නොදැවී ලකුණු 553ක් ගෙන පාසල් ක්‍රිකට් පිටිය දෙවනත් කළ සංගීත විශාරද පුංචි පැංචා | සිළුමිණ

නොදැවී ලකුණු 553ක් ගෙන පාසල් ක්‍රිකට් පිටිය දෙවනත් කළ සංගීත විශාරද පුංචි පැංචා

තරගය කුමක් වූවද, ක්‍රිකට් පිටියේදී කිසිදු පිතිකරුවකුට ලකුණු රැස් කිරීම ලෙහෙසි පහසු නැත. ක්‍රිකට් යනු පිත්තත්, පන්දුවත් අතර ක්‍රීඩාවක් වූවත්, තණතීරුවේදී පිතිකරුවාට ලකුණු රැස් කිරීමට සිදුවන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් 11 දෙනකුගෙන් එල්ල වන අභියෝගය හමුවේය. එවැනි පසුබිමකදී ශතකයක්, ද්විත්ව ශතකයක් නොව ඉන් ඔබ්බට ගොසින් ලකුණු 500 සීමාව සම්පූර්ණ කිරීමට පිතිකරුවකුට අවස්ථාව උදාවන්නේ කලාතුරකිනි. අතිශයින්ම දුර්ලභ එවැනි අවස්ථා ලෝක ක්‍රිකට් ඉතිහාසය හාරා ඇවිස්සීමේදී සොයා ගත හැකිවන්නේ අතළොස්සක් පමණි.

ඒ අතුරින් ඉදිරියෙන්ම ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රනාව් ධනවේද් 2016 වසරේ පැවැති දේශිය තරගයකදී නොදැවී ලකුණු 1009ක් රැස් කිරීමේ විස්මයජනක ලෝක වාර්තාව ය. එම වාර්තාව තබන විට 16 හැවිරිදි වියෙහි පසුවූ ඔහු බිඳ දැමුවේ වසර 116ක් පැරැණි ලෝක වාර්තාවකි. එම පැරැණි ලෝක වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ඒ.ඊ.ජේ. කොලින්ස් නොදැවී ලකුණු 628ක් රැස් කර ඇත්තේ 1899 වසරේ පැවැති තරගයකදීය. ඒ අනුව එය ලොව ඕනෑම ක්‍රිකට් තරගයකදී පිතිකරුවකු ලකුණු දහස සීමාව පසු කළ පළමු අවස්ථාව ද විය. ඒ හැරුණු විට කොදෙව් පිලෙන් බිහිවූ ලෝක පූජිත පිතිකරු බ්‍රයන් ලාරා එංගලන්තයේ ප්‍රාන්ත තරගයකදී නොදැවී ලකුණු 501ක් රැස් කිරීමේ වාර්තාවක් ද ක්‍රිකට් ඉතිහාසයේ සඳහන් වේ.

මේ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ එවැනි විස්මයජනක පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ලකුණු 553ක් රැස් කළ අනුරාධපුරයේ 14 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳවය. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම මුහුණුවරක තරගයක හෝ ඕනෑම වයස් කාණ්ඩයක් යටතේ පැවැති තරගයක යම්කිසි පිතිකරුවකු විසින් ඉනිමක රැස් කරනු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස එය මෙරට ක්‍රිකට් වංශ කතාවට එක්වනු ඇත.

ඔහු දනිඳු චිරාත් සෙල්ලපෙරුමය. අනුරාධපුරයේ සාන්ත ජෝසප් විදුහල් පිලේ අවුරුදු 15න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන දනිඳු මේ දස්කම විදහා පෑවේ පසුගියදා සල්ගාදු ක්‍රීඩාංගණයේදී ලයිසියම් විදුහල් පිලට එරෙහිව පැවැති තරගයකදීය. එදා ඔහු නොදැවී රැස් කළ ලකුණු 553ට හතරේ පහර 63ක් ඇතුළත් වූ අතර, හයේ පහර 31කින් ද ඔහු සිය ඉනිම වර්ණවත් කළේ හතර අතට පහරවල් එල්ල කරමිනි.

