කසාදය ‘තිත්ත’ කසායක් නොවන්නට නම්, අඹුසැමි සමගිය වනසන ග්‍රහ පිහිටීම් | Page 2 | සිළුමිණ

කසාදය ‘තිත්ත’ කසායක් නොවන්නට නම්, අඹුසැමි සමගිය වනසන ග්‍රහ පිහිටීම්

 

වත්මන් සමාජයේ බොහෝ විවාහ ජීවිතය තුළ අසමගිය පවතින බව දැකිය හැකිය. සාර්ථක විවාහ ජීවිතයක් සඳහා පොරොන්දම් ගැළපීමකට වඩා අත්‍යවශ්‍ය වන්නේ විවාහ වන දෙදෙනාගේ කේන්ද්‍ර තුළ නිදන්ගත විවාහ දෝෂ නොමැති වීමය. විවාහ වන කේන්ද්‍ර හිමියන් දෙදෙනකුගේ කේන්ද්‍ර සටහන්වල පොරොන්දම් ගැළපීම ප්‍රමාණවත් මට්ටමක නොමැති නම්, එම දෙදෙනා අතර ගැටුම් ඇති වීමේ අවදානමක් පවතී. එහෙත් එම දෙදෙනාගෙන් එක් අයෙකුටවත් නිදන්ගත විවාහ දෝෂ නොමැති නම් මත ගැටුම් ඇති වුවත් බාධා මධ්‍යයේ හෝ එම විවාහය අඛණ්ඩව පවතිනු ඇත. එමෙන්ම යම් දෙදෙනකුගේ පොරොන්දම් ප්‍රමාණවත් ලෙස ගැළපී ඔවුන් දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල නිදන්ගත විවාහ දෝෂ ද නැත්නම් එම දෙදෙනාගේ විවාහය සතුටින්, සමගියෙන් ගත වීමට මෙන්ම අඛණ්ඩව ගත වීමට ද ඉතා ඉහළ ඉඩක් ඇත. විවාහක යුවළකගෙන් එක් අයකුගේ කේන්ද්‍ර සටහනේ හෝ නිදන්ගත විවාහ දෝෂ තිබුණද එම දෙදෙනාගේ පොරොන්දම් ගැළපීම ඉතා ඉහළ මට්ටමක ඇත්නම් මත ගැටුම් ඇති වීමේ ඉඩකඩ අඩු වුවද ජීවිත හානියක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා එම දෙදෙනාගේ විවාහය නැවතීමට ඇති ඉඩකඩ වැඩි වනු ඇත.

විවාහයකදී මත ගැටුම් ඇති වීමට පොරොන්දම් ගැළපීම අඩු මට්ටමක තිබීම ද බලපායි. උදාහරණ ලෙස විවාහ වන දෙදෙනාගෙන් ස්ත්‍රිය “රාක්ෂ“ ගණයේ යැයි ද පුරුෂයා “දේව“ ගණයේ ද යැයි සිතමු. එකී අසම්මත තත්ත්වය නිසා එවැනි යුවළක් අතර මත ගැටුම් ඇති වීමට ඉතා ඉහළ ඉඩක් ඇත.

එමෙන්ම ඇතැම් නිදන්ගත විවාහ දෝෂ නිසා ද මත ගැටුම් වර්ධනය විය හැකි බව නිරීක්ෂණය වී ඇත. උදාහරණ ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක කුමන හෝ භාවයක කුජ, සිකුරු යන ග්‍රහයන් සංයෝග වී ඇත්නම් එවැනි කේන්ද්‍ර හිමියන්ට විවාහ දිවිය තුළ නොකළ වැරදිවලට අභූත චෝදනා එල්ල වීමට ඉඩ ඇත. එනම් සහකරු හෝ සහකාරිය විසින් අනවශ්‍ය ලෙස සැක කිරීමට ඉතා ඉහළ ඉඩක් ඇති වෙයි. ඇතැම් මත ගැටුම් ඇති වූ පසු අදෘශ්‍යමාන බලවේගයක් හේතුවෙන් සහකරු හෝ සහකාරිය ඉතා දැඩි ලෙස ආවේගශීලී වී කිසිවකුට පාලනය කළ නොහැකි තරම් දැඩි පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකිය. එවැනි අවස්ථාවලදී “ඉතිපිසෝ“ ගාථාව දිගින් දිගටම සිතින් මුමුණා පැවසීම තුළින් අදෘශ්‍යමාන බලවේගයෙහි බලපෑම අවම කළ හැකි අතර, එම බලපෑම අවම වීමත් සමඟ සහකරුගේ හෝ සහකාරියගේ ආවේගශීලී බව දුරු වී පවුලේ සමගිය ක්‍රමයෙන් වර්ධනය වනු ඇත.

පවුලේ සමගිය වර්ධනය කරන ලෙස කිහිප ස්ථානයකට බාර වීම තුළින් ද මත ගැටුම් ඇති වීමේ අවදානම අඩු වනු ඇත. මෙහිදී එක් බාරයක් විශ්වාසවන්ත සහ පහසු තැනකට වසරින් වසර අලුත් කිරීම සුදුසුය. තවද නිතර දෙපාර්ශ්වයේම මවුපියන්ගේ දෑස්වල සතුටු කඳුළු උනන දේවල් සිදු කිරීමෙන් ද පවුලේ සමගිය වර්ධනය වනු ඇත.

අඹුසැමියන් අතර බොහෝ මත ගැටුම් නිර්මාණය වන්නේ කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් සහකරු හෝ සහකාරිය දක්වන අදහස නිරපේක්ෂ අසත්‍යයක් බවද, එම කාරණාව පිළිබඳ තමා දරන අදහස පරම සත්‍යයක් බව ද සිතෙන නිසාය. එහෙත් සැබෑ තත්ත්වය නම්, අදාළ කාරණාව පිළිබඳ තමා දරන අදහස මෙන්ම, සහකරු හෝ සහකාරිය දක්වන අදහස ද සාපේක්ෂ සත්‍යයක් නොහොත් සාපේක්ෂ අසත්‍යයක් බවය. අප යම් කිසි දෙයක් පිළිබඳ දරන අදහස මෙන්ම අපගේ සහකරු හෝ සහකාරිය යම් කිසි දෙයක් පිළිබඳ දරන අදහස ද කලින් කලට වෙනස් වන්නේ මේ නිසාය. මෙම අවබෝධය ඇති වූ විටද විවාහ දිවියේ මත ගැටුම් ඇතිවීමේ අවදානම අවම වී යනු ඇත.

 ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී පාරින්ද්‍ර සුගතදාස

Comments