ඉසිපතන ක්‍රීඩකයන්ට මහනුවර දී දැඩි ප්‍රහාරයක් | සිළුමිණ

ඉසිපතන ක්‍රීඩකයන්ට මහනුවර දී දැඩි ප්‍රහාරයක්

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර අන්තර් පාසල්, වයස අවුරුදු 20න් පහළ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරගාවලියේ තරගයෙන් පසුව ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත. ඒ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී ඉසිපතන ක්‍රීඩකයන් දැඩි ප්‍රහාරයකට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙනි. ඉසිපතන ක්‍රීඩකයන්ට ප්‍රතිවාදී ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් පහර දුන් බව කියනු ලබන අතර, කණ්ඩායම් 12කින් සමන්විත මෙම තරගාවලියේ සුපිරි වටය සඳහා අපරාජිත වාර්තාවක් සමඟින් සුදුසුකම් ලැබූ ඉසිපතන කණ්ඩායම තරග පහකදී ජයග්‍රහණ පහක් ලබා ගැනීමට ද මෙම ජයග්‍රහණය ඉවහල් වූ අතර විද්‍යාර්ථ තරග පහකදී ජයග්‍රහණ තුනක් වාර්තා කර ගැනීමට සමත්විය. ඒ අනුව පාසල් රග්බි ලීගයේ මූලික වටය අවසානයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය, මරදාන ශාන්ත ජෝෂප් සහ කොළඹ වෙස්ලි යන විදුහල් සමත් විය. ඒ අනුව සුපිරි වටයේ ඉසිපතන සහ ශාන්ත ජෝශප් අතර තරගය අද(7 වැනිදා) හැව්ලොක් පිටියේදී පැවැත්වෙයි.

තම ක්‍රීඩකයන් කිහිප දෙනකුම මේ ප්‍රහාරයෙන් තුවාල ලැබු බවත් එකී තුවාල බරපතළ ඒවා නොවන බවත් ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා බාර ආචාර්ය සුමේධ චානක ප්‍රේමසිරි අප කළ විමසීමේදී පැවැසීය.

“මේ සම්බන්ධයෙන් පාසල් රග්බි සම්මේලනයට පැමිණිලි කරලා තියෙනවා. බලමු, ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල මොනවා වෙයිද කියලා” යැයි පැවසූ හෙතෙම සති අන්තයේ පැවැත්වෙන සුපිරි වටයට සූදානම් වීම සඳහා තමන් පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් බදාදා පැවැති විමර්ශනයේදී ඔවුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද කීවේය. පාසල් රග්බි සම්මේලනයේ නිලධාරියකු පැවසුවේ, එම ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සත්කාරක කණ්ඩායම වගකිව යුතු බවත් ඇතැම් විද්‍යාර්ථ ක්‍රීඩකයන් සහ නිලධාරීන් දීර්ඝ කාලයකට තරග තහනමකට ලක්වීමේ අවදානමකට ලක්ව ඇති බවත්ය.

“ගැටුමෙන් පස්සේ අපට ඉසිපතන විදුහලේ ක්‍රීඩා බාර ආචාර්යවරයාගෙනුත් වාර්තාවක් ලැබුණා. ඒ වගේම තරග කොමසාරිස්වරුන්ටත් කතා කළා. එයාලා පොදුවේ දකින දේ තමයි මේ ගැටුම ආරම්භ වෙන්නේ විද්‍යාර්ථ විදුහල පැත්තෙන් කියන එක. ඒ කණ්ඩායමේ නායකයාගේ අනුබලය මත තමයි ඉසිපතන විදුහලේ ක්‍රීඩකයන්ට පහරදීම ආරම්භ වෙලා තියෙන්නේ. දඬුවම මොකක්ද කියලා විනය කමිටුව තමයි තීරණය කරන්නේ. ක්‍රීඩකයන් කිහිපදෙනකු තහනම් කරනවද නැතිනම් මුළු පාසලටම බලපාන විදිහේ තහනමක් පනවනවාද කියලා විනය කමිටුව තීරණය කරයි. මේ සිද්ධියේදී වගකීම සම්පූර්ණයෙන්ම විද්‍යාර්ථ විදුහලට බාර ගන්න වෙනවා. තරගාවලිය ආරම්භ කිරීමට පෙර තරගවලට සත්කාරකත්වය සැපයීම සම්බන්ධව සියලු පාසල්වලට ලිඛිත දැනුම්දීමක් කළා, තම ක්‍රීඩාංගණයට පැමිණෙන ආගන්තුක කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ හා විනිසුරුවරුන්ගේ වගකීම අනිවාර්යයෙන්ම සත්කාරක කණ්ඩායම බාරගත යුතු බවට. මේ සිද්ධිය නිසා මුළු පාසල් රග්බි තරගාවලියටම කළු පැල්ලමක් එකතු වෙනවා. ඉසිපතන විද්‍යාලය ජය ගෙන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් අතට අත දෙන වෙලාවේ විද්‍යාර්ථ විදුහලේ නායකයා ‘ගහපල්ලා’ කියන වචනය භාවිත කරලා මේ වගේ දෙයක් වුණාය කියන එක තමයි දැනට වාර්තා වෙන්නේ.”

