා ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුවෙක් ලෙස අධ්‍යාපනයේ නිරත වෙනවා. මේ අවස්ථාවේ විශේෂයෙන් බස්නාහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕන. ඔවුන්ගේ උපදෙස් හා උදව් උපකාර නිසා තමයි මේ වගාව මෙතරම් සාර්ථක අන්දමින් සිදු කිරීමට හැකි වුණේ. මං මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ තමන්ට තියෙන පොඩි ඉඩක හරි වවන්න. ඒකෙන් ඔබේ දරුවන්ට වස විෂ නැති එළවළු පලතුරු ටිකක් කන්න දෙන්න පුළුවන්. ඒකම ඇති දරුවන් පෝෂණය කර ලෙඩ නොවී රැක ගන්න. ”

 

ඡායාරූප- ගයාන් පුෂ්පික

 

Comments