නොදැනෙන්න සමුගන්න දිවියෙන් මේ සිරිලක අවසන් කොටි | සිළුමිණ

නොදැනෙන්න සමුගන්න දිවියෙන් මේ සිරිලක අවසන් කොටි

කොටි අඩවි නිසා ගම්වදින කොටි කැළයට මුදා හැරීම අනාරක්ෂිතයි

අවසන් කොටි මරණය උඩුදුම්බරින්

විල්පත්තුවෙන් ජාන විකෘතිතා සහිත කොටින්

 

නිදහසේ වන දිවිය උපරීමාකාරයෙන් වින්දනය කරමින් එහා මෙහා සැරිසරන කොටියෙකු දැක ගැනීම වන ජීවිතයට ප්‍රියකරන්නන්ගේ සදාකාලික සිහිනයකි. කන කැස්බැවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් අපහසු නොවූවද කොටින්ගේ හැසිරීම් නොදන්නා අයවලුන්ට නම් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. වනයේ නිදහසේ සැරිසරන කොටියෙකු දැක ගැන්මේ අරමුණින් වනයේ සැරි සැරුවද අපේක්ෂා භංගත්වයෙන් නැවත හැරී යන්නෝ එමටය. මිනිස් මානයෙන් වසංවන කොටියකු දැක ගැන්ම එතරම්ම අමාරු කටයුත්තකි.

 

ලංකාවේ පරිසර පද්ධති පමණක් නොව කඳුකරයේ මිනිස් ජනාවාසයන්හීදීද අපෙන් වසංවෙමින් සැරිසරන කොටියා වනයේ ජීවත්වන විශාලතම විලෝපිකයාය. විටක වන සතුන්ට හිරිහැරයක් වුවද, වර්තමානය මිනිසුන්ගේ චර්යා පද්ධතින්හි වෙනස්කම් හේතුවෙන් සිය දිවියෙන් වන්දි ගෙවීමට මේ වටිනා සත්ත්වයන්ට සිදුවී ඇත. ලොව රටවල් 26 ක කොටි ජීවත්වන අතර කොටි උප විශේෂ අටෙන් ලංකාවේ ජීවත් වන්නේ ‘ශ්‍රී ලාංකික කොටියා‘ හෙවත් විද්‍යාමක නමයෙන් හඳුන්වන Panthera padus kotiya ය. මෙම උප විශේෂය ශ්‍රි ලංකාවට අවේණික වන අතර පරිසරයට පෙම්බැඳි ශ්‍රී ලාංකිකයෝ මෙන්ම ලංකාවට වන ජීවිතයට පෙම්බැඳි විදේශික සංචාරකයන්ද නෙත් සොයන්නේ අපටම ආවේණික වූ මේ දූපත්වාසි කොටියාය. පරිසර විද්‍යාඥයන් කොටියා අර්ථකතනය කරන්නේ හුදකලාව ජීවත් වන ලැජ්ජාශීලි නිරීක්ෂණයට අපහසු පරිසරයේ වර්ණයන් සමඟ හොඳින්ම වේශාන්තරණය වන සංචාරක ආකර්ෂණය නොමඳව ලබන සත්ත්ව විශේෂයක් වශයෙනි.

