අරගලයෙන් මත් වී රටේ නීතිය අවනීතිය කරන ප්‍රචණ්ඩත්වයක රඟ | සිළුමිණ

අරගලයෙන් මත් වී රටේ නීතිය අවනීතිය කරන ප්‍රචණ්ඩත්වයක රඟ

 

 

කොළඹ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ දී පසුගිය සෙනසුරාදා (24) පැවැත් වුණු ප්‍රවෘත්ති සාක්ච්ඡාවේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව රටේ ජනතාව මේ වන විට මුහුණ පා සිටින බරපතළ කාරණාවක් ගැන තොරතුරු මුල්වරට අවධාරණය කළේය. ඒ ඇතැමුන් මෙරට 'නීතිය' තුට්ටුවකටවත් මායිම් නොකර හිතු හිතු හැටියට කටයුතු කරන්නට පටන්ගෙන තිබීමේ ප්‍රවණතාව සහ එහි ඇති අවධානම පිළිබඳවය.

ඇතැම් පුද්ගලයන් මාර්ග නීති පවා අමු අමුවේ හිතාමතාම උල්ලංඝනය කරන අයුරු නිරික්ෂණය කර ඇතැයි කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහ මඟ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් බලා සිටියදීම ඇතැම් පුද්ගලයන් ආරක්ෂිත හිස් වැසුම් පවා නොමැතිව මෝටර් බයිසිකල්වල ගමන් කරන අයුරු ද ඒවා නවතා පරික්ෂා කිරීමට යන පොලිස් නිලධාරීන්ට පරුෂ වචනවලින් බැණ වැදී ඇතැම් අවස්ථාවල පහරදීමට පවා තැත් කරන අයුරු ද නිරික්ෂණය වී ඇතැයි සඳහන් කළේය.

රටේ පවතින නීතිය තුට්ටුවකටවත් නොසලකමින් නීතිය සහ සාමයට අභියෝග කරන පිරිසක් බිහිවන්නේ ප්‍රධාන වශයෙන්ම මාර්තු මාසයේ 31 වැනිදා සිටය.

කිරිපිටි, විදුලිය, ඉන්ධන, ගෑස් පෝලිම් කිලෝමීටර ගණන් දික් වෙද්දී විශේෂයෙන් රාත්‍රී කාලයේ පැය ගණනක් එක දිගට සිදු වූ විදුලි කප්පාදුව ගැන උරණ වූ මහජනතාව එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස අසල කලහකාරි ලෙස හැසිරෙන්නේ රාත්‍රි කාලයේය. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව අතර පැය කීපයක් එදින ඒ මොහොතේ ඇති වූ ගැටුම් වලින් මහජනතාවට මෙන්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදා සෙබළුන්ටද තුවාල සිදු විය. හමුදා බසයක් ගිනිබත් කැරිණි.

ජනපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඇඳිරිනීතියද නොතකා අප්‍රේල් 9 වැනිදා ගාලු මුවදොරට එක්රොක් වුණු දහස් සංඛ්‍යාත මහජනතාව 'ගෝඨා ගෝ හෝම්' පාඨය මුල් කර ගෙන 'ගෝඨා ගෝ ගම'ද එහි ස්ථාපිත කරද්දී රටපුරා මහජනතාව අතරෙන් විරෝධතා රැල්ලක් ක්‍රමක්‍රමයෙන් මතු වූ අතර පොලිසියට පොලිස් විශේෂ කාර්ය බළකායට ත්‍රිවිධ හමුදාවට ඒවා පාලනය කිරීමට මහත් උත්සාහයක් සහ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යෙදවීමටද සිදුවිය. විරෝධතාකරුවන් සහ පොලිසිය, පොලිස් විශේෂකාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව අතර ක්‍රම ක්‍රමයෙන් ගැටුම් සහගත තත්ත්වයක් වර්ධනය වන්නේ ඒ සමඟය. මේ ගැටුම්වලදී විරෝධතාකරුවන්ට මෙන්ම ආරක්ෂක අංශවලට සිදු වූ හානිය සුළු පටු නැත.

ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝලිම් නිසා මහජනතාව මුහුණ පා සිටි 'පීඩාව' එන්න එන්නට වැඩි වෙද්දි එය වෙනත් අයුරකින් පුපුරා යන්නේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පොදුජන පෙරමුණු ආධාරකරුවන්ගෙන් මැයි 09 වැනිදා එල්ල වන ප්‍රහාරයත් සමඟය.

මැයි මාසයේ 09 වැනිදා ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරයත් සමගම රටේ නීතිය මහජන ආරක්ෂාව සහ සාමය නැත්තටම නැති වූ බවක් පෙනෙන්නට තිබුණේ එම ප්‍රහාරයත් සමඟ රටපුරා ඇති වූ බිහිසුණු තත්ත්වය සමඟය. මැති ඇමතිවරු ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු 74 දෙනෙකුගේ නිවාස දේපළ සංචාරක හෝටල් සහ වාහන අති විශාල සංඛ්‍යාවක් රටපුරා ඇති වූ කලහකාරී සිදුවීම්වලදී ගිනි බත් වූ අතර ඇඳිරි නීතිය පැනවුවත් එය මර්දනය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි නොවුයේ ඒ තරමටම මහජනතාව ප්‍රකෝපවී සිටි බැවිනි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු දස දෙනෙකු පමණ මේ සිදුවීම්වලදී ජීවිතක්ෂයට පත් වූ අතර පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු හාරසියයකට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ.

මැයි මාසයේ නව වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරි සිදුවීම්වලින් ජනතාවට ලැබුණු ආභාසය ඉතා නරක තත්ත්වයට පත්වන්නේ එතැන් සිට බොහෝ දෙනෙකු රටේ නීතිය තුට්ටුවකට හෝ මායිම් නොකර හිතු හිතු ආකාරයට කටයුතු කරන්නට පටන් ගැනීම නිසාය. මේ අතර පොලිස් නිලධාරින්ට පහරදීමේ සිදුවීම් ගණනාවක් ද වාර්තාවන්නේ තත්ත්වය වඩාත් බැරෑරුම් කරමිනි.

මේ ගැන රජයේ සුවිශේෂි අවධානය යොමු වී තිබුණත් මහජනතාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතාව සහ පීඩාව ගැන රජයද වැඩි වශයෙන් අවධානය යොමු කර තිබිණි.

'ගෝඨා ගෝ' ගමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැයි 09 වැනිදා ඉල්ලා අස්වීම අරගලකරුවන්ගේ සුවිශේෂි අවධානය යොමුවී තිබුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීම සහ රාජපක්ෂ පවුලේ අය ඇමති ධුරවලට පත් නොකිරීමට ජනපති ගෝඨාභය රජපක්ෂ මැයි 09 සිදුවීමෙන් අනතුරුව පියවර ගෙන තිබුණත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව සති කීපයක් ගත වෙද්දී ජනපති ගෝඨාභයට විරුද්ධව අලුත් වටයකින් විරෝධය ගොඩනැ­‍ෙඟන්නේ ජුලි මාසයේ 9 වැනිදාය.

එදින උදෑසන ඇඳිරිනීතිය අවසන් කිරීමත් සමඟ කොළඹට එකතුවන ලක්ෂ සංඛ්‍යාත ජනකාය ගාලුමුවදොර සහ ඒ අවටට පැමිණ පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව සමඟ ගැටෙන්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම සඳහාය. අරගලකරුවන් පොලිසියට සහ ත්‍රිවිධ හමුදා බාධක මැඬගෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයද අත්පත් කර ගැනීමත් සමඟ විරෝධාකරුවන් සහ පොලිසිය, ත්‍රිවිධ හමුදාව අතර ඇති වූ ගැටුම්වලින් 110 දෙනෙකු පමණ තුවාල ලැබූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අයත් කොල්ලුපිටිය මල්පාරේ පිහිටි පෞද්ගලික නිවෙසද කලහකාරින් විසින් ගිනි තබා විනාශ කළ අවස්ථාවේදී ඇති වූ ගැටුම්වලින් ජනමාධ්‍යවේදීන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු විශාල පිරිසක් තුවාල ලදහ.

