ලංකාවේ ක්‍රිකට් පොඩ්ඩන්ව ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන මිනිස් ජාවා­රමේ සුල­මුල | සිළුමිණ

ලංකාවේ ක්‍රිකට් පොඩ්ඩන්ව ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන මිනිස් ජාවා­රමේ සුල­මුල

 

සුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිබිදීමක් සිදු වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම යළි මව්බිමට පැමිණියේ සිය ක්‍රීඩා දිවියට අත්දැකීම් රැසක් එකතු කරගෙනය. එය ඉදිරියේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට කදිම උත්තේජනයක් බවට ද පත් වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු ජයග්‍රහණය පසුපස ඇත්තේ තාරුණ්‍යයේ ජවසම්පන්න සටන්කාමිත්වයයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මේ ජයග්‍රහණයට හේතු වූ අභියෝග ජය ගැනීමට තරම් ප්‍රමාණවත් මානසිකත්වය සහ ජවසම්පන්න ක්‍රීඩා කෞශල්‍යය තාරුණ්‍යයටම පොදු ගතිලක්ෂණ වේ. ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ මෙරට පාසල් ක්‍රිකට් පිටියෙන් ජාතික තලයට දායාද වූ ක්‍රීඩකයන් පිරිසකි. එමෙන්ම තාරුණ්‍යයේ හොඳම කාලපරිච්ඡේදය ගත කරමින් සිටින ක්‍රීඩකයන් පිරිසකි.

 

ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය හමුවේ විදහා දැක්වීමට තරම් දස්කම් සපිරි සටන්කාමිත්වයෙන් අඩුවක් නැති තවත් යොවුන් ක්‍රීඩකයෝ රැසක් මෙරට සිටිති. ඇතැම් විට ඔවුන් ආසියානු කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බොහෝ ක්‍රීඩකයන්ගේ පාසල් යුගයේ සමකාලීන ක්‍රීඩකයන් ද විය හැකිය. එහෙත් අවාසනාවකට ජාතික තලයට සේන්දු වීමේ උත්සාහය පසෙකලා අනාගත අභිවෘද්ධියට විකල්පයක් ලෙස විදේශගතව ක්‍රීඩාවේ නිරතවීමට ඔවුහු පෙලඹී සිටිති. අවාසනාවන්ත කාරණාව වන්නේ ඒ සඳහා නිශ්චිත මාර්ගයක් සොයා ගත නොහැකිවීමෙන් ක්‍රීඩකයන් වැඩිදෙනකු කූට ජාවාරම්කරුවන්ට හසු වීමය. මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැකියාව විදෙස් රටවලට උකස් කරන මේ මිනිස් ජාවාරම අද ඊයේ ආරම්භ වූවාක් නොවේ. එය කාලයක් පුරා සිදු වෙමින් පවතින මහා පරිමාණයේ මිනිස් ජාවාරමකි. ‘සිළුමිණ‘ මේ උත්සාහ ගන්නේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකර යොවුන් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවට පටවන එවැනි මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමටය.

මීට වසර දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ ‘හැරල්ඩ් සන්‘ පුවත්පත පළමුවරට අනාවරණය කළ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවට පටවන මිනිස් ජාවාරම අදටත් ජයටම සිදු වෙමින් පවතින බව ආරංචි මාර්ග රැසක් ‘සිළුමිණ‘ට වාර්තා කළේය. එවකට හැරල්ඩ් සන් පුවත්පතේ පළ වූ එම ගවේෂණාත්මක හෙළිදරව්ව ඒ ආසන්න දිනයකම ‘යොවුන් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවට පටවන ජාවාරමක් හෙළි වෙයි‘ යනුවෙන් අපගේ සහෝදර ‘දිනමිණ‘ පුවත්පතට වාර්තා කරනු ලැබුවේ ද මේ ලියුම්කරු විසිනි. එහෙත් වැඩි අවධානයක් යොමු නොවීම එම පුවත යට ගියේය. කාලයාගේ ඇවෑමෙන් ඉතිහාසයේ එක්වුවත් අදටත් මේ මිනිස් ජාවාරම මහ පරිමාණයෙන් සිදු වන බවටත්, පාසල් ක්‍රිකට් පිටියේ සිට ක්‍රීඩා සමාජ මට්ටම කරා පැමිණෙන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් බිළී බාමින් සිය මඩිය තරකර ගන්නා එම ජාවාරම්කරුවන්ට ඇතැම් ක්‍රිකට් පුහුණුකරුවන්ගෙන් සැලකිය යුතු සහයක් ලැබෙන බවටත් තොරතුරු වාර්තා වේ.

