අපි අපිව මුලින්ම දකින්නේ කතා බහ කරන්නේ ගුවනේදී | Page 2 | සිළුමිණ

අපි අපිව මුලින්ම දකින්නේ කතා බහ කරන්නේ ගුවනේදී

මම  මාධ්‍ය ඉගෙන ගත් දේ අනූව නිහතමානීව මගේ රාජකාරිය කරනවා

ඔහු ඇසුරු කරද්දි තේරුණා ඔහුත් එක්ක ජීවත්වීම අමාරු නැහැ කියලා සඳුනි

අපේ පවුල් ජීවිතේ ලස්සනට තියෙන්නේ ඔහු නිසා

මාව විශ්වාස කරන අය බොහෝයි. ඒ අයගේ විශ්වාසය මම රකිනවා ළහිරු

 

 

රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බ්‍රෑන්ඩ් එකක් හදා ගත් පිරිස ඉන්නෙ අතලොස්සක් විතරයි. නිවේදනය වෙනත් මානයකට රැගෙන ගිය අය අතර ඔහුත් සිටිනවා. ඒ ළහිරු මුදලිගේ. යූටියුබ් අතර නාළිකාවක් පවත්වාගෙන යන ඔහුට බොහෝ දෙනෙක් ආදරේ කරන නිසා රසඳුන පිටු අතරට ඔහුගේ කතාව මේ විදිහට සටහන් කරන්න අපි හිතුවා

 

ළහිරු මුදලිගේ කියන නිවේදකයා රැකියාවක් විදිහට නිවේදනය තෝරා ගෙන වසර විස්සක පමණ කාලයක් වෙනවා. ඒ ගමන පටන් ගත්ත හැටි අපි මුලින්ම කතා කරමු..?

මම ළමා නිවේදකයෙක් හැටියට කටයුතු කරන්නේ පස් වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ ඉදලා. නමුත් රැකියාව විදිහට නිවේදනය තොරා ගන්නේ 2002 වර්ෂයේ උසස් පෙළ කරපු ගමන්. රජ එෆ්.එම් එකේ මාස 8ක් සේවය කළා. ඒත් මගේ ඉලක්කය වුණේ ටෙලිවිෂනය. මේ කාලයේ මට හේම නලීන් කරුණාරත්න මහත්මයාව හඳුනා ගන්න ලැබෙනවා. එතුමාගේ ගුරුහරුකම්වලින් මම 2002 වර්ෂයේ දී ස්වර්ණවාහිනීයට එකතු වෙනවා. ඉන් ඉවත් වෙන්නේ 2017 වර්ෂයේ දී. නිවේදකයෙක් හැටියට සම්බන්ධ වෙලා ප්‍රවර්ධන කළමනාකරු හැටියට ඉන් ඉවත් වීම ගැන සතුටුයි. මොකද එවැනි උසස් තනතුරු දැරුවේ කිහිප දෙනෙක් විතරයි

 

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය හරි ටීවී ද..?

ස්වර්ණවාහිනීය කිව්වොත් හරි. මම එකම ආයතනයක අවුරුදු 14ක් සේවය කළා. ඒ කාලේ අද වගේ නෙමෙයි. මාධ්‍යයේ දැවැන්තයින්ගේ ඇසුර අපිට හිමි වුණා. ඔවුන්ගේ ඇසුරෙන් පවා අපිට ඉගෙන ගන්න දේවල් තිබ්බා. ඒ පළපුරුද්ද ජනතාව අතර තිබ්බ ප්‍රසාදය මේ හැම දෙයක්ම මට හිමි වුණේ ස්වර්ණවාහිනීය නිසා. ඒ නිසා මට කියලා මගේ ගමනක් යන්න මට හැකි වුණා.

 

ඩිජිටල්කරණය තුළට ඔබේ සන්නාමයක් හරි ටීවී විදිහට ඇතුළත් කරද්දී ඔබ අසමත් වෙයි කියලා බියක් තිබ්බේ නැද්ද..?