“පුහුණුකරු අතුල සර් මට ඉලක්කයක් දුන්නා, ලකුණු 150කට යන්න කියලා. ඇත්තටම එදා දවල් ආහාර විවේකය වෙද්දී මම පන්දු 94කට ලකුණු 216ක්ම රැස් කරලයි හිටියේ. සර් කිව්වා හවස තේ වෙලාවට ඉනිම නවත්වනවා කියලා. ඒ නිසා පුළුවන්නම් ලකුණු 300කට යන්න කියලා. ඒත් මට ඊට වඩා ලකුණු ගණනකට යන්න පුළුවන් වුණා. ඒ ගැන හරිම සතුටුයි. ඇත්තටම ප්‍රතිවාදී ලයිසියම් කණ්ඩායමේ පන්දු යැවීම ඉහළ මට්ටමකයි තිබුණේ. විශේෂයෙන් ආරම්භක වේගපන්දු යවන්නාත්, ඉනිම මැදදී පන්දු යැවූ දඟපන්දු යවන්නාත් මට ලොකු අභියෝගයක් වුණා. ඒ දෙන්නටම මම පරිස්සමෙන් මුහුණ දුන්නේ. එගොල්ලන්ගේ පන්දු හොඳට නිරීක්ෂණය කරගෙන ලොකු පහරවල්වලට යන්නේ නැතිව සෙල්ලම් කළා. මට මගේ අනිත් ආරම්භක පිතිකරු ගවිරුගෙන් ලොකු සහායක් ලැබුණා. එයත් ලකුණු 75ක් රැස් කළා. අපි දෙන්නා පළවැනි කඩුල්ලට ලකුණු 448ක සම්බන්ධතාවකුත් ගොඩ නැඟුවා. ඉනිම අතරතුර අපි දෙන්නා කතාවුණේ පුළුවන් තරම් දිගු ඉනිමක් ක්‍රීඩා කරමු කියලයි. ඉනිම අතරතුර මම දැවීයෑමට ආසන්න වුණු අවස්ථාවක් දෙකක් තිබුණත් දිගටම කඩුල්ල රැක ගන්න මට වාසනාව තිබුණා.

‘මම මුලින්ම සෙල්ලම් කළේ අවුරුදු 13න් පහළ කණ්ඩායමයි. මගේ මුල්ම තරගයේ පළවෙනි පන්දුවෙන්ම මම දැවී ගියා. ඒත් මම සැලුණේ නෑ. ඊළඟ තරගයේදී නොදැවී ලකුණු 137ක් රැස් කරන්න මට පුළුවන් වුණා. කොවිඩ් කාලේ තරග තිබුණේ නෑ. ඊට පස්සේ ලයිසියම් කණ්ඩායම එක්කම තවත් තරගයක් සෙල්ලම් කළා. ඒ තරගයේදී මම ලකුණු 48කට දැවී ගියා. කොවිඩ් කාලේ තරග තිබුණේ නැති නිසා මම යාළුවෝ එකක් අපේ ගෙවල් ළඟ තියෙන වැවට ගිහින් තමයි සෙල්ලම් කළේ. මීට මාසයකට විතර එහෙම ගිහින් සෙල්ලම් කරද්දී මගේ කකුලේ යටිපතුල බෝතල් කට්ටකට කැපිලා මැහුම් 6කුත් දාන්න වුණා. මැහුම් කැපුවේ මේ තරගයට සතියකට විතර කලින්. ඒ නිසා මම තරගයට සෙල්ලම් කළේ ටිකක් අමාරුවෙන්. කකුලේ අමාරුව නිසා පුළුවන් තරම් තනි ලකුණු දුවන්නේ නැතිව හතරේ සීමාවෙන් එළියට පන්දුව යවන්න තමයි නිතරම උත්සාහ කළේ.

පාසල් තරග හොඳට කරලා ලකුණු අතරට ඇවිත් කවදාහරි දවසක ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන එක තමයි මගේ ආසාව. බලාපොරොත්තුව. මට මේ දස්කම් නිසා තවත් පාසල් කිහිපයකින් ආරාධනා ලැබිලා තියෙනවා ඒ පාසල්වලට එන්න කියලා. ඒත් ඒක මගේ අප්පච්චි තමයි තීරණය කරන්න ඕනා.”

දනිඳු චිරාත් කීවේ ජයග්‍රහණයෙන් ලත් සතුට චවනවලට පෙරළමිනි.

