මරණය පෙනි පෙනී එන රෝගීන්ටත් යළි ජීවිතය දෙන කිරිඉබ්බන්ආරේ ජීවකයා | සිළුමිණ

මරණය පෙනි පෙනී එන රෝගීන්ටත් යළි ජීවිතය දෙන කිරිඉබ්බන්ආරේ ජීවකයා

ටේ ජනතාව නීරෝගි කළ දක්ෂ වෙදැදුරන් පිළිබඳ අභිමානවත් ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුය. එසේ වුවත් හෙළ වෙදකමේ ආරම්භය කවදා කෙසේ සිදු වූයේද යන්න නිශ්චිතව කිව නොහැකිය. ඉපැරණි මූලාශ්‍රවලට අනුව භාරතයේ හිමාල අඩවියෙහි පැවති වෛද්‍ය සමුළුවකට හෙළ දිව නියෝජනය කරමින් ත්‍රිවේද පරප්‍රාප්ත පුලතිසි සෘෂිවරයා සහ ඔහුගේ මුනුපුරු රාවණා රජු සහභාගි වූ බව සඳහන් වේ. රාවණ රජු හෙළ වෙදකම, ගුප්ත ශාස්ත්‍රය, රස ශාස්ත්‍රය ආදී සකල විද්‍යාවන්ගේ කෙළ පැමිණි අයකු ලෙස සැලකෙන අතර, ඔහු විසින් රචනා කරන ලදැයි සැලකෙන නාඩි තන්ත්‍රය, කුමාර තන්ත්‍රය, උඩීශ තන්ත්‍රය, අර්ක ප්‍රකාශය ආදී ග්‍රන්ථ අදත් අප අතර පවති. “රජකම නැත්නම් වෙදකම” යනුවෙන් එකල සමාජ සම්මතය වී තිබුණි. පසුකාලීනව මෙරට තුළ ආරෝග්‍යශාලා ගොඩනඟමින් සුවහසක් ජනී ජනයාට මෙන්ම සතා සිවුපාවාටද නීරෝගි සුවය අත්කර දුන් බුද්ධදාස රජුතුමා ද ඒ මඟ ගිය වෙදැදුරෙකි.

කැඩුම් බිඳුම් වෙදකම, ඇස් වෙදකම, වාත රෝග වෙදකම, සර්ප විෂ වෙදකම, ගෙඩි වණ පිළිකා වෙදකම, දැවුම් පිලිස්සුම් වෙදකම, ජළභීතිකා වෙදකම, චර්ම රෝග වෙදකම යනුවෙන් හෙළ වෙදකමෙහි ප්‍රධාන අංග අටකි. මීට අමතරව පීනස් වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් (ගුප්ත ශාස්ත්‍රය), සත්ත්ව වෙදකම, වෘක්ෂ වෙදකම ආදී වෛද්‍ය ක්‍රම ද ඇතැම් හෙළ වෙදපරම්පරාවන් විසින් කලානුරූපව වර්ධනය කරගත් බව පෙනේ.

එවැනි සුවිශේෂ හෙළ වෙදැදුරකු සොයා අපි සෙවණගල කිරිඉබ්බන්ආරට ගියෙමු. වස විෂ ශරීරගත වී එලොව පෙනි පෙනී මියැදෙමින් සිටින බොහෝ දෙනා නැවත මෙලොව එළිය දකින්නට වාසනාව ලබන වෙද අසපුවක් ලෙස මෙම වෙද අසපුව ප්‍රකටව ඇත. එපමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාව පවා අපොහොසත් අක්මාවේ තැන්පත් වන මේදය දූරීභූත කර එය යථා තත්ත්වයට පත් කිරීමටත් ඊට අමතරව සර්ප විෂට, ස්නායු රෝග සහ සියලු සර්වාංග රෝග සුවපත් කිරීමට මෙකී වෙදැදුරාණන් දක්වන්නේ විස්මිත විස්කමකි. 

