කලින් IMF ගියා නම් ණය ගැනීම මෙත­රම් අමාරු වෙන්නේ නැහැ | සිළුමිණ

කලින් IMF ගියා නම් ණය ගැනීම මෙත­රම් අමාරු වෙන්නේ නැහැ

අධිකරණ ඇමැති, මුදල් ඇමැති වූ ඔබ අද විදේශ කටයුතු ඇමැති ලෙස ආර්ථිකය පණ ගැන්වීමේ කර්තව්‍යයේදී රට වෙනුවෙන් විශාල යුතුකම් කොටසක් ඉටු කිරීමේ වගකීම පැවැරි තියෙනවා?

ඔව්. සමහර විට අපිට පුළුවන් අපේ පෞද්ගලිකත්වය ගැන පමණක් සිතා පැත්තකට වී ඉන්න. නමුත් මේ වන විට අපේ රට පත්ව ඇත්තේ භයානක අඩියකට. ඒ නිසා අපි රට වෙනුවෙන් යම් කිසි යුතුකමක් ඉටු කිරීමට බැඳි සිටිනවා.

වරක් ඔබ ඇමැති තනතුරින් ඉවත්ව පසුදින යළිත් ඇමැති තනතුරක් බාර ගන්නවා. ඉන්පසු යළිත් විදේශ ඇමැති තනතුර බාර ගන්නවා. ඒ සියල්ල යුතුකම් ඉටු කිරීමක් වෙනුවෙන්ද?

මුදල් අමාත්‍යධූරය බාර ගත්තාට එය මගේ ක්ෂේත්‍රය නෙමෙයි. මම නීතීඥවරයෙක්. නීති ක්ෂේත්‍රයට හා අධිකරණ ක්ෂේත්‍රයට වැඩක් කිරීමේ අරමුණිනුයි මම දේශපාලනයට ආවේ. මේ සඳහා දිගුකාලින වැඩපිළිවෙළක් යටතේ කටයුතු කළත් කිසිදාක අපි බලාපොරොත්තු නොවූ ආකාරයෙන් රට ආර්ථික කඩා වැටීමකට ලක්වුණා. ඒ වන විට මුදල් අමාත්‍යාංශය තමයි වැදගත් තැනක් ගත්තේ. මට මෙය බාර දෙන විට සමහර අය තර්ක කළා මට මේක කරන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේ මම කිව්වා, මම පැත්තකට වෙන්නම්. දක්ෂ සුදුසු කෙනෙක් ඉන්නවා නම් බාර ගන්න කියලා. නමුත් කවුරුවත් මෙහි වගකීම බාර ගත්තේ නැහැ. කර ඇර ඇර සිටියා. නමුත් ඒ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විශාල වැඩ කොටසක් කිරීමට තිබුණා. ඒ නිසා යළිත් වරක් මම මගේ නීතීඥ වෘත්තියේ අත්දැකීම් මත විවිධ පාර්ශ්වයන්ට සවන් දී ගත යුතු ඉතාමත් අසීරු තීන්දු තීරණ ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා, තානාතිපතිවරු සමඟ සාකච්ඡා, ලෝක බැංකුව සමඟ සාකච්ඡා, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා, ණය ගෙවීම් අත්හිටුවීම් පිළිබඳ තීන්දු තීරණ රැසක් ගත්තා. ඒ හින්දා තමයි අද වන විට යම් ප්‍රමාණයකින් ආර්ථික ස්ථාවරත්වයට මඟ විවර වුණේ.

මේ වන විට විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස ඔබ රට වෙනුවෙන් ඉටු කර ඇති කොටස ගැන පැහැදිලි කළොත්?

9 වැනිදා සිදුවීම්වලින් පසු යළි පාර්ලිමේන්තුවට පැමිණීමට මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. යළිත් ජනාධිපතිතුමා මගෙන් ඉල්ලීමක් කළා අපි එකතු වෙලා යම් කාලයකට වැඩ කරමු කියලා. එතුමගේ ඉල්ලීම හා රට වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කිරීමේ අරමුණින් වගේම රට මෙවත් තත්ත්වයකට පත්ව තිබියදි මට බලාගෙන සිටිය නොහැකි නිසා මම මේ වගකීම බාර ගත්තා. මේ වන විට ඉන්දීය, තුර්කි, ඇමරිකානු, ජපාන, දකුණු කොරියානු ආදි විදේශ රටවල විදේශ ඇමැතිවරු සමඟ ද්වි පාර්ශ්වීය සාකච්ඡා කර තියෙනවා. මගේ කාර්යය තමයි විවිධ පාර්ශ්වීයන්ගේ ඉල්ලීම් හා රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම. රටේ වර්තමාන තත්ත්වය ගැන මෙන්ම ගන්නා තීන්දු තීරණ සම්බන්ධව අපි දිගින් දිගටම ජාත්‍යන්තරයට කරුණු පෙන්වා දුන්නා. මේ වන විට අපිට ඉටු කළ යුතු කාර්යයන් තුනක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට දායක වීම, ජී. එස්. පී. ප්ලස් රඳවා ගැනීම මෙන්ම ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය අපේ රටේ ප්‍රතිරූපය ඉදිරියට ගෙන යාම.