“හැමෝම කියනවා මම සෙල්ලම් කරන්නේ සනත් ජයසූරිය වගේ කියලා. මගේ ආසම ක්‍රීඩකයන් තමයි සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර. විදෙස් ක්‍රීඩකයන්ගෙන් මම ක්‍රිස් ගේල්ට හරිම ආසයි. එයා වගේ බැට් කරන්නත් ආසයි. මට පිතිහරඹය වගේම දඟපන්දු යවන්නත් පුළුවන්. ඒත් මම කැමැති බැටින් ඕල්රවුන්ඩර් කෙනෙක් විදිහට සෙල්ලම් කරන්නයි. එතකොට පිතිහරඹය හොඳට කරන ගමන් සාමාන්‍ය විදිහට පන්දු යවන්න පුළුවනි. මේ තරගයේ පළවෙනි ලකුණු 100 වාර්තා වෙද්දි මම දැනගෙන හිටියේ නෑ. කොහොමහරි ලකුණු 500ක් රැස් කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඒත් ඒක වාර්තාවක් කියලා මම දැනගත්තේ තරගයෙන් පස්සෙයි. තරගයෙන් පස්සෙ වුණත් මට ලොකු මහන්සියක් එහෙම දැනුණේ නෑ. ඒත් කකුලේ අමාරුව නම් සෑහෙන්න තිබුණා.”

ලංකේය ක්‍රිකට් ඉතිහාසයට මේ නව යෞවනයා තවත් වාර්තා රැසක් එකතු කරනු ඇති බවට පෙරමඟ ලකුණු පෙනෙන මොහොතක අපි දනිඳුගේ පුහුණුකරු අතුල රෝහණ ගෙන් ඔහු පිළිබඳ විමසුවෙමු.

‘දනිඳු මුලින්ම සෙල්ලම් කළේ 13න් පහළ ‘බී‘ කණ්ඩායමටයි. සෙල්ලම් කරපු මුල්ම තරගයේ ආරම්භක පිතිකරුවෙක් විදිහට පිටියට ගිහින් දනිඳු මුහුණු දුන්නු මුල්ම පන්දුවෙන්ම දැවී ගියා උඩපන්දුවක් දීලා. ඒත් එදා එයා එල්ල කළ පහරින් මම එයාගේ දක්ෂතා අඳුනා ගත්තා. ඊළඟ තරගයේදී එයාව ‘ඒ‘ කණ්ඩායමට දාන්න ඕන කියලා මම ඒ වෙලාවෙම හිතාගත්තා. ඊට පස්සේ එයා ශතකයක් රැස් කරන්නත් සමත් වුණා. එයා ලකුණු 500 රැස් කරපු තරගය ඉනිම් හතරක තනි දින තරගයක්. අපි ලකුණු 722ක් රැස් කළාට පස්සේ මම ඉනිම අත්හිටුවන්න තීරණය කළා. එදා තරගය ආරම්භ වුණේ උදේ දහයට. අපි ඉනිම නතර කළේ හවස දෙකකුත් ගාණට. ඒ වෙද්දී දනිඳු පැය හතරකට වඩා පිටියේ රැඳී සිටියා. සාමාන්‍යයෙන් ළමයෙක් ලකුණු 50ක් ගැහුවොත් පුහුණුකරුවාට සතුටුයි. ඒත් මම එයාගෙන් ලකුණු 50ක් බලාපොරොත්තු වුණේ නෑ. මම බලාපොරොත්තු වුණේ ලකුණු 150ක්. එයා පිටියට යද්දී මම කිව්වේත් ලකුණු 150ක් රැස් කරන්න ඕනා කියලයි. දනිඳුට හොඳ අනාගතයක් තියෙනවා. සනත් ජයසූරිය වගේ වමත් පිතිකරුවෙක්. බැට් කරන්නෙත් ජයසූරිය වගේමයි. එයා දිගටම සෙල්ලම් කළොත් කවදාහරි දවසක හොඳ තැනකට එන බව මට විශ්වාසයි. එයාට හොඳ උසක් වගේම හොඳ ශක්තියක් තියෙනවා. හොඳට පෝෂණය දීලා රැක බලාගත්තොත් අපේ රටට ක්‍රීඩා සම්පතක් විදිහටයි මම එයාව දකින්නේ.මම දැන් මේ පාසලට ඇවිත් අවුරුදු 4ක් වෙනවා. ඒ කාලය ඇතුළත මට හමුවුණු දක්ෂම ක්‍රීඩකයෙක් තමයි දනිඳු. මමත් මේ පාසලේම තමයි ඉගෙන ගත්තේ. පාසලේ ක්‍රිකට් පුහුණුකරු වගේම ක්‍රීඩා භාර ගුරුවරයත් මමයි. ඒ නිසා දනිඳුගේ ක්‍රිකට් දස්කම් මට හොඳින් දැනෙනවා. දනිඳුගේ වගේම තවත් දක්ෂ දරුවන් කිහිපදෙනෙක් අපේ පාසලේ ඉන්නවා. එයාලා හැමෝගෙම දක්ෂතා ඔප මට්ටම් කරන්න මට සහාය පුහුණුකරුවෙක් විදිහට චමිත් කුලසේකරගෙන් ලොකු සහයක් ලැබෙනවා.”

