
තර්ජනී ශිවලිංගම් ඉදිරි කාලයේ අපෙන් සමුගත්තොත්, අපේ කණ්ඩායමට වෙන දේ හිතා ගන්නත් බෑ, හේතුව දෙවැනි පෙළ ක්‍රීඩා කණ්ඩායමක් හැදිලා නැහැ
- පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ
මහා ඉඩෝරයකට පොද වැස්සකින් ඵලක් නැත. ඊට දෙගොඩ තලා ගලන මහා වැස්සක්ම ඇවැසිය. ආර්ථික, සාමාජීය ඉඩෝරයකින් ශ්‍රී ලාංකේයන්ගේ ජීවිත ඉරිතලා, කේඩෑරි වී, පොළොවට කුඩු පට්ටම් වී ඇති මොහොතක පසුගිය 11 වැනිදා රටටම සුවිශේෂි දිනයක් විය. ඒ, එදින ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සහ ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව විසින් හිමිකරගත් බැවිනි. ඒ ජයග්‍රහණය විඩාබර ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට ගෙන දුන්නේ නිමක් නැති සතුටකි; ප්‍රබෝධයකි.
සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැති 12 වැනි ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලියේ හයවැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේදී ගෝල් 63-53ක් ලෙස සත්කාරකයන් පරාජය කිරීමට සමත් විය.ඒ අනුව ආසියානු නෙට්බෝල් ශ්‍රේණීගත කිරීම්වල අංක එකේ කණ්ඩායම ලෙස තව දුරටත් සිය ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාව තව දුරටත් සමත්ව සිටී.
මේ ජයග්‍රහණයත් සමඟම 2023 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවැත්වෙන 16 වැනි නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී ආසියානු කලාපය නියෝජනය කිරීමට ශූරියන් වූ ශ්‍රී ලංකාව සහ අනුශූරියන් වූ සිංගප්පූරුව ද සුදුසුකම් ලබා ගත්හ.
තරගාවලිය පුරාම අපරාජිත වූ ශ්‍රී ලංකාව අවසන් තරගයේ පළමු කාර්තුව ගෝල් 13-19ක් ලෙස සත්කාරක ප්‍රතිවාදීන් හමුවේ පසුබෑ අතර, දෙවැනි කාර්තුවේ ද ගෝල් 27-30ක් ලෙස ගෝල් 03ක් පසුපසින් සිටි හෙයින්, අපරාජිත ශ්‍රී ලංකාවට ශූරතාව රැක ගැනීමේ අවස්ථාව එක් අදියරක දී සැක සහිත විය. එහෙත් තෙවැනි කාර්තුව අවසානයේ විශිෂ්ට ලෙස නැවත තරගයට අවතීර්ණ වු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකී කාර්තුව අවසන් කළේ ගෝල් 46 – 38ක් ලෙස පෙරමුණ ගනිමිනි.
මීට පෙර ශ්‍රී ලංකාව හමුවේ ගෝල් 67-49ක් ලෙස පරාජයට පත් වූ සිංගප්පූරුව පළමු කාර්තුවේදී විශිෂ්ට දස්කම් පෙන්වූ අතර, ප්‍රතිවාදීන් සම්පූර්ණයෙන්ම අබිබවා ත්‍රාසජනක තරගයකට වේදිකාව සකස් කර ගත්හ.
කෙසේ වෙතත් තෙවැනි කාර්තුවේදී තරගය අතරතුර නැවත තරගයට අවතිර්ණ වු ශ්‍රී ලංකාව ගෝල් 34-34ක් ලෙස සම කර ගැනීමට සමත් වූ අතර, ගෝල් 35-34ක් ලෙස පළමු වරට පෙරමුණ ගත්හ.