සෙවණගල කිරිඉබ්බන්ආර වීරප්පෙරුම වෙදපරපුර නමින් වර්තමානයේ ප්‍රකට මේ වෙද පරපුර අද්දරගෙදර වෙද පරම්පරාවේ හා තෙලිජ්ජවිල විෂ වෙද පරම්පාරවේ දැනුම එක්තැන් කරමින් බිහි වූ වෙද පරම්පරාවකි. මෙම පරම්පරා දෙක එක්තැන් කර මෙම ප්‍රාතිහාර්යපාන හෙළ වෙදැදුරා අන් කවරෙකු නොව නිහාල් බන්දුල වීරප්පෙරුම ය.

1961 පෙබරවාරි 04 වැනිදා ගාලු දිසාවේ බද්දේගම ගඟබඩපත්තුවේ දෙල්ගහවත්ත ග්‍රාමයේ දී පව්ලිස් වීරප්පෙරුම සහ ලීලාවතී බණ්ඩාරනායක දෙපළගේ කුලුඳුල් දරුවා ලෙස මෙලොව එළිය දුටු ඔහුට බාල සොහොයුරන් තිදෙනකු සහ එක් සොහොයුරියකි. ගෝණාපීනුවල ගා/සාරාලංකාර මහා විද්‍යාලයෙන් මුලකුරු කියැවූ හෙතෙම උසස් පෙළ දක්වා අධ්‍යාපනයේ නිරත වීය. කුඩා කල පටන් මවගේ මෑණියන් වූ කැකිරිවරාගොඩගේ මැණිකෙ නෝනාගේ සෙවණේ ඇති දැඩි වූ හෙතෙම ඇය සිය උරුමයෙන් ලද විෂ වෙදකම මැනැවින් උගත්තේය. ඒ පිළිබඳ වෙදැදුරු වීරප්පෙරුම පැවසුවේ මෙවැන්නකි.

“මේ වෙදකම මට උරුම වුණේ මගේ මවු පාර්ශ්වයෙන්, මගේ ආත්තම්මගෙන්. අත්තම්මට ඒක උරුම වෙලා තිබුණේ එයාගේ පරම්පරාවේ උරුමයක් විදියට. මගේ මුත්ත‍ගෙ නම රොබට් ඩයස් බණ්ඩාරනායක. ඔහු හොඳ ගොවියෙක්. ඔහු වෙදකම් කළේ නැහැ. ඒත් මුත්තා ආත්තම්මට සෑහෙන්න උදවු කළා. මං පුංචි සන්දියේ ඉඳන් හැදී වැඩුණේ පාසල් ගියේ ඔවුන් ළඟයි. මගේ අත්තම්මා ගාව බොහොම වටිනා ශාස්ත්‍රයක් තිබුණා. ඒ වටිනා ශාස්ත්‍රය කිසිදු අඩුපාඩුවක් නැතිව ඇගෙන් මා ඉගෙන ගත්තා. ඇත්තටම ඉගෙන ගත්තා නෙමෙයි ඇයත් සමඟ කටයුතු කරන අතරේ නිරායාසයෙන් මට ලැබුණා. පුංචි කාලේ ඉඳලම මිත්තණිය සමඟ කැලෑ වැදී බෙහෙත් සෙවීමටත් සර්පයන් ගැන සෙවීමටත් යොමු වුණ නිසා සෑම සර්ප විශේෂයක් ගැන වගේම ගහකොළ ගැනත් හොඳින් ඉගෙන ගත්තා. මේ දේවල් පතපොතින් ඉගෙන ගන්න බැහැ. භාවිතයෙන්ම තමයි ඉගෙන ගන්න ඕන. එහෙම ඉගෙන ගත්ත කෙනෙකුට වරදින්නේ නැහැ. මට තියෙන්නෙත් ඒ පුරුද්ද නිසා ගොඩ නැඟුණු දැනුමක්. ඒ නිසාම මගෙ ළඟට රෝගියෙක් එනකොට එයාගෙ ස්වභාවයෙන්ම මට ඔහුගේ රෝගය විනිශ්චය කළ හැකියි. විවාහ වෙලා බිරියගේ නිවෙසේ පදිංචියට පැමිණෙන තෙක්ම මම සිටියේ මගේ මිත්තණියගේ නිවෙසෙයි.”

