ඉතිහාසය පස්සේ නොදුවා ජයකෙහෙලි නැංවූ දසුන්ගෙ කොල්ලෝ | සිළුමිණ

ඉතිහාසය පස්සේ නොදුවා ජයකෙහෙලි නැංවූ දසුන්ගෙ කොල්ලෝ

වම කාගෙත් කතාව දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජය ගැනීම ගැනය. එය එක් අතකින් ආර්ථික අර්බුදයකට මැදිවූ ශ්‍රී ලාංකිකයන්ගේ මනසට යම් අස්වැසිල්ලක් සේම අනිත් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට කදිම වැපිරිල්ලකි. ඔස්ට්‍රේලියාවට ගොස් විස්සයි 20 ලෝක කුසලාන අස්වැන්න නෙළීමට තවත් ඇත්තේ මාසයක පමණ කෙටි කාලයක් පමණි.

 

දසුන් ශානකගේ පිරිවර එමිරේට්ස් බලා ගියේ කුසලානය ජයගැනීමේ අවම වාසිය ඇති ‘Under Dogs‘ කණ්ඩායමක් හැටියටය. කණ්ඩායමෙන් අඩකට වඩා සිටියේ අඩු අත්දැකීම් ඇති යොවුන් ක්‍රීඩකයන් පිරිසකි. එහෙත් අප්‍රතිහත ධෛර්යය අතින් නම් එය සෙසු කණ්ඩායම්වලට දෙවැනි නොවීය. එසේ ඇතිවීම හා නැතිවීම අතර දෝලනය වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කෝඩුකාර ඇෆ්ගනිස්තානුවන් අතින් පරාජයට පත්වෙද්දී කවුරුත් සිතුවේ ශ්‍රී ලංකා පිල යළි මවුබිමට පැමිණෙන්නේ හිස් අතින් බවය. පරාජය අවජාතක බැවින් දසුන්ට සිදුවූයේ එහි වගකීම තනිවම කරපින්නා ගැනීමටය. ඔහු සැබෑ නායකයකු සතු ගුණගරුක බව ඒ අයුරින්ම ඉස්මතු කර පෙන්වීය. තරගයේ පරාජය බාර ගත්තේ ඉන්දීය ජාතික තුන්වැනි විනිසුරු ජෙයරාමන් මදන්ගෝපාල්ගේ වැරදි තීරණයකින් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ දැවී යෑම සටහන් වීමේ අවාසනාවන්ත සිදුවීම ගැන වචනයක් හෝ සඳහන් නොකරමිනි. ඒ වැරදි තීරණය නොවන්නට තරගයේ තීරණය වෙනස් වන්නට පවා ඉඩ තිබූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන් පුන පුනා කියද්දීය.

එපමණක් නොව ඔවුන් රූපවාහිනී පුනරූපන තිබියදිත් විනිසුරුවකු වැරදි තීරණයක් ගැනීම වූකලී මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග විනිසුරුවන්ගේ සුදුසුකම් යළි යළිත් නිරීක්ෂණයට ලක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය හරවා තැබුවේය.

එහෙත් දසුන් ඇතුළු ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් සිතුවේ අනෙකකි. එනම් එම පරාජය ඊළඟ තරගයේදී ආශිර්වාදයක් කර ගන්නා ආකාරය ගැනය. කුසලානය ජයගන්නා තුරු ආපසු හැරී නොබැලීමේ මාර්ගය පාදා ගන්නා ආකාරය ගැනය.

තරග පරාජය වීම සාමාන්‍ය දෙයක් වූවත් එවැනි පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තරම් නොවන බව තරගයෙන් පසු දසුන් ශානක කීවේ එබැවිනි. එපමණක් නොව පළමු ඕවරයේ කඩුලු 2ක්ම බිඳ වැටීමෙන් විස්සයි20 තරගයකින් ගොඩ එන්නට බැරි බවත් ඔහු හොඳින්ම දැන සිටියේය. එහෙත් පිතිකරුවන් ඕනෑම තත්ත්වයකදී හොඳින් පන්දුවට පහරදීමට සූදානම් විය යුතු බවත්, ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට එසේ මුහුණදීමට සූදානම්ව සිටියේද යන්න ඔහු ප්‍රකාශ කළේ තමාටද දොස් පවරා ගනිමිනි.

සාමාන්‍යයෙන් එමිරේට්ස් දේශයේ තණතීරු ප්‍රචලිතව ඇත්තේ දෙවැනි වර පන්දුවට පහර දෙන කණ්ඩායම ජයගන්නා බවටය. පළමු තරගයේදී කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්තානය පන්දු යැවීම තෝරා ගත්තේ ඉතිහාස වාර්තා හොඳින් මතකයේ තබාගෙනය. එය වැරදුණේ නැත.

බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි තරගයේදී කාසියේ වාසිය ලබා දසුන් ශානක බංග්ලාදේශයට පන්දුවට පහරදීමේ අවස්ථාව දුන්නේ ඒ අනුවය. ඇරත් ඊට පෙර ඇෆ්ගනිස්තානය සමඟ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනා තිබියදිත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශය පොට වරද්දා ගත් බැවින් ‘කාසියේ වාසිය ලැබුණා නම් හඹා යෑමේ‘ මන්තරය ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව තරගාවලියට එක් වූ සියලු කණ්ඩායම් මතුරමින් සිටියේය. එහෙත් සිතුවාටත් වඩා ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක්වී තිබිණි.

ඒ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ පිපාසයෙන් පසු වූ බැවින් ලකුණු පුවරුවේ අංක මත සිය මානසික ඒකාග්‍රතාව බිඳ දමා ගැනීමට ක්‍රීඩකයන් කොහෙත්ම කැමති වූයේ නැත. කුසල් මෙන්ඩිස් දැමූ අඩිතාලම ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ජයග්‍රාහී මාවත හෙළි පෙහෙළි කළ යුතු ආකාරය ගැන පාසල් ක්‍රීඩකයන්ට ලබා දුන්නේ කදිම පාඩමක් බව ලියුම්කරුගේ අදහසය. පළමු තරගයේ පෙන්නුම් කළ දුර්වලතා ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙවැනි තරගයේදී කදිමට මඟ හරවා ගෙන තිබූ බැවින් සාර්ථක ආරම්භයක් ද ලැබී තිබිණි. කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක 6 වැනි ඕවරයේදී ලකුණු 45ක් එකතු කරද්දී පිතිහරඹ පෙළගැස්මේ ඉදිරියෙන් යෑමට දසුන් කල්පනා කළේය. එහෙත් කණ්ඩායමේ අදහස වූයේ අනෙකකි. එබැවින් අන්තිමේදී ඔහුට සිදු වූයේ සිය සුපුරුදු ස්ථානයෙන් ද පල්ලම් බැස අංක 6 ස්ථානයෙන් පිටියට පිවිසීමටය. එහෙත් පසුව ඔහු ඒ ගැන සතුටට පත්වූයේ පිතිකරුවකුට කණ්ඩායමේ ඕනෑම ස්ථානයකින් පන්දුවට පහරදීමේ හැකියාව තිබිය යුතුය යන්න ඔහුගේ ද අදහස වී තිබූ බැවිනි.

කාගෙ කාගෙත් ඇස් ඇරෙන්නට වූයේ එතැනින් ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ගමන නොනැවතී ඉදිරියට යෑම නිසාය. සුපිරි හතරට එක්වෙද්දී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් අතර සුසංයෝගය කදිමට ශක්තිමත්ව තිබිණි. පිතිහරඹයේදී මෙන්ම පන්දු යැවීමේදි හා පන්දු රැකීමේදිත් කිසිවකු එකිනෙකාට දෙවැනි නොවීය. අනික අවසන් මහා තරගයට එක්වන තුරුම කාසියේ වාසිය වැටුණෙත් එක දිගටම දසුන්ගේ වාසියටය. පාකිස්තානය සමඟ පැවැති සුපිරි හතරේ අවසන් තරගය හැරුණු විට සෙසු සියලු තරගවලදී ශ්‍රී ලංකාවට ලැබුණේ අභියෝගාත්මක ඉලක්කයන්ය. එම තරග සියල්ලම අවසන් ඕවරය දක්වාම ඇදී යෑමට තරම් සටන්කාමීත්වයෙන් පිරී තිබිණි. එම තරග පමණක් නොව සෙසු කණ්ඩායම් අතර පැවැති බොහෝ තරග ද අවසන් ඕවරය දක්වාම ප්‍රේක්ෂකයන් විළුඹෙන් ඉස්සි ඉස්සී හුස්ම නොහෙළා බලා සිටින්නට තරම් කුතුහලයෙන් පිරී තිබිණි.

ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණියේ බංග්ලාදේශය පමණක් නොව තරගාවලියේ ජනප්‍රියම කණ්ඩායම වූ ඉන්දියාවත් හිස් අතින් ගෙදර යවමිනි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය දෙපිලටම විවෘත එකක් බවට පත් වූ අතර, දෙපිලම අනාවැකි පළ කිරීමට නොහැකි කණ්ඩායම් දෙකක් වී තිබිණි. විශේෂයෙන් පාකිස්තානයට ඕනෑම මොහොතක නැවත නැගී සිටීමේ හැකියාව ඇති බැවින් කුසලානය කාටදැයි හරියටම අනාවැකි පළ කිරීමට ඔට්ටු කරුවන් පවා අසමත් වූවාට කිසිදු සැකයක් නැත.

