පැය දෙකක් තිස්සේ හද­වත නැව­තුණු ගැබිනි මවත් බිලිඳියත් බේරා­ගත් විස්මිත සැත්කම | සිළුමිණ

පැය දෙකක් තිස්සේ හද­වත නැව­තුණු ගැබිනි මවත් බිලිඳියත් බේරා­ගත් විස්මිත සැත්කම

 

දිනය - මාර්තු 20 අඟහරුවාදා

වේලාව - රාත්‍රී 11.00 ට ආසන්නය

වයඹ පළාතේ පර්යන්ත රෝහලක් වන ගල්මුරුව රෝහලේ වෛද්‍යවරියක හලාවත රෝහලේ වෛද්‍යවරයකු ඇමතුවාය.

‘‘ඩොක්ටර් මම ගල්මුරුව හොස්පිට්ල් එකේ ඩොක්ටර් වීරක්කොඩි, අපිට ඇඩ්මිට් කරපු ප්‍රෙග්නට් පේෂන් කෙනෙක්ගෙ තත්ත්වය හොඳ මදි, ප්‍රෙෂර් එක හොඳ තත්ත්වයක නැහැ. මම ට්‍රාන්සර් කරනවා‘‘

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු දෙනාටම මේ පණිවුඩය ලැබී තිබුණි. ගත වූයේ විනාඩි කිහිපයකි. රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරු රැසක්ම රෝහලට පැමිණියහ. ඒ අතර නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, නිර්වින්දන වෛද්‍ය හා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇතුළු තවත් වෛද්‍යවරු රැසක් වූහ.

වේලාව රාත්‍රී 11.24 ලෙස ඔරලෝසුවේ දැක්වුණි.

වේගයෙන් නළා හඬ නංවා පැමිණි ගිලන් රථයක් හලාවත මහ රෝහලේ රෝගීන් ඇතුළත් කිරීමේ දොරටුව අසල නැවතුණි. ගිලන් රථයේ පැමිණීම බලාපොරොත්තුව සිටි රෝහල් සේවකයෝ කඩිනමින් එහි සිටි රෝගියා රෝහලේ ට්‍රොලියක් මතට ගත්තේ ඇය අසාධ්‍ය තත්ත්වයේ සිටි නිසාය. ඇය වහාම ප්‍රාථමික වෛද්‍ය ඒකකයට ඇතුළු කළ අතර ඒ වන විටත් ඇයගේ හෘද ක්‍රියාකාරීත්වය ව්‍යාකූල තත්ත්වයක තිබුණි.

රෝගියාගේ තත්ත්වය එතරම් සුබදායක නොවන බව තේරුම්ගත් වෛද්‍ය කණ්ඩායම වහා ඇය ශල්‍යාගාරයට ඇතුළු කරන ලදි. ඒ විනාඩි 3ක් වැනි කෙටි කාලයක් තුළදීය. ඇය සති 32ක එනම් මාස 8කටත් අඩු ගැබිනියකි. එහෙත් රෝගියාගේ අසාධ්‍ය තත්ත්වය නිසා සිසේරියන් සැත්කමක් මඟින් දරුවා එළියට ගැනීමට වෛද්‍යවරු තීරණය කළහ. ඒ අනුව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වාගේ උපදෙස් මත සිසේරියන් සැත්කමට කටයුතු සූදානම් කෙරිණි.

එහෙත් සිදුවූයේ කිසිවකු බලාපොරොත්තු නොවූ ලෙසින් ඇයගේ හදවත නතර වීමය. වහා ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායම ඇයට කෘත්‍රිම හෘද ස්පන්දනය දීමට කටයුතු කරන ලදි. ඒ අතර සිසේරියන් සැත්කමින් දරුවා එළියට ගැනීමටද කටයුතු කරන ලදි. හෘදය නතර වූ රෝගියකුට කෘත්‍රිම හෘද ස්පන්දනය දෙන අතරේ සිසේරියන් සැත්කමක් සිදු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත් ඒ විශ්වකර්ම සැත්කම කරන්නට මේ වෛද්‍යවරු සමත් වූහ.

ඒ ගැන අප පවසනවාට වඩා හලාවත රෝහලේ අධ්‍යක්ෂවරයාම පවසන්නේ නම් එය මහත් අගනේය.

අපි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චිගේ හඬට අවධානය යොමු කරමු.

