කඳු­කර කොටි­යාගේ වැර­දුණු දඩ­යම | සිළුමිණ

කඳු­කර කොටි­යාගේ වැර­දුණු දඩ­යම

නිවෙස තුළට වැටුණු කඳුකර කොටියා
නිවෙස තුළට වැටුණු කඳුකර කොටියා

 


නිවැ­සියා  රූප­වා­හි­නිය නර­ඹ­මින් ඉඳලා. සද්දය බලන්න කාම­ර­යට යද්දි කොටියා එක පාරම ඇඟට පැනලා

ඳුකර කොටි ගැන බොහෝ කතා පසුගිය කාලයේ අසන්නට, දකින්නට ලැබිණි. අන්තර්ජාතික කොටි දිනය ද යෙදී තිබුණේ අගෝස්තු මාසයේ පළමු වැනිදාටය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය සහ මහනුවර දිසාවේ ගම්පොල, නාවලපිටිය ඇතුළු ප්‍රදේශවල කඳුකර කොටි ගහණයේ වර්ධනයක් ඇති බවට පසුගිය කාලය පෙනෙන්නට තිබුණේ එම ප්‍රදේශවල කඳුකර කොටිනගේ ක්‍රියා කලාපය නිසාමය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝටන්තැන්න සහ ඒ අවට වතු ආශ්‍රිතවත් නල්ලතන්නිය, මස්කෙළිය, ගම්පොල, පුස්සැල්ලාව, නාවලපිටිය ඇතුළු තේවතු ආශ්‍රිත ප්‍රදේශවල කඳුකර කොටි සැරිසරන්නේ උන්ගේ ජීවිත්වීම සඳහා සුදුසු පරිසරයක් සහ දේශගුණයක් එම ප්‍රදේශවල ඇති බැවිනි.

මේ ප්‍රදේශවල දිවි ගෙවන කඳුකර කොටින්ට පසුගිය කාලයේ නරක දසාවක් උදාවී තිබිණි. ඒ අදාළ ප්‍රදේශවල ජීවත්වූ කඳුකර කොටින් දස දෙනකුට පමණ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවීමයි.

නල්ලතන්නියේදී කඳුකර කළු කොටියකුට ජීවිතයෙන් සමුගන්නට වූ සිද්ධිය ද මේ අතර සුවිශේෂීය. වතුකරයේ කොටින් ගැවසෙන ප්‍රදේශවල උගුල් අටවන ඇතැමුන් කඳුකර කොටින් මරා උන්ගේ මස්, හම, දත් සහ නියපොතු මුදලට විකිණීමේ ජාවාරමෙන්ද පසුගිය කාලයේ මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා විය. මේ ජාවාරම සිදුකර තිබුණේ අන්තර්ජාලයේ වට්ස්ඇප් ඔස්සේය.

පසුගිය කාලයේ මෙලෙස අදාළ ප්‍රදේශවලදී කඳුකර කොටින් දසදෙනකු පමණ ඝාතනය වූ බව ද වාර්තා විය.

කැලෑ වැදුණු තේවතුවල වැඩිපුර ජීවත්වන කඳුකර කොටින් රාත්‍රී කාලයේ තේවතු ආශ්‍රිත ලයින් කාමර අසලට පැමිණෙන්නේ ගොදුරු සොයා ගැනීමේ අරමුණෙනි.

කඳුකර කොටියාගේ ප්‍රධාන දඩයම සුනඛයන්ය. කඳුකර කොටින් සුලබව ගැවසෙන ප්‍රදේශවල ලයින් කාමර ආශ්‍රිතව වෙසෙන සුනඛයන් අතුරුදන් වීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. රාත්‍රී කාලයේ හිමින් සීරුවේ වතු නිවාස අසලට පැමිණෙන කඳුකර කොටින් වතු නිවාස අසල එළියේ නිදා සිටින සුනඛයන් ඩැහැගෙන යන ආකාරය ඇතැම් අවස්ථාවල ආරක්ෂක කැමරාවල ද සටහන් වී තිබිණි. කඳුකර කොටියාගෙන් මිනිසාට හිංසා පිඩාවන් විශේෂයෙන් නැතත් කඳුකර කොටින් පහරදීම් නිසා මිනිසුන් තුවාල ලැබූ අවස්ථා කීපයක් ගැන ද තොරතුරු පසුගිය කාලයේ අසන්නට ලැබිණි.

