අහස උසට නඟින ක්‍රෙඩිට් කාඩ් ණය | Page 3 | සිළුමිණ

අහස උසට නඟින ක්‍රෙඩිට් කාඩ් ණය

 ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ, මෙරට භාවිත ණය කාඩ් පත් හෙවත්, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ද ඉහළ නංවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟ බැංකු විසින් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

එම තීරණයෙන් පසු, එතෙක් 18%ක්ව පැවති ණය කාඩ්පත් පොලිය, අද වන විට 30% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පැවැසේ. එක් වාණිජ බැංකුවක් පමණක් ණය කාඩ්පත් පොලිය ජූලි මස සිට තවත් 6% කින් වැඩි කරමින් 36% සීමාවට රැගෙන විත් ඇති බවද වාර්තා වේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්,14.50% සහ 15.50% දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යාම සහ ඉදිරි කාලසීමාව තුළ උද්ධමනය ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කර ඇති එම මණ්ඩලය, අහිතකර උද්ධමන අපේක්ෂාවන් ගොඩනැගීම පාලනය කිරීම සඳහා තවදුරටත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට අවශ්‍ය වනු ඇතැයි යන පදනම මත පිහිටා මෙම පොලී අනුපාත ඉහළ දැමීමට අදහස් කර ඇත.

මේ සම්බන්ධයෙන්, ගෙවීම් කාඩ්පත් පිළිබඳ මෙරට ක්‍රියාකාරී, Payment Card Industry Association of Sri Lanka හෙවත්, PCIASL හි සභාපතිවරයා වන නිලූක ගුණතිලකගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ, මේ පිළිබඳ අදහස් දැක්වීමට තමන්ට බලයක් නැති බවයි.

ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධයෙන් මෙරට වඩාත් ක්‍රියාකාරී බැංකු කිහිපයකින් ම අදහස් විමසූ මුත් ඔවුන් ද අදහස් දැක්වීම මඟහරින ලද අතර, බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨයකු වන සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, නන්ද ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් සෘජුව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" ණය දීම යනු, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යයක්. ඊට අමතරව, වාණිජ ක්‍රියාදාමයන් සඳහා ණය දෙනවා මෙන්ම, නිවාස ණය, ණය පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් මගින් ණය දීමත් වාණිජ බැංකු සාම්ප්‍රදායිකව පාවිච්චි කරන ප්‍රචලිත ණය දීමේ ක්‍රමවේදයක්. විශේෂයෙන් ණය දෙන විට ඒ සඳහා පොලියක් අයකිරීම බැංකුවක් සාමාන්‍යයෙන් අනුගමනය කරන සම්ප්‍රදායක්. එයට හේතුව, බොහෝ විට බැංකු විසින් ණය පත් මගින් හෝ වෙනත් ක්‍රමවලින් සිය ගනුදෙනුකරුවන් වෙත ණය දෙනු ලබන්නේ, එම බැංකුවේ ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල්වලින් සහ ඒ බැංකු වෙනත් මූල්‍ය ආයතනවලින් හෝ බැංකු වෙතින් ලබා ගන්නා ණය මුදල්වලින් වන නිසයි.

මෙම ලබා ගන්නා ණය හෝ ගනුදෙනුකරුවන් ගෙන් ලබාගන්නා මුදල්වලට, බැංකුව විසින් ඔවුන්ට පොලියක් ගෙවීමට සිදුවන බැවින්, එම බැංකු දෙන ණය තුළින් ම එම පොලියේ වියදම අයකර ගැනීමටත් සිදු වෙනවා.

ඒ වගේම ගනුදෙනුකරුවකු මුදල් තැන්පත් කළත්, එම තැන්පත්වලින් 4%ක ප්‍රතිශතයක් එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිතයක් හෝ අනුපාතයක් ලෙස තැන්පත් කිරීමද අවශ්‍ය වනවා. ඒ අනුව, ගනුදෙනුකරුවෙක් රු.100ක තැන්පතුවක් තැන්පත් කළොත්, ඉන් අනතුරුව බැංකුවට ඉතිරි වන 96%ක මුදල් ප්‍රතිශතය තමයි, ණයක් හෝ ණය පත් වශයෙන් යළි සිය ගනුදෙනුකරුවන්ට දීමට බැංකුවකට හැකි වන්නේ.

