මහානාම හිමි­යන් ඝාත­න­යට චීව­ර­ධා­රි­යාගේ පෙම්ව­තිය මාස 3ක් තිස්සේ ඩුබායි ඉඳන් ගහපු ගේම | Page 2 | සිළුමිණ

මහානාම හිමි­යන් ඝාත­න­යට චීව­ර­ධා­රි­යාගේ පෙම්ව­තිය මාස 3ක් තිස්සේ ඩුබායි ඉඳන් ගහපු ගේම

කාමය, රාගය සහ ඉඩකඩම් දේපළ තණ්හාවෙන් පෙළෙන පුද්ගලයන් ඒ සඳහා නොකරන දෙයක් නැත. තම අභිමතාර්ථ මුදුන් පත්කර ගැනීමට උත්සුක වන ඔවුන්ට තමන් සිටින්නේ කොතනද දරන්නේ, මොන තනතුරද යන්න වැදගත් නැත. අවශ්‍ය වන්නේ තම අභිප්‍රායන් මුදුන් පත්කර ගැනීමම පමණයි. මෙය ගිහියන්ට මෙන්ම ඇතැම් පැවිදි අයට ද එකසේ බලපාන කාරණයකි. පැවිදි ජීවිතයක් ගත කළත් දේපළ, මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් තණ්හාව, රාගය, ආශාව, කාමය සිතේ ඇති වු විට ඇතැමුන් නොකරන දෙයක් නැත. සීදූව ප්‍රදේශයේදී පසු ගියදා වාර්තා වූ ඛේදනීය සිද්ධිය ඊට හොඳම උදාහරණයකි.

සීදූව පොලිස් වසමේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැදගමුවේ මහානාම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ වයස අවුරුදු පනහකි. මහානාම හිමියෝ නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට අමතරව කටාන අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක ධුරය ද හොබවන්නේ කලක සිටය.

මහානාම හිමියන් නන්දාරාම විහාරස්ථානයේ වැඩකටයුතු කරගෙන සිටියත් ප්‍රදේශවාසින් සහ දායක දායිකාවන් සමඟ එතරම් ඇයි හොඳැයියක් පැවැත්වූයේ නැත. ගම්මුන්ද නන්දාරාම විහාරස්ථානය සමඟ කටයුතු කළේ අතේ දුරෙනි. ඊට හේතු භූත වූ කරුණු කාරණා රැසක් ද තිබිණි.

රුපියල් ලක්ෂ 150කට අලෙවි කළ ඩිෆෙන්ඩර් රථය

මහානාම හිමියන් තමන්ගේ ගෝල හිමිනම වශයෙන් පුරුදු පුහුණු කර ගන්නේ වයස අවුරුදු පහක සාමනේර හිමිනමකි. උන්වහන්සේ නමින් ඒකල සුගතසිරි හිමියන්ය. වයස අවුරුදු පහේ සිට හදාවඩා ගත් මේ ගෝල හිමිනමගේ දැන් වයස අවුරුදු 19 කි. සුගතසිරි හිමියන්ගේ ගම් පළාත බිබිල ප්‍රදේශයේය. මව ඩුබායි හි රැකියාවක නිරත වන්නීය. පියා ජීවතුන් අතර නැත. එක් සහෝදරයෙක් සිටී.

ඒකල සුගතසිරි හිමියෝ කවි බණ දේශනාවට වඩාත් දස්කම් දැක්වුහ. ඒ නිසා උන්වහන්සේට ඒ අතින් ඉදිරියට යාමට විහාරාධිපති මහානාම හිමියෝ ඉඩ හසර ලබා දී තිබිණි.

කාලය මෙසේ ගෙවී යද්දි විහාරාධිපති මහානාම හිමියෝ වාහන ව්‍යාපාරයකට ද අතගැසුහ. ගෝල හාමුදුරුවෝද තම ගුරු දේවයන්ගේ වාහන ව්‍යාපාරය ගැනත් ඉන් උපයන මුදල් හදල් ගැනත් හොඳින් දැන සිටින්නට ඇත.

මේ අතර කාලයේ තම ගෝල හිමිනමගේ අනාගතය ගැන කල්පනා කළ මහානාම හිමියෝ ගෝල හිමිනම වෙනුවෙන් දේපළ ද ලියා දීමට අමතක නොකළේය.

