පොත් ප්‍රද­ර්ශන භූමියේ සැරු­වෙමි දව­සක්ම රිසිසේ | Page 3 | සිළුමිණ

පොත් ප්‍රද­ර්ශන භූමියේ සැරු­වෙමි දව­සක්ම රිසිසේ

 

පොතක් කිව්වාම අපේ මතකයට එන්නේ මොනවාද? ආට් බෝඩ් කවරය, සුදු මුද්‍රිත කඩදාසි, ටයිප් සෙටින්, ප්‍රින්ටින් වගේම ඊටත් පළමුවෙන් ලේඛකයා. ඒත් ඉතින් පොත් ප්‍රදර්ශනයක් කිව්වාම අපේ මතකයට එන්නේ මොනවාද? පොත් ප්‍රදර්ශනයක් හීනෙන් මවාගෙන පසුගිය 16 වැනි සිකුරාදා උදේ 9ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියෙමු.

හිතේ මවාගෙන සිටි පොත් ප්‍රදර්ශනය වෙනුවට අපට දැක ගත හැකි වූයේ මේවාය.

සෙල්පි, හොට් ඩෝග්, නුඩ්ල්ස්, ෂෝට් ඊට්ස්, ස්ටේෂනරි. නොහොත් ලිපි ද්‍රව්‍ය මෙන්ම පොත් පත්ද දැක ගන්නට තිබුණි.

සාහිත්‍ය කන්න දැයි වරක් මෙරට නායකයකු අසා සිටියේය. ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය අපට සිතා ගත නොහැකි පාඨකයන් පිරිසක් බලාගෙන සිටිද්දී ගලාගෙන - ගලාගෙන - ගලාගෙන ආවේය. අප හිතුවේ ඒ ඥාන පිපාසයට කියාය. එහෙත් ඥාන පිපාසයට වඩා පැමිණි ඇත්තන්ගේ බීම පිපාසයත් - කෑම පිපාසාවත් බලවත් විය.

මැක්සිම් ගෝර්කි ප්‍රකාශ කොට ඇත්තේ ලේඛකයා යනු අහස් මාලිගා තනන්නකු බවය. ඒවායේ ජීවත්වන්නෝ පාඨකයෝය. ගෝර්කි තවදුරටත් පවසා ඇත්තේ ප්‍රකාශකයා යනු ඒවායේ කුලී ලබාගන්නන් බවය.

පසුගිය සිකුරාදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය විය. මට හිතුනේ "හත් ඉලව්වේ ලංකාවේ මේ තරම් පොත් ප්‍රකාශකයෝ ඉන්නවාද කියාය" එහෙත් එය සෘණාත්මක සිතුවිල්ලක් නොවේ. ඇත්තෙන්ම ඒ ගැන ඇති වුයේ සන්තෝෂයකි. නමට නම් කොස්වත්තය; ඒත් කණ්ඩ පොළොස් ගැටයක් නෑ යැයි කියමනක් තිබේ. මේ පොත් ප්‍රදර්ශනයද එහෙමය. ටයිප්සෙටින් තිබේ නම්, මුද්‍රණයට ප්‍රෙස් එකක් තිබේ නම් ලංකාවේ ඕනෑම පුද්ගලයකුට පොත් ලියා ලේඛකයකු විය හැකියි. ඒත් මේ පළ කරන පොත්වල ගුණාත්මක වර්ගී කරණයක් රාජ්‍ය මැදිහත් වීමක් මත කෙරුණේ නම් එය පාඨකයාට කරන ඉමහත් සේවයකි. මෙයින් අදහස් කරන්නේ සම්මාන දෙන පොත් 'හොඳ' පොත් යන වර්ගිකරණයට ලක්වන බව නම් නොවේ.

අප මේ පොත් ප්‍රදර්ශනයේ ඇවිදින විට අප සමඟ මිත්‍ර වූ කාන්තාවක් පොත් ගැන කියපු කතාව අමුතුම එකකි. "ගිය සැරේක සම්මාන උලෙළවල සම්මාන ලබපු පොත් එක්ක නිර්දේශ වෙච්ච පොතුත් ගත්තා. පොත් කියෙව්වම මට හිතුණේ විනිශ්ච මණ්ඩලයේ උදවිය කොහොම මේවා කියෙව්වද කියලා, ඒ තරමට ජරා පොත්. සමහර පොත් කියවගෙන යන කොට මේ වගේ කබල් පොත්වලට මොනවට සම්මාන දුන්නද හිතෙනවා" සම්මාන හම්බ වෙච්ච නැති සමහර පොත් තියෙනවා හරි රසවත්, ඒවා කියවන කොට අතින් ඉවත් කරන්න හිතෙන්නේ නෑ. එක හුස්මට කියවන්න හිතෙනවා.

