මම බැංකුවේ රැකියාව පටන් ගත්තේ ලිපිකරුවෙක් හැටියට | සිළුමිණ

මම බැංකුවේ රැකියාව පටන් ගත්තේ ලිපිකරුවෙක් හැටියට

 

සනත් මනතුංග කොමර්ෂල් බැංකුවේ සේවයට එක්වෙන්නේ 1993 දී ලිපිකරුවකු හා මුදල් අයකැමිවරයකු ලෙසිනි. සිය වෘත්තීය සුදුසුකම් පූර්ණය කිරීමට නිරන්තරයෙන් හඹා ගිය හේ ඒ නිසාම සිය සාර්ථකත්වය උදා කරගත්තෙකි. මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණකරණය පිළිබඳ උපාධිය හැදෑරීමට නොයා තමන් සේවය කළ කොමර්ෂල් බැංකුවේ ම අඩියෙන් අඩිය ඉදිරියට එන සනත් මනතුංග මේ වනවිට එහි කළමනාක­ාර අධ්‍යක්ෂවරයා ය. ක්‍රීඩා මෙන් ම කලා හැකියාවන්ගෙන් ද පූර්ණ ඔහු නිරන්තර විෂයානුබද්ධ කෘති පරිහරණය කරන්නෙකි. සිය සාර්ථකත්වය පිටුපස ඇති රහස ලෙස ඔහු හෙළි කරන්නේ, තමන් කරන කාර්යය පිළිබඳ ව ඇති වගකීම සැමවිටම නිසියාකාරව ඉටු කිරීම හේතුවක් වූ බවයි.

 

 

සම්පූර්ණ නම - සනත් චන්දිම උදයකුමාර මනතුංග

පාවිච්චි වෙන්නෙ - සනත් මනතුංග

උපන්දිනය - 1970 දෙසැම්බර්

කොහේද ඔබ උපදින්නේ - බණ්ඩාරවෙල රත්කරව්ව කියන ගමේ

පාසල් යන්නෙ -මුලින් ම බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට. අපි 1978 දී කොළඹට ආවා. ටික කාලයක් වේළුවන විද්‍යාලයට ගියා. ඊට පස්සෙ රාජකීය විදුහලේ ඇතුළත් වීමේ විභාගය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා.

අම්මා, තාත්තගෙ නම් මොනවද? ඔවුන් රැකියාවල නිරත වුණාද?

අම්මා හීන් මැණිකේ මනතුංග. ඇය ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා විදුහල්පතිවරයෙක්. තාත්තා ආර්. පී. මනතුංග.

සහෝදර සහෝදරියන් එහෙම

මට අක්කලා දෙන්නයි, අයියයි ඉන්නෙ.

කොහොමද ඉගෙනීමේ කටයුතු කෙරුණෙ

ශිෂ්‍යත්වයෙනුයි, රෝයල් ඇතුළත් වීමේ විභාගයෙනුයි මම ලංකාවේ පළවැනි 10-15 අතර හිටියා.

මේ කාලයේ ඔබ ජීවිතේ ලොකු ම අහිමි වීමකට මුහුණ පානවා

ඔව්. රෝයල් එකට ගිහින් වසරක් විතර යද්දි මගෙ තාත්තා නැති වුණා. එතකොට මට අවුරුදු 12 යි. ඒ වෙනකොට අක්කලා දෙන්නා කටුබැද්ද විශ්වවිද්‍යාලෙ හිටියෙ. අයියා සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලෙ. මම හයේ පන්තියෙ හිටියෙ. ඒ කාලෙ අපි කොටහේන සෙන්ට්‍රල් එකේ විදුහල්පති නිල නිවාසවල හිටියෙ. අම්මා මාරු වීමක් හදා ගත්තා ඒ පාසලට ම. ඉතින් අපි එතැන ම හිටියා ඒ නිසා.

කොහොමද ඒ අහිමි වීම දරා ගන්නෙ

අක්කලාගෙ දෙවැනි අවුරුද්ද පටන් ගන්න කලින් දවසෙ තමයි තාත්තා නැති වුණේ. මගේ අම්මා දිරිය කාන්තාවක්. අම්මා කොහොමහරි අපිට ඉගැන්වුවා. අයියා දැන් කටුබැද්ද විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරයෙක්. එක අක්කා කෙනෙක්. මේ වෙනකොට කැනඩාවේ පදිංචියි. අනික් අක්කා ලංකාවෙ ඉන්නවා. අක්කලා, එයාලගෙ මහත්වරු, අයියා, අයියගෙ නෝනා ඔක්කොම කටුබැද්දෙන් උපාධිය ලබා ගත් අය.

