2022 රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවෝ | සිළුමිණ

2022 රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවෝ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව කෙටිකතාව, කවිය හා යොවුන් නවකතාව යන සාහිත්‍ය ක්ෂේත්‍රයන්ට අදාළව පැවත්වෙන රජත පුස්තක සම්මාන උලෙළ මෙවර ද පැවත් වුණු අතර, එහි සම්මාන ප්‍රදානය ඉකුත් 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සිදු කෙරිණ. එහිදී හොඳම කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් සුනිල් වික්‍රමසිංහ ගේ ‘සංසාර කමටහන්’ කෘතිය ද, හොඳම යොවුන් නවකතාව වශයෙන් ලියනගේ මොනිකා කුමාරි ගේ ‘වහන්කඩ’කෘතිය ද, හොඳම කාව්‍ය සංග්‍රහය වශයෙන් සඳරැසි සුදුසිංහ ගේ ‘ගිනි වැදුණු පියාපත්’ කෘතිය ද සම්මානයට පාත්‍ර විය.

සංසාර ගත ජීවිතයේ අත්දැකීම් උකහා ගැනීමක් 
කෘතිය - සංසාර කමටහන් 
කර්තෘ - සුනිල් වික්‍රමසිංහ 
ප්‍රකාශක- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 
විමසීම් - 071 222 2986

නූතන සිංහල කෙටිකතාවේ ඉතිහාසය ගත් කළ පැහැදිලිවම පෙනී යන මං සලකුණු කිහිපයක් වේ. ඒ අනුව පේරාදෙණිය සාහිත්‍ය සමය මුල්කොට ගත් බටහිර සහ රුසියානු කෙටිකතාවල වස්තු විෂය සහ ආකෘතිය අනුව ගිය කෙටිකතා සම්ප්‍රදායක් මුලින්ම දැකිය හැකි ය. දෙවැනුව විශේෂයෙන්ම 70 දශකයෙන් පසු දේශපාලන කියවීමක් ඔස්සේ වර්ධනය වූ නූතන කෙටිකතාව එහි තුන්වැනි කාර්තුව, එනම් මෑත යුගයේදී පශ්චාත් නූතනවාදී සමාජ අත්දැකීම් සමඟ ද ගනුදෙනු කරනු දැකිය හැකි වේ. සුනිල් වික්‍රමසිංහ විසින් ලියන ලද ‘සංසාර කමටහන්’ කෘතිය බිහිවන්නේ එවැනි සාහිත්‍ය පසුබිමකය. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි. 

මේ කෙටිකතා සංග්‍රහය නිර්මාණය වූ ආකාරය ගැන පැහැදිලි කරනවා නම්?

මේ සඳහා මූලික වශයෙන් විෂය බවට පත් වන්නේ පෙරදිග දර්ශනයෙහි මූලික ඉගැන්වීම වන සංසාරය වන අතර, එහි සිදු විය හැකි හේතු දාමයක ක්‍රියාවලියයි. තෝරාගත් මනුෂ්‍ය හා මනුෂ්‍ය නොවන චරිත ආශ්‍රයෙන් යථාර්ථවාදී මෙන්ම පශ්චාත් යථාර්ථවාදී ධාරණයකින් මෙම කතා වියමන නිර්මාණය වූ බව කිව හැකියි. මෙහි සමහර කතා ක්ෂුද්‍ර ප්‍රබන්ධමය ලක්ෂණ දරන, සාමාන්‍ය පාඨකයන් ඉලක්ක කරගත් රීතියකින් ලියා ඇති අතර, එකිනෙක ඇමිණූ මාලයක් සේ සංසාරය යැයි කිව හැකි අර්ථමය පුරුකකින්/ආඛ්‍යාන ප්‍රයෝගයකින් සියලු කතා ගෙතී ඇත. එහෙත් තනි තනිව කතා රසවිඳීමට එයින් කිසිදු බාධාවක් ඇති නොවේ. සමකාලීන සමාජයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු, පිහිටක් ලබාගත නොහැකි අර්බුද සේම නොපෙනෙන අධිභෞතිකයෙහි සරන්නවුන් මුහුණ දෙන ගැටලු මෙම කෙටිකතා සංග්‍රහය පුරා විසිර පවතී. කරන්නේ කුමක්ද? යන්නේ කොහේටද? වැනි ප්‍රශ්න තුළ සිරවී සරණක් සොයන ඔවුන් පිළිබඳ තේරුම්ගත හැකි, දේශජ කිව හැකි පශ්චාත්-යථාර්ථවාදී රීතිය මෙහි තැනින් තැන මුණ ගැසෙනු ඇත. එහිදී ප්‍රයත්නය බවට පත්ව ඇත්තේ සයිමන් නවගත්තේගම සූරින් විසින් ඇති කරන ලද දේශජ පශ්චාත් යථාර්ථවාදය නැවත කරළියට ගෙන ඒමයි. එමෙන්ම පෙරදිග දර්ශනයෙහි මූලික ඉගැන්වීම වන සංසාරයත්, එහි ස්වභාවයත් මෙහි මූලික ආඛ්‍යාන ප්‍රයෝගය බවට පත්වන්නේ ද තත් කරුණ මුල්කරගෙනමයි.


