යන්න එපා කීවත් මගේ මහත්තයා යන්නම ගියා | සිළුමිණ

යන්න එපා කීවත් මගේ මහත්තයා යන්නම ගියා

බොහෝ කාන්තාවන් තම සැමියන් වැරදි ආශ්‍රය නිසා, වැරදි ඇබ්බැහි වීම්වලින් මුදා ගැනීමට කටයුතු කර සාර්ථක විවාහ ජීවිත පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ ඔවුන්ට ගැහැනුකම තුළින් තම පවුලේ ඉදිරිය පිළිබඳව ලැබී ඇති දුර දක්නා නුවණ තුළිනි. මතුගම නැගෙනහිර බෝපිටියේ පදිංචි නිමේෂා සුරංගනීටද එවැනි අනාගත අනතුරු පිළිබඳව දැනීමක් ඇති වූයේ නිතැතිනි. මේ ඇයගේ කතාවයි.

“මගේ ගම මතුගම බෝපිටියේ කරම්පෑතර. මම වැඩුම්පුලිගේ දොන් ඉන්දික කුමාර සමඟ විවාහ වෙලා නැගෙනහිර බෝපිටියේ පදිංචි වුණා. ඉන්දික රියැදුරෙක් ලෙසත්, කාර් මිකයෙක්   ලෙසත් කටයුතු කළා. අපිට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමල් දුවට අවුරුදු 7 ක් වෙනවා. එයා පාසලේ තුන වසරේ ඉගෙන ගන්නවා. අපේ පුංචි පුතාට වයස අවුරුද්දයි මාස අටයි.

ඉන්දික එයාගේ කැන්ටර් රථයකින් හයර් ගිහින් තමයි දරුවෝ දෙන්නවයි මාවයි රැක බලා ගත්තේ. ඒත් පසුගිය කොරෝනා වසංගතයත්, ඊට පසු ඉන්ධන අර්බුදයත් නිසා ඉන්දිකගෙ වාහනයට හයර් තිබුණේ නැහැ. ඒ නිසා අපි නොයෙක් අවස්ථාවල අගහිඟතාවලට මුහුණ දුන්නා. ඉන්දික මටත් දරුවෝ දෙන්නටත් පුදුම ආදරයක් තිබුණේ. ඒ නිසා එයා අපේ වාහනයට හයර් එනකම් බලා ඉන්නේ නැතිව වෙනත් අයගේ වාහනවල රියැදුරු වැඩත් කළා කීයක් හරි හොයා ගන්න. ඒ අතර ගමේ අයගේ වතුර මෝටර්, තණකොළ කපන මැෂින් වගේ දේවල් අලුත්වැඩියාවත් කළා. හැබැයි ඒ වැඩ එයා කළේ මුදල් උපයන්න නෙමෙයි. ගමේ අයට උදව්වක් විදිහටයි.

මීට මාස එකහමාරකට විතර පෙර දවසක බෝපිටියේ හන්දියේ උත්සව භාණ්ඩ සැපයුම් ආයතනයක් සහ කොමිනිකේෂන් එකක් කරන 'උදය මහත්තයා' ඇවිත් එයාගේ කුලියට දෙන තණකොළ කපන මැෂින් එකක් කැඩිලා නිසා ඒක ඇවිත් හදල දෙන්න කිව්වා. ඒ උදය මහත්තයාට කිසියම් කණ්ඩායමකගෙන් තර්ජන තිබුණු බව ගමේ අයට දැනගන්න ලැබී තිබුණා. ඒ නිසා මට බයක් දැනුණා ඉන්දිකව එතනට යවන්න. ඒ නිසා මම ඉන්දිකට එතනට යන්න දුන්නේ නැහැ. ඊට පසුව කීප වතාවක් උදය මහත්තයා ඉන්දිකට දුරකථනයෙන් කතා කළත් මම ඒ ඇමතුම් එයාට දුන්නේ නැහැ. දිගින් දිගටම කෝල් කරන කොට මම කිව්වා ‘ඔයා එහෙට යන්න එපා... එයාට කියන්න මැෂින් එක අපේ ගෙදරට ගෙනත් දෙන්න’ කියලා. ගෙදරදී හදල දෙන්න.