ඔබ දහම්පාසල් අධ්‍යාපනය මඟ හරින්නෙත් නෑ

ඔව්, මම බෞද්ධ ධර්මාචාර්ය විභාගයත් කළා. පසුව මම දහම් පාසලේ ඉගැන්වුවා. දහම් පාසලේ කථික තරගවලට එහෙම නිතර මම සම්බන්ධ වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ හොඳ ම කථිකයා වෙලා තියෙනවා තුන්පාරක්.

කොහොමද රාජකීය විද්‍යාලෙ ජීවිතේ

ඉස්කෝලේ මම ගොඩක් ක්‍රීඩා කටයුතු කළා. 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා. බොක්සින් වගේම මලල ක්‍රීඩාත් කළා. 1989 වසරේ නිවාසාන්තර තරඟවලදි මගේ නිවාසයේ නායකයා වුණේ මම. ඊට අමතර ව ගොඩක් සමිති සමාගම්වල හිටියා. මට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඒ නිසා කලා කවයෙ එහෙමත් හිටියා.

මේ සේරම බාහිර වැඩත් එක්ක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කොහොමද?

මම ඩී අටක් ගත්තා. බාහිර වැඩ නිසා මම අධ්‍යාපන වැඩ පාඩු කරගත්තේ නැහැ.

උසස්පෙළට මොනවද කරන්නෙ

මට ඕන වුණේ අක්කලා, අයියලා වගේ කටුබැද්ද විශ්වවිද්‍යාලයට යන්න. ඒනිසා මම තෝරා ගත්තෙ ගණිත විෂයයන්.

ඔබට උසස්පෙළ කරන්න සිදු වෙන කාලයේ රටේ විවිධ කලබල පටන් ගත් වකවානුවක්. කොහොමද ඒ තත්ත්වෙ ඔබට බලපෑම් කළේ

අපි සාමාන්‍යපෙළ හොඳට සමත් වෙලා උසස්පෙළට සූදානම් වෙද්දි මැයි මාසෙ විතර කිව්වා, ජවිපෙ කලබල නිසා මේ අවුරුද්දෙ උසස්පෙළ විභාගෙ නෑ කියලා. ඉතින් මම ගෙදරට වෙලා නිකම් හිටියා. අයියගෙ යාළුවෙක් වුණු මහින්ද හේමප්‍රිය ඒ කාලෙ වෛද්‍ය පීඨයට තේරිලා හිටියෙ. විශ්වවිද්‍යාලෙ පටන් ගන්නකම් එයා කොමර්ෂල් බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩ කළා. එයා කිව්වා නිකම් ඉන්න එකේ ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා. මම අගෝස්තු මාසෙ ඇප්ලිකේෂන් එකක් දැම්මා.

එතකොට ඔබ සාමාන්‍ය පෙළ විතරයි කරලා තියෙන්නෙ. සුදුසුකම් ඇති වුණා ද බැංකුවට යන්න

ඒ කාලෙ සාමාන්‍ය පෙළෙන් තමයි ගත්තෙ. මම පාසලේ රෙකෝඩ් රූම් එක ඇරව ගෙන අස්වීම් සහතිකය එහෙම අරන් කොමර්ෂල් බැංකුවට ඒවා බාර දෙන්න ආවෙ පාසල් නිල ඇඳුමෙන්. එතකොට මට අවුරුදු 18 මාස නවයයි. මම හිතුවෙ උසස්පෙළ මෙහෙදි කරන්න. ඒ අවුරුද්දෙ කිසිම සූදානමක් නැතිව සිටිය නිසා මම අවුරුද්දක් කල් ගත්තා. බැංකුවෙ ඉඳන් 1990 තමයි මම උසස්පෙළ කළේ.

