ජන්ම අංකය ජන්ම අංකය 7 නම් ඔබ මෙහෙමයි | Page 2 | සිළුමිණ

ජන්ම අංකය ජන්ම අංකය 7 නම් ඔබ මෙහෙමයි

 

ලැබෙන එකම අවස්ථාවෙන් වුවත් ප්‍රයෝජන ගැනීමට රුසියෝ

 

ජීවිතයේ සාර්ථකත්වය ඇති වන්නේ වයස අවුරුදු 34 සිටයි

ජනවාරි, පෙබරවාරි, ජූලි සහ අගෝස්තු ඔබට සුබ නැහැ

ඕනෑම මාසයක 7, 16, 25

උපන් ඔබගේ ජන්ම අංකය 7යි

 

ජල ග්‍රහයකු වන නෙප්චූන් ග්‍රහයාගේ ශක්ති කම්පන බලවේගයන්ට යටත්ව උප්පත්තිය ලැබූ ජන්ම අංක 7 හිමියන් ඉතා තැන්පත් සහ කාරුණික යහපත් ගතිගුණවලින් සමන්විත නිවුණු පුද්ගලයන් වේ. අන් අය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන අතර, ඉවසීම සහ දයානුකම්පාව මොවුන් තුළින් කැපී පෙනේ. ඕනෑම තැනකට ඔරොත්තු දෙයි. හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇත. ඉතා සෘජු අදහස් සහ ගතිගුණ ඇත. නිතරම සිහි බුද්ධියෙන් කල්පනාකාරීව කටයුතු කරයි. ඉක්මනින් කලබලයට පත් නොවී කල්පනාකාරීව කටයුතු කරන මොවුන් පුංචි දෙයකින් වුවද සෑහීමකට පත්වෙන අතර, ඉලක්ක ජය ගැනීමට සමත්ය. මොවුන්ට ලැබෙන එකම අවස්ථාවෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගන්නා අතර ඕනෑම දෙයක් ප්‍රයෝජනවත් දෙයක් බවට හරවා ගැනීමට දක්ෂ වෙයි. සාමාන්‍යයෙන් උපතින්ම වාසනාවන්ත වේ. සෞන්දර්යාත්මක මෙන්ම දාර්ශනික අදහස් ද ඇත. මොවුන් කෙසේ හෝ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කරන අතර උපන් තත්ත්වයට වඩා කෙසේ හෝ දියුණු වෙයි.

තරමක් කාර්ය බහුල ජීවිතයක් ගත කරන අතර විවිධත්වයට මෙන්ම සංචාරයට ද කැමති වෙයි. බොහෝ විට විදේශ ගතවීමේ වාසනාව ජන්ම අංක හතෙන් උපන් අයට ඇත. ජන්ම අංක 7 හිමියන්ගේ බලපෑම ඔවුන් ඇසුරු කරන මිතුරන්ට ද බලපාන අතර එම ශක්තිය ඔවුන්ගේ සාර්ථකත්වයට ද බලපායි.

