මන්ත්‍රී සුමුදු ඝාත­න­යට ඉන්දි­යාවේ ඉඳන් ‘ජිලේ’ ගේම ගැහුව හැටි | සිළුමිණ

මන්ත්‍රී සුමුදු ඝාත­න­යට ඉන්දි­යාවේ ඉඳන් ‘ජිලේ’ ගේම ගැහුව හැටි

පාතාල අපරාධකරුවන් වැඩි හරියක්ම පසුගිය කාලයේ ආයුධ පෙන්වීමට ගොස් මැරුම් කෑවේ පොලීසියට වෙඩි තබන්නට ගොසිනි. එසේත් නැතිනම් බෝම්බ පෙන්වා පලාායාමට උත්සාහ ගැනීම්වලදීය. එය තරමක් දුරට වෙනස් වෙමින් පාතාල අපරාධකරුවන් පසුව මරුමුවට පත්වන්නට ගත්තේ ආයුධ පෙන්වීමට ගොස් මාංචු පිටින් ගංගා ඇළ දොළවලට පැන පලායන්නට ගොස් දියේ ගිලීය. ඒ අතර ක්ෂණික වැටලීම්වලදීද මහා දවාලයේ වෙඩි හුවමාරුවලට මැදිවෙමින් දෙනෝ දහක් බලා සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි පහරවලින් පාතාල අපරාධකරුවෝ කිහිප දෙනෙක්ම මරු වැලඳ ගත්හ. ඒ පාතාල අපරාධකරුවන්ට මරණ බිය ගෙන දෙමිනි.

රට තුළ සිදුවන පාතාලයේ අපරාධ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙමින් පාතාල ක්‍රියාකාරකම් අඩපණ වෙමින් පාතාල අපරාධකරුවන් බොහෝ අවස්ථාවන්වලදී අක්‍රිය වන්නේ මෙවැනි ක්‍රියා බහුලව සිදුවූ වකවානුවලදීය.

ඉන්ධන සහ දේශපාලන අර්බුදය මුල්කරගෙන පාතාල අපරාධකරුවන්ට එරෙහි පොලිස් මෙහෙයුම් අඩපණ වීමත් සමඟ පාතාලය නැවතත් හිස ඔසවන්නට ගන්නේ පොලීසියට පවා අභියෝග කරමිනි. මර බියෙන් පලාගොස් ඩුබායි ඇතුළු රටවල් කිහිපයක රැඳී සිටින කුප්‍රකට පාතාල අපරාධකරුවෝ රට තුළ භීෂණයක් මවාපාන්නට වූයේ එක දිගටම වෙඩි පිට වෙඩි තබමින් මිනිසුන් මරාදමමින් ඝාතන රැල්ලක් බිහි කරමිනි.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සුමුදු රක්ෂාන්ගේ මරණය ද සිදුවන්නේ මේ නොනවතින ඝාතන රැල්ලේ සිදුවූ තවත් එක් ඝාතනයක් ලෙසිනි. මෙම ඝාතනය පිටුපස සිටියේ ජිලේ නැමැති පාතාල අපරාධකරුය. අංගොඩ ලොක්කාගෙන් පස්සේ දැන් අංගොඩ රජකරන්නේ ජිලේය. ඒ ඩුබායි සිට දුරකතනයෙනි. හැබැයි ජිලේ ඩුබායි ඉන්නවා යැයි කීවත් ඔහු සිය ගෝලබාලයින්ට ඇමතුම් දෙන්නේ මලයාසියානු දුරකතන අංකයකිනි. ජිලේ ඩුබායි පැත්තේ නම් කරක් ගසනු දුටු අයද නැත්තේම නැත.

