පෝලිම් මාෆි­යාව මට්ටු කරන්න ආ QR ගැල­වු­ම්ක­රුවා | සිළුමිණ

පෝලිම් මාෆි­යාව මට්ටු කරන්න ආ QR ගැල­වු­ම්ක­රුවා

QR කේතය පරීක්ෂා  කරන අයුරු
QR කේතය පරීක්ෂා කරන අයුරු

ගෝස්තු 01 වැනිදා සිට QR කේතය හඳුන්වාදීමත් සමඟ මාස ගණනාවක් තිස්සේ දිවාරෑ පැවති ඉන්ධන පෝලිම් කෙමෙන් අතුරුදන් වෙමින් තිබේ. දින දින පුවත් මැවූ මෙම අර්බුදය ආර්ථික අර්බුදය සමඟ මතුවූ ගැටලු අතර ප්‍රධානතම ගැටලුව වේ. ඒ එය අන් සියලු දේට වඩා ඍජුවම ආර්ථිකය සමඟ අනොන්‍ය වශයෙන් බැඳී තිබීමය. ඉන් බලශක්තිය, ප්‍රවාහනය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ප්‍රධානය.

 

ඩොලර් සංචිත සිඳී යාමත් සමඟ නිර්මාණය වූ ආර්ථික අර්බුදය නිසා ඉන්ධන ගෙන්වීම අභියෝගයට ලක් වූ අතර ඉන්ධන හල් ආශ්‍රිතව දිගු පෝලිම් නිර්මාණය වීමට පටන් ගත්තේය. දිවා රෑ නොබලා දවස් ගණන් පෝලිම්වල රැඳී සිටි පිරිස් අතර නොසන්සුන්තාව වර්ධනය වීමත් සමඟ ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය. මේ තත්ත්වය මැඬපැවැත්වීමට පොලීසිය හා ආරක්ෂක අංශ කැඳවීමට ආණ්ඩුව පියවර ගත් අතර ඉන් එය යම්තාක් දුරට පාලනය වුවද; එයම අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීමටද හේතු විය. දිනගණන් පෝලිම්වල රැඳී සිටි ජනතාව අතර එදිනෙදා ජීවනෝපාය සරිකරගන්නා කුලීරථ රියැදුරන් සිටි බැවින් ඔවුන්ගේ ජීවනෝපාය මුළුමණින්ම කඩා වැටී තිබුණි. මෙහිදී ඇති වූ කලහකාරී තත්ත්ව මෙන්ම ශාරීරික සෞඛ්‍ය හේතුන් මත මතු වූ ගැටලු හේතුවෙන් ඇතැමුන් මිය ගිය අතර, ඇතැමුන් රෝගී විය. මේ වාතාවරණය යටතේ ජනතාව තුළ නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් තිබුණි. පසුගිය කාලයේ ආරම්භ වූ අරගලයටද ගාමක ශක්තියක් බවට මෙම අර්බුදය පරිවර්ථනය වී තිබුණි.

රට තුළ සිදු වූ දේශපාලන වෙනස් කම් සමඟ ඉන්ධන අර්බුදයට සඳහා ගනු ලැබූ ප්‍රශස්තතම පියවර වූයේ QR කේතය හඳුන්වා දීමය. පසුගිය පළමුවැනිදා සිට එය දීප ව්‍යාප්තව ආරම්භ වීමත් සමඟ දිගු පෝලීම් කෙමෙන් කෙමෙන් අඩුවන්නට පටන් ගත්තේය. ඒ ඊට ප්‍රථම ක්‍රියාත්මක කළ අවසන් අංකය අනුව සතියේ දින වෙන්කර ඉන්ධන ලබාදීම අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කර තිබූ පසුබිමකය. මේවනවිට QR කේතය යටතේ ලියාපදිංචි කර ඉන්ධන සැපයීම වඩා විධිමත් වැඩපිළිවෙලක් බවට ප්‍රායෝගිකව පත්වෙමින් තිබේ.