කෙසේ වෙතත් කොටියා තර්ජනයට ලක්වන සත්ත්ව විශේෂයක් වූයේ අද ඊයේ නොවේ. IUCN දත්ත වාර්තාවන්ට අනුව කොටියා රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ 2008 වසරේදීය. අද වන වසර 15 කට ආසන්න වුවද තවමත් මොවුන් වඳ වීමේ දැඩි අවදානමට ලක් වූ ( Vulnerable)සත්ත්ව විශේෂයක් වන හෙයිනි . වන ජීවි දෙපාර්තමේන්තු හා ස්වභාව ආරක්ෂණ සංගම් දත්තයන්ට අනුව 2010 වසරේ සිට මේ දක්වා කොටි 106 දෙනෙක් දිවි හැර ගොස් ඇත්තේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙනි. කොටියා රැක ගැන්මේ අරමුණ පෙරදැරිව සෑම අගෝස්තු මස 1වැනිදා කොටි දිනය(Leopards Day )වශයෙන් නම් කරන්නට හේතු වී ඇත්තේ මේ සංචාරක ආකර්ෂණීය සත්ත්වයා රැක ගැනීමට අවධානය වඩ වඩාත් යොමු කිරීමටය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව කොටියකුට හානි කිරීම, මරණ පිණිස විවිධ උගුල් ඇටවීම මෙන්ම අජීවි සත්ත්ව කොටස් සන්තකයේ තබා ගැනීම දැඩි දඬුවම් විඳීමට හේතු වෙයි. එහෙත් බොහෝ දෙනෙකුට මේ ගැන කිසිදු තැකිමක් නොමැත. වඳ වීමේ අවදානමට මුහුණ දෙන ශ්‍රී ලාංකික කොටියා පිළිබඳ දීප ව්‍යාප්ත පර්යේෂණයක් අවසන් වරට සිදුකර ඇත්තේ 2015 දීය. මෙතෙක් විවිධ වන ජීවි කලාප තුළ යම් යම් සංගණනයන් සිදුකර තිබුණද මේ දක්වා පුළුල් සංගණනයක් දිප ව්‍යාප්තව සිදු කර නොමැත. 2015 අවසන් සංගණනයට අනුව ලංකාවේ කොටි 700- 950 ක් සිටි බවට එදා අනුමාන කළේය. නමුත් පසුකාලීනව විවිධ පර්යේෂකයෝ විවිධ කාල සීමාවන්හිදී මෙම සත්ත්ව සංගණනය පිළිබඳ දත්ත එක්රැස් කිරීමට මුඛ්‍ය අරමුණ වූයේද මෙම සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමය. සත්ත්ව පර්යේෂකයින් පෙන්වා දෙන්නේ අභයභූමි, සංරක්ෂක වනෝද්‍යාන ඇතුළුව උඩරට ප්‍රදේශද සමඟින් ලංකාවේ කොටි ව්‍යාප්තිය සෑම කලාපයකට අඩුවැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවකි. මෙසේ හෙයින් කොටි මරණද පසුගිය කාලය පුරාවටම විවිධ ප්‍රදේශවලින් අඩුවැඩි වශයෙන් දකින්නට හැකි වීම කොටියාට අත්ව ඇති භයානක ඉරණම මොනවට කියාපායි.

2020 වසරේ සිදුවු කොටි මරණ බොහෝමයක් සිදුවී තිබුණේ යටියන්තොට, නාවලපිටිය, මස්කෙළිය, නල්ලතන්නිය වැනි මධ්‍යම කඳුකරයේ මිනිස් ජනාවාසයන්හිදීය. 2021 සිදුව ඇති මරණ 9 ක්ම සිදුවී ඇත්තේ බොගවන්තලාව, නල්ලතන්නිය, නාවලපිටිය, ඩයගම, මස්ෙකළිය ආදී ප්‍රදේශවලිනි. මේ වසරේ ගතවූ මාස 7 ක කාලය තුළ කොටි මරණ 4 ක් වාර්තා වී ඇති අතර එහි අවසන් මරණය පසුගියදා වාර්තා වූයේද උඩුදුම්බර ප්‍රදේශයෙනි.

“ලංකාවේ කොටින් දැඩි ආරක්ෂිත සතකු වුවත්, මේ වන විට ඇති වී ඇති තර්ජන විශාලයි. ඒ නිසාවෙන් සිදුවන මරණද කාලයෙන් කාලයට අඩු වැඩි වීම් සිදුවෙනවා.

ඉඩෝර කාලවලට ආහාර, වතුර සොයා ගම්වදින කොටීන් ඌරන් ආදි සතුන්ට දැමූ මදුවලට හසු වීමෙන් මරණයට පත් වෙනවා. සමහර කොටි බල්ලෝ අල්ලන්ට ගම් වඳිනවා. ශතවර්ෂ ගණනාවක් කොටින් මිනිසුන්ගෙන් ඈත්ව සිටියත් ඉඩම් භාවිතය නිසා කොටින් හා මිනිසුන් අතර පරතරය අඩුවුණා. සමහර අය ගම් වඳින කොටි පළවා හරින්න මැරුණු සතකුට වසදීලා ඌ මරන්න උත්සාහ කරනවා. ....“ ඒ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ හිටපු සභාපති රුක්ෂාන් ජයවර්ධනය. රුක්ෂාන් පවසන අන්දමට ගම්වඳින කොටි අල්ලා වන ජිවි පරිසර පද්ධතින්ට මුදා හැරීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවෙයි. විශේෂයෙන්ම මුදා හරින කොටියාගේ ආරක්ෂාවට තර්ජන එල්ල වෙති. එසේ වන්නේ කොටි - කොටි අතර පවත්නා විවිධාකාර ජීවන හැසිරිම්ය.

