වග­ව­ල­සුන් මැද දෙවි­යන් සොය­මින් කර­පා­දෙන් යන බැති­බර මිනි­සුන් | Page 2 | සිළුමිණ

වග­ව­ල­සුන් මැද දෙවි­යන් සොය­මින් කර­පා­දෙන් යන බැති­බර මිනි­සුන්

 

වන මුසු මුදු කරදිය පිරි උතුරුකර කෙළවර පිහිටි විශාල කෝවිල සියල්ලන් අතර සුපතළවන්නේ සෙල්ලසන්නිධි කෝවිල නමිනි. තල් රුප්පාවකින් එක් අතකින්ද නීල හරිත වගා යායකින් එක් කෙළවරක්ද සලකුණු කරන මේ කෝවිල අනෙක් අතින් මායිම්වන්නේ කොළ පැහැති ජෙලි තට්ටුවක සිරි ගන්නා මුහුදු මනාලියටය.

ලෝකයම කතා බහ කරනු ලබන සෙල්ල සන්නිධි කෝවිල අනාධිමත් කලක සිට ජනයාගෙන් පිරී ඉතිරෙන්නේ ජූලි මාසයේ මැද්දක්කරයේය. කුරුලු ඇසකින් බලන්නකුට දාස්පෙතියා යායක මෙන් සිරිගන්නා සේල්ල සන්නිධි කෝවිල්බිම පරිශ්‍රය සියලු පුදපෙත් ඉටුකොට සූදානම් වන්නේ කතරගම මහ දෙවොළ වෙත පාගමන අරඹන්නටය.

උතුරේ ජනතාව පේවී සියලු වැඩකටයුතු නිමකොට ගමන සඳහා සූදානම් වන්නේ මාස තුනකටත් වැඩි කාලයක සිටය.උතුරුකර කෙළවර සිට අති දුෂ්කර ගමන් මඟකින් දකුණුලක මහ දෙවොලට පැමිණෙන මේ බැතිබර ගමන ශ්‍රී ලාංකික සැමදෙනා හඳුන්වන්නේ පාද යාත්‍රාව ලෙසටය. කෝවිල් සිය ගණනක් වැඳපුදා ගනිමින්, දෙවියන් සොයා යන මේ අතිදුෂ්කර ,අති සුන්දර මෙන්ම අති බිහිසුණු මේ ගමන සඳහා වාර්ෂිකව එක්වන දෙවි බැතිමතුන් සහ පරිසර වන්දනාකරුවන් ගණන තිස් දහස ඉක්මවයි.

කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙමින්

එක් අතකින් ගත් කළ සාමයේ සුහද ගමනක්වන පාද යාත්‍රාව තවත් අතකින් ගත් කල හදවතේ දෙවියන් සියැසින් දැකබලා ගැනීම උදෙසා යන භක්තිමත් චාරිකාවකි. හින්දු බැතිමතුන් මෙසේ පාවහන් රහිතව කරපාදයෙන් උතුරේ සිට දකුණේ රුහුණු කතරගම මහා දේවාලය වෙත පාගමනින් පැමිණෙන්නේ කදිරේෂන්,මුරුගන් නැතහොත් කතරගම දෙවියන්ට සිදුකරනු ලබන හෘදයාංගම ගෞරවයක් ලෙසටය.

මෙසේ උතුරෙන් පාද යාත්‍රාව ඇරඹෙද්දී තවත් එක් සංධිස්ථානයක පිහිටි අරුමැසි දොවොල් බිමක් සූදානම් වන්නේ මේ පැමිණෙන පිරිස පිළිගැනීමට මෙන්ම පහසුකම් සැපයීමටය.එය තමන්ට දෙවියන්ගෙන් ලැබුණු ඉටු කළ යුතුම රාජකාරියක් ලෙස මෙම දෙවොල් බිමෙහි භාරකරුවන් විශ්වාස කරති.අදහති. සැබෑවටම පාද යාත්‍රාව ඇරඹෙන්නේ මේ ස්ථානයෙනි.එම පාරිශුද්ධ භූමිය දැන් හඳුන්වනු ලබන්නේ ඔකඳ හෙවත් ඕකන්ධ ලෙසටය.