එතැන් සිට ආපසු හැරී නොබැලූ ඔවුන් සිවුවැනි කාර්තුව ගෝල් 46-38කින් ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව ගෝල් 19ක් රැස් කළ අතර සිංගප්පූරුවට ලබා ගත හැකි වූයේ ගෝල් 8ක් පමණි.
ශ්‍රී ලංකාව සිවුවැනි සහ අවසන් කාර්තුවේදී සිය ප්‍රධාන ගෝල විදින ක්‍රීඩිකාව වන තර්ජනී සිවලිංගම්ගේ නොනවතින ප්‍රහාර හමුවේ සිය ස්ථානය තහවුරු කරගත් අතර ප්‍රතිවාදීන්ට ගෝල් 15ක් පමණක් ලබා දෙමින් ගෝල් 17ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා නෙට්බෝල් පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ සහ නායිකා ගයංජලී අමරවංශ පැවැසුවේ දුෂ්කරතා රැසක් මැද මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවයි.
තම මීළඟ ඉලක්කය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලානය බවත් මෙම මෙකී ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.
“කඩාගෙන වැටුණු ජාතියක් විදියට මුළු ලෝකයම අප දිහා බලාගෙන ඉන්නකොට අපි නැඟිටින ජාතියක් කියලා ආසියානු දැල්පන්දු වගේම ආසියානු ක්‍රිකට් කුසලානයත් දිනා ගනිමින් ලෝකයට පණිවුඩයක් යන්න පුළුවන් වුණා” යැයි ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයංජලි අමරවංශ ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව පැවැසුවාය.
“ඇත්තටම අපි මේ ජයග්‍රහණය ලබා ගත්තේ අනෙක විඳ දුක් විඳලයි. කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ඉඳලා සියලු දෙනාගේ කැපවීම මේ සඳහා ඉහළින්ම බලපෑවා. මුළු ලෝකයම අප දිහා බලාගෙන ඉන්නේ අපි කඩා ගෙන වැටුණු ජාතියක් විදියට. ඒත් ආසියානු නෙට්බොල් කිරුළ දිනා ගැනීමෙන් ඒ මතයත් බිඳ දැමීමට පුළුවන් වුණා. මගේ මුලික ඉලක්කය වුණේ ශ්‍රී ලංකාවට නැවත වතාවක් ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා දීම” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ පැවැසුවාය.
“අපි මේ තරගාවලියට යනකොට ප්‍රශ්න ගොඩක හිරවෙලා හිටියේ. ක්‍රීඩිකාවන් දොළොස්දෙනාම එක මට්ටමේම හිටපු නැති නිසා තේරීම්වලදී ගැටලු පැන නැඟුණා. නමුත් අපි අපේ රටේදී හොඳින් පුහුණුවීම් කළා. විදුලි ඇනහිටීම් සහ ඉන්ධන ප්‍රශ්නය අපිට විශාල ලෙස බලපෑම් ඇති කළා. ඒත් අර්බුදකාරී අවස්ථාවේදී අපට ජයග්‍රහණයන් ඕනෑ කියලා අප කණ්ඩායමත් විශ්වාස කළා. මේ ජයග්‍රහණය වාසනාවක්. ඒත් අද අපිට පසු පෙළක් නැහැ. පුහුණුකරුවන් දිහා බැලුවත් තත්ත්වය ඒකමයි. දැන් සැලසුම් හදාගෙන යනවා. බාධක මැද්දේ ආසියානු ශූරතාවලිය දිනා දෙමින් අපේ ජනතාවගේ මුහුණට සිනහවක් එක් කිරීමට හැකිවීම ගැන අපි හැමෝම ඉතාමත් සතුටට පත් වෙනවා. 2005 න් පස්සේ මට හමුවූ හොඳම කණ්ඩායම වුණේ මේ කණ්ඩායමයි. කණ්ඩායම වේගය අතින් ද ඉතා උසස් මට්ටමක සිටියා. තේරීම් කමිටුව අවස්ථා කීපයකදී කණ්ඩායම් කිහිපයක් මා වෙත යොමු කළා. අගෝස්තු මාසයේත් තවත් කණ්ඩායමක් යොමු කළා. මම ඔවුන් සමඟ ඉතා අසීරුවෙන් තරග කරලා මේ ජයග්‍රහණය ලබා ගත්තා. බොහෝ අවස්ථාවලදී කණ්ඩායමේ නව දෙනකු පමණයි ක්‍රීඩා කළේ.ඒ වගේම තර්ජනී ශිවලිංගම් ඉදිරි කාලයේ අපෙන් සමුගත්තොත්, අපේ කණ්ඩායමට වන දේ සිතා ගැනීමටත් අපහසුයි. හේතුව දෙවැනි පෙළ ක්‍රීඩා කණ්ඩායමක් හැදිලා නැහැ” යැයි පුහුණුකාරිය වැඩි දුරටත් පැවැසුවාය.