“සෑම කොටියෙක්ම තමන් ජිවත්වන පරිසර කලාපයේ වර්ග කිලෝ මීටර කිහිපයක් තමන්ගේ යැයි අනුමාන කරමින් වෙන්කර අණසක පතුරා ගන්නවා. එය වර්ග කිලෝ මීටර 3 - 12 අතර ප්‍රදේශයක් විය හැකියි.

මුත්‍රා කිරීමෙන්, ගස් පහුරු ගෑමෙන්, ගඳ සුවඳින් තමන්ගේ අඩවිය හදුනා ගැනීමේ නිහඬ සලකුණු තබා ගන්නවා. මේ අඩවියට වෙනත් කිසිම කොටියකුට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. එසේ වුවහොත් ඌ අනාරක්ෂිතයි. බොහෝ විට තමන්ගේ වර්ගයාගෙන්ම මරණයට පත්විය හැකියි. නැතිනම් උග්‍ර සටනකින්ම කෙළවර විය හැකියි. ඒ නිසා ගම් වදින එවැනි සතුන් අල්ලා පරිසර පද්ධතියට මුදාහැරීම ගැටලුවක්. එ‍සේම කොටියා වැනි සතුන් කූඩු කිරීම තුළින් ඌගේ ජීවිත කාලයද අඩු වන බව සොයාගෙන තියෙනවා. මිනිස් සුවඳ ආඝ්‍රාණය වීම, කූඩු කිරීම නිසා ‘කැප්චර් මයෝපති‘ නම් ශරීර උෂ්ණත්වය වර්ධනය කරන රෝගී තත්ත්වයකට පත්වීමෙන් මේ සතාගේ ආයු කාලය අඩුවෙනවා......“ රුක්ෂාන් ජයවර්ධන පවසන්නේ කොටින් ආරක්ෂා කිරීමට නම් නිසි පරිසර තත්ත්වයන් ඔවුනට ලැබිය යුතු බවකි. බොහෝ පරිසරවේදීන් පවසන්නේ කොටින්ට සිය වන ජීවි කලාපය තුළ නිදහසේ ජීවත් වීමට නම් ආශ්‍රිත ලදු කැළෑ ප්‍රදේශ විනාශ නොවී තිබිය යුතු බවයි. ලංකාවේ වර්ග කිලෝමීටර 100 ක පමණ 18 ක කොටි ඝනත්වයක් ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කාලයත් මුළුල්ලේ කොටි සම්බන්ධ පර්යේෂණයන්හි නියැලෙන වන ජීවී පර්යේෂකයකු වන්නේ ඩිනාල් සමරසිංහය.

ඔහු සිය සමීක්ෂයේදී විල්පත්තු කොටි සංගණනයක් සිදු කර ඇත්තේ 2018 වසරේදීය. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානයක් වන වර්ග කිලෝ මීටර 1316 ක් වන විල්පත්තුහි කොටි නිජබිම කරගත් ආරක්ෂිත ස්ථාන කිහිපයක් වෙයි. විල්පත්තු තුළ සිදුකළ සමීක්ෂනයේදි ඔහු වර්ග කිලෝ මීටර 700 ක කොටින් 133 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එයින් 17 ක් අවුරුදු 2 ට අඩු පැටවුන්ය. කොටි ගැහැනු පිරිමි අනුපාතය 2:1 කි.