පසුගිය අගෝස්තු 23 වෙනිදා වැඩක් නැතිව ඉන්දික ගෙදර හිටියේ. එයා අපේ පුංචි පුතාට බත් කැව්වා මිදුලේ එයාගේ බයිසිකලේ උඩ තියාගෙන. මම ගේ පිටුපස රෙදි වගයක් සෝදමින් සිටියේ. ටික වෙලාවකින් මට ඇසුණා වාහනයක් අපේ ගේ ළඟ නතර කරනවා. මම රෙදි සෝදන එක නතර කර ගේ පිළිකන්නෙන් ඇවිත් බලනකොට උදය මහත්තයා ඇවිත් ඉන්දික සමඟ කතා කරමින් සිටිනවා දැක්කා.

පස්සේ එයා ගියාම මම ඉන්දිකගෙන් ඇහුවා ‘ඇයි උදය මහත්තයා ආවේ’ කියලා. එතකොට එයා කිව්වා ‘අනේ බං තණකොළ මැෂින් දෙකක්ම කැඩිලා. ගේන්න අමාරුයි. උඹට වැඩි වෙලාවක් යන්නේ නැහැනේ. ඇවිත් අදම හදලා දෙන්න කිව්වා‘ කියලා. එයා මට කිව්වා මේ මනුස්සයා දැන් ගොඩක් දවස් ඉඳලා කියන නිසා ආයිත් එයාගේ මූණ බලන්නත් බැරි වෙනවා. ඒ නිසා හවසට ගිහින් ඉක්මනට එන්නම්’ කියලා එයා කිව්වා.

එදා රෑ අපි බණ ගෙදරක යන්නයි සිටියේ. රෑ 7 ට විතර ඉන්දික අපිට බණ ගෙදර යන්න ලැස්ති වෙලා ඉන්න කියලා උදය මහත්තයාගේ තණකොළ කපන මැෂිම හදන්න ගියා. මම එයාට යනකොටත් කිව්වා පැය භාගෙකට වඩා ඉන්න එපා කියලා. පැය භාගෙකින් විතර පස්සේ මම ඉන්දිකට කෝල් එකක් ගත්තත් එයා කතා කළේ නැහැ. මම හිතුවා එයා තවම වැඩේ කරනවා ඇති කියලා. ටික වෙලාවක් යනකම් මම කෝල් කළේ නැහැ. දිගින් දිගටම කෝල් ගත්තොත් එයා බණිනවා ‘තමුසෙගෙ කෝල්වලට කතා කරන්න ගියාම මට වැඩේ කරන්න වෙලාවක් නැති වෙනවා’ කියලා. ඒ නිසා මම ටික වෙලාවක් කෝල් කළේ නැහැ. තවත් ටික වෙලාවකින් නැවත කෝල් කළත් එයා කතා කළේ නැහැ. පසුව මම උදය මහත්තයාටත් කෝල් එකක් ගත්තා. ඒක වැඩ කළේ නැහැ. රෑ වුණු නිසා බණ ගෙදර යන අදහසත් අත්හැරලා මම ඉන්දික එනකම් දරුවෝ දෙන්නත් එක්ක බලාගෙන සිටියා. ඒ වෙලාවේ මගේ සිතට ලොකු බයක් දැනුණත් ඉන්දික කාටවත් කරදරයක් කරන කෙනෙක් නොවන නිසාත්, ගමේ හැමෝම ඉන්දිකට හිතවත් නිසාත්, එයා කරදරයක් නැතිව ඒවි කියලා සිතාගෙන සිටියා.

රෑ 9.45 ට විතර මතුගම පොලිසියෙන් අපේ ගෙදරට ඇවිත් කතා කළා. එයාලා කිව්වා ‘ඉන්දිකට පොඩි අනතුරක් වෙලා වෑත්තෑවේ ඉස්පිරිතාලෙට ගෙනිච්චා’ කියලා. මම ඇහුවා එයාව බයිසිකලෙන් වැටිලද කියලා. එතකොට පොලිසියේ අය කිව්වා ‘නැහැ ඉන්දිකව කපලා’ කියලා. වෑත්තෑවේ ඉස්පිරිතාලේ අමාරු ලෙඩ්ඩු තියාගන්නේ නැති නිසා මම හිතුවා එයාට ලොකු අමාරුවක් නැතිව ඇති කියලා.