ඒ වන විට විස්තර විචාරක කුටියේ සිටි පාකිස්තාන පිලේ හිටපු නායක වසීම් අක්රාම් මෙසේ කීවේය. ‘ පාකිස්තානය කුසලානයට ජනප්‍රියම කණ්ඩායමයි. එහෙත් ශ්‍රී ලංකාව සැහැල්ලුවට ගන්න එපා‘ ඔහු එසේ අවවාද කළේ පාකිස්තාන පිලේ නායක බාබර් අසාම්ට විය යුතුය. සෙසු විස්තර විචාරකයන්ගේ අදහස වී තිබුණේ ද එයම විය. අනික ඒ වන විට පළමු තරගයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු වූ විස්මිත පෙරළිය විස්තර විචාරකයන් පවා අන්දමන්ද කිරීමට සමත්ව තිබිණි. එබැවින් ඔවුන් අනාවැකි පළ කිරීමෙන් වැළකී සිටි අතර, කුසලානය දෙපිලටම අත පොවන මායිමේ ඇතැයි විවෘත තීන්දුවක් දී තිබිණි.

එම අනාවැකි පාකිස්තානයට වාසි ආකාරයෙන් ජීවමාන වන්නට වූයේ කාසියේ වාසිය බාබර් අසාම් දිනා ගැනීමත් සමඟය. ‘කාසියේ වාසිය ලැබුණේ නම් හඹා යෑමේ‘ මන්තරයට අනුව බාබර් අසාම් පන්දු යැවීමට තීරණය කළේ දෙවරක් නොසිතාම විය යුතුය. එහෙත් ඒ වෙද්දී ශ්‍රී ලංකා පිල පසු වූයේ මානසික අතින් උපරිම තලයේය. දස්කම් ද ඉහළින් මුවහත් වී තිබිණි. සියල්ල සිදු වූයේ එකිනෙකාගේ සහයෝගය මතින්ය. කුසල්ලා, පැතුම්ලා අසාර්ථක වෙද්දී මැදපෙළින් භානුක සහ දසුන් බැටන් එක අතට ගත්හ. අඩු පන්දු ගණනකින් ඉක්මන් ලකුණු ටිකක් කණ්ඩායමට එකතු කිරීමට උපන් හපන්නු වූ වනිඳු සහ චාමික ද සීරුවෙන් සිටියහ.

අවසානයේ එමිරේට්ස් තණතීරුවේ ඉතිහාසගත මන්තරය අවශ්‍යම මොහොතේ වෙනස් කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. කොහොමටත් දසුන් ඉතිහාසය පස්සේ දුවන්නේ නැත. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කවදත් එහෙමය. ඒ පණිවිඩය මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට රැගෙන ගියේ 1996 ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගය.

ඒ වෙද්දී පැවැති එක්දින ලෝක කුසලාන තරගමාලා පහේදීම ජයග්‍රහණය හිමි වූයේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමටය. එය වෙනස් කළේ අර්ජුනය. විශේෂත්වය වන්නේ ඔහු එය කළේ කාසියේ වාසිය පවා දිනා තිබියදී වීමය.

‘කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව මට මේ තරගය ගැන කිසිම සැකයක් තිබුණේ නෑ. ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 240-250 අතර ගණනකට සීමා කළ හැකිනම් අපිට දිනන්න හොඳ අවස්ථාවක් තිබෙන බව අපි දැනගෙන සිටියා. මම ඉතිහාසය පස්සේ දුවන ජාතියේ මිනිහෙක් නෙවෙයි. අපි ඉතා සාර්ථකව දෙවැනි වර පන්දුවට පහර දී ජයගෙන තිබෙනවා.‘ අර්ජුනගේ එම ප්‍රකාශය තරගයෙන් පසු ලියන ලද ලිපියකට ලියුම්කරු ද සටහන් කළේය. පාකිස්තානයට එරෙහිව දසුන් ශානක ප්‍රතිවාදීන් දමනය කිරීමට සිය ක්‍රීඩකයන් එහා මෙහා කළ අයුරු ලියුම්කරුට සිහිපත් කළේ එදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැති ලෝක කුසලාන අවසන් තරගයේදී අර්ජුන දාම් ලෑල්ලක ඉත්තන් එහා මෙහා කරන ආකාරයෙන් සිය ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ ස්ථාන වෙනස් කළ අයුරුය. දසුන් ශානක මේ යන්නේද අර්ජුන ගිය අඩිපාරේ බවත්, මේ කුරුමානම එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයත් සියතට ගැනීම බවත් කෙනකුට සිතෙන්නට බැරි නැත.