තරුණවිය එළිපත්තේ සිටින ගෝල හිමිනම චීවරයේ ගෞරවය ද කෙළෙසමින් ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නේ මීට මාස 4කට පමණ පෙරය. උන්වහන්සේගේ පෙම්වතිය ඒ වන විට සිටියේ මෙරටය. ඇය මිනුවන්ගොඩ හීනටියන පදිංචිකාරිනියකි. නම ඉෂාරාය. වයස අවුරුදු 23කි. ඇය ගෝල හාමුදුරුවන් සමඟ පෙම් සබඳතාවයක් පටන් ගන්නේ මීට මාස 08 කට කලිනි. ඇය ඩුබායි ගොස් මේ වන විට මාස 04කි. මුහුණු පොත ඔස්සේ මේ ප්‍රේමය පටන් ගත්තත් සුගතසිරි හිමියන් ඉෂාරා හැබැහින් දැක නැත.

පොලිස් වෝහාරික පරීක්ෂණ සිදු කළ අයුරු

ගෝල හිමිනම පිටරට සිටින ශ්‍රී ලාංකේය කාන්තාවක සමඟ අයුතු සම්බන්ධයක් පවත්වාගෙන යන බව දැන ගන්නා මහානාම හිමියෝ උන්වහන්සේට මේ ගැන අවවාද අනුශාසනා කිරීමත් සමඟ විහාරාධිපති හිමියන් සහ ගෝල හිමිනම අතර මතභේද ඇතිවන්නේ ක්‍රමක්‍රමයෙනි. තම පෙම් සබඳතාව නතර කිරීමට ගෝල හිමිනම මොහොතකටවත් කැමති වූයේ නැත. මහානාම හිමියන් සහ ගෝල හිමියන් අතර එසේ ඇති වුණු ආරවුල් අවසන් වන්නේ පොලිසියෙනි. සීදූව පොලිසියේ නිලධාරීන් ඒ සෑම අවස්ථාවකම මේ ආරවුල විසඳීමට හැකි පමණින් ක්‍රියා කරන්නේ එහි තොරතුරු සියල්ල දැන සිටි නිසාය.

මහානාම හිමියන් වාහන ව්‍යාපාරවලින් ලොකු මුදලක් එක්රැස් කරගෙන සිටින බව ගෝල හිමිනම ඩුබායි සිටින තම පෙම්වතියට දන්වන්නේ මේ අතරය. ගෝල හිමිනමගේ පෙම්වතිය ඩුබායි හි රැකියාවක නිරතව සිටින්නේ ශ්‍රී ලාංකිකයකු ළඟය. ඇය ඩුබායි හි එම රැකියාවට යවා ඇතැයි කියනු ලබන්නේද මේ ශ්‍රී ලාංකිකයා විසිනි. තමා ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන සිටින පොඩි හාමුදුරුවන් ගැන පෙම්වතිය තම හාම්පුතාට දන්වන්නේ මේ අතරය. මේ කාලය වන විට ගෝල හිමිනමගේ පෙම්වතිය තම පෙම්වතා ගැන බොහෝ තොරතුරු දැන සිටියාය.

සැකකාර භික්ෂුවගේ විදේශ ගමන් බලපත්‍රය

තම පෙම්වතා වන පොඩි හාමුදුරුවන් වැඩ වාසය කරන විහාරස්ථානය ගැන ද එහි ඇති දේපළ ලොකු හාමුදුරුවන් සතුව ඇති මිල මුදල් වාහන සහ ව්‍යාපාර ගැන ද ඩුබායි පෙම්වතිය තොරතුරු දැන සිටියාය. ඊට අමතරව ඇය තම පෙම්වතා වන පොඩි හාමුදුරුවන්ට ඇති මිල මුදල් සහ දේපළ ගැන ද දැන සිටියාය.

මේ සියලු තොරතුරු ඇය සොයා ගන්නේ යහපත් චේතනාවෙන් නම් නොවේ. ගෝල හිමිනම ද තම පෙම්වතියගේ වහසි බස්වලට රැවටිණි. ඇය සිය හාම්පුතා සමඟ එක් වී තමා අමාරුවේ දාන්නට හදන බවක් මේ ගෝල හිමිනම තේරුම් ගත්තේ නැද්දැයි බරපතළ සැකයකි.