‘‘ ගල්මුරුව හොස්පිට්ල් එකෙන් අපට කතා කරල හෘද රෝගී අසාධ්‍ය ගැබිනි කාන්තාවක් එවනව කියපු වෙලාවෙම අපි සූදානමින් හිටියෙ. අදාළ සියලු වෛද්‍යවරුන් රෝහලට ආවා, හරියටම රෑ 11.24 වෙනකොට රෝගියා රෝහලට ගෙනාව. රෝගියා අසාධ්‍ය තත්ත්වයේ සිටි නිසා අපි ඉක්මනින් සිසේරියන් සැත්කමක් කර දරුවා එළියට ගැනීමට තීරණය කළා. සාමාන්‍යයෙන් සති 36ක් හෝ 40ක් වත් දරුවා කුසේ සිටිය යුතුයි. ඒත් මවගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ මට්ටමක නැති නිසා අපි තීරණය කළා අඩු මාසයෙන් හෝ දරුවා බිහි කිරීම සුදුසුයි කියා.

ඒ ක්ෂණයෙන්ම ඇයගේ හෘදයේ ක්‍රියාකාරීත්වය නැවතුණා. ඒක අපට ලොකු අභියෝගයක් වුණා. ඒත් ඒකට අපේ කණ්ඩායම පසුබට වුණේ නැහැ. විශේෂඥ වෛද්‍යවරයාගේ සිට මේ කාර්යයට දායකත්ව දුන් සියලු සෞඛ්‍ය සේවක සේවිකාවන් එකා මෙන් සැත්කමට තම දායකත්වය දුන්නා. රෝගියාට කෘත්‍රිම හෘද ස්පන්දනය ලබා දෙමින් සැත්කම සිදු කරන්නට අපි තීරණය කළා.

ඒ අනුව නාරි හා ප්‍රසව විශේෂඥ ගයාන් ද සිල්වාගේ උපදෙස් මත වෛද්‍ය සරත් ගමගේ විසින් සිසේරියන් සැත්කම කළා. වෙනත් සිසේරියන් සැත්කම්වලදී රුධිරය සැලකිය යුතු තරමක් ගලා යනවා. ඒත් මෙහිදී රුධිරය බින්දුවක්වත් ගියේ නැහැ. ඒ අතර රෝගියාගේ මොළයට රුධිරය සැපයුම අඛණ්ඩව සිදු කරන්න අප කටයුතු කළා.

සුවෙන් සිටින දරුවා

සිසේරියන් සැත්කමට විනාඩි 11ක කාලයක් පමණයි ගත වුණේ. එය ඉතා සාර්ථකයි. එහිදී දරුවාට අවශ්‍ය කරන එන්නත් පවා කඩිනමින් දෙන්න අප කටයුතු කළා.

ඒත් මවගේ හෘදය යථා තත්ත්වයට පත් වුණේ නැහැ. පැය දෙකක්ම ඇයට හෘද ස්පන්දනය දෙන්නට සිදු වුණා. එය පහසු කාර්යයක් නොවුණත් අපි කිසිදු විටක උත්සාහය අත්හැරියේ නැහැ. සිසේරියන් ශල්‍යකර්මයක් කර ඇති රෝගියාට හෘද ස්පන්දනය කෘත්‍රිමව දීම පහසු කාර්යයක් නෙමෙයි. එයත් පැය දෙකක පමණ කාලයක්.

පැය දෙකකට පමණ පසුව ඒ කියන්නේ පාන්දර 1.30ට පමණ ඇයගේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය යළි ආරම්භ වුණා. ඒ අනුව අපේ උත්සාහය ඉතා සාර්ථකයි. සියලු දෙනා අඛණ්ඩව එක තත්ත්පරයක්වත් ඉවත නොදමා මේ වෙනුවෙන් ඇප කැපවුණා කිවුවොත් එය නිවැරැදියි. මවගේ ජීවිතය බේරා ගැනීමට අපට හැකිවුණේ ඒ නිසයි.

රෝගියාගේ හෘද ස්පන්දනය පහසු කිරීම පිණිස ඊට අදාළ ශ්වසන යන්ත්‍ර වෙත ඇය සම්බන්ධ කරා. ඇයගේ තත්ත්වය පැවැති බරපතළ තත්ත්වයෙන් මිදුණු නිසා ඇයගේ හෘදය වස්තුවට කෘත්‍රිම බටයක් යොදා ඇය වැඩිදුර ප්‍රතිකාර පිණිස 21 වැනිදා පෙරවරුවේම කොළඹ හෘද රෝග ඒකකයට මාරු කළා. ඒ සඳහා කොළඹ හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය රොෂාන් පරණමානගේ හා අප කතා කර අවශ්‍ය පරිදි කටයුතු කළා. දැන් ඒ රෝගී මාතාව කොළඹ හෘද රෝග ඒකකයේ වැඩි දුර ප්‍රතිකාර ලබනවා.