අප මේ පිළිබඳ විද්‍යාර්ථ විද්‍යාලයෙන් විමසීමට උත්සාහ දැරු වද ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

මෙවර අන්තර් පාසල් රග්බි ලීග් වාරය නිමා වුයේ (29) ඉසිපතන විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර නිත්තවෙල පැවති තරගයෙනි. එම තරගයේදී ලකුණු 25-23ක් ලෙස මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම පරාජය කිරීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

ඒ අනුව මෙවර රග්බි ලීග් තරගාවලියේ අඛණ්ඩව ජයග්‍රහණ 5ක් ඉසිපතන විද්‍යාලය විසින් සටහන් කර ගැනීමට සමත් වු අතර, විද්‍යාර්ථය මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්විය. කෙසේ වෙතත් ඉසිපතන විද්‍යාලය ඔවුන්ගේ ප්‍රතිවාදීන් හොඳින් අධ්‍යනය කර මේ තරගයට එක්ව තිබිණ.

ඉසිපතන කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ පළපුරුදු ඉදිරිපෙළ ක්‍රීඩක දැහැන් නිතින වික්‍රමාරච්චි විසින් වන අතර, පුහුණුකරු ලෙස සාලිය කුමාර කටයුතු කරන අතර, ධනුෂ්ක බොතේජු සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ලාංකේය ක්‍රීඩාව සහ දාමරිකත්වය අතර ළඟ සබඳතාවක් නොමැති වුවද, ඉකුත් මාර්තු මාසයේ ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති කැනන් ආර්. එස්. ද සේරම් කුසලාන තරගයේදී ද දාමරිකත්වයට නව මුහුණුවරක් ගෙන දුන්නේය. ඒ සිදුවීම මෙසේය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වසර 4කට පසුව කැනන් ආර්. එස්. ද සේරම් පළිහ ජයග්‍රහණය කරමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන කීර්තිමත් සම්ප්‍රදායික රග්බි හටන හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවැති තරගය අවසන් මිනිත්තුවේදී නොසන්සුන්කාරී හැසිරීම සහ විනිසුරුවරයාගෙන් නැවත නැවතත් ප්‍රශ්න කිරීම නිසා ත්‍රිත්ව තිදස් ට ද කහ කාඩ්පතක් ලබා දුන් අතර මේ අනුව තරගය නිමා වුනේ සාන්ත තෝමසුවන්ට ලකුණු 17-14ක ජයක් හිමි කර දෙමිනි. තරගය අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර යම් නොසන්සුන්තාවක් පැවැති අතර, එහිදී ත්‍රිත්ව කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ආධාරක පිරිස් විනිසුරුවන්ට පහරදීමට ද උත්සාහ ගෙන තිබීම කනගාටුවට කරුණකි. මේ නිසා තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉසුරු පෙරේරා (ප්‍රධාන විනිසුරු), ගිහාන් යටවර (පළමු සහායක විනිසුරු) සහ ප්‍රදීප් ඉන්දික (දෙවැනි සහායක විනිසුරු) නිලධාරීන් පිරිසකගේ රැකවල් මධ්‍යයේ ක්‍රීඩාංගණයෙන් ඉවතට ගියහ.

ඔවුන් ක්‍රීඩාංගණයෙන් ඉවතට යන අවස්ථාවේදී ක්‍රීඩකයකුගේ ඥාති කාන්තාවක් රැකවල් අතරින් රිංගා පැමිණ, ප්‍රධාන විනිසුරුවරයාගේ කනට පහරක් ගසන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යමින් තිබුණි. කැනන් ආර්. එස්. ද සේරම් කුසලානය අහිමි වීම නිසා හදවත් බිඳී ගිය ත්‍රිත්ව ක්‍රීඩකයන්, ප්‍රතිවාදීන් වූ සාන්ත තෝමසුවන් ගෞරවාන්විත ලෙසින් පිටව යෑමට වග බලා ගනිද්දී, ඊටත් වඩා ආදර්ශමත් විය යුතු වැඩිහිටියන් මේ ආකාරයෙන් හැසීරිම නින්දා සහගතය.

Comments