තම පෙම්වතා වන පොඩි හාමුදුරුවන් ගැන සහ උන්වහන්සේ වැඩ වාසය කරන සීදූව වෑත්තෑවේ නන්දාරාම විහාරස්ථානය ගැනත් එහි නායක හාමුදුරුවන් වන මහානාම හිමියන් උන්වහන්සේ සතුව ඇති යාන වාහන, දේපළ, මිල මුදල් ගැනත් පොඩි හාමුදුරුවන්ගේ පෙම්වතිය ඩුබායි සිටින තම හාම්පුතා වන ශ්‍රී ලාංකිකයාට හෙළි කරන්නේ ඔය අතරය. තම සේවිකාවගේ පෙම්වතා වන පොඩි හාමුදුරුවන් මාර්ගයෙන් ලොකු හාමුදුරුවන් සතු දේපළ මිල මුදල් අත්පත් කරගන්නට ශ්‍රී ලාංකික හාම්පුතා සේවිකාව සමඟ සැලසුම් කරන්නේ ඔය අතරය.

සැලසුමට අනුව මහානාම හිමියන් සතු මිල මුදල් කොල්ල කන්නට මීට පෙර එක් වතාවකදී සැලසුමක් සකස් කැරුණු අතර එහිදී කිසියම් පිරිසක් මේ කොල්ලයට පැමිණ තිබුණත් යම් කිසි හේතුවක් මත එය අසාර්ථක වී තිබිණි.

ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියා මේ කොල්ලයට සම්බන්ධ වී ඇති බවටද සැක කෙරිණි.

මේ සිද්ධියෙන් පසුවද ඩුබායි පෙම්වතිය සහ ඇගේ හාම්පුතා වන ශ්‍රී ලාංකිකයා වෑත්තෑව ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති නැදගමුවේ මහානාම හිමියන් ඝාතනය සඳහා දිගින් දිගටම සැලසුම් කරන්නේ උන්වහන්සේගේ දේපළ මිල මුදල් යාන වාහන අත්පත් කර ගැනීමේ අරමුණෙනි. මේ සඳහා ඩුබායි පෙම්වතියගේ මෙරට සිටින මව සහ අනියම් සැමියාගේ සහය සහ මහානාම හිමියන්ගේ ගෝල හාමුදුරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා සැලසුම් සකස් වී තිබිණි.

 

එම සැලසුම ක්‍රියාවට නැංවෙන්නේ පසුගිය 12 වැනිදාය. විහාරාධිපති මහානාම හිමියන් ඝාතනය සඳහා සිවු දෙනකු සීදුව වෑත්තෑව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයට පැමිණෙන්නේ 12 වැනිදා දහවල් කාලයේය. මේ සිවුදෙනා අතර පොඩි හාමුදුරුවන්ගේ ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු සිටියේය.

ඩුබායි පෙම්වතියගේ මව, අනියම් සැමියා, සහ ඔවුන් සමඟ පැමිණි දෙදෙනා විහාරස්ථානයේ උඩු මහලේ සිටි විහාරාධිපති හිමියන් සිය ග්‍රහණයට ගෙන පහරදී ගැට ගසන්නේ ඉන් අනතුරුවය. මේ සිද්ධියෙන් කම්පාවට පත් විහාරාධිපති මහානාම හිමියෝ කෑගසා ඇතත් කිසිවකු උන්වහන්සේගේ පිහිටට පැමිණියේ නැත. ඒ මහානාම හිමියන් ගම්වාසින් සමඟ එතරම් සම්බන්ධයක් නොතිබුණු නිසාය.

මහානාම හිමියන් ගැටගසා සිරකරගෙන සිටි සිවුදෙනා උන්වහන්සේගෙන් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති අතර තවත් ස්වල්ප වේලාවකට පසු ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියා එතැනින් මඳකට පිටවී ගිය අවස්ථාවේ ගැටගසා සිටි මහානාම හිමියෝ බැමි ලිහාගෙන උඩු මහලේ සිට පිය ගැට පෙළ දිගේ පහළට දිවගෙන එද්දී පහත මාලයේ සිටි ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියා සහ ගෝල හිමිනම මහානාම හිමියන් පියගැට පෙළ මතදීම අල්ලාගෙන බිම පෙරළා පහත මාලයේ කාමරයකට දමා කටේ රෙදි පාන්කඩ ඔබා ඇති අතර උන්වහන්සේ එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුස්ම හිරවීම නිසාය.

මේ අවස්ථාවේදී විහාරාධිපති මහානාම හිමියන් තමා බේරාගන්නා ලෙස ආයාචනා කරමින් කෑගසා ඇති අතර උන්වහන්සේගේ විලාපය අවට නිවැසියන්ට ඇසි ඇතත් කිසිවකු වැඩිපුර ඒ ගැන අවධානය යොමු කර නැත. කිසියම් පුද්ගලයකු ඒ ගැන ගෝල හිමිනමගෙන් විමසා ඇතත් ගෝල හිමිනම කියා ඇත්තේ 'ප්‍රශ්නයක් නෑ' යන්නය.