රෝහල්වල බෙහෙත් නැහැ. ඒ වගේම අඩුපාඩු ගැන කතා කරන මේ මොහොතේ අපට හැකි උපරිම ආකාරයෙන් සේවය කරන්නට හැකි වීම ගැන අපට සතුටුයි. අපි ගන්නා වැටුපට සරිලන සේවාවක් කරා කියලා අපට සෑහීමට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා අපි වගේම උත්සාහය අත් නොහැර කටයුතු කරන්න කියා. ජීවිතයක් බේරා ගන්නට ලැබීම විශාල ජයග්‍රහණයක්‘‘

හලාවත රෝහලේ විශේෂඥ වෛද්‍ය ගයාන්ද සිල්වා පැවසුවේ මෙය ඉතාම දුර්ලභ අවස්ථාවක් බවයි

‘‘අදාළ ගර්භිණී මාතාව රෝහලට ඇතුළු කරන අවස්ථාවේදී අධික රුධිර පීඩන තත්ත්වයකින් හා හෘදය වස්තුවේ සංකූලතාවකින් හිටියේ. එවන් තත්ත්වයක සිටි ඇයගේ හෘද වස්තුව සිසේරියන් සැත්කමට පෙර අකර්මන්‍ය වී තිබියදී සිසේරියන් සැත්කම සිදු කර දෙදෙනාගේම ජීවිත බේරා ගැනීමට හැකි වීම වාසනාවක්. මීට කලින් මගේ ජීවිතේ මෙවැනි අවස්ථාවකට මුහුණ දීලා නැහැ. මෙවැනි තත්ත්වයකදී දෙන්නගෙම ජීවිත බේරාගැනීම බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. ඒත් අපි ඒ අභි‍‍යෝගය හොඳින් ජය ගත්තා"

මෙය ඇත්තෙන්ම විස්මිත සැත්කමකි. යක්කු ගස් නගින වේලාවේදී නිදි වර්ජිතව මේ සැත්කම සිදු කළ වෛද්‍යවරුන් බොහෝ දෙනා දිවා කාලයේද රෝගීන් වෙනුවෙන් තම ශ්‍රමය කැප කළ අයයි. පසුගිය කොවිඩ් උග්‍ර ව්‍යාප්ති සමයේ සුවවිරුවන් ලෙස සැලකූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුව විරුවන් නොව සුව දෙවියන් බව පෙන්වමින් මේ ශල්‍ය කර්මය සිදු කෙළේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම අවධානය යොමු කර ගනිමිනි. ඒ සඳහා රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය වන දුෂානි අතපත්තු, ළමා රෝග සම්බන්ධ වෛද්‍යවරිය වන චමිලා පෙරේරා, හෘද රෝග විශේෂඥ වෛද්‍ය අමිල වලව්වත්ත හා සිසේරියන් සැත්කම සිදු කළ සරත් ගමගේ යන වෛද්‍යවරුද සහභාගි වූහ. අධ්‍යක්ෂවරයා හා විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා මේ මෙහෙයුමේ නියමුවන්ය.

ඊට අමතරව ඒ සඳහා සහභාගි වූ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනෙක් සියලු සුව කාර්ය මණ්ඩලයේම කැපවීම අගය කළ යුතුමය.

එමෙන්ම කොළඹ හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය රොෂාන් පරණමානගේ ගේ සේවාවද මෙහිලා සිහිපත් කළ යුතුය.

තම සියලු කටයුතු නවතා රාත්‍රියම ගැබිනි මව වෙනුවෙන් කැප කරන්නට පැමිණි අය අතර සැලකිය යුතු පිරිසක් කාන්තාවන්ය. තම රාජකාරිය දේව කාරිය කරගන්නට ඔවුන් කටයුතු කෙළේ ජීවිතයක වටිනාකම හොඳින් දන්නා නිසාය.

එසේම සාමාන්‍යයෙන් හෘද රෝගියකුට කෘත්‍රිම හෘද කම්පන දෙන්නේ සුළු වේලාවකි. එහෙත් පැය දෙකක් වැනි දීර්ඝ කාලයක් එසේ හෘද කම්පන දෙමින් කෙසේ හෝ හදවත පණ ගන්වන්නට ඔවුන් උත්සාහ ගෙන ඇත්තේ හදවතක අගය දන්නා හදවත් ඇති හෙයිනි.