නිර්මාණාත්මක සහ ස්වාධීන වූ චින්තනයක් ඇති මොවුන් ඕනෑම තැනකදී ප්‍රකට භාවයට පැමිණෙයි. ඉහළ ප්‍රධානීන්ගේ සහයෝගය මොවුන්ට නිරන්තරයෙන් ලැබේ. සෑම විටම සාධාරණත්වය අගය කරන අසාධාරණයට විරුද්ධව නැඟී සිටී. බොහෝ විට මොවුන්ගේ අදහස් ප්‍රායෝගිකය ඉවත දැමීමට නොහැකි තත්ත්වයක් නිසා මොවුන්ගේ අදහස් බොහෝ අය පිළිගනී. නිදහස් චින්තනයෙන් ස්වාධීනව තමන්ට අවශ්‍ය ලෙස නිදහසේ කටයුතු කිරීමට කැමති මොවුන් කාටවත් බයේ වැඩ කිරීමට කැමති නැත. මොන තරම් ප්‍රධාන තනතුරක් දැරුවද අනිත් අයටත් සමාන ලෙස සලකයි. ඒ නිසාම ඕනෑම ආයතනයක මොවුන් වටා විශාල පිරිසක් එකතු වීම දක්නට ලැබේ. මතුපිටින් දරදඬු ස්වභාවයක් පෙනුණත් මොවුන්ගේ සිත ඉතාමත් සෞම්‍ය ගතිවලින් යුක්තය. ඕනෑම තරාතිරමක කෙනෙක් ඇසුරු කිරීමේ හැකියාව ඇත. ඕනෑම අවදානමක් බය නැතුව භාර ගනියි. තම අදහස් ප්‍රතික්ෂේප කළ නොහැකි අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. සමාජ සේවයට ඉතා ප්‍රිය කරන අතර එම කටයුතුවලට හැකි සෑම විටම සම්බන්ධ වෙයි. ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට ගැළපෙන ලෙස මොවුන් ජීවත් වෙන්නට දක්ෂ වෙයි. මොවුන් අන් අයට හොඳින් ඇහුම්කන් දෙන නමුත් අවසාන තීරණය තමන් ගනී. පහසුවෙන් රැවටිය හැකි පුද්ගලයන් ද නොවේ. මිනිසුන් තෝරා බේරා ගෙන ඇසුරු කරයි. යහපත-අයහපත තේරුම් ගෙන කටයුතු කරයි. හොඳ මතක ශක්තියක් ඇති මොවුන් විවිධ දේවල් ඇසුරින් අත්දැකීම් සහ දැනුම එකතු කිරීමට ද කැමැත්තක් දක්වයි. කිසිදු දෙයක් දුටු පමණින් පිළිගන්නට කැමති නැත. ඉතා හොඳින් ගවේෂණය කර පර්යේෂණාත්මකව පිළිගැනීම සිරිත වෙයි.

විවාහයේදී ඉතා හොඳින් සොයා බලා කටයුතු කර ගත යුතු අතර විවාහ ජීවිතය නොගැළපීම් මත අසාර්ථක වීම හෝ පසුතැවිල්ලට හේතුවනු ඇත. තමන්ට වඩා ඉතා ඉහළ අය හෝ පහළ අය නොගැළපෙන අතර සමාන තත්ත්වයක කෙනෙක් ඉතා ගැළපේ. ජන්ම අංක 1,2,7, හෝ ඕනෑම මාසයක 7, 10,11, 16, 19, 20,25 දිනවල උපන් අය විවාහයට ඉතා ගැළපෙයි. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඇති වන්නේ වයස අවුරුදු 34 සිටය. ඔබ තමාට ඉටු කළ හැකි වගකීම් පමණක් භාර ගැනීමට හුරු වීම හොඳයි. එමෙන්ම අනවශ්‍ය ලෙස ආඩම්බර වීම, අන් අය විශ්වාස නොකිරීම සහ සැඟවුණු යටි අරමුණු සහිතව ක්‍රියා කිරීම ද දුර්වලතාවන්ය.

ඔබට විෂබීජ ආසාදනය වීම සහ බෝවන රෝගවලට ඉක්මනින් ගොදුරුවීමේ හැකියාව ඇත. වයස අවුරුදු 40න් පසු මතක ශක්තිය දුර්වල වීම දක්නට ලැබේ. චර්ම රෝග, මළබද්ධය වැනි රෝග තත්ත්වයන් ද පහසුවෙන් ඇති විය හැකිය. වයස 50න් පසු රුධිරගත රෝගයන්ගෙන් ද පරෙස්සම් විය යුතුය.

ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීමේ හැකියාව ඇති මොවුන් සමහරවිට මහන්සියේ තරමට ප්‍රතිඵල නො ලබන අවස්ථා ද ඇත. බොහෝ විට ව්‍යාපාරවලදී නිෂ්පාදන අංශය තෝරා ගැනීම, බෙහෙත් වර්ග, සුවඳ විලවුන් වර්ග, කිරි හා සත්ත්ව ආහාර දියර වර්ග, සංචාරක සේවා, ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය, විදුලි කාර්මික අංශ වඩාත් ගැළපේ. මත්පැන් භාවිතයෙන් සහ දුම්පානයෙන් ඉවත් විය යුතු අතර ශාකමය ආහාර වැඩිපුර ගැනීම වැදගත් වෙයි.