මේ වන විට IMF සාකච්ඡා සම්බන්ධයෙන් ඇතිවී ඇති ප්‍රගතිය මෙන්ම එම සහනාධාර ලබා ගැනීමට කොපමණ කාලයක් යාවි යැයි අනුමාන කළ හැකිද?

IMF සාකච්ඡා ආරම්භ කිරීමේදි මම එක්වුණා. එහි මුල් අදියර තාක්ෂණික සාකච්ඡා. දැන් මේ කටයුතු සිදුවන්නේ ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම මතයි. මුදල් අමාත්‍යාංශයෙන් මට ලැබුණු තොරතුරු අනුව මේ වන විට එහි යම් සාධනීය ප්‍රගතියක් මතුවෙලා. මේ සංකීර්ණ සාකච්ඡා තවදුරටත් පවත්වා ගෙන යනවා. මෙහි ප්‍රතිලාභ ලබන කාලය ගැන හරියටම කියන්න බැහැ. නමුත් මේ වසර අවසානයේ ලැබේවි යැයි අපි එහි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා.

IMF නිසි කලට ගියා නම් මේ ප්‍රශ්න ඇති නොවන බව ඔබ පවසා තිබුණා?

අපිට දැන් ණය ගෙවීමේ හැකියාව හීන වී ඇති බව පැහැදිලියි. එවිට තත්ත්වය හරිම සංකීර්ණයි. එවිට ක්‍රිබ් එකට නම ගියා වගේ වැඩකුයි වෙන්නේ. ක්‍රිබ් එකින් නම ඉවත් කරගෙන තමයි අලුත් ණයකට යා හැකි වන්නේ. නමුත් ක්‍රිබ් එකකට යාමට කලින් ණය ගන්න ගියා නම් ණය ගැනීම පහසුයි. IMF ජනවාරියේ තීන්දුවට ආවා අපිට ණය ගෙවීමේ හැකියාව ක්ෂය වී ඇති බවට. ඒ තීන්දුව නිසා අපිට දැන් ණය ගැනීම අමාරු වෙලා. ණය ගැනීමේ ප්‍රමාද නිසා වූ දේ එයයි. නමුත් ගිය වසරේ එවැනි තීන්දු තීරණයකට ඒමට පෙර, අපේ අතේ මුදල් ඉතුරු වී තියෙද්දි තීන්දුවක් ගෙන තිබුණා නම් මීට වඩා පහසුවීමට ඉඩ තිබුණා. මෙය අවුරුදු කාලයක් තිස්සේ දුර දක්නා තින්දු තීරණ නොගැනීමේ ප්‍රතිඵලයක්. IMF කලින් ගියා නම් මීට වඩා කලින් මේ ණය ගැනීමේ හැකියාව තිබුණා.

විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස ඔබට මේ අවස්ථාවේ සෘජු තීන්දු තීරණවලට පිවිසීමට සිදුවෙනවා. මේ වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කරලා. එහි වර්තමාන ප්‍රගතිය සාර්ථකද?

ඒ තීන්දු තීරණ ගත යුත්තේ මුදල් අමාත්‍යාංශයෙන්. අපේ වගකීම රජයේ තීන්දු තීරණ ජාත්‍යන්තර ප්‍රජාව තුළ ධනාත්මකව අලෙවි කිරීම. ඒ සඳහා හොඳ සම්බන්ධතාවක් තිබිය යුතුයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදි මූල්‍ය සමාගම් කිහිපයක් උපදේශකත්වය ලබා දෙනවා. මේ කටයුතු සියල්ල ආරම්භ කර තියෙනවා. එක පාරටම විශාල හාස්කම් කරන්න බැහැ.

අපට ලැබෙන ආදායමෙන් ණය පොලී ගෙවීමට නොහැකි වීම නිසා බොහෝමයක් රටවල් සිය ප්‍රතිලාභ ලබා නොදෙන තැනට පත්වෙලා. ඊට විදේශ කටයුතු ඇමැතිගේ දායකත්වය කොයි වගේද?