QR කේතය පරික්ෂාවට ලක්කරන ‌ෙයාවුන් සේනාංකයේ  සාමාජිකයෙක්

ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි කෙරෙන මෙම QR කේතය ප්‍රථමවරට ලොවට හඳුන්වා දුන් පුද්ගලයා වන්නේ ජපන් ජාතික මසහිරෝ හරා ය. ජපන් ජාතික ඉංජිනේරුවකු වන මසහිරෝ හරා මෙය මුල්වරට හඳුන්වා දී ඇත්තේ 1994 දීය. ඒ ටොයෝටා සමාගමට අනුබද්ධ දෙන්සෝ නම් ඉලොක්ට්‍රෝණික නිෂ්පාදන සමාගමක් හරහාය. එහි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගන්නා විවිධ නිෂ්පාදන කවුරුන් විසින් කවර සමාගමක නිපද වූයේද යන්න ක්ෂණිකව දැනගැනීමට හා එහි අනන්‍යතාව පිළිබඳ තොරතුරු පරික්ෂා කිරීමටය. මෙම ක්‍රියාවලිය හැඳීන් වූයේ Quick Response code හෙවත් ක්ෂණික ප්‍රතිචාර කේතය ලෙසිනි. එය පසුව QR කේතය යන කෙටි යෙදුමින් හැඳින් වුණු අතර මේ තුළ බොහෝ දත්ත ගබඩා කළ හැකි විය. මෙහි උපරිම වශයෙන් පරිගණක අක්ෂර 7000ක් ගබඩා කළ හැකිය. මින් යම් දත්ත පද්ධතියක තොරතුරු තත්ත්පර කිහිපයක් ඇතුළත යාවත්කාලීන කළ හැකිය. පසුගිය තුන්වැනිදා රත්‍රී 10යේ සිට ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් දහයකින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 430කි. එසේ වුවත් බස්ගාස්තු අඩු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

එසේ වුවත් පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවරගත් අතර, සියයට 11.14 න් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණනන් සංශෝධනය විය. ඒ අනුව අවම ගාස්තුව රු. 34ක් දක්වා අඩු විය.

අගොස්තු 01වැනිදා සිට 03 වැනිදා පෙරවරු 06 දක්වා කාලය තුළ QR කේතය යටතේ වාහන 5,95,177 සඳහා නුකුත් කර ඇති ඩීසල් සහ පෙට්‍රල් ලීටර් ප්‍රමාණය 49,77,491 කි. මෙහිදී ඉන්ධන පිරවුම්හල් 726ක් ද අයිඕසී ඉන්ධන පිරවුම්හල් 132ක්ද ආවරණය කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ පෙන්වාදෙයි. යම් අයකු වංචනික ලෙස ඉන්ධන ලබාගැනීමට උත්සාහ කළහොත් මෙම පද්ධතිය තුළ දැන ගැනීමට හැකියාව ලැබෙන බවත්, එවැනි අය කෙරෙහි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පෙන්වාදෙයි.

ඒ වගේම වාහන නොවන කාණ්ඩ සඳහා ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් අදාළ ආයතන හා පුල්ගලයන්වෙත දැනුම්වත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර සඳහන් කර සිටියේ “ රජයේ වහනයක් නම් එහි රියදුරුගේ හෝ වෙනත් ඕනෑම පරිශීලකයකුගේ හැඳුන්මපත , ගුවන් ගමන් බලප්‍රය, ජංගම දුරකථන අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය මඟින් QR කේතය යටතේ ලියාපදිංචි කළ හැකි බවයි. අගොස්තු 12 වැනිදා සිට වාහන කිහිපයක් ඇති රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාර සඳහා ඔවුන්ට පවරා ඇති ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය හෝ කේතයකින් සහ ඔවුන්ගේ සියලුම වාහන සඳහා එක නිශ්චිත ජංගම දුරකථන අංකයකින් ලියාපදිංචි වීමට හැකි බවයි. එසේ කිරීමෙන් පසු ලබාගත් QR කේතය මකාදැමිය යුතු බවද එය වෙනත් පාර්ශ්වයකට පෙන්වීමෙන් වලකින ලෙසද හෙතෙම පෙන්වාදෙයි.