ප්‍රධාන වශයෙන් දකුණු පළාත කේන්ද්‍ර කරමින් සිදුවන මේ ජාවාරමේ මහමොළකරු ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් නුවර පදිංචි සමන් කන්දගේ හෙවත් ‘සැමී‘ නමැති පුද්ගලයකු බව එවකට හැරල්ඩ් සන් පුවත්පත හෙළිදරව් කර තිබිණි. ඔහු කූට ලේඛන සකස්කර අතිවිශාල මුදලකට මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවට ගෙන්වන තැරැව්කරුවකු බව එම පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන මැන්ඩි ස්කියුරස් වාර්තා කළාය. එසේ ගෙන්වනු ලබන ක්‍රීඩකයකුගෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් දසදහසක් අය කළ බවත් (එවකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 14ක් පමණ) ඒ සඳහා මෙරටින් ගෙන්වා ගන්නා ක්‍රීඩකයන්ගේ දත්ත ව්‍යාජ ලෙස සකස් කර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය ගැනීමට ද එම තැරැව්කරු උපක්‍රමශීලිව කටයුතු කර ඇතැයි එම වාර්තාව මඟින් පෙන්වා දී තිබිණි. මේ ක්‍රීඩකයන්ගේ දත්ත ව්‍යාජ අන්දමින් සකස් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා වැනි ප්‍රාන්තවල ක්‍රීඩා සමාජවලට ඇතුළත් කිරීමට බවත්, ඒ සඳහා ඔහුට තවත් පුද්ගලයකුගේ සහාය ලැබී ඇති බවත් මාධ්‍යවේදිනි මැන්ඩි ස්කියුරස් අනාවරණය කළාය.

එම වාර්තාව පළ වී දැන් වසර දෙකකි. සමන් කන්දගේ විසින් සිදු කළ බව කියන මේ නීතිවිරෝධී කටයුතු හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශසීමා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී එරට ෆෙඩරල් පොලිසියත් වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් හැරල්ඩ් සන් පුවත්පත වාර්තා කළ ද, ඒ කිසිවක් සිදුවූ බවට කිසිදු තොරතුරක් නැත. වාර්තා වන එකම තොරතුර වන්නේ දකුණු පළාතේ තවමත් මේ ජාවාරම ජයටම සිදු වන බව පමණි.

ව්‍යාජ දත්ත සකස් කර යොවුන් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවට ගෙන්වන මේ කූට ජාවාරමට සම්බන්ධ සමන් කන්දගේ පමණක් නොව තවත් පුද්ගලයන් සිටින බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ තැරැව්කරුවන් හරහා මේ ව්‍යාපාරය සාර්ථකව සිදුවෙමින් පවතින බවත් දකුණු පළාතේ ප්‍රවීණ පාසල් ක්‍රිකට් පුහුණුකරුවකු ලියුම්කරුට පසුගියදා අනාවරණය කළේය. ඔහුට අනුව රුපියල් ලක්ෂ 13කට අධික මුදල් ප්‍රමාණයක් වැය කරමින් එසේ ඔස්ට්‍රේලියාවට යන යොවුන් ක්‍රීඩකයකු එරට ක්‍රීඩා සමාජයේ කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීමෙන් පසු ගෙවනු ලබන දීමනාවෙන් ද යම්කිසි ප්‍රතිශතයක් අදාළ තැරුව්කරුට මාසිකව ගෙවීමට සිදු වී තිබේ.