ඔබ කෝටි ගාණක ආයෝජනයක් කොට පොත් ප්‍රකාශකයකු වුවද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හොඳම පොත් කුටිය රුපියල් කෝටියකටවත් ඔබට මිලදී ගත නොහැකිය. මේ පොත් ප්‍රදර්ශනයේ හොඳම පොත් කුටි ටික බෙදාගන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මුල්පුටු හොබවන්නන් විසිනි. ඔවුන් කියන පරිදිම 'ලොකු පොත්' ප්‍රකාශක කොම්පැණි හොඳ කුටි ටික ගත්තාට පසු මේ ඉතුරු පොත් කුටි ටිකට කුසපත් ඇදීමක් සිදු වේ. එහෙත් මේ තත්ත්වය හෙළිදරව් කරන්නේ මෙම ප්‍රදර්ශනය අවතස්සේරු කිරීමට නොවේ. මේ පොත් ප්‍රදර්ශනයට අභියෝග කරමින් පොත් ප්‍රදර්ශන වෙන තැන්වල ආරම්භ කළ ඇත්තෝද, මේ ප්‍රදර්ශනය නවත්වන්නට වරකදි තහනම් නියෝග ගත් පුද්ගලයන්ද, තමන්ට කුටියක් ලබා නොදුන්නේ යැයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිදුරු හට් ගහගෙන පොත් විකුණු උදවියද ඉතිහාසයට එක් වී හමාරය. එයින් බොහොමයක් මේ ප්‍රදර්ශනයටම එක් වී හමාරය.

මෙම පොත් ප්‍රදර්ශනය ආරම්භය ගැන අනුර සී. පෙරේරා පවසා ඇත්තේ මෙවැනි ඉතිහාසයකි.

"අපි මුලින්ම පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආරම්භ කළේ 1985 දී වැල්ලම්පිටිය වෙන්නවත්තේ. "ලස්සන ප්‍රකාශන" ආයතනයේ හිමිකරු වුණු නිමල් ආරියවංශ පෙරේරා තමයි එය කැඳෙව්වේ. "ප්‍රදීප" ප්‍රකාශන ආයතනයේ හිමිකරු කේ. ජයතිලක."සමයවර්ධන" ප්‍රකාශන ආයතනයේ ආරියදාස වීරමන්, "ගොඩගේ" ප්‍රකාශන ආයතනයේ සිරිසුමන ගොඩගේ, දයාවංශ ජයකොඩි සමාගමේ දයාවංශ ජයකොඩි වගේම කරුණාරත්න සපුතන්ත්‍රි, පියසේන වික්‍රමගේ, ඩබ්ලිව්. ඕ. ටී. ප්‍රනාන්දු, සෝමසිරි කස්තුරිආරච්චි, අජිත් කුලතුංග යන මහත්තුරුන් සහ විදුර විද්‍යා ප්‍රකාශන ආයතනය වෙනුවෙන් මා ඇතුළු පහළොස් දෙනෙකුගේ පමණ මූලිකත්වයෙන් තමයි අපි මේ සංගමය පිහිටුවා ගත්තේ. අපි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පටන් ගත්තේ පොත් ප්‍රකාශකයන් එකමුතු කරලා ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නයි. 1994 වසරේ අපේ සංගමයේ සභාපතිත්වය දැරුවේ නිමල් ආරියවංශ පෙරේරා. මම උප සභාපති, ලේකම් මහින්ද දළුවත්ත ඔය අතරේ තමයි අපිට ඉන්දියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන තුනකට එන හැටියට ආරාධනා ලැබුණේ. 1994 වසරේ මුල් කාලයේ කේරළයේ මුම්බායේ සහ දිල්ලියේ තමයි ඒ ප්‍රදර්ශන පැවැත්වුණේ.

