සම්මාන පිට සම්මාන දිනන ‘ද නිව්ස්පේ­පර්’ | Page 2 | සිළුමිණ

සම්මාන පිට සම්මාන දිනන ‘ද නිව්ස්පේ­පර්’

 

''අපේ මල්ලි කොටියෙක් නෙමෙයි”

යුද්ධ කාලෙදි බස් එකට බෝම්බ තැබුවේ ගුණාගේ මල්ලි බව පත්තරයක මුල් පිටුවේ මෙසේ පළවීමත් සමඟ කතාව ඇරඹේ.

“අපේ මල්ලි කොටියෙක් නෙමෙයි” කියන කියවිල්ල තහවුරු කිරීමට ආබාධිත ගුණාගේ අතට හසුවන්නේ පොළේදී එළවළු ඔතා ගන්නට ගත් ඉරුණු පත්තර කෑල්ලක් පමණි. ඒ, වසර නවයකට පසුවය. මගේ පුතා කොටියෙක් නෙමෙයි කියමින් අඬා වැටෙන අම්මාගේ හිත සනසන්නට වෙහෙසෙන ගුණාගේ සහායට හිඳින්නේ මළපොතේ අකුරක්වත් නොදන්නා ගමේ හරක් බලන්නා වන ලුයියා පමණි. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන්, කඩපිළේ සිටින ගැමියන්ගෙන් තම සොයුරා ගැන නිවැරැදි කිරීමක් කරන ලෙස ඉල්ලන ගුණාට ඒ කාගෙන්වත් පිහිටක් නොලැබේ. තම මිතුරා වන ලුයියා සමඟ ගමෙන් පිටව යන ගුණා තම මල්ලි වෙනුවෙන් සාධාරණයක් සොයයි. ඔහු පුවත්පත් ආයතනයට ගොඩවෙයි. මෙන්න මේ තේමාව යටතේ ගොඩනැඟුණ “ද නිව්ස්පේපර්‘ කතා ගොඩක් තිබෙන එහෙත් ඒ හැම කතාවකටම අරුතක් තිබෙන, ඇතැම් තැනකදී පොඩි සංකේතවලත් ගැඹුර අරුත් ඇති අමුතුම කතාවකි. මේ අමුතුම කතාවට පණ පෙවුවේ කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල යන නළුවන් දෙදෙනාය.

2020 වසරේදී තිරගත වූ ‘ද නිව්ස්පේපර්’ අද වන විට බොහෝ දිගු ගමනක් පැමිණ සිටී. මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබූ සම්මාන සංඛ්‍යාව 8කි.

‘ද නිව්ස්පේපර්’ චිත්‍රපටය ලැබූ නවතම සම්මානය වන්නේ රුසියාවේ වාර්ෂිකව පවත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මාන ද්විත්වය සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරට හිමිවීමය. පසුගිය සැප්තැම්බර් 11 දා රාත්‍රියේ කසාන් නුවර පිරමීඩ් සංකිර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් මෙම උත්සවය පවත්වන ලදී.

උලෙළ සඳහා කාන්, ලන්ඩන්, බුසාන්, ආදි ලෝ ප්‍රකට සිනමා උලෙළවල් නියෝජනය කළ චිත්‍රපට සහ පසුගිය දෙවසර තුළ අන්තර්ජාතික ඇගයීමට පත් වූ සිනමා පට 10ක් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබිණි. කෙසේ නමුත් ‘ද නිව්ස්පේපර්’ චිත්‍රපටය සඳහා දෙනු ලැබු සම්මානය පිළිගනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි. මේ පිළිබඳ අචාර්ය ගුණවර්ධන ‘සිළුමිණ’ කළ විමසීමේ දී මෙසේ සිය අදහස් දැක්වීය.