සැත්කමට දායක වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය

අපේ රටේ රෝහලකදී පොලිසියකදී හෝ වෙනයම් රාජ්‍ය කාර්යාලයකදී වැඩි සැලකිලි ලැබෙන්නේ ඇති හැකි අයට මෙන්ම තමන්ට යමක් කර ගත හැකි අය උදෙසාය. තිත්ත වුවත් ඇත්ත එයයි. එහෙත් මෙහිදී ඒ ආකල්ප සියල්ල බිඳ හෙළීමට හලාවත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම කටයුතු කර තිබේ. අසරණ ගැමි කාන්තාවකගේ ජීවිතය හා දරුවාගේ ජීවිතය වෙනුවෙන් පැය දෙකක් තිස්සේ ඔවුන් කරන ලද සටන සුළු පටු නොවේ. මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ මීට පෙර කිසිදා සිදු නොකළ ශල්‍ය කර්මයකට ඔවුන් මුහුණ දීමයි. ශල්‍ය කර්මයක් යනු අත්හදා බැලිය හැක්කක් නොවේ. එයද නිදිබර මහ රාත්‍රියේය. එහෙත් ඒ අභියෝගය ජය ගන්නට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමත් වූයේ ඔවුන්ගේ ඇති කැපවීම නිසාමය. අප අගය කළ යුත්තේ ඒ කැපවීමය.

පුත්තලම දිස්ත්‍රික්කයේ හොඳම රෝහල බවට හලාවත රෝහල පත්වී ඇත. ඒ සලකුණ තවත් ඉහළට ඔ‍සොවා තබන්නට මේ විස්මිත සැත්කම තවත් හේතුවක් වී ඇත.

මාදම්පෙ ප්‍රදේශයේ ගල්මුරුවේ පදිංචි සිද්ධියට මුහුණ දුන් කාන්තාව වයස අවුරුදු 32ක් පමණ වන තැනැත්තියකි. ඇය පසුගිය මාස 3ක කාලයක් කිසිදු මාතෘ සායනයක් වෙත පැමිණ නැත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඇය විශේෂයෙන් සහභාගි විය යුතු වුවත් සායන මඟ හැර තිබේ. වාර්තා වන අන්දමට පවුල් පසුබිම මත ඇයට මේ සායනවලට සහභාගි වන්නට නොහැකිව තිබේ. ඇයට කුඩා දරුවන් දෙදෙනකු සිටින අතර ඔවුන්ගේ පරම්පරාගත චර්ම රෝගයක් නිසා සිසේරියන් සැත්කමෙන් බිහි වූ දරුවාටද එම චර්ම රෝගී තත්ත්වය හටගෙන තිබේ. එම නිසා ඒ සඳහාද ප්‍රතිකාර කිරීම පිණිස ළදරුවා හලාවත රෝහලේ නොමේරූ ළදරු ඒකකයට යොමු කර තිබේ.

හලාවත රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඇප කැප වූයේ අද ඊයේ පමණක් නොවේ. නිහඬ සේවාවක නිරත වන්නා වූ හලාවත රෝහල මේ දක්වා මෙරට වැඩිම පීසීආර් සංඛ්‍යාවක් කළ රෝහලද වන්නේය. එමෙන්ම කාලයක් කුණු කඳු ගොඩ ගැසී තිබුණු හලාවත රෝහලේ කිසිදු කුණු ගොඩක් දැන් දක්නට නැත එමෙන්ම රෝගීන්ට ආහාර පාන ලබාදීමේදී අනුගමනය කරනු ලබන ජාලගත ක්‍රමවේදයද බොහෝ දෙනාගේ ඇගැයීමට ලක්ව තිබේ.රෝහල් අධ්‍යක්ෂවරයාම පවසන පරිදි ලබන වැටුපට ණය නැති සේවාවක් රෝහල හරහා කෙරෙන්නේය. වෛද්‍යවරයාට රෝගියා තවත් එක් රෝගියෙක් නොවන සෑම රෝගියකුගේම ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන ඇති සුව සේවාවන් අතරට හලාවත රෝහලද විශේෂයෙන් එක් කළ යුතුය.

මහ රාත්‍රියේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව ගැබිනි කත බේරා ගැනීමට කටයුතු කළේ ඇය ප්‍රභූවරියක වීම නිසා හෝ වෙනයම් හෝ ලෙසකින් ඇය සමාජයේ ‍ උසස් අයකු නිසා හෝ නොව වෛද්‍ය ආචාරධර්ම අනුව සියලු දෙනා එක්ව කටයුතු කිරීමෙනි.

සමස්ත රෝහල් වෙතටම ආදර්ශයක් සැපයූ හලාවත රෝහලේ කාර්ය මණ්ඩලයට සමස්ත සමාජයේම ඇගැයීම හිමි විය යුත්තේ මිය ගිය හදවතකට පණ දුන් නිසාය.

ඡායාරූප - මිහිර විජේසේකර, මාරවිල සමූහ

 

 

Comments