මහානාම හිමියන්ගේ ඝාතනයෙන් අනතුරුව උන්වහන්සේගේ සිරුර සිවුරකින් වසා දැමු ගෝල හිමිනම ඉන් අනතුරුව හැසිරී ඇත්තේ කිසිවක් සිදු නොවූ අයුරෙනි.

ඉන් අනතුරුව මේ පිරිසගේ පළමු කටයුත්ත වී ඇත්තේ විහාරස්ථානයේ තිබුණු ඩිෆෙන්ඩරය සහ වැගන් ආර් රථය විකිණීමයි. ඒ සඳහා සැලසුම් සකස්කර ඇත්තේ ඩුබායි පෙම්වතියගේ හාම්පුතා වන ශ්‍රී ලාංකිකයා විසිනි.

මහානාම හිමියන්ගේ දේහය විහාරස්ථානයේ තිබියදීම මේ වාහන ගනුදෙනුව සිදුවී තිබීමද සුවිශේෂීය.

ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියාගේ භාරයට ගැනුණු මේ ඩිෆෙන්ඩරය සහ වැගන් ආර් වාහනය වත්තල ප්‍රදේශයේ සිටින වාහන බ්‍රෝකර්වරයකුට අලෙවිය සඳහා ලබා දී තිබිණි. එම බ්‍රෝකර්වරයා 'බජී' නැමැති අයකු බවට හඳුනා ගන්නේ පසුවය.

රුපියල් ලක්ෂ 135කට අලෙවි කිරීමට බජීට ලබා දුන් ඩිෆෙන්ඩරය ඔහු ගම්පහ ප්‍රදේශයේ අයකුට රුපියල් ලක්ෂ 150කට අලෙවි කළේය. වැගන් ආර් වාහනය අලෙවි කර ඇත්තේ රුපියල් ලක්ෂ 51කටය. ඩිෆෙන්ඩරය මිලදී ගත් පුද්ගලයා එය සීදූව පොලිසියට බාර දී තිබු අතර වැගන් ආර් වාහනයද පොලිසිය වත්තලදී සොයාගෙන තිබුණි.

මේ අතර 14 වැනිදා සීදූව වෑත්තෑව ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය තුළින් දුගඳක් හමනු දැනුණු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සීදූව පොලිසියට කළ දැනුම් දීමට අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කරද්දී විහාරාධිපති මහානාම හිමියන් එම විහාරස්ථානයේ කාමරයක ඝාතනය කර තිබෙනු දැක ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන්නේ 14 වැනිදාය.

ඒ වන විට විහාරස්ථානයේ තිබුණු ඩිෆෙන්ඩරය, වැගන් ආර් රථය සමඟ විහාරස්ථානයේ වැඩ විසු ගෝල හිමි නම ආගිය අතක් නැති බවට පොලිසියට තොරතුරු අනාවරණය කර ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.

සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සීදූව වෑත්තෑව විහාරස්ථානයෙන් ආගිය අතක් නැතිව සිටින ඒකල සුගතසිරි හිමියන් සොයා විමර්ශන ආරම්භ කර තිබුණේ ඒ හිමියන් නායක හාමුදුරුවන්ගේ ඝාතනයට සැක කළ බැවිනි. සීදූව පොලිසිය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මේ අතර තවත් සියුම් දෙයක් කළේය. ඒ අධිකරණ නියෝගයක් ගන්නා තුරු සුගතසිරි හිමියන්ගේ ඡායාරූපයක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ වෙත යැවීමයි.

මේ අතර මහානාම හිමියන් ඝාතනයෙන් අනතුරුව ඩුබායි පෙම්වතියගේ සහ ඇගේ හාම්පුතාගේ සැලසුම වූයේ සුගතසිරි හිමියන් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමයි. ඒ සඳහා කල් තබාම ගුවන් ටිකට්පත් පවා වෙන් කරගෙන තිබුණි. ගෝල හිමි නම ඩුබායි බලා පිටත්වීමට සැලසුම් කර තිබුණේ 15 වැනිදා අලුයම් කාලයේදීය.

