කජීමා­වත්ත ගිනි තියන හනු­මන්තා සොයා ගියෙමු | Page 2 | සිළුමිණ

කජීමා­වත්ත ගිනි තියන හනු­මන්තා සොයා ගියෙමු

 

බො හෝ දෙනාගේ නම්වලට මුලින්ම ගමේ නම එක්වීම එදා සිට අපේ සමාජයේ දක්නට ලැබෙන්නකි. විශේෂයෙන් හාමුදුරුවන්ගේ නමට කලින් උපන් ගම් පළාත දැකගත හැකිය. මඩිහේ පඤ්ඤාසිහ, මාදුළුවාවේ සෝභිත හා වල්පොළ රාහුල එවැනි සංඝ පීතෘවරුන්ගේ නම්ය. මේ අතරින් වල්පොළ රාහුල හිමියන් ප්‍රේමදාස අගමැති යුගයේ ගමකට යොදා තිබූ නමකට විරෝධය දැක්වූයේ උපහාසයෙනි. ගමේ නම 'ස්ටේඩියම් ගම' ය. ගම හදා තිබුණේ සුගතදාස ස්ටේඩියම් එක පුළුල් කිරීමේදී ඉවත් කෙරුණු පැල්පත්වාසීන් වෙනුවෙනි.

 

"දැන් අගමැතිතුමා ඔය ගමේ කොල්ලෙක් මහණ කළොත් 'ස්ටේඩියම්ගම රාහුල' කියල නේද දාන්න වෙන්නේ. මොනාද ඔය බහුභූත නම්." රාහුල හිමියන් දිනක් අගමැති ප්‍රේමදාස සිටි රැස්වීම් ශාලාවක පැවසුවේ සභාවම සිනහ ගන්වමිනි.

පසුගිය අඟහරුවාදා රාත්‍රි ඇතිවූ ගින්නක් ගැන වාර්තා වෙද්දී ප්‍රශ්නයක් වූයේ එම වත්තට එම නම වැටුණේ කෙසේද යන්නයි. වත්තේ නම 'කජීමාවත්ත'ය. එම ගින්න වාර්තා කරන්නට ගිය හැටහුටාමාරක් පත්තර - රේඩියෝ - ටීවී - වෙබ් එකක්වත් මේ වත්තට නම වැටුණ හැටි සොයන්නට ගියේ නැත.

කජීමාවත්තේ ගින්න ගැන තොරතුරු සොයන්නට ගිය අවස්ථාවේ අපට මුලින්ම ඕනෑ වුණේ මේ වත්තට නම වැටුණ හැටි දැන ගැනීමටය. මේ වත්තේ පදිංචිකරුවන් බොහෝ දෙනා එය දැන සිටියේ නැත. ඒත් අන්තිමට තරමක වියපත් පුද්ගලයකු අපට මේ නම වැටුණ හැටි පහදා දෙන ලදි.

"කජීමා කියන්නේ ජපන් නමක්. කැලණි පාලම හදන්න ආවා ජපන් කොම්පැනියක්. මේ වත්තේ තමයි යකඩ - කළුගල් ගොඩ ගැහුවේ. ජපන්නුන්ට නවතින්න සිමෙන්තියෙන් ගෙවල් වගයක් හැදුවා. ඒ වැඩ කරපු බැකෝ - ස්කැවේටර් - ටිපර්වල ඒ කොම්පැනියේ නම ගහල තිබ්බ. කොම්පැනියේ නම කජිමා. කජීමා ලොරි නවත්තන වත්ත අන්තිමට කජීමාවත්ත වුණා.

කජීමාවත්තේ ගින්න ඇති වන විට තවත් දෛවෝපගත සිදුවීමක් වුණේ ජනපති රනිල් සිටියේ කජීමා කොම්පැනිය අයිති ජපානයේය. ජනාධිපතිතුමා ජපානයේ සිට උපදෙස් දුන්නේ කජීමාවත්තේ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් සකසන ලෙසය.

ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ ඇති වූ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අනාවරණය වූයේ මෙම ගින්න හේතුවෙන් නිවාස 71ක පුද්ගලයන් 306 දෙනෙකු අවතැන් වී සිටින බවය. අවතැන් වූ පුද්ගලයන් 306න් 200ක් වැඩිහිටියන් වන අතර ළමුන් සංඛ්‍යාව 106කි. මේ වන විට අවතැන් වූ පිරිස් මෝදර උයන ප්‍රජා ශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ පහසුකම් සහිතව රඳවා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාව, මාදම්පිටිය ග්‍රාම නිලධාරි බල ප්‍රදේශය බාර පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම හා සහයෝගය මත අවතැන් වූ පිරිස් සඳහා ආහාර පාන ඇතුළු පහසුකම් අඛණ්ඩව ලබා දීම සිදු කෙරුණු බව මෙහිදී හෙළිදරව් විය.

කජීමාවත්තට අප යන විට දකින්නට ලැබුණේ මුළුමනින්ම ගිනිබත් වූ යායකි. ගින්නෙන් අවතැන් වූ ජනතාව මුලින්ම ස්තුති කළේ පළාතේ ග්‍රාම නිලධාරි ප්‍රදීප් පෙරේරාටය.

"ග්‍රාමසේවක මහත්තයා මුලින්ම ගෙවල්වල ලයිට් ඩිස්කනෙක්ට් කරන්න කිව්වා. මුලින්ම ගෙවල්වල ඉන්න පොඩි ළමයි එළියට ගන්න උදවු කළේ එයා තමයි."

2007 වර්ෂයේ සිට තොටළඟ කජීමාවත්ත අතරමැදි කඳවුරක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන ගොස් ඇති අතර, 2014 අවසන් වන විට එහි සිටි සියලු දෙනාට නිවාස ලබා දී අවසන් කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මෙම රැස්වීමේදී පෙන්වා දුන්නේය. නමුත් 2015 වසරේ සිට විටින් විට අනවසර පදිංචිකරුවන් විසින් මෙම ඉඩම අත්පත් කරගෙන ඇති බව ද නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. පසුගිය වර්ෂ දෙක ඇතුළත අවස්ථා 03කදී මෙම නිවාස ගිනි ගැනීමට ලක් වූ බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු බවටත් මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ප්‍රදීප් උඳුඩෙ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව, කොළඹ ප්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී, රජයේ රස පරීක්ෂක, බල ප්‍රදේශ බාර පොලිස් අධිකාරි, එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ මාදම්පිටිය ග්‍රාම නිලධාරිවරයා ඇතුළත් කොටගෙන මෙම කමිටුව විසින් වැඩ කරන දින හතක් ඇතුළත අදාළ සිදුවීම ඇති වීමට හේතු වූ කරුණු හා ඉදිරියේදී මෙම ප්‍රදේශයේ සංවර්ධනයත්, පදිංචිකරුවන් සඳහා යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳවත් කඩිනම් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත හා අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී ඇත.

අවතැන්ව සිටින සියලුම පාසල් දරුවන් ලබන සඳුදා සිට සුපුරුදු පරිදි පාසල් යැවීම සඳහා අවශ්‍ය පෙළ පොත්, අභ්‍යාස පොත්, නිල ඇඳුම් සහ පාවහන් ලබා දීමටත්, ගැබිනි මවුවරුන්, මවුවරුන් හා කාන්තාවන්ගේ සියලු සෞඛ්‍ය පහසුකම් සැලසීමටත්, පිසූ ආහාර අඛණ්ඩව සැපයීම සහ තාවකාලික නවාතැන්පළවල අත්‍යවශ්‍ය සියලු මූලික පහසුකම් සැලසීමටත් තීරණය කෙරිණි.

