සම්ප්‍ර­දා­යට මුල් තැන දෙමින් 3 වැනි සැසිය පැවැ­ත්වුණේ මෙහෙ­මයි | සිළුමිණ

සම්ප්‍ර­දා­යට මුල් තැන දෙමින් 3 වැනි සැසිය පැවැ­ත්වුණේ මෙහෙ­මයි

 ලංකා පාර්ලිමේන්තුවේ බොහෝ දේ සිදුවන්නේ අතීතයේ සිට පැවැත එන සම්ප්‍රදායන් මුල් කර ගනිමිනි. පාර්ලිමේන්තු කටයුතු සඳහා මදකට විරාමයක් ලැබ පසුගියදා නව සභාවාරයක් වෙනුවෙන් විවෘත වූයේද ඒ සම්ප්‍රදායට මුල් තැනක් ලබා දෙමිනි. සභාවාරයක් ආරම්භයේදි බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන් පැවැත එන රාජාසන කතාව නව සභාවාරයේදී අත්‍යාවශ්‍යම අංගයකි. එදා රටේ රජු විසින් කළ මේ රාජාසන කතාව අද මදක් වෙනස් වෙමින් රටේ විධායකය විසින් කරන්නේ රාජාසන කතාවක් නොව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමකි. ඒ 1948 මෙරට නිදහස ලැබීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය සෙංකෝලය යටතේ සිදුකළ රාජාසන කතාව,1970 ලංකාව ජන රජයක් බවට වෙනස් වීමත් සමඟ එහි නාමයද වෙනස් වූ හෙයිනි.

9 වැනි පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා ආරම්භ වූ අතර එහි තුන්වැනි සැසිවාරය උත්කර්ෂවත් චාම් උළෙලකින් ආරම්භ වූයේ පසුගිය අගොස්තු 3 වැනිදාය. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වූයේද මේ වසරේ ජනවාරි 18 වැනිදාය. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අතිනි. රටේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පැවැත යමින් ජූලි 28 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව දෙවැනි සභා වාරය අවසන් වූ අතර එතෙක් පැවැති කාරක සභා සියල්ලද අහෝසි විය .

නව සභාවාරයක් විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කළ යුතුයැයි නියමයක් නොවූවද පාර්ලිමේන්තු ඉතිසාහය පුරාවටම එය සිදුවූයේ සාම්ප්‍රදායානූකූල නිල චාම් උත්සවයකින් අනතුරුවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් මත ආචාර වෙඩිමුර, අශ්වාරෝහක රථ මෙන්ම රථ පෙළපාලි වලින් තොරවූ තෙවැනි සැසිවාරයේ ගාම්භීර උත්සවයේ නිල ආරම්භය සනිටුහන් වූයේ ජනධිපති, අගමැති හා කතානායකගේ නිල සම්ප්‍රාප්තියෙන් අනතුරුවය. පෙරවරු 9.50 ට සිදුවූ ජනාධිපතිතුමාගේ හා එම මැතිනියගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිඩ හමුදා උත්තමාචාරයක් පැවැති අතර, කොළඹ දේවි බාලිකාවන්ගේ පිළිගැනීමේ ගීතයෙන් අනතුරුව සභා ගැබේ නිල වශයෙන් ආරම්භ වූයේ 10.25 ටය. මාස ගණනක් කොවිඩ් වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගැලරිය විශේෂ අමුත්තන් වෙනුවෙන් විවෘත වූයේ නැත. එය අවසන් වරට විවෘත වූයේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ දිනයෙදීය. මාස 6 කට අධික කාලයක් වසා තැබු විශේෂ අමුත්තන්ගේ ගැලරිය මෙදා විශේෂ ආරාධිතයින් වෙනුවෙන් විවෘත වූ අතර ජනාධිපති බිරිය, කතානායක බිරිය මෙන්ම තානාතිපතිවරු, හමුදා ප්‍රධානීන් මෙන්ම ආරක්ෂක ලේකම් ඇතුළු විශේෂ අමුත්තන්ගෙන් මෙදා එය පිරී ගියේය.

