උසස්පෙළට ක්‍රීඩා විෂය ඇතුළත් කිරීම කඩිනමින් | සිළුමිණ

උසස්පෙළට ක්‍රීඩා විෂය ඇතුළත් කිරීම කඩිනමින්

පාසල් මට්ටමින් ක්‍රීඩාවට දක්ෂ දරු දැරියන්ට එයට ප්‍රවේශ වීම සඳහා අ.පො.ස( උ.පෙළ) විෂය නිර්දේශයට ක්‍රීඩා විෂය ඇතුළත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා(31) ක්‍රීඩා හා යෞවන කටයුතුඅමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති  අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දීය.
 
ඇමතිවරයා, අමාත්‍යාංශයට අයත් සෑම ආයතනයකම නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ප්‍රාදේශීය ක්‍රීඩා කවුන්සිල්, දිස්ත්‍රික් ක්‍රීඩා කවුන්සිල්, පළාත් ක්‍රීඩා කවුන්සිල් යන කවුන්සිල් තුනම පිහිටුවා ඒවා ජාතික ක්‍රීඩා කවුන්සිලය සමග ඒකාබද්ධව වැඩ කරන මට්ටමට පත් කළ යුතු බවයි. එමෙන්ම පුහුණු කරුවන්ගේ සංගම් හා ක්‍රීඩකයන්ගේ සංචිත එක් තැනකට ඉතා කඩිනමින් ගෙන ආ යුතු බවයි. 
 
ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ සෑම ආයතනයක් සදහාම අධීක්ෂණ ඒකකයක් ස්ථාපිත කළ යුතු බවත්, එමගින් එම ආයතනවල සිදු කරන කාර්යයන් පසු විපරමට ලක් වන බවත් පෙන්වා දෙන ලදි. අමාත්‍යාංශයේ සිදු කරන ලිපි ගණුදෙනු වලදී අනුමැතිය ලබා දීම කඩිනම් කිරීමට වට්ස්ඇප් යෙදුම භාවිතා කිරීම ආරම්භ කළ යුතු බව දැන්වීය. 
 
කාණ්ඩ 07 කට වෙන් කරමින් පුහුණුකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වැඩ පිළිවෙල ආරම්භ කිරීමට යෝජනා කළ අමාත්‍යවරයා පැවසූවේ ක්‍රීඩා සංගම් හා සම්මේලන මගින් විදේශ තරගාවලි සදහා සහභාගී කරවීමට නියමිත තොරතුරු වසර ආරම්භයේදීම අමාත්‍යාංශය මගින් ලබා දෙන ආකෘති පත්‍රයක් මගින් ලබා දීම තුළින් තරගාවලි ආසන්නයේ දී අමාත්‍යාංශය යම් ප්‍රතිපාදනයක්  ලබා දෙන්නේ නම් එය ලබා දීමට පහසුවක් බවත්, කිසිදු අපහසුතාවයකින් තොරව එම කටයුතු කරගෙන යාමේ හැකියාව ලැබෙන බවත් පෙන්වා දුණි.
 
එළිමහන් ක්‍රීඩාංගන, ගෘහස්ථ ක්‍රීඩාංගන, කෘතිම ධාවනපථ හා පිහිණුම් තටාක නඩත්තුව පිළිබදව අප රට තුළ පුහුණු ශ්‍රමිකයින්ගේ අඩුවක් පවතින බවත් මෙම ක්ෂේත්‍රවලින් දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා බහුල බවත් ඉදිරියේදී එවැනි රැකියා අවස්ථා බිහි කිරීමට එම ක්ෂේත්‍රය හා සම්බන්ධ විදෙශ පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් මගින් පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස නිළධාරීන් දැනුම්වත් කරමින් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් දන්වා සිටින ලදි.
 
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතන, අධිකාරි,මණ්ඩල හා අංශවල ප්‍රධානීන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

Comments