එන්.බී. වීරප්පෙරුම කිව් සැණින් බොහෝ දෙනකු ඔහු හඳුනති. ඔහුගේ ප්‍රිය බිරිඳ මල්ලිකා වීරප්පෙරුම ය. ඔවුන් දෙපළට දියණියන් දෙදෙනකු සිටිති. වැඩිමහල් දියණිය පෙරපාසල් ගුරුවරියකි. දෙවැනි දියණිය වෛද්‍යවරියක් වන අතර ඇය පියුමි වෛද්‍යරත්න වීරප්පෙරුමය. වීරප්පෙරුම පරම්පරාවේ මීළඟ පුරුක වන ඇය ඉතා දක්ෂ වෛද්‍යවරියක ලෙස “හිච්චි වෙද හාමිනේ” නමින් ප්‍රකටය. ඇයට ඒ නම ලබාදී ඇත්තේ හිටපු ආයුර්වේද කොමසාරිස්වරියක වූ රමණී ගුණවර්ධන ය.

“ගාල්ලේ බද්දේගම ඉන්න කාලේ ඉඳලා මං සර්පයන්ට ගොඩක් ආස කළා. ඒ අයව අල්ලන්න අතගාන්න ඇති දැඩි කරන්න මට ඕන වුණා. මගේ පොඩි දුවත් ඒ වගේ. චුටි පැටික්කි කාලේ ඉඳලම එයත් හරිම ආසයි සර්පයන්ට. මගේ පරම්පරාවේ ඊළඟ පුරුක එයා. මං දෙහිවල තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය ඉතා සමීපව කටයුතු කළා. ඇනස්ලම් ද සිල්වා, ආචාර්ය මොල්ලිගොඩ වගේ අය එක්ක සර්පයො ගැන පර්යේෂණ කරමින් බොහෝ දේ අධ්‍යයනය කළා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ සත්ත්ව විද්‍යාඥයෙක් වන මෙන්ඩිස් වික්‍රමසිංහ සමඟ වැඩ කළා. ඒ හරහා රණසිංහ ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ ගෙන ගිය උදාගම් ව්‍යාපෘතිය සමඟ එකතු වී බුත්තල හා ඇඹිලිපිටියේ දී සර්ප ප්‍රදර්ශන පැවැත්තුවා. ඒ අතරේ රාත්‍රියේ සර්පයෝ ඉන්නවද කියා හොයා ඇවිදිනවා. එහෙම හොයාගෙන යද්දි බොහෝ සර්ප විශේෂ හමු වුණා. ඒ අතර දුර්ලභ සර්ප විශේෂ කිහිපයක්ම සොයාගන්න හැකි වුණා. ඒ නිසාම ඇඹිලිපිටිය, උඩවලව, සූරියවැව වගේ පැතිවල ජීවත් වෙන්න මං ගොඩක් ප්‍රිය කළා. ඒ අතරතුර තමයි මට මගේ බිරියව හමු වුණේ. ඇයත් මං කරන දේවල්වලට ගොඩක් කැමැත්තෙන් එකතු වුණා. අපි දැන හඳුනගෙන පසුව ආදරය කරන්න පටන් ගත්තා. ඉන්පසු විවාහවෙලා මම ඇඹිලිපිටියේ ඇගේ ගෙදර බින්න බැස්සා. ඊට පස්සේ ඇගේ මවුපියන්ගෙන් උරුම වූ ඉඩකඩම්වල නිවෙසක් තනාගෙන වෙදකම් කිරීමට පටන් ගත්තා.”

1987දී පමණ සියලු සංර්වාංග රෝග සඳහා වෙදකම් කිරීම ආරම්භ කොට ඇති ඔහු, සර්ප වෙදකම හා වස විෂ වෙදකමේ ද ඉතා දක්ෂ අන්දමින් නිරත විය. අද වනවිට වැඩි රෝගීන් පිරිසක් ඔහු සොයා එන්නේ ස්නායු හා අක්මා රෝග සුව කර ගැනීම සඳහාය. ස්නායුගත රෝග ලෙස අංශභාගය, තුනටිය අමාරුව සහ අක්මාවේ මේදය තැන්පත් වීම වැනි රෝග සඳහා ඔහුගේ ප්‍රතිකාර දිව්‍යමය ඔසුවකි. ඊට අමතරව වීරප්පෙරුම වෙද මහතා වැඩියෙන්ම ප්‍රචලිතව ඇත්තේ වස පානය කර පැමිණෙන රෝගීන් සුවපත් කිරීම සම්බන්ධයෙනි. අපි ඒ ගැන ඔහුගෙන් විමසුවෙමු.