කොහොමද උසස්පෙළ ප්‍රතිඵල

මට විෂයයන් 4ට දෙසිය තිස් ගණනක් ලකුණු තිබුණා. කටුබැද්දෙ තියෙනවා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධි පාඨමාලාවක්. ඒකට වෙනම ඇතුළත් වීමේ විභාගයක් තියෙන්නෙ. මට චිත්‍රත් පුළුවන් නිසා මම ඒකට තේරුණා. 1993 දී පටන් ගන්න තිබුණෙ. හැබැයි ඒ වෙද්දි මම බැංකු විභාගය සම්පූර්ණ කළා. ඒ නිසා මම ඒකට ගියේ නැහැ. මොකද මගේ අයියා ඒ වෙනකොට අවුරුදු 7ක් තිස්සෙ විශ්වවිද්‍යාලෙ. මම තීරණය කළා බැංකුවේ ම ඉන්නවා කියලා. කොමර්ෂල් බැංකුවෙ සංස්කෘතියත් මට හිතට ඇල්ලුවා. ගොඩක් සුහද හා මිත්‍රශීලී අය තමයි හිටියෙ

මොකක්ද ඔබ කොමර්ෂල් බැංකුවේ බැඳෙන තනතුර

මම ලිපිකරු සහ මුදල් අයකැමිවරයෙක් විදියට තමයි කොමර්ෂල් බැංකුවට බැඳුණෙ.

විශ්වවිද්‍යාලෙ අතහරින ඔබ උසස් අධ්‍යාපන කඩඉම් ජයගන්නෙ කොහොමද

මම CIMA කළා. MBA එක කළා. මම සුදුසුකම් සම්පූර්ණ කරගත්තා. ඒ අතරෙ බැංකු විභාග කරද්දි මම අවුරුදු 23දී ඒක සම්පූර්ණ කළ නිසා ඒ අවුරුද්දෙ ළාබාල ම කෙනා විදියට මට ගෝල්ඩ් මෙඩ්ල් එකක් ලැබුණා. බැංකුවෙ මම කැමැත්තෙන් වැඩ කළේ. ඒකාලෙ මගේ ප්‍රධානීන් එහෙමත් මාව හරියට දිරිමත් කළා.

විවාහය සිදුවෙන්නෙ කොහොමද

මම බැංකුවෙ ඉන්න කාලෙ තමයි ඇය මුණ ගැහෙන්නෙ. ඇයත් බැංකුවේ සේවය කළා. මම ම තමයි ඇය වෙනුවෙන් අයදුම්පතක් දැම්මෙ. අවුරුදු විසිගණනක් ඇය කොමර්ෂල් බැංකුවෙ වැඩ කළා. දරුවන්ගෙ වැඩ කටයුතු වෙනුවෙන් ඇය කාලෙකදි රැකියාවෙන් ඉවත් වුණා. ඇගේ නම තමරා.

දරුවන් ගැන මතක් කළොත්

අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතා විදුෂික, හොංකොං විශ්වවිද්‍යාලයට ගිහින් දැන් ඔඩිට් ෆර්ම් එකක වැඩ කරනවා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව ඉෂානි, දෙවැනි දුව දිනිති. ඔවුනුත් මේ වසරේ උසස් අධ්‍යාපනය සඳහා රට යන්න සූදානමින් ඉන්නෙ.

ඔබ උසස්පෙළ කරන්නෙ පහුවෙලා. විශ්වවිද්‍යාලයට යන්නෙත් නෑ. මේ දේවල් ගැන පසුතැවීමක් ජීවිතේ තියෙනවද?

නෑ, ඒකට හේතුව තමයි තමන් කරන දේ තමන්ගෙ පැෂන් එක කරගෙන හරියට කළොත් ඒකෙන් උඩට යන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබුණා. මම කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කටයුතුවල නිරත වීම ඒකට ගොඩක් බලපෑවා. පාසලේ සහ දහම් පාසලේදී මම ගත්ත අත්දැකීම් නිසා ඕන දෙයක් හොඳට කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.

ලිපිකරුවෙක් විදියට පටන් ගත්ත මේ ගමන මේ තරම් සාර්ථක වෙන්න බලපෑ හේතු සාධක මොනවද?