අරගලකරුවන්ගේ පළමු ඉල්ලීම වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමයි. එම ඉල්ලීම සාක්ෂාත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ජුලි 14 වැනිදාය.

ඊට පෙර දින එනම් ජුලි 13 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පොල්දූව මං සන්ධියේදී විරෝධතාකරුවන් සහ පොලිසිය, හමුදාව අතර ඇතිවන්නේ ඉතා දරුණු ගැටුමකි. යුද හමුදාවේ විසිදෙනෙකු ඇතුළු හතළිස් අට දෙනෙකු පමණ මෙහිදී තුවාල ලැබූහ. හමුදා සෙබළු දෙදෙනෙකු සහ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට විරෝධතාකරුවන්ගෙන් අති අමානුෂික ප්‍රහාරයක් එල්ල වූ අතර හමුදා සෙබළු අත තිබු ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සහ පොලිස් නිලධාරින් සතුව තිබුණු කඳුළු ගෑස් උණ්ඩ සහ දුම්බෝම්බ තුන්සිය පනහක් පමණ විරෝධතාකරුවන් විසින් පැහැර ගන්නා ලදි.

එලෙස පැහැර ගන්නා ලද ටී 56 තුවක්කු දෙකෙන් එකක් දියවන්නාවට විසිකර තිබියදී සොයා ගැණුනේ නාවික හමුදාව කළ මෙහෙයුමකින් අනතුරුවය. කඳුළුගෑස් උණ්ඩ 50ක් සමඟ රාජගිරියේදි එක් සැකකරුවකු පසුව අත්අඩංගුවට ගැණිනි. එක් ටී 56 තුවක්කුවක් මෙතෙක් සොයාගෙන නැත. මේ ගැන ආරක්ෂක මණ්ඩලයේද බරපතළ ලෙස සාක්ච්ඡාවට ලක්විය.

පොල්දුව මං සන්ධියේදි පොලිසිය සහ හමුදාව සමඟ ගැටුණු පිරිස බැකෝ යන්ත්‍රයක් යොදාගෙන මාර්ග බාධක කඩා බිඳ දැමීමට තැන් කරන දර්ශන සාමාජ මාධ්‍ය ජාලාවලද විකාශය විය.

මේ අතරේ පොලිසිය මුහුණ දුන් තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ තෙල් පෝලිම්වල ඇතිවෙන ගැටුම් නිරාකරණයට සහ ඒවායේ ආරක්ෂාවට සිටින පොලිස් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ප්‍රහාර එල්ල වීමයි. රටපුරා මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර මේ සිදුවීම්වලදී අහසට වෙඩි තබා කලහකරුවන් විසුරුවා හැරීමට හමුදාවට සහ පොලිසියට සිදුවිය. විශ්වමඩු, බණ්ඩාරගම, අතුරුගිරිය, මතුගම, ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉන්ධන පෝලිම් අසල පොලිසියට හමුදාවට පහරදීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය. අතුරුගිරියේදී එවැනි පහරදිමකින් පොලිස් නිලධාරින් හය දෙනෙක් තුවාල ලැබුහ. ඇඹිලිපිටියේදී හමුදා සෙබළකුගේ අත තියුණු පිහියකින් කපා දමා තිබුණු අතර තවත් ස්ථානයකදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ වාහනයකට පහරදී අලාභහානි සිදු කර තිබිණි.

ඇල්ල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකදී ටිපරයකට යට කර පොලිස් නිලධරයකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක්ද ඔය අතර වාර්තා විය. බිමත්ව සිටි සැකකාර රියදුරු පසුව අත්අඩංගුවට ගැණිනි. කුරුණෑගල ගෝන ගම ඉන්ධන පිරවුම්හලේදී පොලිස් නිලධරයෙකුට මාළු කපන පිහියකින් පහරදීමට තැත් කළ පුද්ගලයකුද සැකපිට අත්අඩංගුවට ගැණිනි. සැකකරු ඔහුගේ මෝටර් බයිසිකලයට ඉන්ධන පෝලිමට පිටින් ඉන්ධන ලබා ගැනීමට තැත් කරද්දී මේ සිද්ධිය විය. පොලිස් නිලධාරින් අත් විලංගුවකින් පහරදීම නිසා සැකකරුටද තුවාල සිදු විය.