එක් අතකින් මුහුදු සීමාවෙන් වටවන ඔකඳ වන දෙවොල කඳුකර දේවාල කිහිපයකින් සමන්විත වේ. හැන්දෑකරයට ආසන්න මොහොත වනවිට බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙන ඔකඳ පුදබිම මේ දිනවල අධික තදබදයෙන් යුක්ත වේ.

උතුරේ සිට පැමිණෙන වන්දනා නඩත් අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණෙන බැතිමතුන් සියලුදෙනාත් ඔකඳ දේවාල බිමේදී එකම නඩයක් බවට පත්වේ.

ඔකඳ දෙවොල් බිම පාදයාත්‍රාව පිළිබඳ පුරාවතෙහි ප්‍රබල සන්ධිස්ථානයකි. ඉන්දියාවේ සිට පැමිණි ස්කන්ද කුමරු ඔකඳ වෙරළ තීරයෙන් ශ්‍රී ලංකාවට ගොඩබට බවත් තමා පැමිණි රන් ඔරුව එම වෙරළ අසබඩ නොගැඹුරු මුහුදේ ගලක් බවට පත් කළ බවත් ජනප්‍රවාදයේ කියැවේ. අදට ද ඔකඳ වෙරළේ කෙළවර ඇති "රන් ඔරු ගල " ලෙස හැඳින්වෙන්නෙව් කඳසුරිඳුන් මෙරටට පැමිණි ඔරුව බව ජන විශ්වාසයේ පවතියි.මෙම ස්ථානයේ ඇති ඔරු බැඳිගල එම ඔරුවට නැංගුරම් ලා බැඳතැබූ ගල බවට ජනකතාවල කියවෙයි.

පානමින් පැමිණ කුඩා වාඩි සකසා ගනිමින් ධීවර රැකියාවේ යෙදෙන පැරැන්නන් හමුවී සුහදව කයියක් ඇරඹීමෙන් ඔකඳ දෙවොල ගැනත්, ජනකතා ගැන මෙන්ම මේ බිමේ අත්දැකීම් පිළිබඳ මට මෙන්ම ඔබටද දැන කියාගත හැකිවනවා නියතය.

රාත්‍රිය උදාවෙද්දී ඉවුම් පිහුම් අහවර කරන බැතිමත්හු ඔකඳ දෙවොල් බිමේදී හබලපෙති සකසන්නේ දෙවියන් සඳහා පුදදෙනු පිණිසය.ඔකඳ ගලේ දේවාලයට හබලපෙති පුදදෙන පිරිස් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ බැතිබර වනගමනේදී තම කණ්ඩායමට රැකවරණය ලබාදෙන ලෙසටය.

“මුරුගන් අපිව බලාගන්නවා. ඒක ස්ථීරයි“

නාගපූෂානි අම්මාන් කෝවිලේ සිට ඔකඳට පැමිණි නාදන් අපට පවසන්නේ හබලපෙති සංග්‍රහයක්ද ලබාදෙමිනි. ඔබ කුමන ආගමක කුමන තරාතිරමක අයකු වුවද ඒ හබලපෙති සංග්‍රහය අනිවාර්යයෙන් භුක්ති විඳිය යුතුම වේ. ඉන් හටගන්නා බැඳීම සහ ඔවුන් ලබනා සන්තෝෂය පාද යාත්‍රාව නිමාවනතෙක්ම ඒකාන්තයෙන්ම රැඳී පවතී.

ඔකඳ දෙවොල් බිමට හැන්දෑව උදාවනවිට මුළු භූමියම කපුරු සහ සාම්බ්‍රානී සුවඳින් පිරී යයි.පැණි බත් සුවඳ පරයා නැඟෙන කපුරු සුගන්ධය පසුදින භක්තියේ ගමන අරඹන බවට පරිසරයට සන් කරයි.එතැන්පටන් පූජාවේ යෙදී සිටින සියලුදෙනා උදෑසන වනතෙක් බලා සිටින්නේ කුමන ජාතික වන උයනේ ප්‍රධාන ගේට්ටුව නැකතට අනුව විවෘත වන මොහොත පැමිණෙන තෙක් ය.