රටට සම්පතක් වන පෙර ලකුණු පෙන්වන දනිඳු ඔහුගේ පවුලට මොනතරම් වටින්නේ ද යන්න දන්නේ ඔහුගේ ආදරණීය මවුපියන්ය. වෘත්තියෙන් නැටුම් ගුරුවරියක වන දනිඳුගේ මව ගයානි කාංචනා අලුත්ගමගේ සිය පුතු ගැන කතා කළේ දැඩි සෙනෙහසිනි.

“මම ක්‍රීඩාව ගැන වැඩිය දන්නේ නෑ. පුතාගේ අප්පච්චි තමයි ක්‍රීඩාව පැත්තෙන් දක්ෂයා. පුතාගේ ක්‍රිකට් ජිවිතය ගොඩනැ­‍ෙඟන්නේ අප්පච්චිත් එක්කයි. එයාගේ අප්පච්චිත් ක්‍රීඩකයෙක්. පුතා මුලින්ම සෙල්ලම් කළේ ක්‍රිකට් නෙවෙයි පාපන්දු. එයා පාපන්දු ක්‍රීඩාවට දක්ෂයෙක්. 6 වසරේදි තමයි ක්‍රිකට් පටන් ගත්තේ. අතුල සර් තමයි මුල්ම ගුරුවරයා. ඊට කලින් ක්‍රිකට් ඉගෙන ගත්තේ අප්පච්චි එක්ක වැවට ගිහින් සෙල්ලම් කරලයි. නුවර වැව ඉස්මත්තේමයි අපි ඉන්නේ. කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක පුතාගේ ක්‍රීඩා ජීවිතය තරමක් අඩාළ වුණා. ඒත් ඒ කාලයෙත් එයා අහල පහල යාළුවෝ එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න අමතක කළේ නෑ. ඒ කාලේ පුබුදු අළුවිහාරේ කියලා දිස්ත්‍රික් පුහුණුකාර සර් කෙනෙක් ආවා. එයාගෙනුත් පුතාට ගුරුහරුකම් ලැබුණා. කකුලේ තුවාලය තියාගෙන මේ තරගයට සෙල්ලම් කරනවට මම කැමති වුණේ නැහැ. එච්චර ලොකු තුවාලයකුත් යටි පතුලේ තියාගෙන කොහොම සෙල්ලම් කළාද කියලා මට හිතාගන්නවත් බැරිවුණා. තරගයට පස්සේ දවසේ ඩොක්ටර් ගාවට ගිහින් බලද්දී කකුලේ තුවාලය පොඩ්ඩක් පැසවෙලයි තිබුණේ. ඒ නිසා ආපහු තුවාලය සුද්ධ කරලා බෙහෙත් දාන්නත් වුණා.

පුතා අවුරුදු 6දී විතර බටනලා වාදනය පටන් ගත්තා. හොඳ බටනලා වාදකයෙක්. පාසලේ පාලිත කියලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සර් කෙනෙක් යටතේ තමයි පුහුණුවීම් කළේ. පහුගිය කාලේ විශාරද විභාගේ කළා. අනිවාර්යෙන්ම සමත් වේවි. මම පවත්වාගෙන යන තක්ෂිලා සමාධි කලායතනයට පුතා හරියට උදවු කරනවා. එයාට හොඳට බෙර ගහන්නත් පුළුවනි. ඒ වගේම අධ්‍යාපනයටත් දක්ෂයා. දැන් ඉන්නේ 9 වැනි ශ්‍රේණියේ. කොවිඩ්වලට කලින් එයා සමස්ත ලංකා ඒකල බටනලා වාදනයෙන් තේරුණා. ඒත් අවසන් තරග කොවිඩ් නිසා පැවැත්වුණේ නෑ. පුතා ගායනයටත් දක්ෂයි පාසලේ ගායන කණ්ඩායමෙත් ඉන්නවා. ඒ වගේම මලල ක්‍රීඩාවෙන් හෙල්ල, යගුලිය කවපෙත්ත තරග ඉසව් කරනවා. ඒ වගේම දහම් පාසලේ තරගවලටත් සහභාගි වෙනවා. දනිඳුට අවුරුදු එකහමාරක මල්ලියෙක් ඉන්නවා. එයා මල්ලිවත් ආදරයෙන් බලාගන්නවා. තරගයට යන්න කලින් බුදු පහනට හඳුන්කූරක් පත්තු කරලා තමයි ගියේ. මට දැනෙනවා එයා ලොකු ගමනක් යාවි කියලා. එදා තරගය බලන්න මම ගියේ පාසල් කාලයෙන් පස්සෙයි. ඒ වෙද්දී එයා ලකුණු 300 ගාණක් රැස් කරලයි තිබුණේ. එයා ඒ විදිහට සෙල්ලම් කරනවා මම කවදාවත් දැකලා තිබුණේ නෑ. මම කවදාවත් එයා සෙල්ලම් කරන තරගයක් බලන්න ගිහින් තිබුණෙත් නැහැ