මහානාම හිමියන්ගේ ඝාතනයෙන් අනතුරුව විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් පසු වූ ගෝල හාමුදුරුවෝ කටුනායක ගුවන් තොටුපළට නුදුරෙන් පිහිටි සංචාරක හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි අතර එහි තවත් කාමරයක ඩුබායි පෙම්වතියගේ මව සහ ඇගේ අනියම් සැමියාද රැඳී සිට ඇත. 15දා අලුයම ගෝල හාමුදුරුවෝ කටුනායක ගුවන්තොටුපළට ගෙනවිත් ඇරලවා ඇත්තේ ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියා විසිනි.

නායක හාමුදුරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය, ගුවන් තොටුපළ ආරක්ෂක අංශය සහ ආගමන විගමන නිලධාරීන් සූදානමින් සිටින බවක් නොදත් ගෝල හාමුදුරුවෝ කටුනායක ගුවන් තොටුපළට ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියා සමඟ පැමිණෙන්නේ E.K 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට වුවත් ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වන ගෝල හාමුදුරුවෝ බාර කැරෙන්නේ ගුවන් තොටුපළ පොලිසියට ය.

මේ බව දැනගත් ඩුබායි පෙම්වතියගේ මව සහ අනියම් සැමියා පලා යන්නේ පැදුරටත් නොකියාය.

ගුවන් තොටුපළ පොලිසිය මඟින් සීදූව පොලිසියට බාර දෙන ලද ගෝල හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක රඳවා ගැනීමේ නියෝග මතය.

මහානාම හිමියන්ගේ ඝාතනයෙන් පසු ඩුබායිහි සිටින සිය පෙම්වතියගේ අනුදැනුම මත එහි ගොස් ගිහි ජීවිතයක් ගත කිරීමට ගෝල හාමුදුරුවන් සැලසුම් කරගෙන සිට ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය. මේ අනුව හෙළි වී ඇත්තේ ඩුබායි පෙම්වතියගේ හාම්පුතා ඇය මාර්ගයෙන් ඇගේ පෙම්වතා වන ගෝල හාමුදුරුවන් මහානාම හිමියන් ඝාතනයට පොලඹා උන් වහන්සේගේ දේපළ අත්පත් කරගැනීමට සැලසුම් කර ඇති බවයි.

විහාරාධිපති හිමියන් වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ද සිදු කරගෙන යන නිසා උන්වහන්සේ සතුව විශාල මුදලක් ඇති බව ගෝල හාමුදුරුවෝ ඩුබායි පෙම්වතියට පවසා ඇති අතර සැලසුම වී තිබී ඇත්තේ මහානාම නායක හිමියන් සතු මුදල් රැගෙන පෙම්වතිය ළඟට යෑමට බවද හෙළි විය.

ඩුබායි පෙම්වතිය මෙරට සිටි කාලයේදී විදේශගතව සිටියදී දුරකථනයෙන් සහ අන්තර්ජාලය ඔස්සේ ගෝල හාමුදුරුවෝ ඇය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවද හෙළි වී ඇත.

විහාරාධිපති හිමියන්ට අයත් ඩිෆෙන්ඩරය සහ වැගන් ආර් වාහනය රුපියල් දෙකෝටියකට අලෙවි කර ඇතත් එම මුදල්වලට වූ දෙයක් මෙතෙක් අනාවරණය වී නැත. එම මුදල් උන්ඩියල් ක්‍රමයට ඩුබායි පෙම්වතියගේ හාම්පුතා විසින් එරටට ගෙන්වාගෙන ඇත්දැයි පොලිසිය සොයයි. එම වාහන දෙක ද අලෙවි කර ඇත්තේ ව්‍යාජ ලේඛන උපයෝගි කරගෙනය.

මේ ඝාතනයට සැක ඩුබායි පෙම්වතිය වන ඉෂාරාගේ මව සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. මහානාම හිමියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය 15 වැනිදා පැවැත්විණි. එහිදී තීරණය කෙරුණේ බාහිර දේකින් නාසය සහ මුඛය වැසීමෙන් ආශ්වාස සහ ප්‍රශ්වාස කිරීමට නොහැකි වීමෙන් උන්වහන්සේගේ මරණය සිදු වී ඇති බවයි.

මීගමුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චානක රණසිංහ මෙම පරීක්ෂණය සිදු කළේය.

බස්නාහිර පළාත් උතුර ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, මීගමුව කොට්ඨස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා, පොලිස් අධිකාරී එරික් පෙරේරා යන ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

 

ඡායාරූප - කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල සහ කටුනායක විශේෂ ටී.කේ.ජී. කපිල

 

Comments