“මගේ චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ වෙන්නේ 1982 සුද්දිලාගේ කතාවෙන්. ඉන්පසුව සිරිමැදුර හා අයෝමා චිත්‍රපටත් මා නිෂ්පාදනය කළා. මේ සියල්ලම විශිෂ්ටතා සම්මානවලින් ඇගැයුමට පාත්‍ර වුණා. ඉන්පසුව කාලෙකට පස්සෙ මගේ ගෝලයෙක් වන සරත් කොතලාවල, කුමාර තිරිමාදුරත් එක්ක තිරපිටපතක් ලියාගෙන මා හමු වෙන්න ආවා. ඔවුන් බලාපොරොත්තු වුණේ මා ලවා නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් මේ චිත්‍රපටයට සොයා ගන්න.

කසාන් සම්මාන උලෙළේදී තමන් විසින් ලබාගත් හොඳම නළුවන්ට හිමි සම්මානය  ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන විසින්  පසුගිය 15 උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී ද නිව්ස්පේපර් චිත්‍රපටයේ රඟපෑ කුමාර තිරිමාදුර හා සරත් කොතලාවලට පිරිනැමු අවස්ථාව

තිරපිටපත කියවලා මම ඔවුන්ට යෝජනා කළා, නිෂ්පාදනයේ වගකීම මම බාර ගන්නම්, චිත්‍රපටයේ රඟපෑම වගේම අධ්‍යක්ෂණයත් ඔවුන් දෙදෙනාටම කරන්න කියලා. ඒ වගේම මා මේ කර්යයට ව එච්. ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ දෙපළටත් සම්බන්ධ වෙන්න ආරාධනා කළා. ඔවුන් දෙදෙනාත් කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී මේ කටයුත්තට මා සමඟ එක්වුණා.

ද නිව්ස්පේපර් ගොඩනැඟුණේ මේ අයගෙත් තවත් බොහෝ දෙනකුගෙත් සහයෝගය ඇතිව. මේකෙ විශේෂත්වය තමයි, තිරපිටපත ලියූ දෙදෙනාම එහි ප්‍රධාන නළුවන් වීම හා අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කිරීම. මෙවැනි චිත්‍රපටයක් ලොව කොහේවත් නිර්මාණය වී නැති බවයි මගේ හැඟීම. ඒවගේම මේ වෙනකොට ජාත්‍යන්තර සම්මාන හතකින් පිදුම් ලැබූ ද නිව්ස්පේපර් සිනමාපටයට පසුගියදා රුසියාවේ කසාන් ජාත්‍යන්තර සම්මාන උලෙළේදී විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය සරත්ටත්, කුමාර තිරිමාදුරටත් පිරිනමන්නට මගේ ඇස් පනාපිටම තීරණය කළා. මෙය මගේ චිත්‍රපට නිෂ්පාදන ජීවිතයේ මා ලැබූ අමරණීය අත්දැකීමක්”

මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර පැවසුවේ මෙවැනි අදහසකි.

“මම නම් මේ සම්මානය සරත්ට හා මට ලැබුණ සම්මානයක් ලෙස පිළිගන්න කැමති නැහැ. මේ සම්මානය අපේ රටට ලැබුණ සම්මානයක් ලෙසයි මම පිළිගන්නේ. එදා අපට මේ සම්මානය ලැබුණ දවසේ රෑ අපේ ක්‍රිකට් කණ්ඩායමත්, නෙට්බෝල් කණ්ඩායමත් ජයග්‍රහණ ලැබුවා. නමුත් ක්‍රීඩාවට තිබුණු තැන සිනමාවට නැහැ. මට නම් මහා ලොකු හයියක් මේ සම්මානය. ඒ රුසියාව වගේ රටකින් ලැබීම නිසා. මේක අපේ රටට ලැබුණ ගෞරවයක්.”

