සුවිශේෂී ග්‍රහ මාරු රැසක් සිදු වන ඔක්තෝබර් මාසය ඔබට කොහොමද? | සිළුමිණ

සුවිශේෂී ග්‍රහ මාරු රැසක් සිදු වන ඔක්තෝබර් මාසය ඔබට කොහොමද?

බුද්ධිමත් දරු උපත් සිදු වන සහ උසස් අධ්‍යාපනය නිම කළ දරුවන්ට රාජ්‍ය හා පෞද්ගලික අංශවල ගෞරවනීය තනතුරු හිමිවන, පුවත්පත් කතුවරයන්, ගත් කතුවරයන් සහ දක්ෂ මාධ්‍යවේදීන් බිහිවන ඔක්තෝබර් මාසය තුළ මෙවර සිදු වන ග්‍රහමාරු ඔබේ ජීවිතයේ ද සුවිශේෂී වෙනස්කම් සිදු කරනු ඇත. දැනුම් සම්භාරයක් ද ලබා දෙනු ඇත. නැවතී තිබුණු ආදායම් මාර්ග යළි නඟා සිටුවීමට, ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට, අධ්‍යාපනික ජයග්‍රහණ, කෘෂිකාර්මික, සෞඛ්‍ය ගැටලු නිරාකරණය කර ගැනීමට ද උපකාරී වනු ඇත.

ඔක්තෝබර් මාසය තුළ මෙවර ග්‍රහ මාරු සිදුවන්නේ මාසයේ මැද භාගයේ සිටය. කුජ ග්‍රහයා මිථුන රාශි ගතවීම ඔක්තෝබර් 16 වැනිදා 06.32ට ග්‍රහලොව පියා වන රවි තුලා රාශියට පිවිසීමත් ඔක්තෝබර් 17 වැනිදා දින 19.22 ටත් සිකුරු තුලා රාශියට පැමිණීමත් 18 වැනිදා 21.40ටත් බුධ තුලා රාශියට පැමිණීම 26 වැනිදා 13.40ටත් සිදුවේ. එම ග්‍රහමාරු අනුව බුධ ආදිත්‍ය යෝගය, මාලවි යෝගය, විදුරවි යෝගය, භද්‍රායෝගය, ධර්ම කර්මාධිපති යෝගය යන බොහොමයක් යෝග බල මේ කාලයේ උපත ලබන්නාවූ දරුවන්ට ද පිහිටයි. ලග්නයෙන් ලග්නයට ඉදිරි මාසය කෙසේ බලපාන්නේදැයි විමසීමක යෙදෙමු.

- උසස් අධ්‍යාපනය නිම කළ දරුවන්ට රාජ්‍ය හා පෞද්ගලික අංශවල ගෞරවනීය තනතුරු
- අවිවාහකයන්ගේ මංගල සිහින සැබෑ වෙයි
- කෘෂිකර්ම සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය වන ලකුණු
- බුද්ධිමත් දරු උපත් වැඩිපුර සිදු වන මාසයක්

මේෂ - ව්‍යාපාර දියුණුව සැලසෙයි

ගෘහ ජීවිතය :- ඔබට මෙතෙක් අතපසු වී තිබූ වැඩ කොටස් නිම කර ගැනීමට ඔක්තෝබර් මස අවසාන භාගයේදී හැකිවනු ඇත. මුල් දිනවලදී තරමක් බාධක ගෙන දුන්නද අවසන් කොටසේදී මාලවි යෝගය, නීච භංග යෝගය වැනි ග්‍රහබල යෙදීමෙන් භාග්‍යය උදාවේ. විවාහ දරුඵල ආදිය ප්‍රමාද වූ අයට යහපත්ය.

රැකියාව :- 10 වැන්නේ අධිපති සස යෝගයෙන් සිටීම අනුව ඉතා ඕනෑකමින් තමාට පැවරී ඇති වගකීම් ඉෂ්ට සිද්ධ කරයි. පොදුජන යහපත පිණිසම සේවය කරනු විනා තමා ලබා ගන්නා වැටුප ගැන නොසිතයි. එහෙත් ප්‍රධානීන්ගෙන් උදව් උපකාර හිමි වේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවනට තරමක බාධක මැද වැඩකටයුතු කරන්නට සිදුව තිබුණත් මාසයේ මැද භාගයේ සිට ඉතා හොඳින් ඉගෙනුම් කටයුතු සිදු කරයි. ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යා, කලාත්මක අංශවල ජයග්‍රහණ ලබයි.

