
කෘෂිකර්ම ඇමැතිවරයා සහ ආණ්ඩුව ගොවියා රැවටීමේ රඟපෑමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නාමල් කරුණාරත්න සිළුමිණට කීය. ගොවියාගේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලට ගන්නා බව පවසා ආණ්ඩුව වී ගබඩා විවෘත කර සුළු ප්‍රමාණයක් වී මිල දී ගෙන ඒ වෙනුවෙන් ගොවීන්ට මුදල් පවා ගෙවා නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
කෘෂිකර්ම ඇමැතිවරයා රජයේ බැංකු වී මිලට ගැනීමට මුදල් නොදෙන බව පැවසුවද මහා පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලට ගැනීමට පහසුකම් සැලසී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. සියලු රාජ්‍ය බැංකු ආණ්ඩුව යටතේ ඇත්නම් ඒ හරහා වී මිල දී නොගන්නට ඇති හේතුව කුමක්දැයි යන්න ඔහු විමසා සිටී.
මේ ක්‍රියාවෙන් සිදුවන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් ගොවියාගෙන් අඩු මිලට වී මිල දී ගෙන පාරිභෝගිකයාට වැඩි මිලට හාල් අලෙවි කිරීම බවත් ආණ්ඩුව එය මැඬ පැවැත්වීමට යැයි කියා වස විස අඩංගු සහල් ආනයනය කරන බවත් ඔහු පැවසුවේය. ඒ හරහා ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙදෙනාම ගසාකෑමට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.