මෙම ගමනේ නැකත් වේලාවට පාදචාරිකාව අරඹමින් පළමු පියවර තබන්නේ සෙල්ලසන්නිධි සිට පැමිණෙන වේල් ස්වාමි විසිනි. ගමන ආරම්භයේ සිට වේලායුධයක් අතදරමින් පිරිසේ ප්‍රධානියා වන වෙල් ස්වාමි සියලුදෙනා පිළිගන්නා නඩේගුරාවෙයි.

කුමන වන පිවිසුමෙන් වනගතවන බැතිමතුන් එක එල්ලේ කිලෝමීටර දෙක තුනක් ගමන් කරමින් විඩා නිවීම අරඹන්නේ පළු කැළය ආසන්නයට පැමිණි පසුවය.මෙහිදී නාඹර ගැටයන් විසින් ගස් බඩගා නෙළාගත් පලු ඉත්තකින් ඔබට සංග්‍රහ ලැබෙන්නේ එය ඔවුන්ගේ විනෝදාංශයක් වන නිසාමය. පලු කැලයේදී පළු පළ නෙළාගන්නා කොල්ලෝ ඒවායින් බැතිමතුනට කොටසක් පිරිනමන්නේ මේ ගමන සියල්ලෝම එක්ව යන බව පසක් කරමිනි.

පාදයාත්‍රාව සැලසුම් කිරීමේදී එදා සිටම කණ්ඩායම් ලෙස නවාතැන් ගන්නා ස්ථාන කිහිපයකි

ඒ අනුව බැතිමතුන් තම පළමු නවාතැන්පළ ලෙස තෝරාගනු ලබන්නේ බාගුරේ,බගුරාව නොහොත් බගුරාවල පෙදෙසයි. ඔකඳ සිට කිලෝමීටර අටක දුරින් පිහිටන බගුරාව දිය සීරා සහිත අලංකාර විල්ලුවකි. කටු පඳුරු සහිත තෘණ බිමක් වන හෙයින්ම මුවන් අධික මේ බිමෙහි පරික්ෂාකාරීව ඇවිදයන්නකුට දිවි අඩි සහ වලස් අඩි දැක ගත හැකිවේ.

ඊයේ රෑ දිවිය ගිහින් තියෙන්නෙ...

කෝපි කෝප්පයක උණුසුම විඳින අතර ගමන් සගයකු පවසන්නේ වටපිට වනලැහැබ හොඳින් පිරික්සමිනි.

නඩයේ ඇතැමුන් බගුරාවල තමාගේ පළමු රාත්‍රී නවාතැන්පළ කරගන්නා අතර ජවසම්පන්නයෝ කිලෝමීටර විසි හතරක් ගෙවා කුඩා කැබලිත්ත නැතහොත් කුඹුක්කන් ඔය පළමු නවාතැන්පළ බවට පත් කර ගනිති.

බගුරාව පසුකොට කුඹුක්කනට පැමිණෙන විට සහස පහ පසුවීම සුබ පෙර නිමිත්තකි.සතුන් වනමඟට පිවිසෙන්නට පෙර කුඹුක්කන් ඔය අසබඩ කුඩා කැබලිත්තට පැමිණෙන කණ්ඩායම් තමාට හිමි,තමාට හැකි අයුරින් තාවකාලික නවාතැන අටවා ගනිති. ඉන් පසුව ඔවුන් ඉතාමත් ඉක්මනින් සරලව රාත්‍රී ආහාරය හැකි ආකාරයට සකසති.