සෞඛ්‍යය:- කොඳු ඇට පෙළේ ආබාධ, අක්ෂි රෝග, ස්නායු ආබාධ ඇති වීමට හැකි අතර, හිස බර ගතිය පෙන්නුම් කරයි. කාන්තා පක්ෂයට හා කුඩා දරුවනට තරමක අපලකාරී බවක් ඇති බැවින් ආරක්ෂාව සලසා ගැනීම වැදගත් වේ. ජලයෙන් ද සුළු අපල පෙන්වයි. හැකි නම් මාසයේ මුල් දින හෝ දෙවැනි දින බෝධි පූජාවක් තබන්න. අපල අවම වේ.

සුබ අංකය 9, සුබ වර්ණය - රතු, 
සුබ දවස - අඟහරුවාදා

වෘෂභ - ලොතරැයි දිනුම්

ගෘහ ජීවිතය :- පවුලේ සාමාජිකයන් අතර සතුට සමාදානය ඇතිව පමා වී තිබූ වැඩ කොටස් යළි ආරම්භ කර ගැනීමට සුදුසු වාතාවරණයක් සැලසේ. විවාහක අයට යුග ජීවිතය යහපත් වන අතර, අවිවාහක අයට මංගල යෝග උදා වේ. දරු ඵල සිහින සැබෑ වේ.

රැකියාව :-ගන්නා වැටුපට සාධාරණයක් ඉටුකිරීමට නිතර වෙහෙසෙයි. අතමිට මිල මුදල් ගැවසේ. රාජ්‍ය අංශයේ රැකියාවල නිරත අයට විශේෂ ලාභ ප්‍රයෝජන අත්විය හැකිය. මාසයේ මැද භාගයෙන් පසු ඒවාට බාධක පැමිණේ. කල්පනාවෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය :-උසස් අධ්‍යාපන කටයුතු කර ගැනීමට අවශ්‍ය කරන ග්‍රහබල නිර්මාණය වී ඇත. දරුවන්ගේ දක්ෂතා දැක සතුටු වීමට හැකි වාතාවරණයක් සැලසේ.

සෞඛ්‍යය :-දණහිස් ආබාධ, කලවාවල වේදනා, චර්ම රෝග, අක්ෂි රෝග ආදිය පෙන්නුම් කරයි. සතුරු කරදර ඇතිවිය හැකි අතර නොකළ දේට චෝදනා ලැබීමට පුළුවන. කල්පනාවෙන් කටයුතු කරන්න. නිර්මාංශ වීමට හැකි නම් අපල අඩු වේ. උදෑසන බුදුන්ට පැන් වීදුරුවක් තබා දවස ආරම්භ කරන්න.

සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්, 
සුබ දවස - සිකුරාදා

මිථුන - ප්‍රමාද වූ විවාහ ඉක්මන් වෙයි

ගෘහ ජීවිතය :- පදිංචි ස්ථානය ගැන පවසන සිව් වැන්නේ භද්‍රා යෝගය, නීච යෝගය ආදි ග්‍රහබල අනුව කුටුම්භය තුළ සමඟිය සමාදානය වර්ධනය වේ. සමාජයේ පිළිගැනීමට ලක්වේ. ප්‍රමාද වූ විවාහ දරුඵල ආදිය ඉෂ්ට සිද්ධ වේ. ජයග්‍රහණ හිමිවේ. කලා ක්ෂේත්‍රයේ ඇගයීම්වලට ලක්වේ.

රැකියාව :-ඉතා ධෛර්යමත්ව කැපවීමෙන් යුතුව රාජකාරි කරයි. අධ්‍යාපනය, සමාජ සේවා වැනි ක්ෂේත්‍රවල සහ ලිපි ලේඛන සම්බන්ධ ආයතනවලට වැඩි වැඩ කොටස් යෙදෙයි. අතමිට මුදල් හිඟ නොවේ.

අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල දුවා දරුවන්ගේ කලාත්මක හැකියාවන්, ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු වන ග්‍රහබල දක්නට ලැබෙයි. ජයග්‍රහණ හිමි කර දෙයි. විදෙස් අධ්‍යාපනයට ද සුබ ඵල ඇත.