කැපවීම, වැඩ සහ සුදුසුකම් නිසා බැංකුවේ ඉක්මනට ම උසස්වීම් හම්බු වුණු කෙනෙක් තමයි මම. අවුරුදු 23 දී මම මාණ්ඩලික නිලධාරීවරයෙක් වුණා. අවුරුදු 27 පහුවෙනකොට මම කළමනාකරුවෙක් වුණා. අවුරුදු 35 දි මම ජ්‍යේෂ්ඨ කළමනාකරුවෙක්. අවුරුදු 37 දී ප්‍රධාන කළමනාකරු බවට පත් වුණා. අවුරුදු 44 වෙනකොට මම සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක්. අවුරුදු 48 වෙද්දි මම ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් වුණා. මේ අවුරුද්දෙම මැයිවල තමයි මම කළමනාකාර අධ්‍යක්ෂ විදියට පත් වෙන්නෙ.

ජීවිතේ හැරිලා බලද්දි ඔබේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය මොනවාද?

මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විශ්වවිද්‍යාලයට යන්නෙ නැතිව බැංකුවෙ ඉන්න තීරණය කිරීම. බැංකුවේ ඉඳපු යාළුවො පවා කිව්වෙ ඇයි මේ ක්ලාක් කෙනෙක් විදියට ඉන්නෙ, විශ්වවිද්‍යාලෙ ගිහින් ආකිටෙක්ටර් කෙනෙක් වෙන්න කියලා. ඒ වුණාට මම තීරණය කළා, මට මේකෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය.

කොහොමද ඔබේ කණ්ඩායම එක්ක ගනුදෙනු කරන්නෙ.

හැම දෙනාට ම අපි එකට ඉන්නෙ කියන විශ්වාසය ඇති කරන්න ඕන. කණ්ඩායමක් එක්ක එකට වැඩ කිරීම සහ මනා සන්නිවේදනය වැදගත්. පණිවුඩ හරියට ගමන් කිරීම කියන කාරණය. අනික සේවකයන්ගේ හැකියාව නිසි පරිදි හඳුනා ගැනීම වැදගත්. ඔවුන්ගෙ හැකියාව දියුණු කිරීමට අතහිත දීම වගේම ඔවුන්ට ඊළඟ තනතුරට එන්න පිටුබලයක්, මැදිහත්වීමක් කරන්න අවශ්‍යයයි. කණ්ඩායම් හැඟීම, ඔවුන්ගේ හැකියාව වර්ධනය වෙන්න එවැනි මැදිහත් වීම් අවශ්‍යයයි. විශ්වාසය මත තමයි කණ්ඩායමක් ඉදිරියට යන්නෙ.

වෙනස් දේවල් කරන්න අවස්ථා ලැබිලා තියෙනවද?

ආපදා කළමනාකරණය කියන විෂයය 2008 දී ලංකාවේ පටන් ගන්නකොට කවුරුවත් ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. ඒකාලෙ මම හිටියෙ සමාගම්වලට ණය දෙන එකේ. ගොඩක් අය ඇහුවා ඇයි ඒකට යන්නෙ කියලා. ඒ කාලෙ මට මැදපෙරදිග බැංකුවකත් හොඳ තනතුරක් ලැබුණා. හැබැයි මම ගත්තෙ මෙහේ මේ අභියෝගය. ඒක රිස්ක් එකක්. අපි ආපදා කළමනාකරණය ඉගෙන ගත්තා. පස්සෙ කොළඹ විශ්වවිද්‍යාලෙ ආරාධිත දේශකයෙක් විදියට ඒ විෂය උගන්වන්න තරමට මම ඉගෙන ගත්තා. බැංකුවක මෙහෙම ඉදිරියට යන කෙනකුට ආපදා කළමනාකරණය වගේ විෂයයක් හදාරලා තියෙන එක ගොඩක් වටිනවා. ප්‍රධාන විධායක නිලධාරී වගේ තනතුරකට ඒක බොහොම වැදගත්. මට ඇමෙරිකාවෙන් 2013 දි ග්ලෝබල් සම්මානයකුත් ලැබුණා. ලංකාවේ බැංකුවක තොරතුරු තාක්ෂණ පැත්තෙන් ආපදා කළමනාකරණය මුලින් ම පටන් ගත්තේ මම මගේ කණ්ඩායමත් එක්ක. මට දන්නෙ නැති විෂයයක් කරලා ඒ තරමට දියුණු වෙන්න ලැබුණෙ මගේ කැපවීම නිසා; ඒ වගේම අභියෝග බාර ගන්න බය නැති වුණු නිසා.

ඔබේ ජීවිතය දිහා බලලා කෙනෙක්ට ගන්න තියෙන ආදර්ශය මොකද්ද?