හරෝ හරා කතන්දරේ

"හරෝ හරා" උච්චාරණය පිළිබඳ විවිධ මත පාද යාත්‍රාව සමඟ බැඳී පවතී.එක් නඩයක ඉදිරියෙන්ම ගමන් කරන්නා පළමුව හරෝ හරා යයි කී විට දෙවැන්නා එය යළි එය උච්චාරණය කරයි. මෙලෙස දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක වරින් වර හරෝ හරා යන හඬ දහයක් ඇසීම තුළින් ගමනේ මූලිකයා තම කණ්ඩායම සුරක්ෂිතව තමා පසු පස පැමිණෙන බව තීරණය කිරීම එක් කරුණකි. පාද යාත්‍රාව ඉතා වෙහෙස කර ගමනකි. එම ගමනේදී අවශ්‍ය ඔක්සිජන් නිරතුරුවම පෙනහළු තුළට ලබා ගැනීමට හරෝ හරා යන්න උච්චාරණය ඉවහල් වන බව පසු කාලීනව ගොඩනැඟුණු වෛද්‍ය මතයකි. හරෝ යන්න උච්ඡාරණයේදී පෙනහළු තුළට වාතය සැපයෙන අතර හරා යන්නේදී එය වේගයෙන් සිරුරෙන් පිටවේ.

කෙසේ වෙතත් හරෝ හරා යන්න උච්චාරණය තුළින් ගමනේ වෙහෙස නිවෙන බවත් වන සතුන් සියලු දෙනා වන මඟින් ඉවත් වන බවත් ලියුම්කරු අත්දැකීමෙන් දනී.

වන මං පසු කරමින් නාවල් අඩිය නම් තෙවන නැවතුමට පැමිණෙන බැතිමතුනට ඊළඟට හමුවන්නේ ජල දුර්ග සහිට මාර්ගයකි.කිඹුලන් බහුල මේ ජල තටාගයන්හි නේකවිධ සියොත්සිරි පිරී තිබේ.කෙසේවෙතක් මේ ජල තල හරහා ගමන් ගැනීම අන්තරාදායක වන්නේ කිසිදුවිටෙක මිනිස් සේයාවක්.නොදකින දැවැන්ත කිඹුලන් විශාල වශයෙන් මෙම රාජධානියේ සිටිනා බැවිනි.

කිඹුල් විමන්

කිඹුල් තහංචිය

නමුත් කිසිදු බැතිමතකු මේ ජලමං හරහා ගමන් කිරීමට බියක් නොදක්වති.කතරගම දෙවියන් තමා ඇතුළු කණ්ඩායම සුරක්ෂිත කරනු ඇති බව මේ සියලුදෙනා අදහති.පාද යාත්‍රා සමයේ මෙම තුළානේ සියලු වැව්වල කිඹුලන්ට කඳ සුරිඳුන් විසින් තහංචි පනවන බවත් මෙම වැව් වල කිසිදු කිඹුලකුට හෝ කිසිඳු වන සතෙකුට මිනිසුනට අතුරු අන්තරාවක් සිදු කළ.නොහැකි බවත් මේ සුන්දර මිනිසුන් විශ්වාස කරති.එම නිසාම දහස් ගණනක් මිනිසුන් කිසිදු බියකින් තොරව මෙම වැව් තරණය කරනන නමුත් සැබෑවටම කිසිදු මොහොතක ඔවුනට කිසිදු අතුරු අන්ත්‍රාවක් සිදු නොවීම මෙම දේව විශ්වාසය තහවරුකරන්නකි.

නාවල් අඩියේ දෙවියන් හමුවේ

නාවල් යනු දං ගස හඳුන්වන දෙමළ නාමයයි.දං මංඩිය යන නමින් දෙමළ ජනතාව හඳුන්වන ලිංතුන ලෙස සිංහල ජනතාව නම් කරන භූමිය පාද යාත්‍රාවේ මැද පිහිටි සුවිශේෂී බිම් කඩකි. මෙම භූමියේ වන්දනාකරුවන් දින දෙකක් හෝ තුනක් ගෙවාදමන අතර මෙම බිම සුවිශේෂී වීමට හේතු කාරණා කිහිපයකි.ඉන් පළමුවැන්න මේ බිමේදී දෙවියන් අනිවාර්යයෙන් කුමනහෝ වෙෂයකින් තමාට මුණගැසෙන බව පාදයාත්‍රාකරුවන් විශ්වාස කරන අතර මේවනවිට කතරගම දෙවියන් බවුන්වඩන්නේ මෙම බිමෙහි බව ඔවුන් විශ්වාස කරති.