හරි ටීවී පටන් ගන්න කලින් මම හරි ක්‍රියේෂන් එක පටන් ගත්තා. ඉන් මම ජනප්‍රිය ගීත 700 කට විතර මියුසික් විඩියෝ කළා. ඒ කාලේ මම මාසෙකට විඩියෝ තිහක් හතළිහක් විතර කරලා තියෙනවා. ඒවා ජනප්‍රිය වුණා. සම්මාන හිමි වෙලා තියෙනවා. ඒ සාර්ථකත්වය තමයි මට අවශ්‍ය වුණේ

ඩිජිටල්කරණය තුළ ටීවී චැනල් එකක් තිබ්බොත් හොඳයි කියලා. හිතල ඒ විදිහට වැඩසටහන් වෙනස් මානයකට ගෙන යමින් මගේම බ්‍රෑන්ඩ් එකක් ජනතාව අතරට ගෙන ගියා. ඒක සාර්ථක වුණා. අභියෝග ජයගත්තා. කොයි මොහොතක වත් අසමත්වෙයි කියලා හිතුවේ නෑ. මේ වෙද්දී ටීවී චැනල්වලට වඩා ඩිජිටල්කරණය ජනතාව අතරට ගිහින් තියෙනවා.

හරි ටී.වී එකට ස්ටුඩියෝ වෙනම තියෙනවා. ඒ වගේම කියන්න ඕන ගුඩ් ජර්නලිසම් කියන එක පවත්වාගෙන යමින් ඩිජිටල්කරණය වෙනම මානයකට රැගෙන යන්න මට ඩොක්ටර් රංග කලංසූරිය මහත්මයා උදව් කරනවා. ඔහුට ස්තූතියි කියන්න ඕන.‍

 

ඔබේ වැඩසටහන් සදහා සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් ඔවුන්ගේ පුද්ගලික ජීවිතේ විවර කරනවා, ඔබ වැඩසටහන මාකට් කරන්නේ එහෙමද ?

ඇතැම් අය මම වැඩසටහනට ආරාධනා කරනකල් බලාගෙන ඉන්නවා. එතරම් හරි ටීවී ගැන මා ගැන ඔවුන්ට විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි ඔවුන් වෙන මාධ්‍යකට නොකියන බොහෝ දේ මා හමුවේ කියන්නේ. ඒවගේම විශ්වාසය හැම කෙනා තුළම ඇති වෙන්නේ නෑ. ඕනෑම කෙනෙක් මාධ්‍යට කතා කරද්දී දෙපාරක් නෙමෙයි සිය වතාවක් පමණ හිතලා තමයි ඒ දේ කියන්නේ. මාව විශ්වාස කරන අය බොහෝයි. ඒ අයගේ විශ්වාසය මම රකිනවා. ඇතැම් වෙලාවට වැඩසටහන පටිගත කළාට පස්සේ කතා කරලා කියනවා මේ කොටස ඉවත් කරන්න පුළුවන් ද කියලා. මම ඒ දේ කරනවා. හොරෙන් රෙකෝඩ් කරලා ඒ අයට හානියක් වෙන විදිහේ දෙයක් කරන්නේ නෑ. වැඩසටහන් මාකට් කරන අය එහෙම කරයි.

බොහෝ නිවේදකයින් ඉන්නේ පොර මානසිකත්වයෙන්. මම දැවැන්තයින්ගෙන් ඉගෙන ගත් දේ අනූව නිහතමානීව මගේ රාජකාරිය කරනවා. බොහෝ දෙනෙක් මට ප්‍රතිචාර දක්වමින් කියන්නේ මම එන ආරාධිතයාට කතා කරන්න ඉඩ දෙනවා කියලා. ඒක නිවේදකයෙක් කළ යුතු දෙයක්. ඔය කරුණු කාරණා හේතුවෙන් මගේ වැඩසටහන් ජනතාව අතරට යනවා ඇති කියලා මම හිතනවා.

 

ඔබ සංවේදී වුණු අවස්ථාව..?