“ගොඩක් දෙනෙක් මාව සොයාගෙන එන්නේ ග්‍රැමොක්සෝන් බීලා. ඒ නිසා සමහර අය මාව හඳුන්වන්නේ ‘ග්‍රැමොක්සෝන් වෙදමහත්තයා’ කියලයි. ග්‍රැමොක්සෝන් ගෙන්නන එක නවත්තපු නිසා මං දැන් ටිකක් නිදහසේ ඉන්නවා. ආයි ගෙන්නන්න පටන් ගත්තොත් ඉස්පාසුවක් නැතිවෙයි. ඒ තරමට ග්‍රැමොක්සෝන් බීපු ලෙඩ්ඩු ආවා. මං හිතන්නේ ලංකාවේ වැඩිම ගිලන් රථ ප්‍රමාණයක් ඇවිත් ඇත්තෙත් අපේ ගෙදරට. එක සැරේට ග්‍රැමොක්සෝන් ලෙඩ්ඩු 18 දෙනා මගේ ළඟ නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබෙනවා. ඒ අය අතර මේ රටේ ප්‍රභූවරු, මාධ්‍යවේදීන් පවා ඉන්නවා. එක මාධ්‍යවේදියෙක් පැය තිස්හතරෙන් මැරෙනවා කියල සහතික වෙලා මං ළඟට එක්ක ආවේ. මං ඔහුව පැය 36කින් සනීප කරලා ඒ වෛද්‍යවරයාටම භාරදුන්නා. මං ළඟට ලෙඩ්ඩු වැඩිපුරම එවන්නේ බටහිර වෛද්‍යවරු. ඔවුන් මට බොහෝසෙයින් උදවු උපකාර කරනවා. ”

වස පානය කළ මෙවැනි රෝගියෙක් වෙද මහතා වෙත රැගෙන ඒමට ප්‍රථම කළ හැකි ප්‍රථමාධාරයක් තිබේදැයි අප ඔහුගෙන් විමසුවෙමු.

“පොළොවේ පස් දිය කරලා පොවන එක තමයි හොඳම ප්‍රථමාධාරය. හුඹස් මැටි දිය කරල පොවනව නම් වඩාත් හොඳයි. ඉස්පිරිතාලෙදි නම් පොවන්නේ ගල් අඟුරු (චාකෝල්). ඊට පස්සේ කිරිමැටි. අපි ගැඩුම කියල අඟුරු එකක් පොවනවා. ඊට පස්සේ අපි ජීවානුහරණය කරනලද පස් හෝ හුඹස් මැටි හෝ කිරිමැටි පොවනවා. සමහරු හිතනවා ගම්වල මිනිස්සු විතරයි වස බොන්නේ කියලා. ඒත් වස බීපු සමහර ආචාර්යවරුත් මං ළඟට අරන් ඇවිත් තියෙනවා. මං නම් ප්‍රාර්ථනා කරන්නේ ආයෙමත් ග්‍රැමොක්සෝන් බීපු ලෙඩෙක් නම් දකින්නවත් සිද්ධ වෙන්න එපා කියලයි.”

නිහාල් බන්දුල වීරප්පෙරුම වෙද මහතා කීවේ සංවේදීවය. යම් කිසි අයකු වස බීමට ‍ පෙලඹීම ඉතා ගුප්ත දෙයක් බවත් ඒ පිළිබඳ පර්යේෂණයක් කරමින් ඉන්න බවත් ඔහු කීවේය. ආචාර්ය උපාධියක් බලාපොරොත්තුවෙන් සිටින ඔහු එය කෘතියක් ලෙස එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බැවින් ඒ පිළිබඳ තොරුතුරු රැසක් ඉදිරියේදී හෙළිවනු ඇත. මේවනවිට රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කරන ඔහුගේ මේ සුවිශේෂී වෛද්‍ය සේවාව නිසා ඔහුවෙත පැමිණෙන රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර කළ හැකි වෛද්‍ය මධ්‍යස්ථානයක් රජය විසින් 2007 මාර්තු 24 වැනිදා ඔහු වෙත ප්‍රදානය කර තිබිණි. 