“කොටි වැඩිපුර යාල විල්පත්තුවලදි දකින්න පුළුවන්. කොටින්ට මේ කැළෑවල ආරක්ෂිතව සිටින්නට මහ කැළෑ හුදකලා නොවිය යුතුයි. හුදෙකලා වීමත් පැටවු

බිහිවිම අඩුවීමට හේතුවක්. ඒ වගේම විවිධ විකෘතිතා ඇතිවිය හැකියි. අපි කළ අධ්‍යයනයකට අනුව හමුවූ කොටින්ගේ වලිගයේ අංශක 90 ක නැම්මක් හඳුනා ගත්තා. මෙය ජානමය මිශ්‍රවීමක් හා නිලින ජානයන්ගේ ඉස්මතු වීමක් වශයෙනුයි අපි තේරුම් ගත්තේ. විල්පත්තුවෙන් මෙවැනි ආකාරයේ අන්තර් අභිජනන තත්ත්වයක් සහිත කොටින් හමුවීම මෙවැනි සතුන් වඳවී යාමේ ලකුණක්......“ඒ වන ජීවී පර්යේෂකයකු වන ඩිනාල් සමරසිංහය.

අගෝස්තු 1 වැනිදා “Leopards Day “ වෙන් වූයේ මේ සත්ත්ව ගහණයේ වඳවිම පාලනය කිරීමටය. මේ වන විට ඔවුහු රට පුරා දත්ත ශාඛා පිහිටුවමින් කොටින්ගේ දත්ත එක්රැස් කිරීමේ නියැළෙන්නේ එය සංරක්ෂණයෙහිලා අත්‍යාවශ්‍යම කරුණක් වන හෙයිනි.

“අගෝස්තු 1 වැනිදා “Leopards Day “ වශයෙන් දිනයක් වෙන් කළේ කොටින් හමුවේ ඇති තර්ජනයන් නිසයි. මේ නිසා කොටි ආරක්ෂා කිරීමට සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.

2017 වසරේ සිංහරාජයේ සිදුකළ පර්යේෂණයකට අනුව වැඩහිටි කොටින් 23 දෙනෙකු හඳුනා ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාවික ආරක්ෂක සංගමය විසින් කොටින් ආරක්ෂා කිරීම වස් ලංකාවේ විවිධ පළාත්වලින් කොටින් පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ පුළුල් ජාලයක් ඇති කළා. පානම, ත්‍රිකුණාමලය, සිංහරාජ, සිගිරිය, හැටන් නල්ලතන්නි, බෙලිහුල්ඔය යන මධ්‍යස්ථාන හරහා තොරතුරු එක් රැස්කරමින් සංරක්ෂණ ක්‍රමවේදය වැඩි දියුණු කරනවා...“ ඒ සබරගමු විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා අධ්‍යයනාංශයේ සංරක්ෂණ ජීව විද්‍යා පිළිබඳ මහාචාර්ය ඉනෝකා කුඩාවිදානගේය.

“වාර්ෂිකව ශ්‍රි ලංකා කොටියන්ගේ දිනයක් ප්‍රකාශයට පත් කළේ ලංකාවේ පැරණිතම ස්වභාව ආරක්ෂණ සංගමයක් වන ශ්‍රී ලංකා වන සත්ත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ යෝජනාවක් අනුවයි. මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමේදි අපේ මූලික අරමුණක් වූයේ අතිශයින්ම තර්ජනයට ලක් වූ මේ සතාව ආරක්ෂා කළ කිරීමයි. එසේම ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට රටත් වශයෙන් ජනතාව බැඳි සිටිය යුතුයි....“ එ් ශ්‍රී ලංකා වන සත්ත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ හිටපු සභාපති එම්. ස්පෙන්සර් ය.

රටක් වශයෙන් ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ වකවානුවේ සංචාරක කර්මාන්තයද බිඳ වැටෙමින් පවති. නමුත් යහපත් වූ පමණින් අපේ රටේ සිරි නරඹන්නට පුල පුලා බලා සිටින දෙස් විදෙස් සංචාරකයෝ අති විශාලය. ලංකාවේ වන ජීවි කලාපයන්හි සුන්දර දසුනක් වූ කොටියා රැක ගැනීම මෙන්ම කොටි ඝනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම අප විසින් නොමඳව කටයුතු කළ යුතුය.

 

 

Comments