මගේ එක වැඩසටහනකට චතූ මුණසිංහට ආරාධනා කළා. ඇය පිළිකා මාරයා එක්ක ජීවත් වූ සාමාන්‍ය කාන්තාවක්. ඒ වැඩසටහනින් පසුවත් ඈ මාත් එක්ක සුහදව කතාබහ කළා. වැඩසටහනින් පසුව ලංකාවේ බොහෝ දෙනෙක් ආදරේ කරපු කෙනෙක් බවට පත් වුණා. පිළිකාවට අභියෝග කළ යකඩ ගැහැනිය කියලා ඇය මිය ගිය පසු බොහෝ මාධ්‍ය ආයතන කතා කළ මට්ටමට ආවා. ඇය දැනගෙන හිටියා කොයි මොහොතක හෝ ඈ මිය යනවා කියලා. එහෙම දැනගෙන ජීවත් වූ ඇය මාව සංවේදී කළා.

 

සාමාන්‍ය රැකියාවක් කරනවා වගේ එක කාල සීමාවක් නැහැ මාධ්‍ය ජීවිතේට. කොහොමද ඔබ රැකියාව එක්ක පවුල් ජීවිතේ සමබරව ගෙනයන්නේ..?

මගේ බිරිය සඳුනි ද සිල්වා. අපේ පුතා ඉමෝන් ලාහිරූ. එයාගේ වයස අවුරුද්දක් වෙනවා. වෙන රැකියාවල වගේ මේ අටට ගිහිං හවස පහ වෙද්දී ගෙදර එන්න බැහැ. රෑ දහයට ගිහිං පහුවදා පාන්දර එකට ඒ වැඩේ ඉවර වෙන්නත් පුළුවන්. මේක ක්‍රියේටිව් විෂයක්. ඉතිං එහෙම ජීවිතයක් ගත කරන්න මානසික නිදහස ඕන. ඒ නිදහස බිරිඳුගෙන් ලැබෙනවා. ජිවිතේ සමබර කරගෙන අපි තුන් දෙනා සතුටින් ජීවත් වෙනවා.

 

ඔබේ අවිවේකීකම ගැන බිරිය රණ්ඩු වෙන්නේ නැද්ද..?

පවුල් ජීවිතයක් ගත කරද්දී පොඩි පොඩි රණ්ඩු ඇති වෙනවා. නමුත් ඈ දන්නවා මගේ රැකියාවේ වපසරිය. පවුලේ වැඩක් හෝ මළගෙදරකට යන්න ලෑස්ති වෙලා ඉන්න මොහොතක එක පාරටම මිස් කරන්න බැරි වැඩ සෙට් වෙලා තියෙනවා. ඉතිං බිරියට සිදු වෙනවා ඒ ගමන මම නැතුව යන්න. නමුත් නිදහස ලැබුණු ගමන් අපි ඇවිදින්න යනවා. රෑ කෑමකට හෝ යනවා. ජීවිතේ මිස් කරගන්නෙත් නෑ

 

සදුනි ඇත්තටම ළහිරුගේ කාර්‍යබහුල ජීවිතේ ඔබට කරදරයක් වෙලා නැද්ද..?

කරදරයක් කරගෙන නැහැ. මොකද මමත් මගේ රැකියාව එක්ක කාර්‍යබහුල වෙන කෙනෙක්. මම මෘදුකාංග ඉංජිනේරුවරියක්. මේ දවස්වල ගෙදර ඉදලා වැඩ කරන නිසා පුතා එක්ක වැඩිපුර කාලයක් ඉන්නවා. ළහිරුට විවේකයක් තියෙන වෙලාවට එයා ෆිල්ම් එකක් හරි බලන්න එක්කගෙන යනවා.

 

*ළහිරු මුදලිගේ කියන්නේ ජනප්‍රිය චරිතයක්, ඔහුව ඔබට මුණගැහෙන්නේ කොහොමද කියලත් කියමු..?

ළහිරුව මම මුලින්ම දකින්නේ කතා බහ කරන්නේ ගුවන්ගත වූ මොහොතක. එයයි මමයි දෙන්නම ඩුබායි යනවා. ඒ යන මොහොතක තමයි එයා මගෙත් එක්ක කතා කළේ.

 

ඔහු ජනප්‍රිය නිසා ඔබ කතා බහ කළාද..?