ශ්‍රී ලංකාව මීට පෙර 1989, 1997, 2001, 2009 සහ 2018 වසරවලදී ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය. 2018 සිට ඔවුන්ගේ ශූරතාව ආරක්ෂා කර ගැනීමට සමත් වූ අතර, 2020 තරගාවලිය COVID-19 වසංගතය හේතුවෙන් අවලංගු විය.
අවසන් පුර්ව තරගවලදී සිංගප්පූරුව කලාපීය ප්‍රතිවාදීන් වූ මැලේසියාව ගෝල් 54-41කින් පරාජය කළ අතර, ශ්‍රී ලංකාව හොංකොං පිලට එරෙහිව ගෝල් 67-43කින් ජයග්‍රාහණය කළේය. බෲනායි පිලට එරෙහිව ගෝල් 42-38 ක ජයක් ලැබූ පිලිපීනය තරගාවලියේ පස්වැනි ස්ථානයට හිමිකම් කීවේ ශූරතාවලියේ හොඳම ප්‍රතිඵලය වාර්තා කරමිනි. මාලදිවයින, ඉන්දියාව, චීන තායිපේ සහ ජපානය හත්වැනි ස්ථානයේ සිට 10 දක්වා ස්ථාන හිමිකර ගත්හ.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව අපරාජිත කණ්ඩායමක් ලෙස මෙවර ශූරතාව දිනා ගැනීමට සමත්වීම කැපී පෙනිණි.
මෙවර තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව කිසිදු තරගයක් පරාජය නොවූ අතර එහිදී මූලික වටයේදී ඉන්දියාව ගෝල් 102-14ක් ලෙසත් පිලිපීනය හමුවේ ගෝල් 99-37ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.දෙවැනි වටයේ දී පිළිවෙළින් ගෝල 55-53ක් ලෙස මැලේසියාවත්, ගෝල් 67-49ක් ලෙස සිංගප්පූරුවත්, ගෝල් 62-51ක් ලෙස හොංකොං රාජ්‍යයත් පරාජය කරමින් අවසන් පූර්ව තරගයේ දී නැවත වරක් හොංකොං ක්‍රීඩිකාවන් ගෝල් 67-43ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකාව සමත්විය.
තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ අතර එහි දී නිත්‍ය පන්දු විදින්නීය වු තර්ජිනී ශිවලිංගම්ගේ දක්ෂතා සෑම දෙනාගේම අවධානයට ලක් විය. හතළිස්වැනි විය ඉක්මවා සිටින ඇය, තමා තවමත් ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාවේ තිරණාත්මක සාධකයක් බව සනාථ කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෙකී තරගාවලියේදීත් ඇය ඒ බව මනාව ඔප්පු කළාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර මෙන්ම අවසන් පුහුණුවීම් කරන අවස්ථාවේදි පවා ඔස්ට්‍රේලියාවේ තරගාවලියකට එක් ව සිටි තර්ජනී සිය කණ්ඩායමට එක්කර ගැනීමට පුහුණුකාරිනී හයසින්ත් දැඩි ලෙස උනන්දු වුයේ එකී දායකත්වය කණ්ඩායමට නැතුවම බැරිවූ නිසාම විය යුතුය.