කැපවීම. මම කලින් නැගිටලා වැඩ පටන් ගන්නවා. මගේ කණ්ඩායමටත් මම ඒක පුහුණු කරනවා. කලින් වැඩ කළාම ඒ වැඩේ ගැන පසුවිපරමක් කරන්න කල් තියෙනවා. තමන්ගේ දැනුම වැඩි කරන්න එතකොට පුළුවන්. මේකෙදි දෙකක් වෙනවා. තමන්ගෙ පහළ අයට වැඩක් කරන විදිය ගැන ආදර්ශයක් ලැබෙනවා; තමන්ට ඉහළ අයට මෙයා ඉහළට යන්න සුදුසුයි කියන ඇඟවීම ලැබෙනවා. කැපවෙලා වගකීම තමන් අතට අරන් කරන්න ඕන.

ඒ කාලෙ හිටපු චිත්‍ර ශිල්පියාට අද මොකද වෙලා තියෙන්නෙ

දැන් මට චිත්‍ර අඳින්න වෙලාවක් නැහැ. අවුරුදු ගාණකින් මම චිත්‍රයක් ඇඳලා නෑ.

නිවාඩු වෙලාව ගත කරන්නෙ කොහොමද

මම තාම මගේ ව්‍යායාම කරනවා. ඇවිදින්න යනවා, පොත් කියවනවා. මම පොත් බාගත කරගෙන කියවනවා. පොත් ප්‍රදර්ශනයට ගිහින් පොත් ගන්නවා.

මොකද්ද ළඟදි කියවපු පොත

මම තුන්පාරක් කියවපු පොතක් තමයි මාෂල් ගෝල්ඩ්ස්මිත් ගෙ what got you here will get you there කියන පොත. තමන්ගෙ නායකත්වය හදා ගන්න හැටි ගැන ලියැවුණු පොත් කියවන්න මම කැමැතියි. ඒ වගේම Jennifer Garvey ගේ Unlocking Leadership Mindtraps පොතත් මා ළඟදි කියෙව්වා.

ඔබ වැඩියෙන් කැමැති විෂයානුබද්ධ පොත් කියවන්න...

ඔව්, මම නවකතා නොකියවන තරම්. මම ආසයි මගේ විෂය පරතෙරට ඉගෙන ගන්න.

ඔබ කියවන්නෙ අයිපෑඩ් එක භාවිත කරමින්. කොළ එක්ක තියෙන ගනුදෙනුව අඩුයි.

මම බැංකුවෙ වුණත් ගොඩක් දුරට දිරිමත් කරන්නෙ ඩිජිටල් වෙන්න කියලා. කොළ මම ඩිස්කරේජ් කරනවා, සිස්ටම් එකේ තමයි වැඩ කරන්නෙ. එකක් වෙලාව ඉතිරියි; අනෙක පරිසරයට හානිකරයි. මම පාවිච්චි කරන අවම කොළ ප්‍රමාණය පවා නැවත නැවත භාවිත කරන්න අරන් තියා ගන්නවා.

සාමාන්‍යයෙන් සංචාරය කරන්න කැමැති මොන පළාත්වලද?

මම බණ්ඩාරවෙලට යන්න කැමතියි. මම ඉපැදුණෙත් එහේනෙ. ලංකාවේ ඕනෑ ම තැනකට සංචාරය කරන්න කැමැතියි.

චිත්‍රපට බලන්න කැමැතියි

මම නෙට්ෆ්ලික්ස්, ප්‍රයිම් දෙකම බලනවා. ගොඩක් වෙලාවට හින්දි චිත්‍රපට බලන්න ආසයි. ගෙදර අයත් එක්ක යනවා නම් හෝල් එකට ගිහිනුත් බලනවා.

බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ

ඔව්, එහෙම දෙයක් තියෙනවා. මම කැමැතියි බ්‍රෑන්ඩඩ් දේවල්වලට.

කවුද ඔබේ ජීවිතයේ වීරයා

මගේ ජීවිතේ වීරයා මගේ අම්මා. ඇය දිරිය කාන්තාවක්. අපි හැමෝටම උගන්වලා තාත්තත් නැතිව අපිව මේ තත්ත්වයට ගෙනාවෙ ඇය. දැන් ඇය ඉන්නෙ මාත් එක්ක.

ඡායාරූප - මාලන් කරුණාරත්න

Comments