සුමුදු රුක්ෂාන්ව මරා දමන්නට ජිලේට වෙඩික්කරුවන් දෙන්නේ හරක් කටාය. ඒ ජිලේගේ දැන් බොසා හරක් කටා බැවිනි. හරක් කටාද ඩුබායි හිදී ඉකුත් 11 වෙනිදා එරට පොලීසියේ අත්අඩංගුවට පත්වීම නිසා දැන් ඔහුගේ ලොක්කා කවුරුන් වේවිදැයි කියන්නට දැන්ම බැරිය. එහෙත් මෙතෙක් කලක් ජිලේගේ ලොක්කා වූයේ නම් හරක් කටාය. හෙට අනිද්දා හරක් කටාගේ තැන ජිලේ සිටින්නටද බැරිකමක් නැත. එවිට මෙරට අංක එකේ කුඩු ජාවාරම්කරු බවට පත්වන්නේ ජිලේය.

සුමුදුව මරා දැමීමට තරම් ජිලේට ඔහු සමඟ පැවති වෛරය කුමක්දැයි අදටත් හැරි හැටි පැහැදිලි නැත. බොහෝ විට කලකට පෙර අඹතලේ හන්දියේදී සුමුදු විසින් ජිලේට ප්‍රසිද්ධියේ කළ පහරදීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කළේදැයි ඇත්තේ සැකයක් පමණි. එසේ නොමැති නම් ජිලේ මෙම ඝාතනය කරන්නට ඇත්තේ අංගොඩ ලොක්කාගේ වෙඩිල්ලකින් මිය ගිය පොලී රොෂාන්ගේ කෝටි ගාණක දේපොළ අත්පත්කර ගැනීමට ඇති එකම බාධකය වී සිටි සුමුදුව ඉවත් කිරීමටද විය හැකිය. ඒ පොලී රොෂාන්ගේ ඝාතනයෙන් පසු ඔහුට අයත් දේපොළ රැසක්ම පොලී රොෂාන්ගේ පුතා පාලනය කරන්නේ සුමුදුගේ හයියෙන් වන බැවිනි.

එදා සුමුදුට වෙඩි තබා මරා දමන්නේ ද තමාගේ අයිතියට ගැනීමට ජිලේ සිහින මැවූ පොලී රොෂාන්ට අයත් ඉඩමක පිහිටි වාහන අංගණය ආසන්නයේදීය. එය තමාට පවරන ලෙස කිහිප විටක්ම ජිලේගෙන් සුමුදුට තර්ජන එල්ලවී තිබුණත් ඔහු එය තැකීමක් කර තිබුණේ නැත. ඒ ඇතැම් විට පාතාලයේ ඊට වඩා වැඩ්ඩෝ ඔහු ඇසුරු කරමින් දැන හඳුනාගෙන සිටි නිසා විය හැකිය. හැබැයි ඔහු කාටවත් පාතාල පාට් දැමූ බවක් හෝ කුඩු ගංජා වැනි නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ අයෙක් බවට කිසිවෙක් තාමත් චෝදනා කරන්නේ ද නැත.

හැබැයි සුමුදුගේ මවගේ සහෝදරයා නම් රටේ නම ගිය පාතාල අපරාධකරුවෙකි. ධම්මික ප්‍රදීප් කුමාර නොහොත් කරාටේ ධම්මික කුප්‍රකට චරිතයක් බවට පත්වන්නේ එකල කඩුවෙල රජකළ පාතාලයේ කෙරුම්කාරයා වූ කඩුවෙල වසන්ත ඇතුළු ඔහුගේ ගෝලබාලයින් 08 දෙනෙක් යුද හමුදා වෙසින් 2001 වසරේ වෙසක් පොහොය දින වෑන් රථයක් තුළ එක පොදියට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟිනි.

එම ඝාතනයෙන් පසු වසන්තගේ තැන ගත් කරාටේ ධම්මික පොලීසියට පවා අභියෝග කරමින් කප්පම් ගැනීම්වලත් කොන්ත්‍රාත් මිනිස් ඝාතනවලත් නිරත වන්නේ එකල බලවත්ව සිටි ජනප්‍රිය තරුණ දේශපාලනඥයෙකුගේ ආශිර්වාදයද ඇතිවය. එසේ ඔහුට වැඩි කලක් පොලීසිය සමඟ සෙල්ලම් කරමින් අපරාධ ලෝකයේ වැජඹෙන්නට ඉඩක් නොවීය. රඹුක්කන වල්පොල පැත්තේ රහසිගතව රැඳී සිටි ඔහුව කුප්‍රකට සුදු වෑන් කල්ලිය විසින් 2011 වසරේදී පැහැරගෙන අතුරුදන් කරන්නේ රැකවරණයට සිටි දේශපාලනඥයාගේ බලය ගිලිහී යාමත් සමඟිනි.