මම ලොකු දරුවාව අල්ලපු ගෙදරින් තියලා පොඩි පුතාවත් වඩාගෙන මතුගම පාර පැත්තට දිව්වා කොහොම හරි ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න කියලා. එතකොටම අපේ ගෙවල් ළඟ ගෙදරක කාර් එකක් ඇවිත් අපිව ඉස්පිරිතාලෙට එක්කරගෙන ආවා.

රෝහල් පොලිසියේ කට්ටිය ගොඩක් හිටියා. මම කිව්වා මට ලෙඩා බලන්න ඕනේ කියලා. එයාලා කිව්වා එක්කෙනෙක් නාගොඩ ගෙනිච්චා. අනිත් කෙනා මෙහේ ඉන්නවා කියලා. මම කිව්වා මට එයාව බලන්න වාට්ටුවට යන්න ඕනේ කියලා. එතකොටම මම දැක්කා මගේ ඉන්දික ට්‍රොලියක දාලා ඉන්නවා. අනේ දෙයියනේ එයා ලේ විලක සිටියේ. මගේ සිතට ලොකු බයක් තිබුණා කලක සිටම උදය මහත්තයාලගේ වැඩ කරන්න ගිහින් ඉන්දිකට කරදරයක් වේවි කියලා. මගේ අයියගෙත් අතක් කපලා තියෙන්නේ කිසියම් කණ්ඩායමක්. ඒ නිසා අයියට වුණු දේ ඉන්දිකට නොවෙන්නයි මම එයාව ආරක්ෂා කර ගත්තේ. අනේ මගේ කීම අහලා එයා නොගිහින් හිටියා නම් අද මේ වගේ විපතක් වෙන්නේ නැහැ. අන්තිමට මමයි දරුවෝ දෙන්නයි අසරණ වුණා.

මේ පිළිබඳව මතුගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පරාක්‍රම උඩවත්ත මෙසේ පැවසීය.

“මේ සිදුවීම 23 වනදා රාත්‍රියේ අපට දැනගන්න ලැබුණා. අප නිලධාරින් එම අවස්ථාවේදීම සිද්ධිය සිදුවූ ස්ථානයට සහ තුවාල කරුවන් ඇතුළත් කළ වෑත්තෑවෙ රෝහලට ගියා. මියගොස් සිටි ඉන්දික කුමාර යන අය රෝහලට ගෙන එන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවා. කැපුම් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි උදය සමන්ත මුනිදාස යන අයව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරුකර යැව්වා. පසුව මියගිය අයගේ බිරිඳ රෝහලට ගෙන්වා ඔහුගේ දේහය හඳුනා ගත්තා.

මේ ඝාතනය කුමන හේතුවක් නිසා සිදු කළාදැයි තවම කිව නොහැකියි. මියගොස් සිටින ඉන්දික ගමේ කා සමඟත් සුහදව තමන්ගේ පාඩුවේ ජීවත් වූ අයෙක් බවට ගම්වාසීන් පවසනවා. අපේ මූලික පරීක්ෂණවලදීත් එය සනාථ වී තිබෙනවා.

කැපුම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙන වෙළඳසැලේ හිමිකරු වන උදය සමන්ත මුනිදාස යන අය සමඟ යම් කණ්ඩායමක් හෝ යම් කෙනෙක් ඇතිවූ හෝ කලින් තිබූ ආරවුලක් නිසා ඔහුට පහරදීමට පැමිණ පිරිසක් වැරදීමකින් මියගිය ඉන්දිකට මෙම පහරදීම සිදූකළාදැයි සැකයකුත් අපට තිබෙනවා. නමුත් එය අපට තවම නිවැරදිව කිව නොහැකියි. මේ වන විටත් උදය සමන්ත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිසා ඔහුගෙන් තවම ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හැකි වී නැහැ.

මෙම ඝාතනය සඳහා යතුරුපැදි දෙකකින් සිව් දෙනෙක් පැමිණ ඔවුන්ගෙන් දෙදෙනෙකු විසින් පහරදුන් අයුරු එම ස්ථානයේ සවි කර තිබූ ආරක්‍ෂිත කැමරා දර්ශවල සටහන් වී තිබෙනවා.

මේ පිළිබඳව කළුතර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස සහ මතුගම පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ උපදෙස් සහ මෙහෙයවීම මත පරීක්ෂණ කණ්ඩායම් කීපයක් පරීක්‍ෂණ පවත්වනවා. ඒ අනුව ඉක්මනින් මෙම ඝාතකයන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවේවි” යැයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

 

 

Comments