“මෙතැනට පයතිබ්බම දෙවියො ඉන්නව කියල ඇඟට දැනෙන්න පටන්ගන්නවා.ඇත්තටම මෙතන දෙවියො ඉන්නවා. යාපනයේ නෙල්ලිඅඩියේ සිට පැමිණි ගණේෂන් අප සමඟ පවසන්නේ රාත්‍රියේ ගිනි මැලය අවට සුහද කතාවකදීය.

එනෙම්ම වසර පහළොවකට පෙර සිට මෙම බිමතුළ පවත්වාගෙන යනු ලබන වෛද්‍ය කඳවුරකි. වෛද්‍ය ඒ ලතාහරන් මහතා විසින් සංවිධානය කරන මෙම වෛද්‍ය කඳවුර පාදයාත්‍රාවේ යෙදෙන බැතිමතුනට සලසන සේවාව මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

එමෙන්ම ඔහු විසින් මෙම බිමේදී සකසා බැතිමතුනට පිරිනමන විශේෂ තේ පානය සැකසිය හැක්කේ මෙම බිම තුළදීය.අගිල් දරින් හින්දවා සකසන එම ඖෂධීය තේ පානය බිවූ සැණෙන් සියලු ඇඟපත වේදනා නිමාවී සුව සහනය සැලසෙන බව නොකියාම බැරිය.

“මේ තේ එක දෙවියන් වෙනුවෙන් ලබාදෙන බෙහෙත් ඖෂධයක්.මේක හදන්න පුළුවන් මුළු ලෝකෙම මෙතන පමණයි.අවුරුදු ගාණක් තිස්සේ මමයි කණ්ඩායමයි මේක කරගෙන යනවා. ඒක හරිම පුදුම දෙයක්. මේ වසර ගාණට හරිම අරුම පුදුම දේ මට හමුවෙලා තිබෙනවා. දවසක් මම රෑ බලනකොට වයසක සීයකෙනෙක් හිටියා අපේ ටෙන්ට් එක ඇතුළෙ ලෙඩ්ඩුන්ට වෙන් කළ ඇඳක. ඒ සීය ඒ වෙලාවෙ කොහොමවත් එතනට එන්න බැහැ.මම කිට්ටුවෙලා සීය එක්ක කතා කළා.එයා කියන කතාව පුදුමයි.මේ සීය මඟ අතරමංවෙලා කැලේ මැද තැනක වැටිල තියෙනවා.ඒ වෙලාවෙ සුදුපාට වේට්ටියක් ඇඳගත්ත,සුදු තල්ප්පාවකින් සැරසුණු උඩුකය නිරුවත් රැවුල වවාගත්ත වයස කෙනෙක් සීයව අරගෙන ඇවිත් මේ ඇඳ උඩ තිබ්බා කියලයි එයා කිව්වෙ.ඇත්තටම මම ඒ වෙලාවෙ ඇහැරුණේ එකපාර ඇහුණු විශාල ශබ්දයක් නිසා.මගේ කෑම්ප් එකේ හිටපු අනෙක් අයට ඒ සද්දේ ඇහිල තිබුණෙ නැහැ.පුදුමයි මේ සීය ටික.වෙලාවකින් සුවපත්වුණා. මේවගේ අත්දැකීම්,කතාන්දර ගොඩක් තියෙනවා.වෛද්‍ය ලතාහරන් පවසන්නේ ගිනිමැල එළියේ සාකච්ඡාවකදීය.

නාවල්අඩිය භූමියේ විශාලතම දං ගස පාමුල බැතිමතුන් විසින් ඉදිකළ කුඩා සංහිඳකි.එම සංහිඳ බැතිබරව යදින පාදයාත්‍රාවේ යෙදෙන සියලු බැතිමතුන් තමන්ගේ ඉල්ලීම එහිදී සිදු කරනු ලබන්නේ එම ගස පාමුල දෙවියන් භාවනානුයෝගීව වැඩවසන බව තරයේම විශ්වාස කරමිනි. මෙම බිමේදී තල්ප්පාවකින් සැරසුණු,තල්ත්තෑනී ශාන්ත පුද්ගලයකු බොහෝදෙනකුට මුණගැසී තිබේ.