ජයග්‍රාහී වර්ණ වන්නේ කොළ, ළා කහ, ළා නිල් පාට සහ සුදු පාට වර්ණයි. හැකි සෑම අවස්ථාවකදීම මෙම වර්ණ භාවිතයට ගැනීමෙන් මානසික සුවයත් සතුට සහ ජයග්‍රහණයන් ළඟා කරගත හැකියි. ඕනෑම මාසයක 7, 16, 25 දින වාසනාවන්ත වන අතර, ඉරිදා, සඳුදා, බදාදා සුබ දවස් වේ. මේ දින සහ දවස් එකවිට යෙදේ නම් ඉතා යහපත් සුබපල ලබාගත හැකියි. එමෙන්ම 7, 16, 25, 34, 43, 52, 61, 70, 79 යන වර්ෂ ඉතා සුවිශේෂී වර්ෂ ලෙස සඳහන් කළ හැකිය. යහපත් සැලසුම් ක්‍රියාවට නැංවීමට එම වර්ෂ යොදා ගැනීම හොඳයි. ඕනෑම වර්ෂයක ජනවාරි, පෙබරවාරි, ජූලි, අගෝස්තු මාස අයහපත් වන අතර එම කාලවලදී සුභ කටයුතු යොදා ගැනීම හැකි තරම් අවම කරන්න. වාහනයක් මිලදී ගන්නේ නම් වාහනයේ අංකය තනි අංකයක් ලෙස එකතු කළ පසු 7, 6, 2 ලැබේ නම් ඉතා වාසනාවන්ත වේ. ලොතරැයි මිලදී ගන්නේ නම් 3, 6, 7, 9 අංක වැඩිපුර තිබෙන ලොතරැයි මිලදී ගැනීමෙන් වැඩි ජයග්‍රහණ සම්භාවිතාවක් උදාකරගත හැකිය.

ඕනෑම මාසයක 8, 17, 26 දිනවල උපන් අයගේ පලාපල ලබන කලාපයෙන්...

 

-------------------------

බිලිඳු නමට අකුරු

අගෝස්තු 07 සිට13 දක්වා

අගෝස්තු 07 ඉරිදා

අගෝස්තු 07 ඉරිදා 16.30 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ

අගෝස්තු 08 සඳුදා

අගෝස්තු 07 ඉරිදා 16.30 සිට අගෝස්තු 08 සඳුදා 14.37 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය, යි, යු

අගෝස්තු 09 අඟහරුවාදා

අගෝස්තු 08 සඳුදා 14.37 සිට අගෝස්තු 09 අඟහරුවාදා 12.17 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි

අගෝස්තු 10 බදාදා

අගෝස්තු 09 අඟහරුවාදා 12.17 සිට අගෝස්තු 10 බදාදා 09.39 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු

අගෝස්තු 11 බ්‍රහස්පතින්දා

අගෝස්තු 10 බදාදා 09.39 සිට අගෝස්තු 11 බ්‍රහස්පතින්දා 06.52 තෙක් උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

අගෝස්තු 12 සිකුරාදා

අගෝස්තු 11 බ්‍රහස්පතින්දා 06.52 සිට අගෝස්තු 12 සිකුරාදා 04.07 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

අගෝස්තු 13 සෙනසුරාදා

අගෝස්තු 12 සිකුරාදා 04.07 සිට අගෝස්තු 13 සෙනසුරාදා 01.35 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ. එදින ම 01.35 සිට 23.28 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු. ඉන්පසු ඉරිදා 21.55 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි.

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.

********************

රාහු කාලය

2022.08.08 දින සිට 2022.08.14 දක්වා

 

08 සඳුදා පෙ.ව. 07.37 - 09.11 දක්වා රාත්‍රී 19.55 - 21.22 දක්වා

09 අඟහරුවාදා දවල් 15.21 - 16.54 දක්වා රාත්‍රි 03.10 - 04.38 දක්වා

10 බදාදා පෙ.ව. 12.16 - 13.49 දක්වා රාත්‍රි 00.16 - 01.43 දක්වා

11 බ්‍රහස්පතින්දා දවල් 13.48 - 15.22 දක්වා රාත්‍රි 01.43 - 03.11 දක්වා

12 සිකුරාදා පෙ.ව 10.43 -12.16 දක්වා රාත්‍රි 22.48 - 00.16 දක්වා

13 සෙනසුරාදා පෙ.ව. 09.10 - 10.43 දක්වා රාත්‍රි 21.20 - 22.48 දක්වා

14 ඉරිදා සවස 16.53 - 18.26 දක්වා අලුයම 4.37 - 06.05 දක්වා 

 

 

Comments