ඒ අනුව බැංකුවක් සාමාන්‍යයෙන් පොලී අනුපාතය තීරණය කරන විට එම ණය සඳහා පාවිච්චි කරන මුදල්වල වියදම හෙවත් ඒ සඳහා ගෙවීමට සිදුවන පොලී අනුපාතයත්, එම ණය පාවිච්චි කරන ගනුදෙනුකරු ගේ අවදානමත් සැලකිල්ලට ගනු ලබනවා. විශේෂයෙන් අවදානම වැඩි කරුණක් සඳහා ගනුදෙනුකරුවකුට මුදල් දීමේ දී වැඩි පොලී අනුපාතයක් අයකරන අතර, අඩු අවදානමක් ඇති පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ ණය දෙන විට අයකරන පොලී අනුපාතය අඩුයි.

ඒ අනුව, අවදානම මත පදනම් වූ පොලී අනුපාතයක් සාමාන්‍යයෙන් බැංකුව සාම්ප්‍රදායික වශයෙන් පාවිච්චි කරනු ලබනවා. විශේෂයෙන් ණයපත් හරහා ණය මුදල් ගනුදෙනු කරුවන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දීමේ දී, සාමාන්‍යයෙන් වෙනත් කිසිම සුරැකුමක් බැංකුව ලබා ගන්නේ නැහැ. එවැනි සුරැකුම් රහිතව ලබා දෙන ණය මුදල්, අධි අවදානම් ණය ගණයට වැටෙනවා.

ඒ වගේම, වර්තමානයේ බැංකු ණය දීම සඳහා පාවිච්චි කරන මුදල් කලින් සඳහන් කළ ආකාරයට, ගනුදෙනුකරුවන්ගේ මුදල් හෝ බැංකු වෙනත් මූල්‍ය ආයතනවලින් ණයට ලබාගන්නා මුදල් නිසා, ඒවායේ වියදම වසරකට පෙර තිබුණාට වඩා දැන් විශාල ලෙස වැඩි වී තිබෙනවා.

තැන්පතුවලට ගෙවන පොලී අනුපාත වැඩි වන විට ණය සඳහා අය කරගන්නා පොලී අනුපාත ඉහළ යෑම නිරායාසයෙන් ම සිදු වන දෙයක්. විශේෂයෙන් මේ දිනවල සමාජයේ පරිහරණය වන මුදල් ප්‍රමාණය යම්තාක් දුරකට අඩු කර ගැනීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ එක් පරමාර්ථයක් වී තිබෙනවා. එබැවින් යම් නිෂ්පාදනයකට හෝ ව්‍යාපාරයකට මිස පරිභෝජනය සඳහා පාවිච්චි කරන ණය අධෛර්යවත් කළ යුතුව තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත් මගින් දෙන ණය සඳහා පාවිච්චි කරන මුදල්වල වියදම මේ දිනවල වැඩි වී තිබෙන නිසාත්, එම ණය මුදල් පරිභෝජනය සඳහා ලබා ගන්නවා නම්, එය අධි අවදානම් තත්ත්වයක් නිසාත් කලින් තිබුණාට වඩා ණය කාඩ්පත් සඳහා බැංකු අයකරන පොලී අනුපාතය වැඩි කිරීමට බොහෝ බැංකුවලට සිදු වී තිබෙනවා.

ඒ අනුව, ණය කාඩ්පත්වලින් ණය ලබා ගැනීමේදී ගනුදෙනුකරුවන්ට විශාල පොලී අනුපාත ගෙවීමට සිදුවන අතර, එම කොට්ඨාසයට ණය දීම බැංකු සාමාන්‍යයෙන් ඉහළ අවදානම් සහිත තත්ත්වයක් ලෙස සලකනු ලබනවා. පොලී අනුපාතය ඉහළ යෑම, ණය කාඩ්පත්වලට පමණක් නෙවෙයි, අනෙක් සෑම අංශයකටම අදාළ තත්ත්වයක්.