මේ ගිනිගත් ප්‍රදේශය නිරීක්ෂණයේදී පෙනී යන්නේ සිමෙන්තියෙන් බඳින ලද කිසිම නිවසක් මෙහි නොවූ බවය. මේ නිවාස සියල්ල ලෑලි ගසා නිමවූ ඒවාය. අමානෝ තහඩු හෝ ටකරන්වලින් වට කළ ගෙවල් ද කීපයක් දැකගත හැකිය. වහල බොහොමයක් තහඩු සෙවිලි කළ ඒවාය. ගින්නෙන් වූ හානිය අතර ටීවී, ළමයන්ගේ සෙල්ලම් බඩු, වොෂින් මැෂින් මෙන්ම අඩක් පිලිස්සුණු මංගල ඡායාරූප ද විය. කොතැනකවත් ගෑස් සිලින්ඩර් නම් නොවීය.

"ඔය උදවු කරන්න කියලා ආපු අය අතර හිටපු කුඩ්ඩෝ ඉස්සෙල්ලම ඉස්සුවේ ගෑස් සිලින්ඩර් ටික. සමහර අල්මාරිවල තිබ්බ සල්ලි අල්මාරි කඩල අරන් තිබ්බා. මරණ බයට ගොඩක් අය ළමයි අරගෙන පැනල දිව්වා."

මේ ගින්න ගැන කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්නගෙන් විමසා සිටියෙමු.

මෝදර, කජීමාවත්තෙ නිවාස පෙළෙහි ඇතිවූ ගින්න සම්බන්ධයෙන් සොයා බලා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උපදෙස් දුන්නා. දැනට එහි නාගරික සංවර්ධන අධිකාරිය විසින් අතරමැදි කඳවුරක් ලෙස පවත්වාගෙන යනවා. මෙම වත්තෙහි දැනට නිවාස 220ක් ඉදිකර තිබෙනවා. එහි පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. මෙහි සිටින බහුතරයක් දෙනා අනවසර පදිංචිකරුවන්.

අප කජීමාවත්තට යන විට එහි අතහැර දමා තිබූ දැවැන්ත ශාලාවක් පිළිසකර කරමින් තිබුණේ ජනතාවට තාවකාලිකව නවාතැන් ගැනීමටය. මෙම වත්තේ පදිංචිකරුවන් නිවාස ප්‍රමාණය ගැන කියන්නේ පරස්පර විරෝධී ගණන් හිලව් නිසා කජීමාවත්තේ ග්‍රාම නිලධාරි ප්‍රදීප් පෙරේරාගෙන් මේ ගැන විමසුවෙමි.

පසුගිය වසර එකහමාර තුළ මෙම නිවාස පෙළ ගිනි ගැනීමට ලක්වුණේ තුන් වැනි වතාවටයි. 2021 වසරේ ඇතිවූ ගිනි ගැනීමෙන් නිවාස 27ක් විනාශ වුණා. මෙහි සිටින බහුතරයක් දෙනා අනවසර පදිංචිකරුවන්. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි අතරමැදි කඳවුරක් පවත්වාගෙන යනවා. මෙම වත්තේ පදිංචි ඇතැම් පුද්ගලයන් රජයෙන් නිවාස දෙක තුනක් ලබාගෙන තිබෙනවා. ස්ථිර නිවාස ලබා ගත්තත් ඔවුන් මේ වත්තේම පදිංචිව සිටිනවා. අවුරුදු තුනකට පෙර මෙහි තිබුණේ නිවාස 160යි. නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්ව ඉන් ගෙවල් 60ක් විතර ඉවත් කළා. නමුත් පසුගිය කොරෝනා සමයේදී මෙම වත්තේ අනවසර ඉදිකිරීම් වැඩි වුණා.

මේ කජීමාවත්තේ බොහෝ දෙනා නාගරික සංවර්ධන අධිකාරියට චෝදනා කරන්නේ තමන්ට වෙන් කර ඇති නිවාස ලබා නොදී පැහැර හැර ඇති බවටය.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීරගෙන් මේ ගැන කරුණු විමසා සිටියෙමු.