පුතාගේ පාසලේ නැටුම් ගුරුවරිය වුණාට පුතාගේ පාසලේ යාළුවෝ මට කතා කරන්නේ පොඩි සෙල්ලේගේ අම්මා කියලයි. මොකද පුතාගේ අප්පච්චිට හැමෝම කතා කරන්නේ සෙල්ලේ කියලයි. ඒ නිසා පුතාට කියන්නේ පොඩි සෙල්ලේ කියලයි. අපි පුතා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා. එයාගේ ක්‍රිකට් ජීවිතයට පුළුවන් විදිහට උදවු කරනවා.”

දනිඳුගේ පියා, අශාන් සෙල්ලපෙරුම ටද පුතු ගැන කියන්නට බොහෝ දේ තිබිණි.

“පුතා අවුරුදු 3,4 වයසේ ඉඳලම ක්‍රීඩාවට දක්ෂ බව මට දැනුණා. මොකද මමත් ක්‍රීඩකයෙක්. ඒ නිසා මම දැනගෙන හිටියා පුතාට ක්‍රීඩාවට ලොකු හැකියාවක් තියෙන බව. ඒ වගේම හැමදාම පන්තියේ විභාගවලදී පළමු 10-15 අතර ඉන්න නිසා අධ්‍යාපනය පැත්තෙනුත් එයාට අනාගතය සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. පුතා නර්තනයට වගේම සංගීත භාණ්ඩ වාදනයටත් දක්ෂයෙක්. එයා දැනටමත් බටනලා විශාරද උපාධිය සම්පූර්ණ කරලා ඉවරයි. භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ මහනුවර පිහිටි ශ්‍රී ලංකා ශාඛාවේ අනුරාධපුරයේ අනුශාඛාවේ තමයි එයා විභාගය කළේ. ඉන්දියානු ජාතිකයන්ම තමයි ඒක මෙහෙයවන්නේ.‘

මමත් සාන්ත ජෝසප් විදුහලේ ඉගෙන ගත්තේ. පාපන්දු ක්‍රීඩාවට වගේම පිහිනුම් ක්‍රීඩාවටත්, මලල ක්‍රීඩාවත් මම යොමුවෙලා හිටියේ. මම අවුරුදු 29ක් අනුරාධපුරයේ ඕල්ඩ්ජොස් ක්‍රීඩා සමාජයට පාපන්දු සෙල්ලම් කළා. ඒ වගේම කොළඹ රැකියාවක නිරතවෙලා හිටපු කාලයක රිනවුන් ක්‍රීඩා සමාජයට අවුරුදු හතරකට ආසන්න කාලයක් සෙල්ලම් කළා. ඒ කාලේ හැම අවුරුද්දකම වගේ පාසලේ ක්‍රීඩා කණ්ඩායම්වල නායකයා වුණෙත් මමයි. ඒ නිසා පුතාටත් ඒ හැකියාව පිහිටලා තියෙන බව මට දැනෙනවා. එයා දැනටමත් ගොඩාක් ක්‍රීඩාවලින් දක්ෂතා පෙන්වමින් ඉන්නේ. මට මුලින්ම හිතුණේ පුතා පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යාවි කියලයි. එයා පොඩි කාලේ මම වැවට එක්කගෙන ගිහින් පාපන්දු සෙල්ලම් කරනවා. ඒ නිසා එයා පාසල් කාලයේ ක්‍රීඩාව හැටියට මුලින්ම තෝරා ගත්තෙත් පාපන්දු ක්‍රීඩාව. දැනටත් එයා පාපන්දු ක්‍රීඩාවේ නිරතවෙනවා. ඒත් වැඩිපුරම කැමැත්ත දැන් තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. මුලින්ම 2016 දී තමයි අතුල සර් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ. කවදහරි දවසක පුතාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළටම යවන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එයාගෙත් ආසාව ඒකම තමයි.“

 

Comments