අලුත ගෙනා මනමාලිය ගමක් හඬවයි | සිළුමිණ

අලුත ගෙනා මනමාලිය ගමක් හඬවයි

- අක්මාව දෙසට ගලක් ඇවිත් කියා රාගම රෝහලකදී කළ සැත්කම වැරදුණා යැයි නෑසියෝ වැලපෙති
- දිවි බේරා ගන්න දුන් එන්නත් දෙකේ වටිනාකම ලක්ෂ 9ක්

විවහ වී ටික දිනකින් රෝගාතුර ව ජීවිතයෙන් ද සමුගන්නට සිදු වු තරුණියකි. අංක 199A දෑලතුර ජා-ඇල පදිංචි ව සිටි බුද්ධිකා හර්ෂනී ධර්මවික්‍රම මහත්මිය ඉකුත් මස 13 වන දින රසික ජයතිලක මහතා සමග විවාහ වූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය. ඒත් හර්ෂනීට සිදු වන්නේ එම ප්‍රර්ථනා හද තුළම තැන්පත් කර ගනිමින් අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගන්නයි.

අප එම නිවෙසට ඊයේ යන විටවත් හර්ෂනීගේ නිසල දේහය නිවෙසට ගෙනැවිත් තිබුණේ නැත. ඒත් ඇයගේ හිතවතුන් බොහෝ දෙ‍ෙනකු ඒ වනවිටත් එම නි‍ෙවසට පැමිණ සිටියේ සිය මිතුරියට සිදු වුයේ කුමක්දැයි අදහා ගත නොහැකිවය. හර්ෂනීගේ සොහොයුරු ප්‍රසාද් ධර්මවික්‍රම අප සමඟ මෙසේ පැවසීය.

 

මගේ අක්කා ට පහුගිය අගෝස්තු මස 01 දා බඩේ වේදනාවක් ඇවිල්ලා ජා-ඇල තිබෙන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා. ඒ ඇවිත් අක්කගේ විවාහ කටයුතුවලට සුදානම් වුණා අපි අගෝස්තු 13 වනදා අක්කගේ විවාහ උත්සවය පැවැත් වූවා. අගෝස්තු 15 අක්කට අමාරු වුනා. අපි එයාව වත්තල පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් අක්කගේ පිත්තාශයේ ගල් තිබෙන බව අනාවරණය වුණා. පස්සේ අපි 25 වනදා පවුලේ වෛද්‍යවරයා හමුවට අක්කව රැගෙන ගියා. ඔහු අපිව වෙනත් වෛද්‍ය වරයෙකු වෙත යොමු කෙරුවා. ඔහු අපිට කිව්වා අක්කට සැත්කමක් කරන්න වෙන බව. සැත්කම රාගම පෞද්ගලික රෝහලකදී කරන්න තීරණය කෙරුවා. සැත්කමට පසුගිය 31දින ශල්‍යාගාරයට අක්කව අරගෙන ගියාට පස්සේ කිව්වා අක්මාව පැත්තට ගලක් ඇවිත් තියනවා මේ රෝහලේ එය කරන්න පහසුකම් මදි ඒක නිසා වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට ගිහින් කරන්න ඕනේ කියලා. අක්මාව පැත්තට ගලක් ඇවිත් කියලා ඒ දොස්තර කිව්වේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැතිවයි. ඒත් අපි ඒකටත් එකඟ වෙලා එම පෞද්ගලික රෝහලේදි සැත්කම කෙරුවා. ශල්‍යකර්මය කළාට පස්සේ සැප්තැම්බර් 01 දා දහවල් වනවිට අක්කට අමාරු වෙන්න ගත්තා. එහි දැඩිසත්කාර ඒකකයට අක්කව දැම්මා. පස්සෙ රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අක්කව යොමු කෙරුවා. රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අක්කව බේරා ගන්න දැඩි උත්සාහයක් ගත්තා. වත්තල පෞද්ගලික රෝහලේදී ඒ තරම් උනන්දුවක් අක්කා කෙරහි දැක්වූයේ නෑ. එහිදී අක්කගේ ශල්‍යකර්මය කළ වෛද්‍යවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර සේවාවලින් අයින් කරලයි රාගම රෝහලේ කටයුතු සිද්ධ වුණේ. අක්කා වෙනුවෙන් පිටතින් එන්නත් දෙකක් අපි ගෙනත් දුන්නා. ඒ එක එන්නතක වටිනාකම රුපියල් ලක්ෂ 4.5ක්. තව බෙහෙත් අපි ගෙනත් දුන්නා. ඒ වනවිටත් අක්කා හිටියේ පෙර ශල්‍යකර්මය නිසා වෙච්ච වැරදි නිසා අසාධ්‍ය තත්ත්වයේ යි. අපිට රාගම රෝහලේ වෛද්‍යවරුන් ගේ කතාවෙන් ඒ බව තේරුණා. දින 25 ක් දැඩි සත්කාර ඒකකයේ සිටි අපේ අක්කා 25 වනදා මිය ගියා. අක්කගේ මරණය වුයේ ඇයට ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බව නිසා කියලයි අපි කියන්නේ. අක්කගේ මරණ පරීක්ෂණ වාර්තාවෙනුත් කියවුනේ ශල්‍යකර්ම ය නිසා ඇති වු සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදු වී ඇති බවයි. අපි අක්කගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අක්කගේ උපන් දිනය දාමයි අක්කගේ දේහය මේ ගෙදරට ගේන්නේ. අපි අක්කගේ උපන් දින කේක් එක කපලා එයාගේ උපන් දිනයත් අද සමරනවා.

Comments