දෙදහස් හත අට වර්ෂවල දෙමටගොඩ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලයේදී එම ප්‍රදේශයේ පදිංචිකරුවන් තාවකාලිකව කජීමාවත්තේ පදිංචි කළා. එදා සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය මෙම භූමිය අතරමැදි කඳවුරක් ලෙස භාවිත කරනවා. මේ පදිංචි වෙලා ඉන්න සියලුම දෙනාට 2014දී නිවාස ලබා දී මෙම භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත්තා. දැනට තාවකාලික කඳවුරු අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය වෙලාවට මිනිස්සු නතර කරන්න අවශ්‍ය තරම් ගෙවල් තියෙනවා. කලින් ගෙවල් දීපු අයගේ නාම ලේඛනයක් තියෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය පදිංචි කරලා තියෙන්නේ පවුල් 20යි. ඉතුරු පවුල් 200ම අනවසර පදිංචිකරුවන්. 2015 වසරෙන් පසුව මෙහි අනවසර පුද්ගලයන් පදිංචි වුණා. නගර සභාව විසින් මේ සියලුම නිවාසවලට වරිපනම් අංක ලබාදී ජලය, විදුලිය ලබා දී තිබෙනවා. එමෙන්ම ඔවුන් ඡන්ද හිමි නාම ලේඛනයට පවා ඇතුළත් කරලා තියෙනවා. නමුත් මෙහෙම ගෙවල් දෙන්න ගියොත් ගෙවල් ලක්ෂ 2ක් විතර දෙන්න වෙනවා. කොළඹ තවත් මේ වගේ වතු නිවාස තිබෙනවා. නමුත් නිරන්තරයෙන්ම ගිනි ගන්නේ කජීමාවත්ත විතරයි.

කජීමාවත්තට රජයේ රස පරීක්ෂකවරිය පැමිණෙන්නේ පසුගිය 28 වැනි බදාදාය. එම ගින්න දැඩි පරීක්ෂාවට ලක්විය. තෙවරක් ගිනි ගත් කජීමාවත්ත ගිනි ගැනීමට හේතුව විද්‍යාත්මක ලෙස තහවුරු කළ හැකි ආයතනය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවය.

දැන් මේ කජීමාවත්තේ ගින්නෙන් අසරණ වූ අය තවත් අසරණ වී ඇත්තේ ඇතමුන්ගේ සහනාධාර ලබා ගැනීමට අවශ්‍ය ජාතික හැඳුනුම්පත පවා ගිනිගෙන තිබීම නිසාය. එමෙන්ම ත්‍රිරෝද - බයිසිකල් ලියාපදිංචි සහතික, විවාහ සහතික, දරුවන්ගේ උප්පැන්න සහතික දැන් ගිනි දෙයියෝ බිලිගෙන හමාරය. මේ වත්තේ වාසය කරන පවුල්වල ස්වාමියා මෙන්ම බිරිය ද රැකියාවල නිරත බව කතාබහේදී තහවුරු විය.

කජීමාවත්තේ ගින්නෙන් වූ වින්නැහිය ගැන නිරීක්ෂණයේදී පැහැදිලිව පෙනී යන්නේ මෙරට දේශපාලකයන් බලය පතා ජනතාව ගොනාට අන්දන අන්දමය. කජීමාවත්තට එල්ල වන ප්‍රධාන චෝදනාව ඔවුන්ට ලබා දුන් නිවාස විකුණා නැවත කජීමාවත්තට පැමිණ ඇති බවය. බලයට පත්වන හැම ආණ්ඩුවක්ම නිවෙස බැගින් පවුලකට දීමට බැඳී නැත. රාජ්‍ය යන්ත්‍රණය විසින් කළ යුත්තේ විධිමත් පරීක්ෂණයක් පවත්වා එවැනි නිවාස ලබා ගත් පිරිස් නිශ්චිතව හඳුනා ගෙන ඔවුනට එරෙහිව ක්‍රියා කිරීමය. එමෙන්ම නිවාස අහිමි නියම අසරණයන්ට ක්‍රමවේදයක් සකස් කිරීමය. එසේ නැතුව සියල්ලන්ටම වතු ගිනි ගන්නා වාරයක් ගානේ ගෙවල් දෙන්නට ගියොත් ආණ්ඩුවකට ගෙවල් හදනවා හැර අන් කිසිවක් කිරීමට හැකියාවක් නොවනු ඇත.

 

 

Comments