හැංඟුණු ඩොලර් එළි­යට ගන්න මාස­යක සහන කාල­යක් | සිළුමිණ

හැංඟුණු ඩොලර් එළි­යට ගන්න මාස­යක සහන කාල­යක්

 නතාව සන්තකයේ ඇති විවිධාකාරයෙන් උපයාගත් මෙතෙක් අනාවරණය නොකළ ඩොලර්, පවුම් ඇතුළු විදෙස් මුදල් නීතිමය බාධාවකින් තොරව බැංකුගත කිරීම සඳහා දින 30ක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඕනෑම ප්‍රමාණයක විදෙස් මුදල් බැංකු ගිනුම්ගත කිරීම සඳහා වූ මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට අගෝස්තු 5දා යොමු කර ඇත.

මේ අනුව විදෙස් රැකියා මඟින් සංචාරක ව්‍යාපාරයේ නියැළීම ඇතුළු විවිධ ක්‍රමවේදයන් මඟින් තමන් සන්තකයේ ඇති විදෙස් මුදල් මෙම මසක සහන කාලය තුළ බැංකුගත කිරීමට ජනතාවට අවස්ථාව හිමි වේ.

මෙම ක්‍රමවේදය යටතේ එම මුදල් හිමිකරුවන්ගේ අවශ්‍යතාව මත නේවාසික විදෙස් මුදල් (RFC) අයුරින් හෝ නොඑසේ නම් රුපියල් ලෙස මාරු කර බැංකුගත කිරීමට හෝ අවස්ථාව හිමි වනු ඇත.

ඉකුත් සඳුදා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් කළ යෝජනාවක් අනුව රජය මෙම තීරණය ගනු ලැබීය.

මසක සහන කාලය නීමාවීමෙන් පසුව තමන් සන්තකයේ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඩොලර් 10,000 පමණක් බවට වන නීතිය නැවත බලගැන්වෙනු ඇත.

 

Comments