සෞඛ්‍යය:- පාදවල වේදනා, කොඳුඇට පෙළේ වේදනා, ලේ ගමන අඩු වැඩි වීම්, සුළු අනතුරු, අක්ෂි රෝග පෙන්වයි. අපල අවම කර ගැනීමට සෙත් ශාන්තිවලට යොමුවන්න. කුඩා දරුවන් තනි නොකරන්න. කාන්තා ඔබ නොදන්නා අය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමෙන් වළකින්න. කරඳ කොළ මත පහන් 7ක් දල්වා සිකුරාදා දිනයේ බෝධි පූජා තබන්න. ඉගෙන ගන්නා වයසේ අසරණ දරුවනට පොත්පත්, ඇඳුම් ලබා දෙන්න.

සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා

කටක - ව්‍යාපාරවලින් ලාභ

ගෘහ ජීවිතය :- 3 වැන්නේ ප්‍රබල වූ ග්‍රහ බලය අනුව සහෝදර සබඳතා වර්ධනය වන සහජ හැකියා ඔප් නැංවෙන කාලයකි. ලග්නාධිපති නීච වී මාසය ආරම්භ වන බැවින් චිත්ත පීඩා ඇතිවිය හැකිය.

රැකියාව :-රැකියාකාරක ශනි ග්‍රහයා සස නම් යෝගය ඇතිව 7 වැන්නේ බලවත්ව ඇත. රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලබා ගැනීමට ඉඩකඩ සැලසේ. ඒරාෂ්ටක තත්ත්වය මත සම්පූර්ණ දියුණුවක් ලැබීමට අපහසුය.

අධ්‍යාපනය :- ලග්නාධිපති 5 වැන්නේ නීච වීම ඉගෙනුමට බාධා ඇති කළත් 5 වැන්නේ අධිපති 11 වැන්නේ සිටින බැවින් බාධක මැඬගෙන අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හැකි වේ.

සෞඛ්‍යය:- උෂ්ණාධික රෝග මෙන්ම සෙම් රෝග ද පාද හා පා ඇඟිලිවල අපහසුතා ද හෘද රෝග ද ඇතිවිය හැකි අතර දරුවන්ට, කාන්තා පක්ෂයට අපල උපද්‍රව ඇති හෙයින් ආරක්ෂාකාරී වන්න. බුදුන් වැඩිය ස්ථානයකට ගොස් එම බෝධිය අබියස සුදු මල්, සුදු නෙළුම් පුදා දිවුල් කිරි ගිලන්පසට තබා පත්තිනි මෑණියන්ට සහ අනෙක් දේව සමූහයාට පින් දෙන්න.

සුබ අංකය 7, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා

සිංහ - බාධා අතරින් ජයග්‍රහණ

ගෘහ ජීවිතය :- නිවැසියන් තුළ සතුට සමාදානය අඩු බවක් මෙන්ම අසනීප සහ අධික වියදම් ද යෙදී ඇත. ඒ නිසා ගෘහ ජීවිතය තුළ සිතා සිටින සැලසුම් ක්‍රියාත්මක කරන්නට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. බාධක පැමිණියද ඔබේ කේන්ද්‍රයේ තිබෙන සමහර ග්‍රහබල අනුව බාධා මඟ හරවයි. ජයග්‍රහණ ලබා දෙයි.

රැකියාව :- රැකියා සහ ව්‍යාපාර කටයුතුවලට සුබ කාලයක් උදාවිය හැකිය. දෙවැන්නේ නීච භංග යෝගය සහ රවි බුධ සිකුරු සංයෝගය ධනය ලැබීමට සුබවාදී වේ. යෝග කාරක කුජ ලග්නයට දෘෂ්ටි හෙළීම අනුව දැඩි අධිෂ්ඨාන ශක්තියක් පෙන්වයි.

අධ්‍යාපනය :- මාසයේ අග භාගයේදී දරුවනට උසස් අධ්‍යාපනය සඳහා අවැසි ග්‍රහ බලයක් 3 වැන්නේ නිර්මාණය වේ. ඒ අනුව ඉංග්‍රීසි භාෂා, විදුලි ඉංජිනේරු පාඨමාලා, රාජ්‍ය අංශයේ උපාධි ඩිප්ලෝමා පාඨමාලා සඳහා මනස දියුණු වෙයි.