QR කේතය ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ඔස්සේ සතියක කාලයක් එක් වාහන හිමියකුට ඉන්ධන කෝටාවක් හිමිවන අතර එය සෑම ඉරිදාවකම මධ්‍යම රාත්‍රීයේ යාවත්කාලීන වේ. QR කේතය ලබාදීම ආරම්භ වූ ආකාරය හා එහි සාර්ථකත්වය පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා ප්‍රකාශ කර සිටියේ “ මිනිසුන් පෝලිම්වල රස්තියාදු වෙමින් ආතතිය පත් වී විවිධ සමාජ ව්‍යසන ඇතිවීම වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් මෙම ක්‍රමය හඳුන්වාදුන් බවයි. වර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මීට ප්‍රථම පැවති ආකාරයට ඉන්ධන බෙදාහැරීම යම් කාලයක් යන තෙක් සිදු කළ නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත්, මසකට ඉන්ධන ලබාදීම සඳහා මිලියන 600ට අධික මුදලක් වැයවන බවත් එය වසරකට බිලියන 07ක් පමණ වන බවයි. එනිසා අප ඉතා ඥානාන්විතව මෙම ඉන්ධන පාවිච්චිය සිදු කළ යුතු බවත්, ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ සෑම කෙනාටම සාධාරණ ආකාරයට ඉන්ධන කෝටා එකක් ලබාදීම බවයි. ඒ අනුව මීට මාස දෙකකට ප්‍රථම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම QR කේතය පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කළ බවයි. මෙමඟින් මූලික වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්දියන් තෙල් සමාගම ඒකාබද්ධ කර ලැබෙන ඉන්ධන විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය කර බෙදීම සඳහා QR කේතය සකස් කළ බවයි. මෙහිදී යම් යම් තාක්ෂණික අභියෝග තිබුණද රටක් වශයෙන් ප්‍රායෝගිකව මේ සඳහා මුහුණ දීමෙදී විවිධ මානසික මට්ටම්වල අය සමඟ ගනුදෙනු කිරීම ඉට වඩා අභියෝගාත්මක වූ බව හෙතෙම පෙන්වා දෙයි ”

ඒ අනුව විවිධ තරාතිරම්වල විවිධ මට්ටම්වල හා විවිධ වයස් කාණ්ඩවල පසුවන අය සඳහා සුළු වියදමක් හෝ නොවන ආකාරයට ඉතා පහසුවෙන් මෙය භාවිතා කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ඉඩකඩ සලසා දී ඇත. මෙම ක්‍රියාව සාර්ථකව සිදු කිරීමට රාජ්‍ය ආයතන සහ විවිධ පාර්ශ්ව ස්වෙච්ඡාවෙන් ඉතා ප්‍රශස්ථ ආකාරයෙන් වෙහෙස නොබලා කටයුතු කරති. මේ වනවිට මිලියන 5.5 කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා ලියාපදිංචි වී ඉන්ධන ලබාගැනීමට කටයුතු කර ඇත. ලංකාව පුරා මේ වනවිට මිලියන 8ක් පමණ ලියාපදිංචි වාහන තිබෙන අතර ඉන් මිලියන 2ක් පමණ පොත්වලට සීමා වූ සහ පරණ වාහනය. ඒ අයද ක්‍රමයෙන් මේ සඳහා යොමුවනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.

මෙම QR කේතය හඳුන්වා දීමේදී ජනතාවගේ ගැටලු දැන ගැනීම සඳහා දුරකථන අංකයක්(1919) ඊමේල් (n[email protected]) ලිපිනයක් හා ෆේස් බුක් පිටුවක්(Nationl Fuel pass)හඳුන්වාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු කර තිබුණි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ, උපායමාර්ගික සන්නිවේදන දිලිනි රත්නායක සිළුමිණ කළ විමසීමේදී පවසා සිටියේ “ QR කේතය හඳුන්වාදීමත් සමඟ සමහර අයට ඔවුන්ගේ චැසි අංකය නිවැරදිව සටහන් නොවීමත්, ආයතනවල ලියාපදිංචි කළ වාහනවලටත් QR කේතය සඳහා ලියාපදිංචි වීමේදී ගැටලු මතු ව තිබූ බවයි. එහිදී Nationl Fuel pass ෆේස් බුක් පිටුවත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වෙබ් අඩවියත්, [email protected] විදත් ලිපිනය හා 1919 දුරකථන අංකයත් ඔවුන්ගේ ගැටලු නිරාකරනය කර ගැනීම සඳහා සක්‍රීයව පවතින බවයි. එහිදී ඒ ගැටලු හඳුනාගෙන ඒ සඳහා කළ යුතු කරුණු පිළිබඳ දැනුම්වත් කරමින් උපදෙස් හා පොස්ට් පළ කළ බවත් එය බොහෝ සෙයින් සාර්ථක වූ බව ඇය පෙන්වා දුන්නාය ”