බුම්මැඩි රාව අතර බජන් ගී ගයන අතරතුර එම අත්දැකීම් අනෙක් අය සමඟ බෙදාගන්නා බැතිමතුන් රැය පහන්වනතුරුම දෙවියන්ට ගුණ ගී ගයනු ලබන්නේ දෙවියන්ට ජීවිතයම බාර කරමිනි

අලි මං ඔස්සේ

ලිංතුන හෙවත් නාවල් අඩියෙන් ඇරඹෙන පටු දිගු දුෂ්කර වනමඟ වන සතුන් ගහන ප්‍රදේශයයි.අප ඒ මඟට පිවිසෙන සෑම මොහොතකදීම කොළ අත්තක් එල්ලා දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නේ එය එතරමට බියකරු මාර්ගයක් නිසාමය.කිසිම මොහොතක මිනිසුන්ගේ ඉව නොදැනෙනා කැලෑ මැද්දක්කරයේ ජීවිතය ගෙවන මෙම වන සතුන් මිනිසුන්ට ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කරනු ලබන්නේ ඒ ආගන්තුකබව නිසාමය. එබැවින් එම මඟේදී අප සැලකිලිමත් විය යුත්තේ සද්දන්තයන්ට වඩා සිය ගණනක දඩබ්බර සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කුළුමීමන්ගෙනි.

ඉඳහිට කෝන් ගසක හිඳ අපට උසුළු ලීලකම් පාන රිලවුන්ද වරෙක ප්‍රචණ්ඩ වන්නේ නොසිතන ලෙස ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමිනි.

“අප ගමන් කරමින් උන්නේ දිය පහරකට සමගාමී මඟකය. සවස් එළිය නැඟඑමින් තිබූ අතර අහස කහවෙමින් තිබුණි. කුඩා ගස් මණ්ඩියේ දළු කමින් සිටි වඳුරු රංචුව අප වටකරන්නාසේ දැනුනද එය එතරමට සිතිය යුතු නැතැයි අප තීරණය කරන ලදී. මඳ වෙලාවකින් අප වටකළ රිලා රංචුව කලහකාරීන් ලෙස ඒ මේ අත දුවමින් ,විළිස්සා විරිත්තමින් අප දෙස බලමින් ගමන් කරන්නට වුයේ ප්‍රහාරය සැලසුම් කරමිනි අප ඒ මේ අත බලනවිට දැකගත හැකිවූයේ කුඩා පැටවෙකි. ඇතැම්විට එම පැටවා අප දැකීමෙන් බියට පත්වන්නට ඇත. එනිසාම එසේ ප්‍රහාරය සැලසුම් කරන්නටද ඇත.

ඒ බියකරු වන පියස පසුකළවිට හමුවන තැනිතලාව ඉතාමත් සුවදායක එකකි. එය හඳුන්වනු ලබන්නේ පරණ තොටුපළ නමිනි. පරණ තොටුපළ අසලදී සෑම නඩයකටම සුවදායක ලෙස සුනිමල දිය පහස විඳීමට අවස්ථාව උදා වේ. එමෙන්ම පරණ තොටුපළේදී වේල්ස්වාමී විසින් රැගෙන එන වේලායුධයෙහි සියලු පඬුරු ගලවා පිරිසුදු කිරීම සිදු කරනු ලබයි.

මෙම බිමෙහි දින දෙක තුනක් ගෙවමින් සීතල දියදහරවල පහස ලබමින් ගෙවාදැමීමට යාපනයේ සිට එන බැතිමතුන් කටයුතු කරන්නේ ඔවුන් දකුණුලකට පා තැබූ සතුට සමරමිනි. මේ වැලිතලාව වේල්ස්වාමී සමඟ කතාබහට හොඳම ස්ථානයයි.