මෙලෙස සුනඛ දඩයමක් සොයාගෙන ලිඳුල ප්‍රදේශයට පැමිණි කඳුකර කොටියකුට අමතක නොවන සිදුවීමකට මුහුණ දීමට සිදුවූ පුවතක් පසුගියදා වාර්තා වූයේ ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායෙනි. ඒ පසුගිය 04 වැනිදාය. ලෝගී වතුයායේ ගැවසෙන බවට සැකකරන කඳුකර කොටියකු සුනඛයකු දඩයම් කිරීම සඳහා වතුයායේ නිවාස පිහිටි ප්‍රදේශයක් අසලට පැමිණ ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රී 10ට පමණය.

සුනඛයා පිටුපසින් හඹාගෙන ආ කඳුකර කොටියාට සිදුවන්නේ නොසිතූ සිද්ධියට මුහුණ පෑමටය. සුනඛයා පසුපස හඹා ආ කඳුකර කොටියාගේ ඉලක්කය වැරදීම නිසා පනින්නේ වතුනිවාසයක වහලය මතටය. වතු නිවාසයේ වහල මතට පැන්න කඳුකර කොටියා ඒ මොහොතේම එහි ඇස්බැස්ටෝස් ෂීට් කඩාගෙන නිවස ඇතුළට වැටෙන්නේ විනාඩි කිහිපයක් ඇතුළතදීය. කඳුකර කොටියා නිවස ඇතුළට වහලය කඩාගෙන වැටීමත් සමඟ භීතියට පත්වූ නිවැසියන් නිවසින් පලායන්නේ ඒ මොහොතේමය. ඒ ඔවුන් කොටියාගේ ප්‍රහාරයට ලක්විය හැකි බැවිනි. නිවෙසින් පලා යන අවස්ථාවේ දොරවල් වසාගෙන යාමටද නිවැසියෝ අමතක නොකළහ.

මේ සිද්ධිය ලෝගී වතුයාය පුරා පැතිර යන්නේ මිනිත්තු කීපයක් ඇතුළතදීය. වතුයායේ පදිංචිකරුවන් ද අදාළ නිවස වෙත එන්නේ කොටියා නිවස ඇතුළේ සිරව සිටින අයුරු දැකගැනීම සඳහාය. මේ ගැන ලිඳල පොලීසියට මෙන්ම රන්දෙණිගල වනජීවී පශු වෛද්‍යවරයාට ද දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය. ඒ ප්‍රදේශවාසීන් විසිනි. රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රන්දෙණිගල සිට ලිඳුලට පැමිණෙන්නේ මේ සිද්ධිය වී පැය 16කට පසුවය.

වනජීවී පශු වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් දරා කඳුකර කොටියා නිර්වින්දනය කරන්නේ ඉන් අනතුරුවය. එලෙස නිර්වින්දනය කරන ලද කොටියා යකඩ කූඩුවක දමා වනජීවී නිලධාරීන් විසින් රැගෙන යන ලද්දේ සතා සුදුසු පරිසරයකට මුදා හැරීම සඳහාය. නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ද මේ පුවත තහවුරු කරන ලදී. කඳුකර කොටියා වහලය කඩාගෙන වැටුණු නිවස අයිතිකරු වන හතළිස් හැවිරිදි සුරේෂ් කියන්නේ මෙවැනි කතාවකි.

“04 වැනිදා රෑ 10.40ට විතර මම ටීවී බලමින් හිටියා. එකවරම විදුලිය විසන්ධි වුණා. ඒ වෙලාවේ වර්ෂාව තිබුණා. එකපාරටම

නිර්වින්දනයකල කොටියා සුදුසු ස්ථානයකට මුදාහැරීම සඳහා වනජීවී නිලධාරීන් රැගෙන යන අයුරු

ලොකු ශබ්දයක් ඇහුණා. කාමරය ඇතුළට ගිහිල්ලා බලද්දි කොටියෙක් මගේ ඇඟට පැන්නා. කොටියකු ඇඟට පැන්නා කියලා මම කෑගැහුවා. ඒ මොහොතේම මම බිරිය සහ දරුවා එක්ක ගෙදරින් පැනලා දිව්වා. පසුව වනජීවී නිලධාරීන් පැමිණ කොටියා රැගෙන ගියා.”

ලෝගී වතුයායේ සැරිසරන මේ කඳුකර කොටියා වතුකම්කරුවන් ඇති කරන සුනඛයකු ගොදුරු කර ගැනීම සඳහා වතු නිවාසයන් අසළට පැමිණි අවස්ථාවේ දී මේ සිද්ධිය වූ බව ද සුරේෂ් සඳහන් කළේය.

  රංජිත් රාජ­පක්ෂ, හැටන්

 

 

Comments