1996 ලෝක කුසලානය කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළේ 1995 ඔක්තෝබරයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් කොදෙව් පිල පරාජය කරමින් සිංගර් අකායි කුසලානය දිනා ගත් ජයග්‍රාහී මාවත ඔස්සේය. ඊට වසර 27කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් දැන් හෙළි පෙහෙළි කර ඇත්තේ එවැනිම මාර්ගයකි. අනාවැකි පළ වෙමින් තිබෙන්නේ ද එදා සාජා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගර් අකායි කුසලානය ජයගත් මොහොතේදී ඊට මාස කිහිපයකට පසු පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් සම්බන්ධව අනාවැකි පළවූ ආකාරයටමය.

හැමදේම සිදුවෙමින් පවතින්නේ එලෙසටය. එදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ලෝක කුසලානය දිනාගත් මොහොතේ ශ්‍රී ලාංකිකයන් මෙරට ජය සමරද්දී පාකිස්තාන භූමියේදී ජය සැමරුවේ පාකිස්තාන ජාතිකයන්ය. ඔවුන් වීදි බැස ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සමරන්නට වූයේ රොද බැඳගෙන බව ලියුම්කරුට තවමත් මතකය. එය එක් අතකින් ඔවුන් සිය අසල්වාසී රට පළමුවරට ලෝක කුසලානයක් දිනා ගැනීමේ සතුට සැමරීමක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔවුන්ගේ දරුණුතම සතුරා ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානුවන් පරාජය වීම සැමරීමක් ද විය.

මෙදා ඩුබායි නුවරදී ශ්‍රී ලංකා පිල පාකිස්තානය පරාජය කරමින් ආසියානු කුසලානය දිනා ගත් මොහොතේ ශ්‍රී ලාංකිකයන් මෙරට ජය සමරද්දී ඇෆ්ගනිස්තානයේ ජනතාවත් වීදි බැස ශ්‍රී ලංකාවේ ජය සැමරුවේය. ඔවුන්ගේ සම්ප්‍රදායික ‘අටාන්‘ නර්තනයෙහි නිරත වූහ. එය එක් අතකින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙන්ම දේශපාලන වශයෙනුත් දැන් නොහොඳ වී සිටින පාකිස්තානයේ පරාජය සැමරීමක් ද විය.

ශ්‍රී ලංකා පිලේ ආසියානු කුසලාන ජයග්‍රහණය ක්‍රීඩාව අතින් පමණක් නොව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ද, ව්‍යාපාරික මට්ටමෙන්ද ලොව පුරා දැඩි අවධානය දිනාගත් සිදුවීමක් බවට ද පත් විය. ශ්‍රී ලංකා පිලේ මේ ජයග්‍රහණය එක්තරා ආකාරයකින් අතිවිශේෂ ජයක් වන්නේ ආර්ථික හා දේශපාලන අර්බුද රැසක් මැදින් ආසියානු කුසලානය කරා ගමන් කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර, පළමු තරගය පරාජයට පත්වීමෙන් පසු යළි එකාවන්ව නැඟී සිටිමින් කුසලානය දක්වා ගමන් කිරීමේ කණ්ඩායම් හැඟීම ඉස්මතු කර පෙන්වීමට ද අමතක නොකළේය. තරු පන්තියේ ක්‍රීඩකයන්ගෙන් තොරව කෝඩුකාර කණ්ඩායමක් ලෙස ආසියානු කුසලානයට ගිය බවට පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පුස්සක් බවට පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලොවට පෙන්වූයේ අවස්ථාවට අනුව නැඟී සිටීමට හැකිනම් ඔබ තරුවක් බවට පත් වන්නේ ඉබේටම බවය. ඇරත් ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානය ජයගත්තේ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයට පවා සුදුසුකම් නොලැබූ කණ්ඩායමක් ලෙසටය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ලොව පුරා කතාබහට ලක් වූ ප්‍රධානතම සාධකය වන්නේ කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කරමින් මේ ජයග්‍රහණයට හිමිකම් කීමය. විදේශ තානාපතිවරුන්, දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නළු නිළියන්, දේශපාලඥයන් මෙන්ම ව්‍යාපාරිකයන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුවේ එය ඉස්මතු කර පෙන්වමිනි. දැන් ජයග්‍රහණයට පියවරු සියයකි.

 

Comments