මෑතකදී නිතරම නම් කියැවෙන අංගොඩ ලොක්කා, සමයං වැනි කුප්‍රකට චරිත බිහිවන්නේ ධම්මිකගේ අතුරුදන්වීමත් සමඟිනි. සුමුදු රුක්ෂාන් එකල පොඩි කොල්ලෙකි. හැබැයි මාමාගේ හයිය ඔහුට දේශපාලනයට ඒමට පිටුවහලක් නොවුණා යැයි කියන්නට බැරිය. මාමාගේ ගෝලබාලයන්ගෙන් කිහිප දෙනෙක්ම සිටියේ සුමුදු සමඟිනි. ඒ අතර මෝල් අසංකගේ නම නිතර කියැවෙන නාමයකි. සුමුදුගේ ළඟම ආරක්ෂකයා ලෙස සිටියේද මෝල් අසංකය. ජිලේගේ තර්ජනවලට සුමුදු එතරම් තැකීමක් නොකළේද ඒ නිසා විය හැකිය. අවසානයේදී ජිලේ ඉස්සර වෙමින් සුමුදුව මරා දමන්නේ අංගොඩ පැත්තේ පාතාල භීෂණයක් මවමිනි. ඒත් එක්කම ජිලේ පාතාලයේ චරිතයක් බවට පත්වන්නේ අංගොඩ ලොක්කා නතර කළ තැනින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමට ඒ තුළින් ලැබෙන්නේ පිටිවහලත් සමඟිනි. දැන් ජිලේට ඇතැම් ව්‍යාපාරිකයෝ කප්පම් දෙන්නේ ඉල්ලන්නටත් පෙරය.

අංගොඩ ලොක්කාද ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තේ මෙවන් භීෂණයක් මවා පාමිනි.

මාස් පතා ඉල්ලූ ලක්ෂ 05ක කප්පම නොදුන් අංගොඩ පැත්තේ පිහිටි නමගිය මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපාරික සමාගමක ගොඩනැගිල්ලකට වෙඩි තැබුවේ ද ඊළඟ වෙඩිල්ල ඔළුවටම තබන බවට සමාගම් ලොක්කට තර්ජනය කරමිනි. ඒ ඉන්දියාවේ සිට දුරකතන ඇමතුම් දෙමිනි. පොලී රොෂාන්ගේද ඉරණම වෙඩිල්ලකින් අංගොඩ ලොක්කා විසින් විසදන්නේ කප්පම් නොදීමේ වරදටය. 2018 වසරේ මාර්තු 25 වෙනිදා පොලී රොෂාන්ව මරා දමන්නේ මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ඇවිදින මංතීරුවේ ව්‍යායාම්වල නිරතව සිටියදීය. ඒ ඉන්දියාවේ සිට සිය ගෝලයන් මෙහෙයවමිනි. හංවැල්ලේ පස් ව්‍යාපාරිකයකුවද අංගොඩ ලොක්කා මරා දැමුවේ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීමක් සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයාට ලද කොන්ත්‍රාත්තුව ලොක්කාගේ ගෝලයකුට නොලැබීම නිසාය. එම කොන්ත්‍රාත්තුවෙන් ඉවත්වන ලෙසට ව්‍යාපාරිකයාට කිහිප අවස්ථාවකදීම දැනුම්දී අනතුරුව මරා දමන්නේ හංවැල්ලේ පිහිටි නිවසට තුවක්කුරුවන් එවාය.

කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සිය පාතාල ප්‍රතිවාදියා වූ සමයං ඇතුළු පිරිසක් ඝාතනය කරමින් ඉන්දියාවට පලාගිය අංගොඩ ලොක්කා එහි සිට ගෝලබාලයන් යොදවා කළ මෙවැන් ඝාතන බොහොමයකි. ඒ ඝාතන බොහොමයකම පිටුපස සිටි සැඟවුණු චරිතය ජිලේය.

කැලණිය ගොඩැල්ල වත්තේ පදිචිව සිටි අහිංසක චරිතයක් වූ පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් ධනුෂ්ක බුද්ධික අද ජිලේ නමින් පාතාලයේ කුප්‍රකට අපරාධකරුවෙක් බවට පත්වීමේ ඉතිහාසය දසකයක් තරම්වත් ඈතකට දිව යන්නේ නැත. ජිලේ දක්ෂ ගිනි බෝල කරකවන්නෙකි. කැලණි පන්සලේ පෙරහැරේ ගිනි බෝලකරකවන්නන් අතර ජිලේ කැපී පෙනෙන චරිතයකි. පින් දහම් කරමින් දැහැමි ජීවිතයක් මෙන්ම නිහඬ ජීවිතයක් ගත කළ ජිලේ අපරාධ ලෝකයට පය තබුවේ යැයි සටහන් වන්නේ සංඛ නැමැති පාතාල අපරාධකරුගේ ගෝල බාලයන් පිරිසක් ඔහුට කළ පහරදීමකි. ඒත් එක්කම ඔහු ඊට ප්‍රතිප්‍රහාර දෙන්නට කිට්ටු වන්නේ යැයි කියැවෙන්නේ අංගොඩ ලොක්කාගේ සමීපයටය. එතැන් සිට ඔහු අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ලෙස කටයුතු කරනුයේ අප්‍රසිද්ධියේය. ජිලේ කිසි විටෙකත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ලෙස සමාජය හමුවේ පෙනී සිටියේ නැත.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී සිය අනියම් බිරියගේ අතින් ඝාතනය වූ පසු ඒ තැන ගන්නටවත් ජිලේට උනන්දුවක් නොවීය. ඔහු කිට්ටුවන්නේ හරක්කටාටය.

එතෙක් කලක් සැඟවුණු චරිතයක් වූ ජිලේ කරලියට එන්නේ අංගොඩ දෙල්ගහවත්තේ නිවසකට පැන 2021 වසරේ ඔක්තෝම්බර් 26 වෙනිදා කළ වෙඩි තැබීමත් සමඟිනි. එහිදී ඝාතනය වන්නේ අංගොඩ ලොක්කාට සමීපතව සිටි මිලින්ද නැමැති ඉදිකිරීම් කොන්ත්‍රාත්වල නිරතව සිටි තරුණයෙකි. ඔහුව මරා දමන්නේ මුදල් ආරවුලක් මුල්කරගෙනය. එම ඝාතනය පිටුපස ද හරක් කටා සිටියේය.

ජිලේගේ නම එළියට එන්නේ මෙම ඝාතනයත් සමඟිනි. පොලීසිය ජිලේව අල්ලන්නට උත්සහ ගන්නේත් ඔහු ගැන තොරතුරු දෙන්නන්නට රුපියල් ලක්ෂ 25ක්ද වෙන් කරමිනි. ඒ අංගොඩ ලොක්කාගේ කල්ලියේ සැඟවුණු වෙඩික්කරුවා වූයේ ජිලේ බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ විමර්ශනවලින් හෙළිවන්නට වූ බැවිනි. එතෙක් කාලයක් පාතාලයේ සැඟවුණු වෙඩිකරුවකුගේ චරිතයට පණ දෙමින් අංගොඩ ලොක්කා වෙනුවෙන් බොහෝ අපරාධ කළ ජිලේ පොලීසියට අනාවරණ වීමත් සමඟ වැඩි කලක් මෙරට රැඳී සිටියේ නැත. රටින් පැන ගන්නේ වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකිනි.

අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් එහි රැඳී සිටිමින් කළ සෙල්ලමට නොදැවෙනි ලෙසින් ජිලේ සෙල්ලම පටන්ගන්නේ සුමුදු රුක්ෂාන් මන්ත්‍රීවරයාව මරා දමමිනි. එවන් ආරම්භක පියවරක් තබන විට ජිලේට පමණක් නොව පාතාලයටම දැනෙන ආකාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි වෙහෙසක් ගත්තේය. සුමුදුට වෙඩි තැබුවේ යැයි කී පාතාල අපරාධකරුවෙක් කොටුවන්නේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නකටම චෝදනා ලැබූ එම පාතාල අපරාධකරු දැන් සිටින්නේ වළ පල්ලට ගොසිනි. ඒ ආයුධ පෙන්වන්නට කඩුවෙල කොරතොට පැත්තට ගොස් පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවෙන් මිදී පලාගොසින් ගල්වළක වැටී මරුමුවට පත්වෙමිනි. ඔහු කර ඇති අපරාධ ගොන්න දෙස බැලීමේදී එම මරණය ඔහුට හොඳ වැඩිය.

තුවාන් නැමැති මෙම පාතාල අපරාධකරුවා විශේෂ කාර්ය බළකාය විසින් කොටුකර ගන්නේ ඒ අයට ලද තොරතුරකට අනුවය. ඒ සුමුදු ඝාතකයා ඔහු විය හැකි බවට වූ සැකයක්ද මුල්කරගෙනය. හැබැයි සුමුදුගේ ඝාතකයා ඔහුමදැයි තහවුරු කර ගැනීමට පෙර ඔහු වළපල්ලට ගියේ ගැටලු බොහොමයක් ඉතිරි කරවමිනි.

ඒ ගැටලුවලට නිසි පිළිතුරු දැන් ලැබෙමින් ඇත්තේ සුමුදුගේ ඝාතකයන්ට නවාතැන් පහසුකම් සැපසූ පුද්ගලයාගෙනි. ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. ඒ අංගොඩ පැත්තේදීය. නමින් ඔහු රුෂිත් චාමර ගුණසේකරය. අවුරුදු 22ක් පමණ වයසැති තරුණයෙක් වන ඔහු ජිලේගේ කුඩු සල්ලි මෙහෙයවන කැෂියර්ය. මේ තැනට ඔහු පත්වන්නේ මාස තුනකට පෙරය. ඒ වෙනුවෙන් මාසික වැටුපක්ද ඔහුට ජිලේගෙන් ලැබුණේය. ඒ රුපියල් 50,000ක මුදලකි. ඒ හැරුණු කොට කුඩු සල්ලි එකතු වු පසු මිටි බැද ජිලේ කියන තැනකට රැගෙන ගොස් බාරදුන් විට රුපියල් දහ පහළොස් දහක්ද බෝනස් ලෙස චාමර අතට පත්වී තිබුණේය.

මේ කියන චාමර කොළොන්නාව එගොඩමුල්ලේ පදිංචිකරුවෙකි. ඔහු විවාහකය. බිරිය බොරැල්ල සහස පුර පදිංචිකාරියකි. ඔහුගේ මුල්ම රැකියාව වන්නේ කූරියර් සේවාවක භාණ්ඩ ප්‍රවාහනය කිරීමය. මාස හතරකට පමණ පෙර අනපේක්ෂිත ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී රිය අනතුරකට ලක්වන ඔහු සති කිහිපයක්ම එක්තැන්වී සිටියේය. ජිලේ සමඟ ඔහුට සම්බන්ධයක් ගොඩ නැඟෙන්නේ එකලය. ඒ මිතුරකුගේ මාර්ගයෙනි. එම මිතුරා ගැන මෙහි සටහනක් නොතබන්නේ ඒ ගැන තවදුරටත් පොලිස් විමර්ශන සිදුවෙමින් පවතින බැවිනි.

සිය බිරිය සමඟ ජීවත්වීමට චාමරට හිඹුටාන රුක්අත්තන ගහ පාරෙන් නිවසක්ද ජිලේ කුලියට අරන් දුන්නේය. ඒ රුපියල් 25,000ක මාසික කුලියක් ගෙවමිනි. ගණන් මිනුම් බැලීමට ජිලේගේ කුඩු සල්ලි රැගෙන අවේද මෙම නිවසටය. මිටි බැදුණු සල්ලි මලු උණ්ඩියල් කිරීමට රැගෙන ගියේද මෙම නිවසේ සිටය.