පාරිලිමේන්තු රාජාසන කතාවට ඇත්තේ රසවත් අතීතයකි. පළමු පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයේ රාජාසන කතාව සිදු කළේ ශ්‍රිමත් හෙන්රි මන්ක් මේසන් මුවර්ය. 5 වන පාර්ලිමේන්තුවේ 4 වැනි සැසිවාරය ආරම්භ කරමින් රාජාසන කතාව කළේ විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයාය. ඒ නිදහස් මන්දිරයේදිය. ඔහු රාජාසන කතාව කරන අවස්ථාවේදී මැති ඇමැතිවරු හය හත් දෙනෙක් නිදාගත් අතර, ඇත්ත පුවත්පතේ මුල් පිටුවේ එය ගියේ අපූරු හෙඩිමක්ද සමඟිනි. රාජාසන කතාව පරාජය වුවහොත් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවෙයි. එලෙස රාජාසන කතා පරාජයට පත්ව ගෙදර ගිය ආණ්ඩු ගැන ඉතිහාසයේ රසවත් කතා මතුවන්නේ ඩඩ්ලිගේ ආණ්ඩු සමයේය. එහෙත් මෙවර ජනාධිපතිගේ රාජාසන කතාව පෙරවරු 10. 30 ට ආරම්භ වූ අතර එය විනාඩි 20 ක පමණ අර්ථවත් මෙන්ම ආණ්ඩුවේ ඉදිරිදැක්ම නිරුපනය වූ හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශයක් බව බහුතරයකගේ අදහස විය. විශේෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වූ ආණ්ඩුවේ දැක්ම ඒ තුළින් මනාව නිරූපනය වන බවත්, සර්ව පාක්ෂික රජයක් සඳහා සහයෝගය දීමේ වැඩපිළිවෙළට අවතීර්ණ වීමේ සූදානමක් බවතින බවත් විපක්ෂයේ අදහස වී ඇත. විපක්ෂ නායකවරයා සඳහන් කළේ එය ධනාත්මක මෙන්ම හරයාත්මක කතාවක් වූ බවය. මෙවර ජනාධිපති අසුනේ ජනාධිපති නිල ලාංඡනය දිස් නොවූ අතර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනයට එම තැන හිමි වී තිබිණි. එසේ සිදුවූයේ ජනධිපතිවරයා විසින්ම ගත් තීන්දුවකට අනුවය.

නව සැසිවාරය ආරම්භය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂි දිනයක් සනිටුහන් කරන්නකි. ජනාධිපතිවරයාගේ රාජාසන කතාව අවසන් වීමේදි පාර්ලිමේන්තුව නිල වශයෙන් කැල් තැබීම සිදු කරන්නේද ජනාධිපතිවරයා විසින්මය. එළඹෙන 9,10 හා 12 වැනි දින යළි පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වන අතර රාජාසන කතාව සම්බන්ධව තෙදිනක විවාදයක් පැවැත්වෙන නමුත් ඡන්ද විමසීමක් නොපැවැත්වෙයි.

නව සභාවාරය ආරම්භයෙන් අනතුරුව සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේපැන් සංග්‍රහයට මෙවර ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් එක්විය. එය කැවුම් කිරිබත් වැනි හෙළ බොජුනට මුල් තැනක් දෙමින් සකස් වූ තේ පැන් සංග්‍රහයකි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනාධිපතිවරයා සමඟ විපක්ෂ මැතිවරු මෙන්ම ආරාධිතයන් සතුටු සාමිචියේ යොදුන අයුරු කැමරා කරුවන්ගේ කාචයට හසුවූ දුලභ දසුන් විය. එය ජනපති රනිල් වික්‍රමසිංහ නව රජයට සුබවාදි සලකුණක්ද වෙයි.

 

සේයාරූ - හිරන්ත ගුණතිලක

 

Comments