සෞඛ්‍යය :- කොඳුඇට පෙළ, ගර්භාෂගත හා මුත්‍රා දෝෂ හටගත හැකිය. හැකි නම් ඉරිදා දින උදේ හෝ සවස බෝධි පූජා තබන්න. බෝ මළුව අමදින්න. බෝධියට පැන් කළයක් දමන්න. රතුමල් රැගෙන යන්න.

සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා

කන්‍යා - සුබ පල වැඩි වෙයි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති බුධ දෙවැන්නාධිපති සිකුරු සහ රවි සංයෝගය සුබ අසුබ දෙකටම බලපවත්වයි. ධර්ම කර්මාධිපති බලය ද එහි තිබෙන බැවින් සුබ පල වැඩිවෙයි. සතුටින් කල් ගෙවන්නට හැකිවේ. මගහැරී තිබුණු වැඩ කොටස් යළි ආරම්භ කරයි.

රැකියාව :- ලිපි ලේඛන සම්බන්ධ රැකියාවල නියුතු අයට ගෞරව නාම, උසස්වීම්, ජයග්‍රහණ ලැබේ. නීතිවේදීන්, ජනමාධ්‍ය, පුවත්පත් කතුවර, ලේඛක රැකියාවන්හි වැඩි දියුණු තත්වයක් පෙන්වයි. කෘෂිකාර්මික අංශවල ද දියුණුවක් සලසා ගත හැකිය.

අධ්‍යාපනය :- ඉගෙනීමේ යෙදෙන දරුවන්ට විද්‍යා, ගණිත අංශවල දස්කම් මෙන්ම කලාත්මක කටයුතුවලින් ද ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවේ. යම් යම් බාධක ඔබ ඉදිරියේ පෙන්නුම් කරන බැවින් උත්සාහයෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යය:- ස්නායු දුබලතා, කලවා වේදනා, ඇස් රෝග හා හිසරදය, සෙම් රෝග ඇතිවිය හැකිය. කොහොඹ පැළයකට ජලය දමා සත්කාර කිරීමත් පිළිකා වැනි රෝගයකින් පෙළෙන අයකුට මුදල් ආධාරයක් කිරීමෙනුත් අපල අවම කරගත හැකිය.

සුබ අංකය 7, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

තුලා - මිශ්‍ර පල සහිතයි

ගෘහ ජීවිතය :- මිශ්‍රඵල සහිත මාසයකි. තැන්පත් ධනය වැයවීමට කරුණු කාරණා යෙදේ. විදෙස්ගත හිතවතුන්ගේ පැමිණීම, විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ සඳහා ලිපි ලේඛන සම්පූර්ණ වීම සිදුවිය හැකිය. යුග දිවිය සම්බන්ධයෙන් ගැටලු පැන නඟී. ඉවසීම මනා සංයමයෙන් කටයුතු කිරීම වැදගත් වේ. මාසයේ මැද භාගයෙන් පසු යහපත් සුබ ඵල අත්වේ.

රැකියාව :- රැකියා කටයුතු නිතර වෙනස්වීම්වලට භාජනය විය හැකිය. නිවෙසෙහි සිට ආදායම් උපයමින් සිටින අයට යහපත්ය. ව්‍යාපාරික අංශවල සේවක පිරිස් ගැන නිතර සොයා බැලිය යුතු කාලයකි. සිතන තරම් ආදායමක් ඉපයීමට නොහැකි කාලයකි.

අධ්‍යාපනය :- ප්‍රාථමික සා.පෙ අධ්‍යාපන කටයුතු මෙන්ම ඉගෙනීමට විදෙස්ගත වන අයට ද සුබදායකය. මාසයේ මැද භාගයෙන් පසු ඉංග්‍රීසි භාෂාමය හැකියාවන් වර්ධනය වේ.

සෞඛ්‍යය:- වකුගඩු ආශ්‍රිත හා මුත්‍රා ආසාදන, කොඳු ඇට පෙළේ වේදනා, ඇස් රෝග, මුඛ රෝග ආදියට ඉඩ ඇත. සුදු හාල්වලින් සාදන කැවිලි වර්ගයක් කුඩා දරුවනට බෙදා දීමෙන් අපල අඩුවේ.

සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සිකුරාදා

වෘශ්චික-උසස් තනතුරු, නම්බුනාම

ගෘහ ජීවිතය :- 11 වැන්නේ රවි, බුද, සිකුරු එකතුව යහපත්ය. රවි 11 වැන්නේ වීම නිසා බොහෝ දෝෂ භංග වේ. ලග්නගතව සඳු නීචව සිටියත් අසුබයක් ඇති නොවේ. ගෘහ ජීවිතය සාමකාමීව ගතවෙන අතර, ආර්ථිකය සම මට්ටමේ පවතී. විදේශගතව සිටින අයකුගේ පැමිණීමක් හෝ දුර බැහැර සිටින අයකුගේ පැමිණීමක් සිදුවිය හැකිය.

රැකියාව :- රාජ්‍ය අංශවල සේවය කරන අයට උසස් තනතුරු ලාභ හිමි වේ. ප්‍රධානීන්ගෙන් ලාභ ප්‍රයෝජන අත්වේ. ලිපි ලේඛන සම්බන්ධයෙන් රැකියා කරගෙන යන අයට ද සුබපල ඇත. රන් රිදී අභරණ වෙළෙඳුන්ට ද සුබ කාලයකි.

අධ්‍යාපනය :-අධ්‍යාපනය ලබන වයසේ දුවා දරුවනට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. ඉංග්‍රීසි අධ්‍යාපනය, කලා කටයුතු, ලේඛන හැකියාව දියුණු වේ.

සෞඛ්‍යය :-සෙම් රෝග හා හිසරදය, මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය. හැකි නම් රතු නෙළුම් මල් බුදුන් වැඩි ස්ථානයකට පූජා කිරීමෙන් අපල අවම වේ.

සුබ අංකය 4, සුබ වර්ණය - රතු, සුබ දවස - බ්‍රහස්පතින්දා

ධනු - අධ්‍යාපන කටයුතුවලට සුබයි

ගෘහ ජීවිතය :- ඔබගේ සෙනසුරු අපල තත්ත්වය තවම ගෙවී අවසන් වී නැති හෙයින් මිල මුදල් ඉතිරි නොවීමත් අසනීප ගති පවුලේ සාමාජිකයන්ට වරින් වර ඇති වීමත් නිසා සැනසීම අඩු වේ. සිතා සිටින අරමුණු අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට පමා වුවත් මාසයේ අවසන් කාලය සුබ ඇත.

රැකියාව :- යුක්තිය සාධාරණය අනුව කටයුතු කරන බැවින් තම වගකීම් අනලස්ව ඉටු කරයි. ප්‍රධානීන්ගේ සිත් දිනාගෙන කටයුතු කරයි. ඇවිදිලි බහුල කාලයකි.

මහන්සි වෙන තරමට ගන්නා වැටුප ඉතිරියක් කර ගත නොහැකිය. මාසයේ මැද භාගයෙන් පසු සුබඵල අත්වේ.

අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට බාධා පැමිණේ. උසස් අධ්‍යාපන කටයුතු, ඉංග්‍රීසි භාෂාව දියුණු වේ.

සෞඛ්‍යය :-උදරාබාධ, ලේ ගමන අඩු වැඩිවීම, අම්ල පිත රෝගය, බඩ පිපුම වැනි දේට ඉඩ ඇත. වස් කාලයේ ධර්ම දේශනාවලට සහභාගි වීමට හැකියාව ඇතොත් අපල අවම වී සහනය සැලසේ.

සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

මකර - පුණ්‍ය කටයුතුවලට වැඩි කාලයක්

ගෘහ ජීවිතය :- අතපසු වූ වැඩ කොටස් නැවත කරගෙන යෑමටත් පෙර තිබූ ආදායම් මාර්ගවලට යළිත් උනන්දු වීමටත් හැකියාව ලැබේ.

රැකියාව :- රැකී රක්ෂාවලින් හරි හැටි ආදායමක් ඉතිරි කර ගැනීමට අපහසු වේ. ව්‍යාපාර කටයුතු සහ වෙනත් ආදායම් මාර්ග ඇහිරී යෑමෙන් කලකිරුණු ස්වභාවයක් උද්ගතව ඇතත් මාසය අගදී යථා තත්ත්වයට පත්වෙනු ඇත.