චාමරගේ බිරිය වැඩි කාලයක් මෙම නිවසේ ගතකළේ නැත. ඇය පුරුදුව සිටියේ බොරැල්ල සහස්පුර මහ ගෙදර රැඳී සිටින්නටය. කැෂියර් රැකියාවට චාමරට එය මහත් පිටුවහලක් විය.

ඉකුත් ජූලි මාසයේ අන්තිම සතියේ දිනක ජිලේගෙන් චාමරට ඇමතුමක් ලැබෙන්නේ මොරටුව කටුබැද්දේ තැනකට යන ලෙසය. චාමර ඒ කියූ තැනට කියූ වේලාවට ගියේය. ඒ ජිලේ විසින් ඔහුට මිලදී ගෙන දී තිබුණු ත්‍රීරෝද රථය පදවාගෙනය. ටික වේලාවක් ඔහු කටුබැද්දේ ඒ තැන රැඳී සිටියේය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් චාමර අතට පත්කරනුයේ කුඩා බෑගයකි. මුහුණ මුළුමනින්ම ආවාරණය වන පරිදි යතුරු පැදි හිස්වැසුමක් පැලඳ සිටි ඔහුව පැහැදිලිවම හඳුනා ගැනීමට චාමරට ඉඩක් නොවීය. ඒ කවුරුන්දැයි විපරම්කර බැලීමටද චාමරට වුවමනාවක් නොවීය. ඒ බෑගය අතට ගත් චාමර හැරෙන තැපෑලෙන්ම ආපහු එන්නේ රුක්අත්ත ගහ පාරේ නිවසටය. ඒ තමන් අතට පත්වූයේ ගිනි අවි දෙකක් බව චාමර දැන ගන්නේ නිවසට පැමිණ එහි ඇත්තේ කුමක්දැයි විපරම්කර බැලීමේදීය.

ජිලේ ඔහුට කියන්නේ එම අවි දෙක පරිස්සම් ඇති තැනක සඟවා තබන ලෙසය. ඒ ඇයි දැයි අහන්නට චාමර ගියේ නැත. ඒ ඇසුවත් ඊට පිළිතුරු නොලැබෙන බව දැන සිටි බැවිනි.

ජිලේගෙන් චාමරට උපදෙස් ලැබෙන්නේ අගෝස්තු 01 වෙනිදා බිරියව සහස්පුර මහ ගෙදරට යවන ලෙසය. ඒ අනුව ඔහු සිය බිරියව එදා සහසපුර මහ ගෙදරට රැගෙන ගියේය. රුක්අත්තන ගහපාරේ නිවසේ සිටියේ ඔහු පමණි. එදා චාමරට නිවසින් එළියට නොබසින ලෙස ජිලේ කියා තිබුණේය. ඒ අනුව දහවල් වන විට ජිලේගෙන් චාමරට ඇමතුමක් ලැබෙන්නේ ගැට්ටේ පන්සල අසලට යන ලෙසය. චාමරට කියන්නේ ගැට්ටේ පන්සල ළඟට යන ලෙසිනි.

චාමරට එහිදී පැවරෙන්නේ බස් රථයකින් පැමිණ එතැන රැඳී සිටි පුද්ගලයකුව රුක්අතක්තන ගහ වත්තේ නිවසට රැගෙන ගොස් එදින එහි රැකවරණය සැලසීමය.

ඒ අනුව චාමර ඔහුව නිවසට රැගෙන ගියේය. අනතුරුව නැවතත් එදින සවස චාමරට ජිලේගෙන් ලැබෙන ඇමතුමකින් උපදෙස් ලැබෙන්නේ අංගොඩ දහස් පෙතියා මල් මාවතට යන ලෙසය. තැනදී තවත් සඟයෙක් නිවසට රැගෙන යාමට ජිලේ බාර කළේය.

