කොස්තාපල් ක්‍රිෂාන්තගේ ගෙල හිර කළ චීනා සිරිසේන රාලහාමිගේ කරාටේ පහ‍ෙරන් අවසන් ගමනේ | සිළුමිණ

කොස්තාපල් ක්‍රිෂාන්තගේ ගෙල හිර කළ චීනා සිරිසේන රාලහාමිගේ කරාටේ පහ‍ෙරන් අවසන් ගමනේ

අපරාධ ලොව කිරුළ කලින් කලට වෙනස් වේ. ඒ ඒ කලට අපරාධ ලොවේ ප්‍රබලයා වන්නේ කවුරු ද ඔහු එසමයෙහි රජු ලෙස භෞතිස්ම ලැබ කිරුළ හිමිකර ගනී. එය ද ලේසි පහසු කටයුත්තක් නොවේ. හොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, වංචා වැනි ම්ලේච්ජ ක්‍රියාවන් සිදුකර තිබීම ඒ සඳහා මූලික සුදුසුකම් ලෙස සැලකිය හැකිය. ඊට අමතරව පොලිසිවල, උසාවිවල නොමැකෙන අයුරින් නම සටහන් වීම මෙන්ම පත්තරවල මුල් පිටු ඔහු නමින් මෙන්ම ඔහු රුවින් වෙන් වීම ද විශේෂ සුදුසුකමකි. නිදහසේ හුස්මක් ගැනීමට නොහැකි වීම, සිතූ සේ සුව පහසු නින්දක් ලැබීමට නොහැකි වීම මෙන්ම නිරතුරුවම මරණ බය දැනීම යනු ඔහුට ලැබෙන බෝනස් ප්‍රතිලාභයන්ය.

හැට හැත්තෑව දශකවල අපරාධ ලොව හොල්ලා ගෙන සිටි ජයලත්ගේ සිරිසේන හෙවත් චීනා ද එවැන්නෙකි. සියනෑ කෝරලේ දොම්පේ කොට්ඨාසයේ කෑරගල උපන් ඔහු කුඩා කල සිටම පිය සෙනෙහස අහිමි වූවෙකි. ගම්වැසියන්ට නම් චීනාගෙන් හිංසාවක් සිදුවූ බවට කිසිම සාක්ෂියක් නැත. වත්මන් පරපුරට නුහුරු, නුපුරුදු නමක් වුවත් එකල සිටි අයකුට නම ඇසූ පමණින්ම ඔහු රුව සිතෙහි මැවෙනවා නොඅනුමානය. ඔහුගේ රුව පළ නොවු පුවත්පතක් එකල නොවූ තරම්ය. එමෙන්ම ඔහු ගැන නොදන්නා කෙනෙකු ද නොසිටි තරම්ය. රහස් පොලිස් මංකොල්ල විමර්ශන අංශය හෙවත් ගැන් රොබරි බියුරෝහි නිලධාරීන්ට නම් ඔහු ගැන සෙවිල්ලේම ඉන්නට සිදු විය. පොලිසිය ද සිටියේ සීරුවෙනි. චීනාගේ පැටිකිරිය හොඳින්ම දැන සිටියේ ද පොලිසියයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දිවියේ අත්දැකීම් ඇසුරින් ලියවුණු ‘මේ ඒ කතා’ කෘතියට ‘චීනා‘ පිළිබඳ පරිච්ඡේදයක්ද වෙන් විණි. එකී කෘතිය පාදක කොටගෙන චීනා පිළිබඳ සැකැසුණු කොටස් දෙකකින් යුත් ලිපි පෙළෙහි අවසන් කොටසයි.

ජයලත්ගේ සිරිසේන හෙවත් චීනාගේ මෙහෙය වීමෙන් කියුටෙක්ස්ගේ මාස්ටර් ප්ලෑනට අනුව හැට හැත්තෑව දශකයේ මෙරට සිදු වූ විශාලම මංකොල්ලයේ පළමු අදියර සාර්ථකව නිම කළ චීනා, කියුටෙක්ස් ඇතුළු කණ්ඩායම ඊළඟ පියවර සඳහා සූදානම් විය. රොබරියේ දෙවැනි අදියර වූයේ කොල්ලකෑ බඩු සඟවා තබා, සහභාගී වූවන් වරෙන්තුකරුවන් ලෙස උසාවියට ඉදිරිපත් වීමයි. දෙවැනි අදියර ක්‍රියාත්මක වීමේදී කොහේ හෝ අවුලක් සිදූ වී ඇති බව වැටහෙන විට ඔවුන් ප්‍රමාද වැඩිය. උසාවි භූමියේ දී සියල්ලන්ම සී.අයි.ඩී. සමූහ මංකොල්ල අංශය හෙවත් ගැන් රොබරි බියුරෝහි අත්අඩංගුවට පත්විය. රහසිගතව සිදු කළ සියල්ල ගැන් රොබරි බියුරෝහි උකුසු ඇසට ලක්වූයේ කෙසේද? සැලසුම ගැන ඔත්තුව සී අයි. ඩීයට ගියේ කාගේ මාර්ගයෙන් ද? මේ කිසිවක් කිසිවකුටත් සිතා ගත නොහැකි විය.