අධ්‍යාපනය :- ඉගෙනුම් කටයුතුවලට උවමනා කරන ඥාන ශක්තිය දරුවන් තුළ වර්ධනය වේ. සෑම අංශයකින්ම පොතපතේ වැඩවලට දක්ෂතා මතු කරන ග්‍රහබල නිර්මාණය වී ඇත.

සෞඛ්‍යය :- හෘදය හා පාදවල වේදනා මතු කරයි. අක්ෂි ආබාධ හට ගැනීමට පුළුවන. කුඩා දරුවන් සම්බන්ධව ද අපල, සුළු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

සුබ අංකය 9, සුබ වර්ණය - කහ, සුබ දවස - සෙනසුරාදා

කුම්භ - විදෙස් ගමන් සඵල වෙයි

ගෘහ ජීවිතය :-

සාමයෙන් ගතවේ. එඩිතර ක්‍රියාශීලී බවක් සහ වෙනදාට වැඩි ස්ථිර ප්‍රතිපත්ති සහිතව කටයුතු කරයි. විදෙස් ගමන්වලට ඉඩකඩ සැලසෙයි. සෙනසුරු ඒරාෂ්ඨක තත්වයක් ද ලබා තිබෙන බැවින් අමතකවීම්, අතපසුවීම්, අවිවේකය බලපවත්වයි. පුණ්‍ය කටයුතුවලට සිත ඇදී යයි.

රැකියාව :- රැකියා සහ ව්‍යාපාර කටයුතුවලට තරමක බාධා ගෙන දෙයි. වරින් වර ඒවා වෙනස් කරන්නට පෙළඹේ. විටෙක කලකිරීම්වලට භාජනය වේ. ඇවිදීමෙන් කරන රැකියාවන්හිදී ඵල ප්‍රයෝජන ලැබේ. පරිගණක ආශ්‍රිතයෙන් කරන රැකයාවලින් ද ලාභ ලැබේ.

අධ්‍යාපනය :- විද්‍යා, කලා, පරිගණක ආදී අංශවලට නැඹුරුවක් සහ එම ක්ෂේත්‍රවල පිබිදීමක් දක්නට ලැබෙයි. විභාග ජයග්‍රහණය පිණිස ඉලක්කගත අධිෂ්ඨානයකින් කටයුතු කරයි.

සෞඛ්‍යය :- යටිබඩ වේදනා, අජීර්ණ, සෙම් රෝග, පාදවල වේදනා, හෘද රෝගවලට ඉඩ ඇත. කඨින පිංකම් වලට උදව් උපකාරී කරන්න.

සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

මීන - ඉතුරුම් ඉහළට

ගෘහ ජීවිතය :- ගුරු ලග්නගතව සිටීම නිසා තිබෙන්නාවූ අපල දෝෂ වලට යම් සහනයක් ඇතිවේ. කාරුණික බව වර්ධනය වේ. එහෙත් සමහර අවස්ථාවන්හිදී ඔබගේ මුවින් පිටවෙන වචනවලින් අන්‍යයන්ගේ සිත් රිදීම්වලට ඉඩ ඇත. ඒ ගැන සිතා කටයුතු කරන්න. නිතර පිනට දහමට යොමුවේ. ආර්ථිකය යහපත් වේ. එහෙත් වියදම් පැත්ත ද වැඩිය.

රැකියාව :-රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර කටයුතු වැඩි උනන්දුවකින් සහ කැපවීමකින් යුතුව කරයි. ලාභ ප්‍රයෝජන අත්වේ. තැන්පත් ධනය වර්ධනය විය හැකිය.

අධ්‍යාපනය :-වාණිජමය කටයුතු පිළිබඳ හදාරන අයට සුබ ප්‍රතිඵල ඇතිවේ. කලාව දියුණු වේ. විභාගවලින් ජයග්‍රහණ ලබයි.

සෞඛ්‍යය :- ඇස්, දත් සහ මුහුණු අවට ඉන්ද්‍රියයන්ගේ අසනීප උෂ්ණාධික බව බලපවත්වයි. ස්නායු දුබලතා පෙන්වයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. හැකි නම් වෙල් මාළුන්ට කෑම දෙන්න. තිරිසන් සතුනට ආහාර සහ ජලය ලබා දෙන්න. උදෑසනම බුදුන්ට පැන් වීදුරුවක් තබන්න.

සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

Comments