පාසල් ක්‍රීඩා පිටියෙන් ක්‍රීඩා සමාජවලට එක්වන ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායමට එක්වීමට ලැබෙන අවස්ථා අතිශය විරල වන බැවින් බොහෝ පාසල් ක්‍රීඩකයන් මේ අයුරින් මුදල් ගෙවා ඔස්ට්‍රේලියාවට යෑමට පෙලඹී සිටින බව ද හෙතෙම කියා සිටියේය.

ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජ නියෝජනය කිරීමේ සුදුසුකම වන්නේ මෙරට ප්‍රිමියර් ලීග් තරග කිහිපයකට ක්‍රීඩා කිරීම බවත්, එම තරගවල ලකුණු පුවරුව ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක සඳහන් වීම ප්‍රමාණවත් බැවින් ඔස්ට්‍රේලියාව බලා යෑමේ අපේක්ෂාවෙන් පසුවන සෑම ක්‍රීඩකයකුගේම උත්සාහය වී ඇත්තේ ප්‍රිමියර් ලීග් තරග කිහිපයකට ක්‍රීඩා කිරීමය. ඇතැම් ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන්ට ද විශාල මුදලක් ගෙවා ඒ සඳහා අවස්ථාව ලබා ගැනීමට ක්‍රීඩකයන් පෙලඹී සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. එසේ ඔස්ට්‍රේලියාව බලා පිටත්වන ක්‍රීඩකයන්ට අතිදුෂ්කර ජීවන රටාවක් ගෙවීමට සිදුවී ඇති අතර, මුදල් උපයා ගැනීම සඳහා ඇතැම් ක්‍රීඩකයෝ අලුයම 1.00 - 2.00 පමණ වනතුරු විවිධ රැකියාවන්හි නිරත වෙති.

හැරල්ඩ් සන් පුවත්පත පළ කළ වාර්තාවට අනුව ක්‍රීඩකයන්ට නවාතැන් පහසුකම් සලසා ඇති ස්ථානවල එක් කුටියක ක්‍රීඩකයන් කිහිපදෙනකුම නවාතැන් ගන්නා බවත්, එවැනි ස්ථාන සරණාගත කඳවුරකට සමාන බවත් කියැවේ. මින් පැහැදිලි වන්නේ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන යොවුන් ක්‍රීඩකයන්ගේ ජීවන රටාව සහ මැදපෙරදිග ගෘහසේවයේ නිරත වන කාන්තාවන්ගේ ජීවන රටාව අතර වැඩි වෙනසක් නැති බවය. දකුණු පළාත කේන්ද්‍ර කරමින් මේ ජාවාරම සිදුවූව ද, මෙරට බොහෝ නගරවල ද එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන බවට තොරතුරු වාර්තා වේ.