“හෙළ වෙද පුනරුදය කියන වැඩසටහන යටතේ මට ‘හෙළ වෙද ගෙදර’ කියන මෙම ස්ථානය හදල දුන්නා. ඒ කිසිදු දේශපාලන මැදිහත් වීමකින් හෝ දැන හැඳුනුම්කමකින් නෙමෙයි. මං කරන සේවයට ඇගයීමක් විදියටයි. ඒ සඳහා මට ගොඩක් උදව් උපකාර කළේ බටහිර වෛද්‍යවරුන්. ඔවුන් බටහිර වෙදකමින් සුවපත් කළ නොහැකි රෝගීන් බොහෝදෙනා මා වෙත එවා තිබුණා. එම රෝගීන් සුවපත් කිරීමට මට හැකියාව ලැබුණා. ඒ නිසා ඔවුන් බොහෝදෙනකු අදත් මා සමඟ ඉන්නවා. උදව් උපකාර කරනවා. ඔවුන් සමඟ එක්ව ඉදිරියේදී ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

කිසියම් අයකු නිහාල් බන්දුල වීරප්පෙරුම වෙද මහතාගෙන් ප්‍රතිකාර ගැනීමට යෑමට පෙර තමා දැනුම්වත් කර පැමිණීම අනිවාර්ය බව ද ඔහු කීවේය. එසේ නොමැතිව මෙහි පැමිණීම නිෂ්ඵල වන්නේ රෝගියාට අවශ්‍ය බෙහෙත් සැකසීම ඔහුට පූර්ව සූදානමක් අවැසි නිසාය. අනෙක් අතට මෙය සාමාන්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකි. ඇඳන් ඇත්තේ හත අටක් පමණි. සාමාන්‍යයෙන් වැඩි රෝගීන් පිරිසක් පරීක්ෂා කරන්නේ ඉරිදා දිනයේදීය. සතියේ දිනවල වෙද මහතා බෙහෙත් සකස් කර ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමට කාලය වැය කරයි. ඔහු කිසිවකුගේ බෙහෙත් පාවිච්චි නොකරන අතර, ඔහුට අවශ්‍ය බෙහෙත් ඔහුම සකසා ගනී.

“රජ්ජුරුවන්ට හකුරු හැඳිගානව වගේ සමහර බෙහෙත් ආවට ගියාට ගන්න බැහැ. දවසක් විතර රැඳී ඉඳලා දිනයට වෙලාවට ගන්න ඕන. මේ දේවල් අපි කරන්නේ ශාස්ත්‍රානුකූලවයි. වෙන කෙනෙක්ට කියලා ඒ බෙහෙත් ගෙන්වගෙන හරියන්නේ නැහැ. මමම ගිහින් ගලව ගන්න ඕන අවස්ථා තියෙනවා. බෙහෙත්වල ගුණ පිහිටන වෙලාවල් තියෙනවා; තැන් තියෙනවා. හඳ පායන බැස යන වෙලාව බලලා මුල ගලව ගන්න ඕන.”

වීරප්පෙරුම වෙද මහතා එසේ පවසද්දී වෘත්තීය අත්දැකීම් පිළිබඳ තවත් විස්තර අප ඔහුගෙන් විමසුවෙමු.

“රෝගියෙක් දැක්කගමන් මං දන්නවා එයා මොනවගේ තත්ත්වෙකද ඉන්නේ, එයාට ක්ෂණිකව කරන්න ඕන ප්‍රතිකාර මොනවද කියලා. ඒ තරමට මං ලෙඩ්ඩු බලල තියෙනවා. මගේ දුවත් එහෙමයි. මං වගේම එයත් චූටි කාලේ ඉඳන් ලෙඩ්ඩු දැකල හොඳ අවබෝධයකින් ඉන්නේ. මගේ දුවට මටත් වඩා හොඳට මේ වෙදකම පිහිටා තිබෙනවා. ඇය පර්යේෂණ කරමින් මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යමින් සිටිනවා. මෙතෙන්ට ඇවිත් ගොඩක් දෙනා වැල්වටාරම් කියද්දි ලෙඩාට කරන්න ඕන මොන ප්‍රතිකාරද කියලා අපේ ඔළුවට ඇවිත් ඉවරයි. මෙයාට තියෙන්නේ මේ ලෙඩේ කියල ඇහැ දැක්කම, කම්මුල දැක්කම, ලප දැක්කම කියන්න පුළුවන්. නාඩිවලින් ඊටත් එහා කියන්න පුළුවන්.