QR කේතය හඳුන්වාදීම කෙතරම් දුරට සාර්ථක වී ඇත්දැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වාගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම පෙන්වා දුන්නේ “ රට විශාල ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක ඉන්ධන ආනයනය දිගින් දිගට ම පවත්වාගෙන යෑමේදී රටේ ඩොලර් සංචිතය හිඟවන බවයි. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය අනුව ඉන්ධන ගෙන්වීම සඳහා මසකට වැයවන ඩොලර් මිලියන 600ක් මුදල මිලියන 200 දක්වා පහත දැමීමට කටයුතු කළ යුතු බවත්, එය ව්‍යාපාරිකයන්ට කෙතරම් පාඩුවක් වුවත් රට ගැන සිතා ඒ සඳහා පූර්ණ සහය ලබාදුන් බවයි. QR කේතය හඳුන්වාදීම සමඟ ඒ තත්ත්වය යහපත් තත්වයකට පැමිණ ඇති බවත්, මෙය මීට මාසයකට හෝ දෙකකට ප්‍රථම පටන් ගත්තා නම් ඉන් විශාල යහපතක් රටටත් ජනතාවට සිදුවේ. ජනතාවගේ පැත්තෙන් ඔවුනුත් රට ගැන සිතා මේ සඳහා සහය ලබාදිය යුතු බව පවසන හෙතෙම ත්‍රීවිල් මාෆියාව හා ඉන්ධන හොරුන් විසින් රට තුළ විශාල අර්බුදයක් නිර්මාණය කර තිබූ පසුබිමක QR කේතය හඳුන්වාදීම ඉතාම සාර්ථක ක්‍රියාමාර්ගයක් බවයි. පසුගිය කාලය පුරා තමා සතු මාලිගාවත්තේ ඉන්ධන පිරිවුම්හල පුරා ත්‍රීරෝද රථ මාෆියාව ක්‍රියාත්මක වූ බවත්, මේවනවිට අනෙකුත් රථවාහන සඳහා ද ඉන්ධන ලබාගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පවසන හෙතෙම මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් තෙල් අවශ්‍යම අයට ඉන්ධන ලබා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙයි. මේවනවිට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 1300කට අධික ප්‍රමාණයක් ඇති අතර ඔවුන් සතු ඉන්ධන බෙදාහරින බවුසර් ප්‍රමාණය 800ක් පමණවන බවත්, ඉන්දියන් ඔයිල් සමාගම සතුව ඉන්ධන පිරවුම්හල් 216ක් ඇති අතර බවුසර් 150ක් පමණ ඇති බවත් හෙතෙම පවසයි. මෙම ක්‍රමවේදය නිසා ඉන්ධන බෙදා හරින්නන්ට හා පිරවුම් හල් හිමියන්ට ආදායම අඩු වුවත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු අවුරුද්දක් හෝ එය විඳ දරාගෙන කිසියම් කැපකිරීමක් කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. ”

QR කේතය ලොවට හඳුන්වා දුන්
ජපන් ජාතික මසහිරෝ හාරා

ඇත්තෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් හිතුමනාපයට ගාස්තු වැඩිකර තිබේ. ඔවුන් එයට පෝලිම්වල රැඳී සිටි කාලය හා එහිදී දැරූ වියදමද ඊට එක්කර තිබේ. නමුත් අප දන්නා කාරණය වන්නේ ඔවුන් ත්‍රීවිල් පාර්ක්වල සිටියදීද මේ ආකාරයෙන්ම මෙම වියදම දරන බවයි. වෙනසකට ඇත්තේ පාර්ක් එකේ රැඳී සිටින කාලය පෝලිමේ රැඳී සිටීම හා රාත්‍රිය ගත කිරීම පමණි. (එලෙස පෝලිමේ සිටියදී ඇතැමුන් සතු ඉන්ධන පසුපසින් සිටින අයට වැඩිමිලට අලෙවි කර දිගටම පෝලිම්වල රැඳී සිටීමද සිදු කරයි.) එය දඩමීමා කරගෙන හිතූ හිතූ ආකාරයට ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම අසාධාරණ බව මඟී ජනතාව පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ මීටර් 500ක දුරකට පවා රුපියල් 150 අය කරන බවයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 24 - 25 ත්‍රීරෝද රථයක් ධාවනය කළ හැකිය.

එසේ තිබියදී මෙලෙස අයුතු ලෙස ගාස්තු අය කිරීම වැරදි බව ඔවුන් ගේ අදහසය. ඒ සඳහා කඩිනමින් මීටර් අනිවාර්ය කර ඊට සාධාරණ අගයක් එක්කළ යුතු බව මඟී ජනතාව පෙන්වා දෙයි.