අපරාධකරුවා කොතරම් සූක්ෂම වුවද නීතියේ ඇසට වැලි ගැසීම එතරම් පහසු කටයුත්තක් නොවේ. චීනා, කියුටෙක්ස් ඇතුළු කණ්ඩායම උසාවි භූමියේ දී ම ගැන් රොබරි බියුරෝහි අත්අඩංගුවට පත්විය. නීතියට චීනා වැරදිකරුවකු වුවද ඔහුගේ එදිනෙදා කල්ක්‍රියාව එතරම් අයහපත් නොවීය. සිපිරි ගෙය තුළ වුවද චීනා විනයක් සහිත වැරදිකරුවෙකි. එය ඔහුගේ ක්‍රියාවන්ගෙන් මනාව පැහැදිලි විය. නිකරුණේ ගත කරන කාලය ඵලප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට සිතූ ඔහු එහිදී මැහුම් ශිල්පය හැදෑරීය. ඒ ඔස්සේ තම දිවිය වෙනස් මඟකට ගෙන යෑමට ඔහු සිතුවා විය හැකිය. අපරාධ දිවියට සමු දී යහපත් මිනිසෙකු වීමේ අරමුණ ඇතිවූවා ද විය හැකිය. එය එසේ වූවා යැයි සිතිය හැකි හොඳම සාක්ෂිය වූයේ තම ආදරණීය පෙම්වතිය සිර ගෙය තුළදී විවාහ කර ගැනීමයි. සමාජයටම වංචාකාරයකු වූ චීනා තම ආදරයට වංචාවක් නොකළ බව ඉන් පැහැදිලිය. අපරාධකරුවකු වන්නේද සාමාන්‍ය මිනිසෙකි. වැරැදි සිදුවන්නේ ද මිනිසුන් අතිනි. වැරැදි හදා ගැනීම ද මිනිස් ගතියකි. එය එසේ යැයි සිතා ඔහුගේ යහපත් කල්ක්‍රියාව හේතුකොට ගෙන නීතියෙන් සමාව ලැබ ඔහු නිදහස් විය.

නිදහස ලද චීනා තම බිරිය සමඟින් නව දිවියක් ඇරඹීමට කටයුතු කළේ අපරාධවලින් මිදීමේ අපේක්ෂාවෙන් විය හැකියි. ඒ සඳහා ඔහු තමා පදිංචි වැලිවේරිය නගරයේ ටේලර් සාප්පුවක් ආරම්භ කළේත් උගත් ශිල්පයෙන් වැඩක් ගැනීමටය. දෛවය මෙවරද ඔහුට හරස් විය.

අපරාධ කළ අයකුට කිසිදා සැනසීමක් නැති බව ලෝක ධර්මතාවයයි. චීනාට ද එය එසේම විය. සිතූ පරිදි ඔහුට දිවිය ගොඩනඟා ගැනීමට අවස්ථාවක් නොවීය. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියන්නා සේ යටපත් කරගෙන තිබුණු චණ්ඩිකම් ඉඳහිට හෝ ඉස්මතු වූයේ ඔහුටත් නොදැනීය. තම යතුරුපැදියේ නැග නගරය හරහා ගමන් කරන කිසිදු විටෙක ඔහු ආරක්ෂිත හිස් ආවරණය පැලඳියේ නැත. එය නීතියක් වුවද ඔහුට එය අදාළම නොවීය. ඔහු ගමන් කළේ ඔහුට රිසි පරිදිය. වැලිවේරිය නගර මධ්‍යයේ ‘චෙක් පොයින්ට්‘වල සිටින හුරුපුරුදු ට්‍රැෆික් නිලධාරීන්ට එය ගැටලුවක් නොවූයේ චීනාගේ තරම ඔවුන් දැන සිටි නිසාය. ඇතැමුන් නොදැක්කා සේ සිටි අතර තවත් සමහරුන් නොදැක්කා සේ ඉවත බලා ගත් අවස්ථා ද විය. චීනාට බයේ ද ඔහුට වෙනස් වීමට අවස්ථාවක් දීමට ද යන්න දැන සිටියේ ඔවුන් පමණි.