දකුණු පළාතේ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු සඳහන් කළ ආකාරයට පාසලෙන් නික්ම යන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එකම සිහිනය කෙසේ හෝ ප්‍රිමියර් තරග දෙක තුනක් ක්‍රීඩා කරමින් අදාළ වෙබ් අඩවියට නම ඇතුළත් කරගැනීමය. ඒ හරහා ඔස්ට්‍රේලියාවට යෑමය. රත්ගම, ගාල්ල, මාතර, අම්බලන්ගොඩ වැනි නගර ගණනාවක යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මේ වනවිටත් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩාවේ නිරතව සිටින අතර, ඒ සඳහා විදේශගත වීමට ප්‍රමාණවත් මුදල් සොයා ගැනීමට ගේදොර ඉඩකඩම් උකසට තැබීමට සහ රත්‍රන් භාණ්ඩ උකසට තැබීමට ඔවුන්ට සිදුවී ඇතැයි වාර්තා වේ. එසේ විදේශගත වන බොහෝ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් මේ වන විට වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඔවුන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමක පවතින බවත් දකුණු පළාතේ ක්‍රිකට් පුහුණුකරු වැඩිදුරටත් කීවේය. ඔස්ට්‍රේලියාව බලා පිටත් වන යොවුන් ක්‍රීඩකයන් වැඩි වශයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා සමාජවලට බැඳී ක්‍රීඩා කරමින් සිටින අතර, එවැනි ක්‍රීඩා සමාජ එතරම් ඉහළ මට්ටමේ ක්‍රීඩා සමාජ නොවන බවද වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ විවිධ ක්‍රීඩා සමාජ සඳහා යොමු කර ඇති එම ක්‍රීඩකයන්ගේ ගිවිසුම් පවා ඔවුන් මෙතෙක් දැක නැති බවත්, පොරොන්දු වූ පරිදි ක්‍රීඩා සමාජවලින් ගෙවීම් නොලැබීම මත එම ක්‍රීඩකයන් දැඩි අසරණ තත්ත්වයට ඇදවැටී ඇති බවත් හැරල්ඩ් සන් පුවත්පත අනාවරණය කර තිබිණි.

එසේ ගෙන්වනු ලබන බොහෝ ක්‍රීඩකයන් මෙරට පළමු පෙළ තරගවලට සහභාගි වූ බවට සහ ඔවුන්ගේ ක්‍රිකට් දස්කම් ඉහළ මට්ටමක තිබෙන බවට ව්‍යාජ දත්ත සකස් කර ඒවා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කිරීමෙන් වීසා බලපත්‍ර ගැනීමට අවශ්‍ය අවසරපත් ගැනීමට කටයුතු කර ඇතැයි ද හෙළි වී තිබේ. මේ මිනිස් ජාවාරම හඹා ගිය පෙර කී මාධ්‍යවේදිනිය එසේ ගෙන්වනු ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් ද තොරතුරු ලබා ගෙන ඇත.

නම හෙළි නොකළ එක්තරා ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයකු පවසා ඇති අන්දමට ඔහු මෙරට ක්‍රීඩා කර ඇත්තේ එක් පළමු පෙළ තරගයකට පමණි. නමුත් තැරැව්කරුවා ඔහුගේ ලිපි ලේඛන වෙනස් කර ඔහු මෙරට පළමු පෙළ තරග බිමේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයකු බව තහවුරු කරමින් වීසා බලපත් ගැනීමට කටයුතු කළ බවට තොරතුරු වාර්තා වේ. 2019 වසරේ අගභාගයේදී එසේ ඔස්ට්‍රේලියාවට ගිය එම ක්‍රීඩකයා මෙල්බර්න් ගුවන්තොටුපලේදී අදාළ තැරැව්කරුවාට ඔස්ට්‍රේලියානු ඩොලර් දසදහසක මුදලක් දී ඇති අතර, නිදන කාමර තුනකින් සහ එක් නාන කාමරයකින් සමන්විත නිවෙසක ඔහුට නවාතැන් සපයා ඇත. එම නවාතැනේ ඔහු සමඟ තවත් පුද්ගලයන් 16 දෙනකු පමණ පදිංචිව සිටින බව එම ක්‍රීඩකයා හැරල්ඩ් සන් මාධ්‍යවේදිනියට පවසා තිබේ.