ඒ අතර ජිලේ චාමර අතට රුපියල් ලක්ෂ එකහාමරක් පත්කළේය. ඒ මුදල තමාට ගෙනවිත් දුන්නේ කවුරුන්දැයි චාමර දන්නේ නැත. හැබැයි ජිලේ විසින් එවූ මුදලක් බව ඔහු දැන සිටියේය.

කී සියල්ලක්ම ඒ ආකාරයටම ඉටුකළ චාමර ඔවුන් දෙදෙනා සමඟ කුලුපඟ වන්නටද අමතක නොකළේය. පන්සල අසලින් තමා ත්‍රීරෝද රථයට ගොඩකරගත්තේ දකුණේ වැසියෙක් බවත් අනෙකා මුල්ලේරියාව පැත්තේම අයෙක් බව චාමර දැන ගන්නේ එවිටය. එක් පුද්ගලයෙකුගේ පච්චය චාමරගේ මතකයේ හොඳින්ම ලියැවී තිබුණේය.

ඊට පසුදින උදෑසනම ජිලේගෙන් නැවතත් චාමරට ඇමතුමක් ලැබෙන්නේ මුල්ලේරියාව අභිනවාරාම විහාරස්ථානය අසලට යන ලෙසය. ඒ අනුව චාමර එහි ගියේය. යතුරද සමඟ යතුරු පැදියක් එතැන නතරකර තිබුණේය. එම යතුරුපැදිය රැගෙන චාමරට රුක්අත්තන ගහ පාරේ නිවසට එන්නේ ජිලේගේ උපදෙස් මතය.

වේලාව එදින සවස 4.30 ට කිට්ටු වූවා පමණි. අමුත්තන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. එම ඇමතුම ජිලේගෙන් බව චාමරට වැටහුණේය. කලබලයෙන් මෙන් ඔවුන් හෙල්මට් පැලඳ යතුරු පැදියේ නැඟී ගමන් කරන්ට වූයේ විදුලි වේගයෙනි. ඒ ගියේ සුමුදු රක්ෂාන්ට වැඩේ දෙන්නට යැයි චාමර දැනගන්නේ සුමුදුගේ මරණය කණ වැකීමත් සමඟිනි. ඔවුන් දෙදෙනා ඒ ගියාමය. නැවතත් ඔවුන්ව චාමරට මුණ ගැසුණේ නැත. චාමර පොලීසියට කොටුවෙන්නේ ඔවුන්ට නවාතැන් දෙමින් පහසුකම් සැපයීමේ වරදටය. ඒ සුමුදුගේ ඝාතකයා බවට සැකපිට විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවෙක් ගල්වළට වැටී මරුමුවට පත්වීමෙන් පැය 48ක් යන්නට මත්තෙනි. හැබැයි ඒ මැරෙන්නේ මුළු ඇගම පච්චවලින් වැසුණු පුද්ගලයෙක් මිස මදින වත්ත විහාරස්ථානය අසලින් චාමර ත්‍රීරෝද රථයට ගොඩකරගෙන නිවසට රැගෙනවිත් කන්න බොන්න දුන් පුද්ගලයා නම් නොවන බව පැහැදිලිය. හැබැයි ඔහුද පාතාලයේ හොඳ වැඩ කාරයෙකි.

සුමුදුව මරා දැමීමට ජිලේ විසින් යොදවන ලද වෙඩික්කරුවා ඔහුව යතුරුපැදියේ නංවාගෙන ඉලක්කය වෙත රැගෙන ගිය යතුරු පැදිකරු දැන් සිටින්නේ සැඟවීය. ඒ අය කවුරුන්දැයි පැහැදිලිවම දැන් පොලීසිය හඳුනා ගෙන හමාරය. ඒ නිසා ඔවුන් දෙදෙනාට වැඩිකල් නම් කට්ටි පනිමින් පොලීසියට වහන් වී සිටීමට නම් ඉඩක් නොලැබෙනු ඇතැයි විශ්වාස කිරීමට හැකිය.

 

Comments