මම ළහිරු ගැන දැනගෙන හිටියේ නෑ. ළහිරු මගෙත් එක්ක කතා කරද්දී තමයි මම එයා ගැන දැන ගත්තේ. එදා ඇති වුණු කතාබහ අපි දෙන්නගේ ආදරේ දක්වා දුර දිග ගියා. අවුරුදු පහක් හයක් ආදරේ කරාට පස්සේ තමයි අපි විවාහ වුණේ.

 

ජනප්‍රිය කෙනෙක් එක්ක විවාහ වෙන්න බයක් හිතුණේ නැද්ද..?

ඇතැම් ජනප්‍රිය පවුල් ජීවිත ඇතුළේ තියෙන ප්‍රශ්න පවුල් දෙකඩ වීම් ගැන අහලා තිබ්බ නිසා මුල් කාලේ බයක් හිතුණා. නමුත් ළහිරු එක්ක කතා කරද්දී එයාව ආශ්‍රය කරද්දී දැනුණා එයා එක්ක ජීවත් වෙන්න අමාරු වෙන එකක් නෑ කියලා. විශ්වාසයක් ඇති වුණා එයා ගැන. ඒ විශ්වාසය මත විවාහ වුණා. තවම මට වරදක් වෙලා නෑ. ඒ වගේම අපි අතර ප්‍රශ්න අඩුයි. ඒකට හේතුව අවබෝධයෙන් ජීවත් වීම වෙන්න ඇති.

 

ඔබ ඔහුට ආදරේ කරන කාලේ ළහිරුට ආදරේ කළ ගැහැනු ළමයි ඕන තරම් ඉන්න ඇති. ඔහුට ලැබුණු ප්‍රතිචාර එක්ක ඔබට ඊර්ෂ්‍යාවක් එහෙම හිතිලා නැද්ද ..?

ළහිරුට කතා බහ කරන රසිකයින් ඉන්නවා. ඒ ප්‍රතිචාරවලට මම මොකුත් කියන්නේ නෑ. ඒ එයාගේ රසිකයොනේ. ඊර්ෂ්‍යාව හිතිලා නෑ. ඒකට හේතුව එයා මගේ වෙලා අවසන් නිසා වෙන්න ඇති.

 

ඔබ ළහිරුට නීති රීති නොදැම්මාට ඔහු ඔබට නීතිරිති දාන්නේ නැද්ද ..?

අපි අපේ සීමා දන්නවා. ආදරේ කරන කාලේ වගේම අදටත් එයා මාව එයාට ඕන විදිහට කොටු කරන්නේ නෑ. කැමති විලාසිතා කරන්න ඉඩ දෙනවා. නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදලා තියෙනවා. එයාගේ හොඳ කොලිටීස් තියෙනවා. මම හිතන්නේ අපේ පවුල් ජීවිතේ ලස්සනට තියෙන්නේ ඔහු නිසා තමයි. එයා කරදරකාර සැමියෙක් නෙමෙයි.

 

බොහෝ ජනප්‍රිය පවුල්වල පිරිසට උයන්න පිහන්න ගෙදර දොර වැඩ කරන්න බැහැ නේ, ඔබත් ඒ වගේ කාන්තාවක් ද..?

කොහෙත්ම නැහැ. මම කාර්‍යබහුල වෙද්දී ළහිරුගේ අම්මා තාත්තා හෝ මගේ අම්මා තාත්තා මට උදව් කරනවා. එහෙම නැත්නම් මට හැමදේම කරන්න පුළුවන්. හැබැයි උයන්න ඉගෙන ගන්නේ යූටියුබ් දාගෙන තමයි. කෑමක් හදන්න ඕන වුණොත් යුටියුබ් එක බලාගෙන හදනවා.

 

සදුනි අපි කතාබහ ඉවර කරන්න කලින් කියමු ළහිරුගේ වැඩසටහන් ඔබ නරඹන කෙනෙක් ද කියලත්..?

ගෙදර ඉදලා ළහිරු වැඩ කරද්දී එයාගේ වැඩසටහන් මට ඇහෙනවා. විකාශය වෙන්න කලින් මට ඒවා බලන්න අවස්ථාව තියෙනවා. ඔහු ඒ වැඩසටහන් එඩිට් කරන අවස්ථාවල. මේ වැඩසටහන් අතර මම ආසාවෙන් බලන ඒවත් තියෙනවා.

 

 

Comments