දිල්ලියේ පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ උත්සවයටත් අපි සහභාගි වුණා. ඒ ප්‍රදර්ශනයට රටවල් 60 ක් සහභාගි වෙලා සිටියා. ඒක දැක්කම මට ලොකු ආසාවක් ඇති වුණා. රටවල් දෙක තුනක්වත් අපේ රටේ පොත් ප්‍රදර්ශනයට සහභාගි කරගන්න. මම ලංකාවට ඇවිත් මේ අදහස ඉදිරිපත් කළාම ඒ යෝජනාව හුඟක් වාද විවාදවලට ලක් වුණා. ලංකාවේ මිනිස්සු කානිවල්වලට ආවත් පොත් ප්‍රදර්ශනවලට එන්නේ නෑ කියන අදහස තමයි පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අය කිව්වේ. ඒත් අපේ සභාපතිතුමා මට පක්ෂව හිටියා. අපි පූනූස් මහත්මයාට ලිපි ලියලා ලංකාවට ගෙන්වා ගත්තා. ඔහු ලංකාවට ආවේ සිංගප්පුරුවේ පොත් ප්‍රදර්ශන සමාගමක කළමනාකරුවෙකු වන ගෝ යෙව් ජීන් එඩ්මන් සමඟ. සාකච්ඡා වට ගණනාවකට පස්සේ අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නිලධාරීන් සමඟත් සාකච්ඡා කරලා 1995 දී ප්‍රථම වරට ලංකාවේ පොත් ප්‍රදර්ශනයක් පවත්වන්න සූදානම් වුණා. ඒත් අවසන් මොහොතේ මට තීරණාත්මක ප්‍රශ්නයක් මතු වුණා. ලොකු සෙනඟක් පොත් ප්‍රදර්ශනයට ඇවිත් ඉන්න අතරේ බෝම්බයක් පිපිරුණොත් කවුද වග කියන්නේ කියලා. මට ඒ වගකීම දරන්න බැරි නිසා මම නිශ්ශබ්ද වුණා.

මේ සියලුම සිදුවීම්වලින් පසුව 1998 දී එවකට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති නිමල් ආරියවංශ මහත්මයාගේ උත්සාහයෙන් සහ එච්.ඩී. ප්‍රේමසිරි සහ ආරියදාස වීරමන් මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ලංකාවේ පළමුවැනි පොත් ප්‍රදර්ශනය කොළඹ කලාභවනේදී පැවැත්වුණා. වසර කීපයක් කලාභවනෙදී පැවැත්වු පොත් ප්‍රදර්ශනය තමයි පසුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ගෙන ආවේ.

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වෙනදාට දැක ගත හැකි විදේශීය ප්‍රකාශකයන් අපට දැකගත හැකි වූයේ නැහැ. අන්තිමට පැවැත්වු පොත් ප්‍රදර්ශනයේ චීන කුටියක් ද වූයේ චීන සාහිත්‍ය - සිංහලට නැඟීමටත් සිංහල කෘති - චීන භාෂාවට පෙරළීමටත් ය. එමෙන්ම වෙනදාට තිබුණ 'කවි කුටියද' දැකගන්නට තිබුණේ නැහැ.

මෙවර පොත් ප්‍රදර්ශනයේ ඇවිද යන විට බොහෝ පාඨකයන් චෝදනා කළේ බොහෝ පොත්වල මිල ගණන් වෙනස් කොට ඇත්තේ පරණ මිල මතම අක්‍රමවත් ලෙස බවය.

"මේ සැරේ විකුණන්න තියන ගොඩක් පොත් පළවැනි කොරෝනාවට කලින් ගහපුවා. ඒ කාලේ රුපියල් 450/- ක පොතක් අද රුපියල් 1250/- ක් විතර වෙනවා. අලුතින් ගහපු පොත් අඩුයි. සියයට විස්සක ඩිස්කවුන්ට් දෙන්නේ රුපියල් 450/- පොතේ මිල රුපියල් 1250/- කියලා අලුතින් ගහලා.