ඒ වේදනාව ‘ගිනි වැදුණු පියාපත්’නම් විය‍ 
කෘතිය - ගිනි වැදුණු පියාපත් 
කර්තෘ - සඳරැසි සුදුසිංහ 
ප්‍රකාශක- විදර්ශනා ප්‍රකාශන 
විමසීම් - 071 313 4783

විශේෂයෙන්ම 70 දශකය අවසානයේ දී මෙරට සමාජ දේශපාලන පරිසරය තුළ ඇතිවන අධිපතිවාදි බව දැකිය හැකි වූයේ දේශපාලන ප්‍රචණ්ඩවාදී හැසිරීම් ද සමඟ ය. නිදහස් මැතිවරණයට බලපෑම් කිරීම හා බැඳුණු රාජ්‍ය ත්‍රස්තවාදය එහිලා මූලික විය. මෙම තත්ත්වය වඩාත් බිහිසුණු ලෙසින් ඉස්මතු වූ අවස්ථාවක් හැටියට යාපනයේ නගර සභා පුස්තකාලයට ගිනි තැබීම පෙන්වා දිය හැකිය. මෙම සමාජ සංස්කෘතික ඛේදවාචකය පදනම් කර ගෙන ලියවී ඇති සඳරැසි සුදුසිංහගේ ‘ගිනි වැදුණු පියාපත්’ සිංහල කාව්‍ය ක්ෂේත්‍රය තුළ මග හැරී ගිය අත්දැකීමක් ස්පර්ශ කරමින් ලියවුණක් යැයි කිව හැකිය.

ඔබ සාහිත්‍යයට පිවිසෙන්නේ කොහොම ද?

මාතර මහමායා බාලිකාවෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මම පැමිණෙන්නේ පුරා විද්‍යාව හදාරන්නයි. ඒත් කුඩා කාලයේ සිටම සාහිත්‍යයට තිබුණු ඇල්ම නිසා සිංහල අධ්‍යයන අංශයත් සමඟ සම්බන්ධ වෙමින් තමයි පුරා විද්‍යා විෂය ධාරාව මම හැදෑරුවේ. මේ නිසාම ඉතිහාස ගවේෂණය මගේ සාහිත්‍යය ජීවිතයට ලොකු බලපෑමක් සිදු කළා. 

පුංචි කාලයේ සිටම අපිට අසන්නට ලැබෙන්නේ ඒ වගේම යාපනයේ ඒ අය අප ගැන අසන්නේත් සතුරු ආකල්ප සහිත කතා... ඒත් එය ඇත්තක් ද? මේ සොයා යෑම තමයි යාපනයේ ජීවිතයට මාව සමීප කළේ.

හේම් සෙල්ලප්පා නම් උසාවි ලේකම්වරයෙක් ඔහුගේ ලංකා හවුස් නැමැති නිල නිවාසය තුළ කාටත් ඇවිත් කියවන්න පුළුවන් විදිහට කුඩා පුස්තකාලයක් පවත්වා ගෙන ගියා. පසුව මෙය වැඩි දියුණු වෙන විට කඩ වීදියකට රැගෙන ගිය අතර ඔය විදිහට තවත් දෙතුන් තැනකම ස්ථානගත වෙනවා. යාපනය, මහ නගර සභාවක් බවට පත්වීමෙන් පසු යාපනයෙ මහා පුස්තකාලය බවට පත් වන්නේ මේ කුඩා පුස්තකාලයයි. තුරෙයි රාජසිංහම් නම් අයෙක් තමන් ළඟ තිබු ආනන්ද කුමාරස්වාමිගේ අත් පිටපත් ගණනාවක් මෙයට ප්‍රදානය කොට තිබෙනවා. පොන්නම්බලම් රාමනාදන් වැනි උගතුන්ගේ පෞද්ගලික පුස්තකාලවල පොත් ද මෙයට ලැබෙනවා. ඊටත් කලින් ලෝංග් නම් පියතුමකු මේ පුස්තකාලය ගොඩනඟන්න ආධාර ඉල්ලා ලොව වටා සංචාරය කොට තිබෙනවා. එහෙම ගොඩනඟපු පුස්තකාලයක් තමයි සිංහල දමිල විරෝධය නිසා එක රැයකින් ගිනි ගෙන අළු වන්නේ.

මගේ ‘ගිනි වැදුනු පියාපත්’ කෘතිය ලියවෙන්නේ ඒ කම්පනය නිසායි. එය කාව්‍ය සංග්‍රහයක් වුණාට බොහෝ පර්යේෂණාත්මක තොරතුරු ද ඊට ඇතුළත් වෙනවා.