ද්වි පාර්ශ්වීයව ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා චීනය, ඉන්දියාව, පැරිසිය සමඟ කළ යුතු සාකච්ඡා කරගෙන යනවා.

මේ වන විට අපට කොතරම් විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට තිබේද?

මේ වන විට අපේ ණය භරිත භාවය ඇමරිකානු ඩොලර් බිලියන 51 ක් පමණ වෙනවා. එහි විවිධාකාර ණය තියෙනවා. ජාත්‍යන්තර ආයතනවලට, ලෝක බැංකුවට, ආසියානු බැංකුවට, මූල්‍ය අරමුදලට ආදිය. චිනය, ඉන්දියාව, ජපානය ඇතුළු ද්වි පාර්ශ්වීය ඒවා තියෙනවා. තුන්වැන්න පෞද්ගලික තැන්පත්කරුවන්ගේ. මෙය සංකීර්ණ ක්‍රියාවලියක්. එය ක්‍රියාත්මක වන්නේ ජනධිපතිතුමාගේ නායකත්වයෙන්, මුදල් අමාත්‍යාංශය හරහා. අපි ඊට අවශ්‍ය සහයෝගය තානාතිපති කාර්යාල හරහා ලබා දෙනවා.

ආන්දෝලනාත්මක චීන නැව සම්බන්ධ වර්තමාන තත්ත්වය කුමක්ද?

චීන නැවට තාක්ෂණික මට්ටමින් අවසර දී තිබුණා. පසුව ආන්දෝලනාත්මක තත්ත්වයන් මතුවුණා. ඒ පිළිබඳව කරුණු සලකා බැලීමට මේ ගමන කල්දමන ලෙස අපි ඉල්ලා සිටියා. ඒ අතරතුර අපි චීනය ඇතුළු රටවල තානාපති මට්ටමින් විවිධ ස්ථරයන් සමඟ සාකච්ඡා කරමින් යනවා. චීනය අපේ මිතුරු රටත්. ඉන්දියාව අසල්වැසි රට. මේ සියල්ලම සමඟ අපි සාකච්ඡා කරනවා, රටට අවම හානිය හා මිතුරු රටවල් තරහ නොකර ගනිමින් රාජ්‍ය තාන්ත්‍රිකව මේ ප්‍රශ්නය විසදන්න. අද (11 වැනිදා) නැව එන්න තිබුණා. අපි පැමිණිම කල් දාන ලෙස ඉල්ලා සිටියා.

පකිස්තානය ප්‍රහාරක නෞකාවක් මෙන්ම ඉන්දියාවෙන් ප්‍රහාරක ගුවන් යානාවක් පැමිණීමේ රාවයක් පවතිනවා?

පසුගිය කාලයේ ලංකාවට ඉන්දියාවෙන් පවා ප්‍රහාරක යුද නෞකා ආවා. ඉන්දියාවෙන් 48 ක් ,ජපානයේ යුද නෞකා 35 ක් ආවා. මෙය ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඉහත නෞකාව ඒවාට වඩා වෙනස් නිසා තමයි බොහෝ දෙනා විශේෂ අවධානයක් යොමු කර තිබුණේ. යුද අභ්‍යාසවල නිරත වීම සාමාන්‍ය දෙයක්. නමුත් වෙනත් රටක ආරක්ෂාවට තර්ජනයක් නොවන තාක් ප්‍රශ්නයක් නෙමෙයි.

රට මේ වන විට පත්ව ඇති අර්ථික අවපාතයෙන් ගොඩ ඒමට හැකි වේද?

මෙය සංකීර්ණ තත්වයක්. යම් යම් තීන්දු තීරණවලින් ප්‍රශ්නය වේගවත් වුණා මිසක් මෙය නිර්මාණය වූයේ වෙනත් කරුණු පාදක කරගෙන. දරාගත නොහැකි රාජ්‍ය සේවය, විශාල වියදමකින් නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය. ඒත් මේවා කප්පාදු කරන්න බැහැ. අපේ රාජ්‍ය ව්‍යවසාය විශාල වශයෙන් පාඩු ලබනවා. දරාගත නොහැකි ප්‍රමාණයක් සේවකයෝ ඉන්නවා. අපේ ආදායම වගේ තුන් ගුණයක් වියදම. මේ නිසා දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයයි. IMF හරහා ආර්ථික තත්ත්වය යම් ප්‍රමාණයකට නංවලා තෙල්, ගෑස්, බෙහෙත් හා ආහාර ලබා ගැනීමයි කළ යුත්තේ. මෙය දැන් සිදුවුණ එක හොඳයි, තව පසුවට ගිහින් සිදුවනවාට වඩා. මෙයින් ගොඩ ඒමට දේශපාලඥයෝ, සියලු පුරවැසියෝ දැඩි කැපවීමකින් වැඩ කළ යුතුයි.