එවකට 23 හැවිරිදි පසුවූ මේ ක්‍රීඩකයා දකුණු පළාත කේන්ද්‍ර කරගත් අයකු වන අතර, 2019 තරගවාරයට පමණක් එවැනි ක්‍රීඩකයන් 70ක් පමණ එසේ ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට අදාළ තැරැව්කරුවා කටයුතු කර ඇතැයි ද පවසා තිබේ. මේ කූට මිනිස් ජාවාරම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි වීසා ගැනීමට නිකුත් කරන නිර්දේශ ලිපි දීමේ ක්‍රමවේදය යළි සලකා බැලීමට තීරණය කර ඇතැයි ද එවකට හැරල්ඩ් සන් පුවත්පත වාර්තා කර තිබිණි. එහෙත් මේ වනවිටත් ඔස්ට්‍රේලියාවට යොවුන් ක්‍රීඩකයන් පටවන ජාවාරම ජයටම කෙරීගෙන යන ආකාරයෙන් පැහැදිලි වන්නේ මේ ජාවාරම පසුපස තවත් අදිසි බලවේග රැසක් ක්‍රියාත්මක වන බවකි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට විදේශගතව ක්‍රීඩාවේ නිරතවීමට ඉඩකඩ තිබුණද, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අදාළ බලධාරීන් විසින් කඩිනමින් සකස් කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් තවදුරටත් කූට ජාවාරම්කරුවන් සහ ඇතැම් පුහුණුකරුවන්ගේ ගොදුරු බවට පත්වනු ඇත. සමන් කන්දගේ නමැති තැරැව්කරුවා මේ ව්‍යාපාරයෙන් ඉවත් වූවද, එවැනි තවත් තැරැව්කරුවන් බිහි වන තරමට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාව බලා යෑමේ ප්‍රවණතාවක් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

මෙවැනි කූට ව්‍යාපාර වළකමින් විදේශගතව ක්‍රීඩාවේ නිරතවීමට අපේක්ෂා කරන තරුණ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය විසින් යම්කිසි වැඩසටහනක් සැලසීම අතිශය වැදගත් බව දකුණු පළාතේ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු වැඩිදුරටත් පවසා සිටියේය.

ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් පසුවන යොවුන් ක්‍රීඩකයන්ට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම වන මෙරට ප්‍රිමියර් ලීග් තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසාදීමට කටයුතු කරන ඇතැම් පුහුණුකරුවන් ඒ සඳහා විශාල මුදලක් අයකරන බවට තොරතුරු වාර්තා වන්නේ යැයි කලක් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයකු ද ලියුම්කරු සමඟ කීවේය. පළමු කොටසේ ක්‍රීඩා සමාජ නොව වෙනත් ක්‍රීඩා සමාජවල ඇතැම් පුහුණුකරුවන් මේ ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වේ. එවැනි ක්‍රීඩා සමාජ සොයා බැලීමටත්, ප්‍රිමියර් ලීග් තරග බිමට එක්වන ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිවැරැදිව හඳුනා ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යම්කිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇතැයි හිටපු ක්‍රීඩකයා වැඩිදුරටත් කියා සිටියේය. යොවුන් ක්‍රීඩකයන් රැසකගේ දායකත්වයෙන් ජාතික කණ්ඩායම ජාත්‍යන්තර තරග බිමේ දස්කම් දක්වමින් ඉදිරියට යමින් සිටින අවස්ථාවක දස්කම් අතින් ඉදිරියට පැමිණෙන සෙසු යොවුන් ක්‍රීඩකයන් රැක ගත යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගෙන් ‘සිළුමිණ‘ කළ විමසුමකදී ඔහු පැවැසුවේ එවකට හැරල්ඩ් සන් පුවත්පත අනාවරණය කළ සිදුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු සම්බන්ධතාවක් නැති බවය. වෙනත් බාහිර පාර්ශ්ව විසින් එම කටයුතු සිදුකර ඇති බවට ක්‍රිකට් ආයතනයට ද තොරතුරු වාර්තා වූ බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජ නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට මෙරට ක්‍රීඩකයන්ට අවස්ථාව දීම සඳහා මීට මාස හයකට පෙර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවත්, මේ වසරේ සිට එය ආරම්භ කිරීමට සැලසුම් කළ ද, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල්යෑමෙන් එය ප්‍රමාද කිරීමට සිදු වූ බවත් ඔහු වැඩිදුරටත් කීවේය. ඉදිරියේදී එම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඈෂ්ලි ද සිල්වා කියා සිටියේය.

 

Comments