මගේ උපතට වසර කීපයකට පෙර සිදුවුණු මහා ඛේදවාචකයක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම මට මෙන්ම දකුණේ වූ මිනිසුන්ගේද හද පෑරූ සිදුවීමක් වුණා. මේ රටේම උපන් මේ උරුමකරුවන් වූ ද්‍රවිඩ ජනතාවට රිදවිය හැකි උපරිම තුරුම්පුවක් ලෙස මේ මහා අපරාධය සිදු කරන්නට ඇත. ඒ කවදාකවත් සමාවක් දිය නොහැකි සමාවක් අයැදිය නොහැකි වරදකි. ඒ දුක පිට කරන්නට කවිය මාධ්‍යයක් කරගත් අතර එය ‘ගිනි වැදුණු පියාපත්’ ලෙස සමාජය වෙත පියඹා යන්නට විය.


යොවුන් නවකතාවේ සාම්ප්‍රදායික වීරයා තවදුරටත් වලංගු ද? 
කෘතිය - වහන්කඩ 
කර්තෘ - ලියනගේ මොනිකා කුමාරි 
ප්‍රකාශක- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 
විමසීම් -071 392 5729

යොවුන් නවකතා සාහිත්‍යය තුළ පොදුවේ දැකිය හැකි ලක්ෂණයක් වූයේ නව යොවුන් වියේ දරුවකු හෝ දරුවන් විසින් සිදු කරන්නා වූ වීරත්වය මුසු වූ ක්‍රියාකාරකම්ය. එය බොහෝ විට ඔවුන්ගේම නිදහස් ලොවක් වෙනුවෙන් මතුකර ගන්නා වූ ක්‍රියාකාරීත්වයකි. නමුත් සැබෑ සමාජ ජීවිත අත්දැකීම් හමුවේ නව යෞවනයකුට ඉහත කී ආකාරයේ සැහැල්ලු වීරත්වයක් මතු කර ගත හැකිද යන්න විමසීම තුළින් නිර්මාණය වු යොවුන් නවකතා ද පසුගිය කාලයේදී බිහි විය. ලියනගේ මොනිකා කුමාරිගේ ‘වහන්කඩ’ බිහිවන්නේ ද ඒ පසුබිමේමය.

මෙම කෘතියේ විශේෂත්වය ඔබ දකින්නේ කෙසේ ද? 

මෙම කෘතියට පාදක වෙන්නේ දැරිවියක් මල්වරවීමේ අවස්ථාවට මුහුණ දීමෙන් පසුව ඒ නිසා මතුවන අභියෝගයන් ඇය විසින් ජය ගන්නේ කොහොමද කියන කාරණයයි. විශේෂයෙන්ම දැරියක් නව යොවුන් වියට පත් වන්නේ මල්වරවීමත් සමඟයි. එතැනදී ඇයට ශාරීරික වෙනස්කම් සමඟ වෙනස් තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදුවෙනවා. අතීතයේදීත් මේ දේ සිදු වුණා තමයි. ඊට සාපේක්ෂව ගැහැනු දැරිවියක් මේ නව වෙනස්කම් සමඟ අද සමාජයේ ජීවත් වන ආකාරය බොහෝ කම්කටොලුවලින් ගහන එකක්ම යැයි අපට කියන්න බැහැ. ඒ වුණත් මල්වර වියෙන් පසුව ඇය මුහුණ දෙන අභියෝග ඇය ජීවත්වන සමාජයේ පොදු තත්ත්වයන් සමඟ සම්බන්ධ වෙනවා.

‘වහන්කඩ’ කෘතියෙන් මෙවැනි සමාජ යථාර්ථයෙන් යුත් කතාව ඉදිරිපත් කරන්නයි මම උත්සාහ කළේ. මුලදී අප හඳුනා ගත් යොවුන් නවකතාව බොහෝදුරට සමීප වුණේ ළමා කතා දෙසටයි. බොහෝ විට ඒවා යෞවන විය හා බැඳුණු සමාජ ගැටලු සහ ඔවුන්ගේ අත්දැකීම් සමඟ සම්බන්ධ වුණාද කියන ප්‍රශ්නය මට තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායික යොවුන් වීරයා නිතරම ජයග්‍රහණය කරන පහසු ගමනක් යන චරිතයක් බව දකින්න පුළුවන්. නමුත් සැබෑ සමාජයේදී යොවුන් චරිතවලට එවැනි පහසු ගමනක් හමුවෙනවාද කියා සිතා බැලිය යුතුයි.

ඒ වගේම යොවුන් ප්‍රේමයත් මෙහිදී අමතක කරන්න බැහැ. නමුත් එතැනදී හැඟීම්වලටම ඉඩ නොදෙන සැබෑ සමාජ යථාර්ථය සමඟ ගැටෙන කල්පනාකාරී අවධානයක් යොවුන් වියට අවශ්‍ය යැයි මම සිතනවා. ඒ විදිහට පොතක් හරහා සිතක් වෙනස් කිරීම යන තත්ත්වය මෙහිදී මම අවධාරණය කරන දෙයක් බවට පත් වෙනවා.

Comments