මේ පිළිබඳ සිළුමිණ කළ විමසීමේදී සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසිරි පවසන්නේ “ ඇතැමුන් එලෙස සිතූ සිතූ ලෙස මුදල් අයකිරීම අසාධාරණ බව පිළිගන්නා හෙතෙම ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට ලබාදෙන තෙල් ප්‍රමාණය බාධාවක්ව පවතින බවයි. QR කේතය සාර්ථක ක්‍රමයක් වුවත්, තම වෘත්තිය කරගෙන යාම සඳහා සතියකට ලීටර් 5ක් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන හෙතෙම; එම ප්‍රමාණය දිනකට ලීටර් තුන්කාලක් පමණ වන බව පෙන්වා දෙයි. මේ හේතුවෙන් රටට බරක් නොමැතිව; ආණ්ඩුවට බදු ගෙවමින් ජීවත්වන ත්‍රීවිල් රථ වෘත්තිකයින් කබලෙන් ලිපට ඇද වැටී ඇති බවයි. ත්‍රිරෝද රථ වෘත්තීමය පූර්ණකාලීන ත්‍රීවීල් රථ, අර්ධකාලීන කුලී ත්‍රිරෝද රථ, පෞද්ගලික ත්‍රිරෝද රථ (නිවසේ කටයුතු සඳහා පමණක් යොදාගන්නා) ලෙස කොටස් තුනක් ඇති අතර, ඒවා හඳුනාගෙන පොදු කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම යෝග්‍ය බව ඔහුගේ අදහසය”

කලින් පැවති බාදා QR කේතය හඳුන්වාදීම මඟින් විසඳුමක් ලබාදී ඇතිද යන්න පිළිබඳ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂගෙන් සිළුමිණ කළ විමසීමෙදී ඔහු පෙන්වා දුන්නේ “ සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කළ අවස්ථාවේ ඉන්ධන පිරිවුම්හල් ආශ්‍රිතව චණ්ඩි රජකරන තත්ත්වයක් ණිර්මාණය වූ බවයි. ඉන්ධන බලහතකාරයෙන් රැගෙන යාම සහ විවිධ අක්‍රමිකතා සිදු වූ බවත්; මහජනතාවගේ දෛනික ජීවිතය බිඳ වැටී දිගු පෝලිම් ඇති වූ බවත්; QR කේතය හඳුන්වාදීම සමඟ මෙය කිසියම් නියාමනයකට ලක් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ”

මෙනිසා අනිසි ලෙස ගබඩා කර ගැනීම හෝ විකිණීමක් සිදු නොවනු අතර, අගෝස්තු 01 වැනිදා සිට මේ දක්වා ඉතාසාර්ථකව ඉන්ධන බෙදාහැරීම සිදු කෙරේ. සිළුමිණ පාරිභෝගික ජනොතාව සමඟ කතාෙබහ කිරීමේදී ඔවුන්ද මේ පිළිබඳ සතුටුවන බව පෙනෙන්නට තිබුණි. ඒ සඳහා මෙහි විනිවිදභාවයය හේතු වී ඇති බව පෙනේ. ඕනෑම අයකුට ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි අතර එය රථයේ ස්වභාවය අනුව වෙනස් වේ. ඒ අනුව කාර් සහ වෑන් රථ සඳහා අදාළ ඉන්ධන (පෙට්‍රල් හෝ ඩීසල්) ලීටර් 20ක් ද, බස් හා ලොරි රථ සඳහා ලීටර් 40ක් ද, ත්‍රීරෝද රථ සඳහා ලීටර් පහක් ද, යතුරුපැදි සඳහා ලීටර් හතරක්ද ලබාදීම සිදු කරයි.

සිළුමිණ සමඟ සම්මුඛ වූ ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සන්දනායක පවසා සිටියේද “QR කේතය හඳුන්වාදීම ඉතාම කාලෝචිත පියවරක් බවයි. එමඟින් පැවති බොහෝ ගැටලුකාරි තත්ත්වයන මඟහැරී ගිය බවත් පෝලිම් ඉතා සීඝ්‍රයෙන් අඩු වූ බවත්ය. නමුත් තෙල් ලැබීම ප්‍රමාද වීමේදී බෙදාහැරීම සීමා විය හැකි බවත්; එවිට නැවතත් පෝලිම් තත්ත්වය උත්සන්න විය හැකි බවයි. කිසියම් ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කර අඛණ්ඩව තෙල් නිකුත් කිරීම යෝග්‍ය බව හෙතෙම පෙන්වා දෙයි.” මෙසේ තෙල් ලබාදීමේදී අත්‍යාවශ්‍ය සේවා සඳහා විශේෂයෙන්ම නිෂ්පාදන කර්මාන්ත, විදුලිබල මණ්ඩලය, සෞඛ්‍ය සේවා, පොදු මගී ප්‍රවාහනය ආදිය පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම යෝග්‍ය වේ.

ඡායාරූප:  සුලෝචන ගමගේ සහ  සමන්ත වීරසිරි

 

Comments