‘ද නිව්ස්පේපර් චිත්‍රපටය’ මේ වන විට ලබා ඇති සම්මාන අතරින් මේ චිත්‍රපටයට ෆිඇප්ෆ් (FIAPF) අනුමැතිය හිමිවූ ඉන්දියාවේ බැංගලෝර් අන්තර්ජාතික සිනමා උලෙළේදී දෙවැනි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානයෙන් හිමිකර ගනු ලැබීය. එමෙන්ම එංගලන්තයේ පැවැත්වුණු 23 වැනි රේන්බෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද මෙම චිත්‍රපටය සඳහා හිමි විය. ඇමරිකාවේ පැවැති සිලෝන් අන්තර්ජාතික සිනමා උලෙළේ සම්මාන අටකට නිර්දේශ වෙමින් ඉන් සම්මාන පහක්ම හිමි කර ගැනීමට එම නිර්මාණය සමත් වීම විශේෂත්වයකි. මෙහිදී හොඳම නළුවා ලෙස සරත් කොතලාවල සම්මාන ලැබූ අතර, හොඳම සහාය නළුවා ලෙස කුමාර තිරිමාදුර සම්මාන ලැබීය. එමෙන්ම හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙසින් ද හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද හිමි කර ගැනීමට එම සම්මාන උලෙළේදී නිව්ස්පේපර් චිත්‍රපටටය භාග්‍යය ලැබිණි.

කසාන් සම්මාන උලෙළ ඇරඹියේ 2005 වසරේදීය. එම සම්මාන උලෙළ නියෝජනය කළ ලංකාවේ හතර වැනි චිත්‍රපටය ‘ද නිව්ස්පේපර්’ චිත්‍රපටයයි.

කුමාර හා තමන් එක්ව කළ චිත්‍රපටයට සම්මාන හිමි වීම පිළිබඳ අප හා අදහස් දැක්වූ සරත් කොතලාවල පැවසුවේ,

‘ද නිව්ස්පේපර්’ චිත්‍රපටයට සම්මානය හිමිවීම ගැන හිතේ තියෙන සතුට කියලා නිම කරන්නට බැහැ. මම නම් කොයිම වෙලාවකවත් හිතන්නේ නැහැ. මෙය අපට ලැබුණ පුද්ගලික සම්මානයක් කියලා. මේ චිත්‍රපටය වෙනුවෙන් මීට පෙරත් සම්මාන හතක් ලැබිලා තිබුණා. රුසියාවේ සම්මාන උලෙළේදී අපිට සම්මානය හිමි වුණේ බොහෝම තරගකාරි අංශයකින්. එයයි අපි ලබපු ලොකුම ජයග්‍රහණය. මේක අපිට ලොකු ආඩම්බරයක්. අපි රඟපෑම විද්‍යාත්මකව හදාරලා තියෙනවා. අපිට දෙවිවරු වගේ ගුරුවරු ටිකක් ලැබිලා හිටියා. ජයලාල් රෝහණ, ෂෙල්ටන් පයාගල, ආදී ගුරුවරු අපට ඉගැන්නුවේ ගුරුමුෂ්ටිය නොතියා. ඔවුන්ගේ අත්දැකීම් අපට බොහෝම වටිනවා. රඟපෑම කියන එක උගන්නන්න බැහැ. ඒක ඇඟට දැනෙන්න ඕනේ. අද වන විට රට බොහෝම අසීරු තත්ත්වයක තියෙන්නේ. නමුත් මානසිකව අපි බොහෝම ශක්තිමත්. අද ඉන්න ඇතැමුන් කියනවා ඉතිහාසය වැඩක් නැහැ කියලා. නමුත් ඉතිහාසයේ සිදු වු දේවල් නැවත නැවත සිදු වෙමින් තියෙනවා. අපිට තියෙනවා ඉතිහාසය එක්ක බැඳීම්. අපට දේශපාලන සම්බන්ධතා නැහැ. මම දන්න දේශපාලනයක් නැහැ. නමුත් මම දන්නේ කලාව. ඒක තමයි අපි මේ කරන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන්ට අමතරව තවත් සිය ගණනක් දෙනා දායක වුණා. උදව් උපකාර කළා. හිටපු ජනාධිපතිවරයාගේ සිට මේ රටේ යාචකයා දක්වාම අපට සහයෝගය දුන්නා. කොයිම වෙලාවකවත් මම හිතන්නේ නැහැ මේක අපි දෙන්නාගේ වැඩක් කියලා. මෙය කණ්ඩායම් වැඩක් හැටියටයි අපි දකින්නේ.

ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, ටී. වී. ටී ආයතන ප්‍රධානි රවීන්ද්‍ර ගුරුගේ, සරසවි අධිපති එච්. ඩී. ප්‍රේමසිරි යන මහත්වරු අපට දක්වපු සහාය ගොඩාක් වටිනවා. බන්දුල සර් කියන්නේ මගේ උසස් පෙළ ගුරුවරයා. මම චිත්‍රපට පිටපත් දෙකක් යැව්වා.

ඔහු ද නිව්ස්පේපර් පිටපතට කැමති වුණාම අපි අධ්‍යක්ෂවරයෙක් හෙව්වා. අන්තිමට සර් අපිට අභියෝගයක් කළා.

“උඹලා දෙන්නා කරපල්ලා” කියලා. ඒක අපට අභියෝගයක්. හේතුව අපි චිත්‍රපට කරලා තිබුණේ නැහැ. නමුත් අපි ඒක බාර ගත්තා. ඔවුන් අපිට කිව්වේ චිත්‍රපටය කරලා දෙන්න කියලා විතරයි. අපි ඒක කළා. අද අපිට හරි සතුටුයි මේ ලැබු ජයග්‍රහණය ගැන.“

මෙම චිත්‍රටයේ තේමා ගීතය ලියූවේ ආචාර්ය සුනිල් ආරියරත්න ය. ගීතය ගැයූවේ ආචාර්ය නන්දා මාලනී ය. වෙනස නම් ඒ වෙනුවෙන් සුනිල් ආරියරත්න හෝ නන්දා මාලනී කිසිදු මුදලක් අය නොකිරීමය. ගමන් ගාස්තු හැරෙන්නට චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් තම රඟපෑම වෙනුවෙන් මුදල් අය නොකිරීම ද විශේෂිතය.

චිත්‍රපටයේ සියලු බරපැන දැරීම වෙනුවෙන් අප කතාබහ කළේ රවින්ද්‍ර ගුරුගේ සමඟය.

“ බන්දුල ඇමතිතුමා අපට මේ කතාව කිව්වාම ප්‍රේමසිරි මහතාත් මමත් ඊට උදව් කරන්න කැමති වුණා. අපි බොහොම කැමැත්තෙන් ඔවුන්ට උදව් කළේ. අපි ලාබය ගත්තේ නැහැ. ඒ වෙලාවේ මේ චිත්‍රපටයට සම්මාන ලැබෙයිද කියලවත් අපි හිතුවේ නැහැ. කුමාරත්, සරතුත් ගැන අපට තිබුණේ එකම විශ්වාසයයි. ඒ තමයි ඔවුන්ට මෙය කරන්න පුළුවන් කියන විශ්වාසය. කෙසේ නමුත් මේ සම්මාන අපට ස්ථිර කර දුන්නා ඔවුන් දෙයක් කරන්න පුළුවන් කියන එක.”

ඉකුත් 15 දා උදෑසන හොඳම නළුවන්ට හිමි සම්මානය රැගෙන දිවයිනට පැමිණි ඇමැති බන්දුල ගුණවර්ධන විසින් එම සම්මාන චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් වූ කුමාර තිරිමාදුරට හා සරත් කොතලාවලට කටුනායක ගුවන් තොටුපොලේදී පිරිනමන ලද්දේ “මම ගිහින් ගෙනාවට මේ සම්මානයේ නියම හිමිකරුවන් සරත් හා කුමාර” බව පවසමිනි.

 

 

Comments