පිළියන්දල මඩපාත ඉන්ධන පිරවුම් හලේදී පොලිස් නිලධරයකුට කියතකින් පහරදීමට තැත් කළ පුද්ගලයකුද පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය දාය.

අවසර නොලත් යතුරු පැදියකින් පැමිණි මේ පුද්ගලයා ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කරද්දී පොලිසිය එය වළකා ඇති අතර පසුව එතැනින් නික්ම ගොස් බට්ටා ලොරියකින් එතැනට පැමිණි සැකකරු පොලිස් නිලධරයෙකුට කියතකින් පහරදීමට උත්සාහ කර තිබිණි.

කටුගස්තොට ගොහාගොඩ යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු ඔහුගේ රියැදුරු සහ වාහනයට පහරදී අලාභහානි සිදු කළ පුද්ගලයන් හත් දෙනෙකු කටුගස්තොට පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගියදාය. මේ පුද්ගලයන් හත් දෙනා මහනුවර ප්‍රධාන මහේෂ්ත්‍රාත් ශ්‍රිනිත් විජේසේකර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර දහයකට අත්හිටුවන ලද අවුරුදු 3යි මාස 11ක සිර දඬුවමක් සහ දඩ මුදල් නියම කැරිණි.

අයුතු ජනරාශිය අයුතු අවහිරය රජයේ සේවකයකුට පහරදීම තුවාල සිදු කිරීම සාපරාධි බලහත්කාරයෙන් රාජකාරියට බාධා කිරීම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව අධිකරණය වෙත ඉදිරිපත් කැරිණි.

පොලිසියට සහ හමුදාවට එරෙහිව වෛරිය අදහස් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු ගාල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේද පසුගියදාය.

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පිටිගල පොලිසියේ නිලධාරින් දෙදෙනෙක් කපා කොටා බරපතළ තුවාල කළ පුද්ගලයකුද පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් විය.

පසුගිය මාස තුන හතරක් ඇතුළත ප්‍රචණ්ඩකාරින් ගේ ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කරන ලද පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව සියයකට වැඩිය. පොලිස් දෙපාර්තමේන්තුවට අයත් බස්, වෑන්, ට්‍රක්, ත්‍රිරෝද රථ, ජල විහිදුම් රථ ඇතුළු වාහන අසූවකට පමණ ප්‍රචණ්ඩකාරි පිරිස් විසින් පහරදී බරපතළ අලාභ හානි සිදු කර තිබීමද විශේෂය.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පසු ගිය ජුලි 09 වැනිදා අරගලකරුවන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව ඒවායේ දේපළවලට සිදුවී ඇති හානිය ඉතා විශාල බව පොලිසියේ මතයයි. ඒ සම්බන්ධ විමර්ශන මේ වන විටත් සිදුවේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් අරගලකරුවන් ඉවත් කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්යබළකාය සහ ත්‍රිවිධ හමුදාව 20 අලුයම සිදු කරන ලද මෙහෙයුම ගැනද සමාජයේ දැඩි කතාබහට ලක් වූ අතර එහිදි අරගලකරුවන්ට හමුදාව අමානුෂික ලෙස පහරදුන් බවටද චෝදනා එල්ල විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ කොල්ලුපිටිය පොලිසියට මේ ගැන මේ වන විට පැමිණිලි 7ක් ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශනද සිදු වන බවයි.

මේ අතර පොලිස් මුලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී පොදු දේපළවලට අලාභ හානි සිදු කළැයි චෝදනා මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හය දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදේශ ගමන් තහනමක්ද පනවන්නේ පසුගියදා ය.

බන්ධනාගාර ගත වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් ද මේ වසරේ දක්නට ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙවී ගිය මාස 7 ක කාලය ඇතුළතදී 20000කට ආසන්න පිරිසක් එසේ බන්ධනාගාර ගත කර ඇත.

 

ඡායාරූප - බණ්ඩාරගම බිමල් ජයසිංහ

 

 

Comments