ශ්‍රී ලංකාව දැනට 10 වතාවක් නෙට්බෝල් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර, එහිදී ඉහළම ස්ථානය දිනා ගෙන ඇත්තේ ප්‍රථම තරගාවලියේදීය. ඒ, 9 වැනි ස්ථානයයි. 1963 දක්වා දිවෙන නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව 11 වතාවක් කිරුළ දිනාගෙන ඇති අතර, නවසීලන්තය පස් වතාවක් නෙට්බෝල් කිරුළ දිනා ඇත. අවසන් වරට 2019 එංගලන්තයේ පැවැති නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ කිරුළ තියුණු අවසානයකින් පසු නවසීලන්තය (ගෝල 52-51) (රන් පදක්කම), ඔස්ට්‍රේලියාව අනුශූරතාව (රිදී පදක්කම) සහ සත්කාරක එංගලන්තයට තෙවැනි ස්ථානය (ලෝකඩ පදක්කම) හිමිවිය. එවර තරගාවලියට රටවල් 16ක් එක්වූ අතර, ශ්‍රී ලංකාවට 15 වැනි ස්ථානයත් 16 වැනි ස්ථානය සිංගප්පූරුවටත් හිමිවිය. මේ අනුව ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.
අවසන් නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලි යේදී ප්‍රථම වරට වැඩිම ගෝල් ලාභිනිය තෝරන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ තර්ජිනි ශිවලිංගම් තරගාවලියේ වැඩිම ගෝල් ලාභිනිය වූයේ තරග 7කදී ගෝල් 348ක් රැස් කරමිනි. මේ අනුව ශ්‍රී ලංකාව තරග කළ තරග 7දී තර්ජිනී ශිවලිංගම් ඉදිරියේ සටහන් වූ ගෝල් සංඛ්‍යාව 348කි. ඒ උත්සාහක අවස්ථා 375කින්ය. ශ්‍රී ලංකාව තරග 7දී ගෝල් 388ක් වාර්තා කර ගත් අතර ඉන් ගෝල් 348ක්ම තර්ජනීගේ නම ඉදිරියේ සටහන්වීම ද විශේෂත්වයකි.
ආසියානු කිරුළ ජය ගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට මෑත කාලයේ කිසිදු විදේශ පුහුණුවක් පවා නොලැබුණු අතර, ජාතික පුහුණුකාරිය, තේරීම් කමිටුව සහ නෙට්බෝල් සම්මේලනය අතර පැවැති විවිධාකාර වු ගැටලු, රටේ පැවැති ආර්ථික අර්බුදයේ පීඩනය හමුවේ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලැබු මෙකී ජය සැබැවින්ම අගය කළ යුතුය.
සිංගප්පුරුවේ සත්කාරකත්වයෙන් පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරියන් වූ ශ්‍රී ලංකා කණ්ඩාමේ නායිකා ගයංජලී අමරවංශ සහ උප නායිකා දුලංගි වන්නිතිලක කටයුතු කළ අතර, පුහුණුකාරිනිය ලෙස හයසින්ත් විජේසිංහ කටයුතු කළාය. මලිදු කුමාරි ගමගේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සහකාර පුහුණුකරු සහ අනූෂා මයුරානි කළමනාකාරිනිය ලෙස කටයුතු කළහ.
මෙවර ආසියානු ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් තර්ජිනී ශිවලිංගම්, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, හසිතා මෙන්ඩිස්, සේමිණී අල්විස්, දීපිකා දර්ශනි, භාෂිනී ද සිල්වා, මල්මි හෙට්ටිආරච්චි, ඉදුෂා ජනනි, රශ්මි දිව්‍යාංජලී