බැංකුවල පොලී අනුපාත සාමාන්‍යයෙන් පදනම් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනය කරන පොලී අනුපාත වර්ග දෙකක් වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) යන සංකල්ප මත පිහිටා යි.

වාණිජ බැංකුවක්, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් ලබා ගන්නා විට, මහ බැංකුව අයකරන පොලී අනුපාතයත්, වාණිජ බැංකුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරික්ත මුදල් තැන්පත් කරන විට ඒ බැංකුවට ලැබෙන අනුපාතයත්, මහ බැංකුව විසින් නිවේදනය කරනු ලබනවා. එසේ නිවේදනය කළ විට එම පොලී අනුපාත දෙක අනුව තමයි, අනෙක් බැංකු තම තමන් ගේ බැංකුවල පොලී අනුපාත සකස් කර ගන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය ද, වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය කිරීම සඳහා පාවිච්චි කරනු ලබනවා. එසේම, බැංකුවලට තම තමන්ගේ පොලී අනුපාත යම් ප්‍රමාණයකට වැඩි කරගැනීමට යම් නිදහසක් තිබෙන අතර එයට අදාළ නීතිය වන්නේ, එම වැඩි කළ පොලී අනුපාතය බැංකුව සිය නිල නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කළ යුතු වීමයි.

මාස කිහිපයකට උඩදී, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගැනීමේදී විශ්වාස කළේ, සංසරණය වෙමින් තිබෙන මුදල් ප්‍රමාණය වැඩියි කියන කාරණාවයි. මුදල් නෝට්ටු මුද්‍රණය කර සංසරණයට මුදාහැර තිබෙන විට සංසරණය වෙමින් තිබෙන මුදල් සැපයුම වැඩිවනවා. එවිට, පවත්නා භාණ්ඩවල සැපයුමේ වෙනසක් සිදු නොවේ නම්, භාණ්ඩවල ප්‍රමාණය සංසන්දනාත්මකව වැඩි වූ මුදල් වලට වඩා අඩු බැවින්, ආර්ථික විද්‍යාවේ එය හඳුන්වන්නේ, 'විශාල මුදල් සංඛ්‍යාවක්, අඩු භාණ්ඩ සංඛ්‍යාවක් ලුහුබැඳ යාම...' ලෙසිනුයි. එවිට නිෂ්පාදිතය සීමිත බැවින් භාණ්ඩ මිල ඉහළ යනවා. උද්ධමනය ලෙස හඳුන්වන්නේ මේ තත්ත්වය යි.

ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය පාලනය කිරීමේ ක්‍රමයක් හැටියට තමයි, සංසරණය වෙමින් ඇති මුදල්, බැංකු පද්ධතිය වෙත ඇද ගැනීම සඳහා මෙවැනි උපක්‍රම භාවිත කරන්නේ. එම මුදල් සංකෝචනාත්මක කිරීම, වේගවත් කිරීම සඳහා තමයි, ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉහළ නංවන්නේ.

ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ඉහළ නැංවීම නරකක් ලෙස ජනතාවට දැනුණත්, රටේ මූල්‍ය පාලනය සදහා මුදල් සැපයුම පාලනය කරන ප්‍රධාන ක්‍රමවේදයක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව මෙය භාවිත කරන්නේ. මෙවැනි ඉහළ පොලී අනුපාතයක් පවතින විට, ජනතාව ක්‍රෙඩිට් කාඩ් හරහා ණය ගැනීම සුදුසු වන්නේ නැහැ. මොකද ගත්තා වගේ නෙවෙයි, ඔවුන්ට ණය ගෙවා ගන්නට අමාරු වන නිසා. රටේ පවතින තත්ත්වය අනුව කොහොමටත් මූල්‍ය පාලනය කියන්නේ, මේ වෙලාවේ ඉතාම වැදගත් කාරණයක්..."

එසේ ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතිකය මත පනවා තිබූ උපරිම සීමා ඉවත් කළේ ඇයි...? සහ එවැනි තීරණයක් ගැනීමට හේතු වූ කරුණු මොනවා ද...? යන්න පිළිබඳ විමසූ අවස්ථාවේ මහ බැංකුව පාර්ශ්වයෙන් සිළුමිණ වෙත කළ පැහැදිලි කිරීම මෙසේ විය.