නමුත් ජනතාව චෝදනා කරන්නේ පසුගිය රජය කාලයේ යම් යම් සිදුවීම් හරහා මේ තත්වය ඇති වූ බව. ඔබත් ඒ කාලයේ වගකිව යුතු ඇමැතිවරයෙක්?

පසුගිය රජය කාලයේ ගත් යම් යම් තීරණ මේ තත්ත්වය ඉක්මන් කරන්න බලපෑවා. නමුත් එය පමණක් නෙමෙයි, රාජ්‍ය සේවය පුළුල් වීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය හා විදුලි බල මණ්ඩලය කෝටි ගණනින් පාඩු ලැබුවේ පසුගිය ආණ්ඩු කාලයේ පමණක් නෙමෙයිනේ. රාජ්‍ය ආයතන 196 ක්ම පාඩු ලබන්නේ දීර්ඝ කාලීන ප්‍රශ්න නිසා. නමුත් ආදායම් බදු අඩු කිරීම, වැට් බදු අඩු කිරිම IMF යාම ප්‍රමාද කිරීම, රුපියල ප්‍රමාණාත්මකව අවප්‍රමාණ වීම පාලනය නොවීම ආදි පසුගිය කාලයේ ගත් තීන්දු තීරණ මෙය වේගවත් වුණා. ඒ වගේම කොවිඩ් තත්ත්වය, පාස්කු ප්‍රහාරය, යුක්රේන යුද්ධය මේ ගමන තවත් වේගවත් කළා. මේ සියල්ලම එකවර පැමිණ අපිට කුළු ගෙඩියකින් පහර දුන්නා. අපි නිකම් කෑම කෑවොත් කවදා හරි වමාරන්න වෙනවා. හරියට අපි කෙඩ්‍රිට් කාඩ් එකකින් කාලා කාලා අවසානයේ හැමෝම ඇවිත් එක පාර සල්ලි ඉල්ලන විට ඇතිවන තත්ත්වයක් තමයි, මේ ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා අපි රටක් වශයෙන් කර තියෙන්නේ අපේ ආදායමට සරිලන නොවන ආකාරයෙන් අපි ජීවත් වීම. හරියට අපි කසිප්පුවලින් ලැබෙන ආදායමෙන් ෂැම්පේන් බීලා ජීවත් වෙලා වගේ. මෙය විශාල ප්‍රශ්නයත්. ඒනිසා සැලසුම් සහගතව කෙටි කාලින, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලින විසඳුම්වලට යායුතුයි.

ලංකාවට ඩොලර් ආයෝජන අවස්ථා ඇද ගැනීමෙහිලා මෙන්ම ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට පුළුල් කාර්ය භාරයක් කළ යුතුව තියෙනවා. මොනවද ඒ වෙනුවෙන් කර ඇත්තේ?

සංචාරක ඇමැතිවරයා මේ වන විට විශාල වැඩ කොටසක් කරමිනුයි ඉන්නේ. අපිත් අවශ්‍ය සහය ලබා දෙනවා. අපි ජනතාවගෙන්ද ඉල්ලීමක් කරන්නේ පැමිණෙන සංචාරකයින්ට හොඳින් සලකන්න. විශේෂ අවධානයක් යොමු කරන්න. ඩොලර් ගෙන්වා ගැනීමට ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් අපි සංචාරකයන් ගෙන්වා ගත යුතුයි. දෙවැන්න බැංකු හරහා මුදල් යැවිය යුතුයි.

වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩ දැමිය හැකියැයි ඔබ විශ්වාස කරන්නේද ?

මේ අවස්ථාවේ මේ කටයුත්ත කිරීමට නායකත්වය දිය යුත්තේ දැනට සිටින පළපුරුදු කෙනෙක්. ආර්ථික විද්‍යාව පිළිබඳ දැක්මක් හා හැකියාවක් ඇති පුද්ගලයෙකු විදියට මම දකින්නේ ජනාධිපතිතුමා පමණයි. මේ අවස්ථාවේ ඉන්න අයගෙන් සුදුසුම කෙනා ඔහු පමණයි. ජනාධිපතිතුමා හොඳ අවබෝධයකින් ඉන්නේ. සමහර තීන්දු තිරණ ගැනීමට එතුමා පැකිලෙන්නේ නැහැ. එතුමා වැඩක් කරයි.

 

සේයාරු - රුක්මාල් ගමගේ

 

 

Comments