ලංකාවේ විශාලතම පොත ලෙස මෙතෙක් පැවතියේ නවනැලියේ විජේතුංග ලියු 'මානව සංහතියේ අග්‍රඵලය' නම් කෘතියයි. එම පොතේ උස අඩි 3ක් වන අතර පළල අඩි 2කි. පරිච්ඡේද 13 ක් ඇති එම පොතේ පිටු ගණන 100කි. අප ගිය කුටිවලින් මේ පොත ගැන විමසුවත් බොහෝ දෙනෙකුට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැත. එමෙන්ම පරණ පුරුදු ලෙටර් ප්‍රේස් නොහොත් උස්තල මුද්‍රණ ක්‍රමයට මුද්‍රිත පොතක් ලෙස සොයාගත හැකි වූයේ අලෙවියට තබා නීති පොතක් පමණි. හාඩ් බයින්ඩින් කළ පොත් කියන බැඳපු පොත් දකින්නට ලැබුණේ කිහිපයක් පමණි.

මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පුරා ඇවිද ගිය විට එම ප්‍රදර්ශනයේ නමට අගින් 'එක්සයිස් පොත්' ස්ටේෂනරි සහ ෆොටෝ කොපි පැකට් ප්‍රදර්ශනය ලෙස ඌන පූර්ණයක්ද එක් කළා නම් 'හොඳ' නොවේදැයි සිතුණි. මෙහි පැවැති පොත් රසිකයන් බොහොමයක් අතරින් අතමිට සරු අය සිටියේ පාසල් විෂයානුබද්ධ පොත් සහ තරග විභාග ප්‍රශ්නෝතර ආදිය ඇතුළත් පොත් ගැනුම්කරුවන්ය. කෙටි කතා පොත් දක්නට ලැබුණේ අවම ලෙසය. වැඩිම පොත් ප්‍රමාණයක් දැකගත හැකි වූයේ නවකතාය. ළමා කතා මෙන්ම පරිවර්තන කෘති වලටද හොඳ ඉල්ලුමක් ඇති බව වටහා ගැනීමට අපහසු වූයේ නැත.

පොත් ප්‍රදර්ශනයේ පොත් කුටිවල පොරකන පාඨකයන්ට වඩා සෙනඟක් දැකගත හැකි වූයේ ජනප්‍රිය සන්නාම ඇති කෑම, නුඩ්ල්ස්, අයිස්ක්‍රීම් කෙටි කෑම හා බීම හල් අසලය. බොහෝ දෙනා සන්නාමය පෙනෙන ලෙස සෙල්ෆියක් ගෙන එවලේම එය තම 'මුහුණු පොතට' එක් කළේ මහා වීරකමක් කළ ලෙසය.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ලේඛකයා යන සුවිශේෂ පුද්ගලයා 'ලොප්' වී ප්‍රකාශකයා නම් වූ 'මුදලාලි' සමඟ ගනුදෙනු කරන්නට පාඨකයන්ට සිදුවී ඇත. ඒත් ඇතැම් ප්‍රකාශන කුටිවල ලේඛකයන් හමුවීම අවස්ථාව සලසා තිබීම ඇගැයිය යුත්තකි. මෙම පොත් ප්‍රදර්ශනයකට වඩා පොත් අලෙවිකරුවන් අතර ඔවුනගේ පොත් විකුණා ගන්නට කරන අරගලයකි. පොත් ප්‍රදර්ශනයට වඩා එය 'කානිවල්' එකක් වී ඇත්තේ මේ නිසාමය.

මේ පොත් කුටිවලට පිවිසුන පසු පොතක් කියවා බලා සැනසිල්ලේ පොත් අතර ගැවසෙන්නට ඉඩක් නැත. ලිපි ද්‍රව්‍ය ගන්න පොරකන පිරිස් නිසා 'පාඨකයාට' මානසික ආතතිය පවා ඇතිවිය හැකි තත්ත්වයක් අපට දැක ගත හැකි විය.

විවෘත වෙළෙඳ පොළ සියල්ල තීරණය වන්නේ මුදල් මතය. පොත් ප්‍රදර්ශනයට වෙනසක් එක්කළ හැක්කේ ලාභය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස පමණි. මේ ප්‍රදර්ශනය රාජ්‍ය මැදිහත්වීමක් මක සංස්කෘතික දෙපාර්තමේන්තුව සිදු කළ යුතු කටයුත්තකි. එහෙත් අප ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට උරදිය යුත්තේ රාජ්‍ය මැදිහත් වීමක් මත සිදු කළ යුතු කටයුත්තක් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය උරදී ඇති නිසාය.

ඡායාරූප - චින්තක කුමාරසිංහ සහ සුදත් නිශාන්ත

 

Comments