2022 අප්‍රේල් මාසයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම ඇතුළුව, ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමයෙන් ඉහළ යෑමත් සමඟ ණය කාඩ්පත් ඇතුළු තෝරා ගත් ණය දීමේ උපකරණ මත පනවා ඇති උපරිම සීමා ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය විය. වසරකට 20%ක අගයකට පවා ළඟා වෙමින්,තැන්පතු පොලී අනුපාතික ද ඉහළ යමින් පැවති හෙයින් ණය පොලී අනුපාතික මත උපරිම සීමා පවත්වාගෙන යෑම මගින් විෂමතා ඇති විය හැකි බවට සහ මුදල් ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය වීමට බලපෑම් ඇති කළ හැකි බවත් නිරීක්ෂණය විය.

ඒ අනුව, ණය කාඩ්පත් පොලී අනුපාතික මත පනවා තිබූ උපරිම සීමාව අහෝසි කරමින්, 2022 අප්‍රේල් 21 දිනැති බලපත්‍රලාභී බැංකුවල ණය දීමේ සහ තැන්පතු උපකරණ සඳහා වන පොලී අනුපාතික පිළිබඳ 2022 අංක 03 දරන මුදල් නීති පණත් විධානය නිකුත් කෙරිණි.

ආර්ථිකයේ සමස්ත ඉල්ලුම (සහ විය පැහැදම් කිරීම) අඩු කිරීම, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ අරමුණ වූ බැවින් සහ ණය කාඩ්පත් හරහා ණය දීම, ඇපකරයකින් තොරව ණය ලබා දීමක් වන හෙයින් ණය කාඩ්පත් පොලී අනුපාතික ඇතුළුව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික ඉහළ යෑමට සැලැස්වීම, ණය ලබා දීම සීමා කිරීමේ එක් මාර්ගයක් විය.

ඉහත තීරණයෙන් සහ ඉන් අනතුරුව ණය කාඩ්පත් පොලී අනුපාතික ඉහළ නංවමින් සිදුකළ සංශෝධනයෙන් ක්‍රෙඩිට් කාඩ් පරිශීලකයන් වෙත එල්ල වන බලපෑම පිළිබඳ පැවසුවහොත්, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමත් සමග ආර්ථිකයේ සමස්ත පොලී අනුපාතික ව්‍යුහය ණය පොලී අනුපාතික සහ තැන්පතු පොලී අනුපාතික යන දෙකම ඉහළ යමින් පවතින බවත්, ඒ අනුව ණය කාඩ් පත්වල පොලී අනුපාතික ඉහළ නැංවීමට අවශ්‍ය වන බවත් සැලකිය යුතුයි.

කෙසේ වෙතත්, ණය කාඩ්පත් පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන්, එය පරිභෝජනය ආශ්‍රිත ණය ලබා ගැනීම සඳහා මහජනතාව අධෛර්යමත් කරනු ඇති අතර, ඉහළ පොලී අනුපාතික මගින් හදිසි මිලදී ගැනීම් (දේශීය සහ විදේශීය යන දෙකම) සඳහා ද බාධා ඇති කරනු ඇත.

ණය කාඩ්පත් ඉහළ යෑම මගින් ජනතාවට අභියෝග එල්ල විය හැකි බවට, ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්වත්ව සිටින අතර, ණය අඛණ්ඩව ප්‍රසාරණය වීම සහ ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම,( තීරසාරාත්මක උද්ධමනයකට පරිවර්තනය කළ හැකි) ඉහළ යෑම මගින් වන ප්‍රතිවිපාක සාපේක්ෂව අඩු පිරිවැයකට අරමුදල් වෙත පිවිසීමෙන් මහජනයාට ලබා ගත හැකි නුදුරු කාලීන ප්‍රතිලාභවලට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකි බව, මහ බැංකුවේ අදහසයි.

කෙසේ වෙතත් පොලී අනුපාතික පිළිගත නොහැකි අන්දමින් ඉහළ අගයක පවතින බවට පෙනී යන්නේ නම්, අවස්ථානුකූලව ඒ සඳහා මැදිහත් වීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම්ව සිටින බව ද කිව යුතුයි..."

 

Comments