වෙදකමේ රහසක් තියෙනවයි කියල කෙනෙක් කියනව නම් ඒක අමූලික බොරුවක්. වෙදකමේ රහසක් නැහැ සත්‍යයක් පමණයි තියෙන්නේ. නමුත් ඒ ප්‍රතිකර්ම නිවැරදිව කරන්න ඕන කියන එක පමණයි මම අවධාරණය කරන්නේ. කසාය ටික ගන්න බෙහෙත් බඩු කඩේට ගියාම කඩේ ඉන්න මුදලාලිවත් බෙහෙත අඳුනන්නෙ නැහැ. ගොඩක් වෙලාවට දේශීය වෙදකමේ හෝ වෙද මහත්තයගේ කසායේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඒ වට්ටෝරුව කියවල බෙහෙත් දෙන බෙහෙත් බඩු කඩවලයි. සමහර කඩවල බෙහෙත් බඩු කල් තියාගන්න ඇක්‍රලික් වැනි විස රසායනික වර්ග ස්ප්‍රේ කරනවා. ඉතින් ඒ විස සහිත බෙහෙත් මිනිස්සු බිව්වොත් මොනවයින් මොනව වෙයිද? මිනිස්සු මැරෙන්නත් පුළුවන්. ඒකෙන් හොඳ වෛද්‍යවරයෙක් වුණත් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ බෙහෙත් බඩු කඩ නියාමනය කරන්න ඕන. දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් සෑම පළාතකටම දේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් පත් කරනවා. ඒ අය අනිවාර්යෙන්ම බෙහෙත් බඩු කඩ අධීක්ෂණය කරන්න ඕන. අපේ රටේ ආවට ගියාට ඕනම කෙනෙක්ට සිංහල බෙහෙත් බඩු කඩ දාගන්න හැකියාවක් තියෙනවා. ඒ සඳහා කිසිදු පූර්ණ සුදුසු කමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් කාටවත් බටහිර වෙදකම යටතේ ලබාදෙන බෙහෙත් ඒ විදියට විකුණන්න අවසර නැහැ. ඒකට අවශ්‍ය සුදුසුකම් සපුරන්න ඕන. ඒ සඳහා සහතිකලත් ඖෂධවේදියෙක් ඉන්න ඕන. එහෙම නොවුණොත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න පසුබිමක් සකස් කර තිබෙනවා. ඒ ප්‍රමිතිය සිංහල බෙහෙත් බඩු කඩවලට ගෙන්න බැරි ඇයි? ඒක දේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් මඟින් පහසුවෙන්ම කළ හැකි කාර්යයක්. එවැනි අකටයුත්තක් සිදු කරන බව හඳුනා ගත්තොත් අදාළ පළාත භාර සෞඛ්‍ය සේවා නිලධාරියා වගකිවයුත්තකු කර මේ තත්ත්වය පාලනය කළ හැකියි. නමුත් එහෙම දෙයක් මේ දක්වා සිදුවී නැහැ. ඒ නිසා හෙළ වෙදකම උසස් තත්ත්වයකට ගෙන්න, එය රැක ගන්න එවැනි නීතිමය පසුබිමක් සකස් කරන්න කියලා වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

එන්.බී. වීරප්පෙරුම වෙදමහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි නම්, කල් ඇතිව එතුමන් දැනුම්වත් කර ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සිහිපත් කරමු. ඒ සඳහා අවශ්‍ය තොරතුරු මුහුණුපොතෛ් ‘හෙළ වෙද ගෙදර’ පිටුව මඟින් ලබාගත හැකිය.

ඡායාරූප - නුවන් ජයසේකර

Comments