“ඒ කාලේ ඉඳන් මේ ගමන යන්නේ පුදුම භක්තියකින්. එක වතාවක් මම ගමනට එන්න හදනකොට පපුව රිදෙන්න පටන්ගත්තා. ඊට පස්සේ මං බෙහෙත් ගන්න ගියාම මගේ වෑල් දෙකක් බ්ලොක් කියල කිව්වා. ඒත් මං මේ ගමන යන්නම ඕන කියල හිතා ගත්තා. කොහොමහරි දවස උදා වුණා.මං ගමන පිටවුණා. මගේ අමාරුව ගැන කාටවත් කිව්වෙ නෑ. ගමන පටන් අරන් එනකොට ටික ටික අමාරුව අඩුවුණා.කොහොමහරි මං දේවමාළිගාවට පය තිබ්බා. වතාවත් ඔක්කොම ඉටු කළා. ආයේ යාපනේ ගිහින් බලනකොට මගේ බ්ලොක් එකක්වත් නෑ.ඒක හාස්කමක්. මේ ගමනේදී කොතැනකදී හෝ අපේ හැමකෙනාටම දෙවියන් හමුවෙනවා. දෙවියෝ සමහර වෙලාවට අපේ ළඟින්ම ගමන් කරනවා. ඒක තමා ඇත්ත. මෙහෙම යනකොට දෙවියෝ අහම්බෙන් අපට කතා කරන්නත් පුළුවන්. එක දෙයක් කිව යුතුමයි මේ පාද මාවතේ අනිවාර්යයෙන් අපට දෙවියන් එක වරක් හරි හමුවෙනවාමයි.

වේල්ස්වාමී පවසන්නේ දැඩි විශ්වාසයකිනි.එම විශ්වාසය වේල්ස්වාමී ඇතුළු සියලු බැතිමතුනට තිබේ. මේ වන මං තුළ ඇතැම්විට අදහාගත නොහැකි දේ සිදුවේ.විශාල වශයෙන් පිරිස ගමන් කිරීමේදී වන මැදින් හමන සුළඟට කැටිවූ මල් සුවඳ බැතිමතුන් මවිත කරලයි.තවත් තැන්වල ගල් කෙමන වැනි විශාල දියවලවල ඉතා පිරිසුදු පානීය ජලය දක්නට ලැබේ. මේ ගමනට එක්වන අත්දැකීම් පිරිපුන් ඇතැම් බැතිමතුන් එම ශුද්ධ ජලය සුරක්ෂිතව රැගෙන යයි. එම ජලය දෙවියන් විසින් තමාට ලබාදුන් වස්තුවක් ලෙස රකින මෙම බැතිමතුන් ඊළඟ වසරතෙක් මෙම ශුද්ධ ජලය සුරැකීමට වගබලා ගනිති.

මෙසේ දින ගණනක් මහවනමැදින් පැමිණෙන පාද යාත්‍රාව අවසානයේ කටගමුව වන උයන් පිවිසුමෙන් පිටව ගමනාන්තය වෙත ළඟාවේ.එසේ පැම්ණෙන ඔවුහු රුහුණු කතරගම මහා දේවාලයේදී තම වතාවන්ට එක්වන්නේ දිනපතා පුද හරසර පවත්වමිනි.

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්ලයට පසුව මෙසේ පාදයාත්‍රා පුදපෙත් නිමකරන බැතිමතුන් එකිනෙකාගෙන් වෙන්වී තම ගම් බිම් කරා පිටවයන්නේ ලබන වසරේ හමුවීමේ බලාපොරොත්තුව සමඟිනි. දින ගණනාවක් එක්ව එකම අරමුණකින් එකම මඟක එන පිරිස වෙන්වීමේදී එකවර දැනෙන වෙන්වීමේ පාළුව පාදයාත්‍රාවට එක්වන සියලුදෙනා හොඳින් දනී.

පාදයාත්‍රාව යනු දෙවියන් වෙනුවෙන් මිනිසුන් යන චාරිකාවකි.ජීවන චාරිකාව තරමටම කටුක, සුන්දර එම ගමනේදී දෙවියන් විසින් සැබෑ අව්‍යාජ මිනිසුන් මේ ගමනේදී එක් කරයි.

යාපනේ සිට දින ගණනාවක් මහ වනමැදින් කතරගමට යන බැතිමතුන්
පාද යාත්‍රාව අතරතුර පළමු ගිමන් හල වන බාගුරේ නවාතැනේදී රාත්‍රියට සූදානම් වන බැතිමතුන්

 

ඡායාරූප - සුලෝචන ගමගේ

 

Comments