ආරක්ෂිත හිස් ආවරණය නොමැතිව නගරය හරහා ගමන් කළ එක් දිනකදී එහි සේවයේ යොදවා සිටියේ නාහෙට නාහන පොලිස් කොස්තාපල්වරයෙකි. නමින් ක්‍රිෂාන්ත වූ ඔහු චීනාගේ හැටි දැන සිටිය ද නීතිය අකුරටම පිළිපැදීමට උත්සාහ කළ අයෙකි. චීනාගේ බලපුළුවන්කාරකම් තඹේකට මායිම් නොකළ ක්‍රිෂාන්ත දෙවරක් නොසිතාම චීනා වැරදිකරුවකු කොට ගම්පහ උසාවියේ නඩුවක් ගොනු කිරීමට පියවර ගත්තේය. මේ හේතුවෙන් චීනාගේ සිතෙහි ක්‍රිෂාන්ත කෙරෙහි තරහක් ඉපදිණි. නඩුව විභාග කළ දිනයේ සිය බිරිය සමඟින් උසාවි ගොස් පැමිණ හොඳටම මත්පැන් පානය කළ චීනා නගරයට ගියේ ක්‍රිෂාන්ත කෙරෙහි තරහෙන් පිපිරෙමිනි. කරුමයකටදෝ එවේලෙහි ට්‍රැෆික් රාජකාරියේ යෙදී සිටියේ ද කොස්තාපල් ක්‍රිෂාන්තය. ඔහු දුටු සැණින් චීනාගේ කේන්තිය ඉහවහා ගියේය. ක්‍රිෂාන්ත සමීපයට ගිය චීනා ඔහුගේ පොලිස් නිල ඇඳුමේ කොලරයෙන් අල්ලා සෙලවූවේ නොසරුප් වචනයෙන් බැණ වදිමිනි.

කිසිදු බයාදු බවක් නොපෙන්වූ නාහෙට නාහන ක්‍රිෂාන්ත ද ඊට නොදෙවැනිව චීනා හා පැටලිණි. බහින්බස් වීම කෙළවර වූයේ දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවකිනි. එහි බිහිසුණු බව කොතෙක්ද කිවහොත් චීනාගේ දෙඅතින් ක්‍රිෂාන්තගේ ගෙල කිටි කිටියේ සිරවෙමින් තිබිණි. කොස්තාපල් ක්‍රිෂාන්තගේ දිවි ගමන අවසන් වීමේ මොහොත උදාවෙමින් තිබුණ ද ඔහුගේ හුස්ම තවත් දිගු කරමින් ඔහුගේ මිත්‍ර‍ෙයකු වූ කොස්තාපල් සිරිසේන එතැනට පැමිණියේය. ඔහු නොඑන්නට ක්‍රිෂාන්තගේ අවසන් සුසුම් පොද ඒ මොහොතේම වැලිවේරිය නගරයේ සුළඟට එක්වන්නට ඉඩ තිබිණි. කරාටේ සූරයකු වූ කොස්තාපල් සිරිසේනගේ වේගවත් ප්‍රහාරයෙන් කොස්තාපල් ක්‍රිෂාන්තගේ ගෙල රැඳි චීනාගේ දෙඅත ලිහිල්වී දැවැන්තයා අඩපණ වීමට ගත වූයේ සුළු මොහොතකි. චීනාගේ බලපුළුවන්කාරකම එතැනින් නිමා විය. කපා හෙළූ කෙසෙල් කඳක් සේ ඔහුගේ සිරුර වැලිවේරිය නගර මධ්‍යයේ පොලිස් මුර පොළ ළඟ ඇද වැටිණි. වහා ක්‍රියාත්මක වූ පොලිසිය බරපතළ තත්ත්වයෙන් පසුවූ චීනා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද ඒ වන විටත් අපරාධ ලොව හොල්ලා ගෙන සිටි දැවැන්තයා මෙලොව හැර ගොස් තිබිණි.

චීනාගේ මරණය ආන්දෝලනයට තුඩු දුන් කරුණක් වූ අතර එවකට ගම්පහ කොට්ඨාස භාරව සිටි ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමදාස උඩුගම්පොළගේ මෙහෙයවීම යටතේ අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි අනුව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේ දී සිදුවූ මරණයක් ලෙස තීන්දු කෙරිණි. අපරාධ ලොවට රජකු වූ ජයලත්ගේ සිරිසේන හෙවත් චීනාගේ ඉරණම එසේ විසඳිණි.

සකස් කළේ - නාමලී ගමගේ

Comments