පුවත් මවන ලොව කළ­ඹන ලංකා­වට එන චීන නැව | සිළුමිණ

පුවත් මවන ලොව කළ­ඹන ලංකා­වට එන චීන නැව

 

 

 

බන අගෝස්තු 11වැනිදා හම්බන්තොටට ළඟා වීමට නියමිත චීන නෞකාව මේ වන විට දකුණු ආසියානු කලාපයේ මතබේදාත්මක තත්ත්වයක් උද්ගත කර අවසන්ය. චීනය සතු යුවාන් වැන්ග් 5 නෞකාව චීනයේ ජියෑන්ගුයින් වරායෙන් පිටත්ව තිබුණේ පසුගිය ජූලි 13වැනිදාය. එය මේ වන විටත් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබේ.

මේ නෞකාව අති නවීන තාක්ෂණයෙන් යුත් යුද නෞකාවක් බව සඳහන්ය. එහි සවිකොට ඇති අති නවීන යන්ත්‍රෝපකරණ මගින් අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ. නෞකාවේ සිට කිලෝමීටර් 750ක ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමේ හැකියාවද පවතින අතර නෞකාවෙ සිට එම කළාපයට අදාළ චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාවද සහිතය. අගෝස්තු 17වැනිදා දක්වා කාලයක් හම්බන්තොට වරායේ නවත්වා තැබීමටද නියමිතය.

මේ නෞකාව සම්බන්ධව අදහස් දක්වන ඉන්දියාව පවසයි. මේ නෞකාවේ පැමිණීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බවයි. චීනය පවසන්නේ නෞකාවේ පැමිණීම හුදෙක් ඉන්දීය සාගර කලාපයේ සිදු කෙරෙන නීත්‍යනුකූල නාවික කටයුත්තක් පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්වූ දේශපාලන විචාරක මාලින්ද සෙනෙවිරත්න පවසන්නේ මෙවැන්නකි

“මේ යුද නැව් ලංකාවට ආපු පළමුවැනි අවස්ථාව නොවෙයි.ඇමරිකාව, රුසියාව, ඉන්දියාව, පකිස්තානය සහ චීනය වැනි රටවල් සමග අපේ ආරක්ෂක අංශ නොයෙක් අවස්ථාවල යුද අභ්‍යාසවල නිරත වී තිබෙනවා. ඒත් මේ නැවේ පැමිණීම ඉන්දියාවට නම් ප්‍රශ්නයක් වී තිබෙන බව පේනවා. ඉන්දියාව සහ චීනය මිතුරු රටවල් නොවෙයි. ඒ නිසාම මේ චීන නැවේ පැමිණීම ඔවුන් අනතුරක් ලෙස දකිනවා විය හැකියි.

මේ දෙරටම අපේ මිත්‍රයන්. අපේ රටේ රජය පවත්වාගෙන යන විදේශ ප්‍රතිපත්තිය අනුව ජාත්‍යන්තර නීතියට පටහැනි නොවන විදෙස් රටක ඕනෑම ක්‍රියාකාරකමක් අපට ගැටලුවක් නොවෙයි. “

අපි කැමති රටක නැවකට අපේ රටට ඒමට අවස්ථාව දෙන්න අපට හැකියාව තිබිය යුතුයි. මෙතන ප්‍රශ්නයක් තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෝ ශ්‍රී ලංකාව සහ චීනය අතර නොවෙයි. ඉන්දියාව සහ චීනය අතරයි.

වැඩිදුරටත් පවසන්නේ සෙසු රටවල මතය කුමක් වුවද අපේ රට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මේ සෑම රටක් සමගම අනම්‍ය සබඳතාවක් පවත්වා ගත යුතු බවත්, එසේ කිරීමට තරම් පරිණත භාවයක් අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් සතු විය යුතු බවත්ය.

“අප රටේ දැනට පවතින ආර්ථීක තත්ත්වය හමුවේ අපට කිසිම රටක් තරහා කර ගැනීමට හැකියාවක් නැහැ. රජයේ ප්‍රතිපත්තිවලට අනුව පවතින ආණ්ඩුව විසින් විදේශ රටවල් සමග පවත්වන සබඳතාවල හැඩතල තීරණය කරනු ලබනවා. මේ එක් රටක් සමග සබඳතා පැවැත්වීමේදී අනෙක් රටට කුකුසක් ඇති නොවන අන්දමට කටයුතු කිරීමට අපේ රාජ්‍ය නිලධාරින් පරිණත විය යුතුයි. නමුත් මේ අවස්ථාව සලකා බැලූ විට පෙනී යන්නේ අදාළ පාර්ශ්වයන් එසේ කිරිමට අපොහොසත් වී ඇති බවයි. මේ සම්බන්ධව අදහස් දැක්වීමට එක්වූ මහාචාර්ය ටියුඩර් වීරසිංහ පවසන්නේ ආසියාවට ලෝකයේ බල කේන්ද්‍රය හිමි වෙමින් පවතින මේ අවස්ථාවේදී කළාපීය වශයෙන් එකිනෙක රටවල් අතර අවබෝධය ඉතා වැදගත් වන බවයි.

“මෙතනදී වටහා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේ හුදු නැවක් පැමිණීම පමණක් නොවන බවයි. මේ සිදුවීම් මාලාවක එකතුවක්. 80 දශකය වන තෙක් බටහිර ආර්ථික ආධිපත්‍ය මෙහෙයවූ යන්ත්‍රණය දැන් ක්‍රමිකව ආසියා ශාන්තිකර කලාපයට මාරු වෙමින් තිබෙනවා. එහි බලවතා වන්නේ චීනයයි. චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණෙමින් තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ වර්ධනය වෙමින් පවතින ආසියා ශාන්තිකර කළාපයේ බලය පිළිබඳව ඉන්දියාව නිවැරදි කියවීමක් පවත්වා ගැනීමයි. චීනය අස්ථාවර කළ හොත් මුළු කලාපයම අස්ථාවර විය හැකියි. එසේ වුවහොත් කළාපයේ අනෙකුත් රටවල් අතරද ගැටුම් ඇති විය හැකියි. “

ඉන්දියාව සහ චීනය අතර අතීතයේ සිට ගැටලු පැවතියද ආසියා ශාන්තිකර කලාපීය බලවතුන් වශයෙන් එම ගැටලු මැඩපවත්වා ගනිමින් කළාපයේ අසල්වැසියන් අතර ශක්තිමත් අවබෝධයක් ඇති කර ගත යුතු බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මේ සියල්ල අතර අපි අවබෝධ කර ගත යුතු වන්නේ රටක් වශයෙන් මේ තත්ත්වයට මැදිවනවාද යන්නයි.

1960- 70 අතර ලෝකයේ රටවල් අතර මෙවැනිම දේශපාලන බෙදීමක් පැවති අවස්ථාවේදී ශ්‍රී ලංකාව නොබැඳි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඉතා සාර්ථක සමාජ, ආර්ථීක ප්‍රතිලාභ අත් කර ගත්තා. ඒ අනුව මේ අවස්ථාවේදීත් බහු ධ්‍රැවික ලෝක රටාවේ නව සන්ධර්භය තුළ අපේ විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කර ගැනීමේ අවශ්‍යතාව ඉතා හොඳින් ඉස්මතු වී පෙනෙනවා. “

 

Comments