අගෝස්තු මාසය ඔබට කොහොමද? | සිළුමිණ

අගෝස්තු මාසය ඔබට කොහොමද?

 

එළඹෙන අගෝස්තු මාසය ආරම්භයේ සිටම බුධ ශුක්‍ර කුජ රවි යන ග්‍රහයන්ගේ මාරුවීම් කීපයක්ම දක්නට ලැබෙයි. ඒ අනුව බාධක අභියෝග හමුවේ වුවද ජීවන පැවැත්ම තුළ ජයග්‍රාහී අවස්ථාවන් අපේක්ෂා කිරීමට ඔබට හැකියාවක් පවතී. මෙතෙක් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලැබීමටත් ගෘහ ජීවිතයේ අභිලාසයන්, රැකියා, දරුඵල, දරුවන්ගේ අධ්‍යාපනය ආදියේ සුබවාදී පිළිවෙතක් නිර්මාණය වීමටත් ඉඩකඩ ඇත. ආවේගශීලී බවින් මිදී ඉවසීම ප්‍රගුණ කිරීම සහ ධාර්මික බව අපේ ජීවිතයේ ගැටලු අවම කරන බව ද සිහිපත් කරනු කැමැත්තෙමි.

ප්‍රවීණ ජ්‍යෛාතීර්වේදිනි

ශ්‍රීයා ගනේගොඩ

මේෂ ලග්නය - ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි

ගෘහ ජීවිතය :- රාහු ලග්නයේත් බුධ ශුක්‍ර කුජ රවි යන ග්‍රහයන්ගේ රාශි මාරුවීම් තවදුරටත් දක්නට ලැබෙයි. ඒ භාවගත වීම් අනුව සුබඵල වැඩියෙන් ද අසුබඵල අඩුවෙන් ද ඔබේ ලග්නය තුළ පෙන්නුම් කරයි. ඒ අනුව කුටුම්භය තුළ ඔබගේ සමීපතමයන් හා ගත කරන කාලය ඔබට ගෞරවය, ආදරය, පිළිගැනීම හිමිවේ. ඉන් පිටතදී වුවද ඔබ දැඩි මතධාරී බවක් පෙන්නුම් කළත් ප්‍රධානත්වය ඔබටම හිමිවේ. දුර ගමන් බිමන් යෙදෙයි. සමහරවිට දුරදිග නොබලා කරන වැඩකටයුතු නිසා පසුතැවිල්ලට හේතුවෙයි. මුල් සතියෙන් පසු වචනය පාලනය කර ගැනීමෙන් ගැටලු මගහරවා ගැනීමට පුළුවන. දරුවන්ගේ දක්ෂතා නිසා සතුටට පත්වෙයි.

 

රැකියාව :- 10 වැන්නාධිපති 10 වෙනි භාවයේම වක්‍රව ගමන් ගන්නා බැවින් රැකීරක්ෂා කටයුතුවලදී පරෙස්සම් විය යුතුයි. යුක්තිගරුකව සහ සාධාරණව කටයුතු කළහොත් උසස්වීම් සහ ප්‍රධානීන්ගෙන් උපකාර හිමිවේ. පොදු ජන යහපත පිණිස වැඩි කාලයක් වෙන්කරන්නට සිදුවන සහ නායකත්වය හිමිවන රැකියා අංශවලට යොමුවේ. ආදායම් හොඳ අතට හැරේ. විදේශගත වන්නන්ට ලිපි ලේඛන කටයුතුවලින් සුබඵල, සුබ පණිවුඩ ලැබීමට පුළුවන.

අධ්‍යාපනය :- දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්වය තරමක් උසස් ලෙස කරගෙන යාමට හැකියාව පෙන්වයි. සුළු වශයෙන් පහසුකම් සැලසේ. කලා අංශය තුළ ජයග්‍රහණ හිමිවේ.

සෞඛ්‍යය :- සෙම් රෝග, උදර රෝග, පීනස් රෝග ආදිය පවතී. අපල අවම කර ගැනීමට වස්කාලයේ ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පිළිගන්වන්න.

සුබ අංකය 07, සුබ වර්ණය - රතු,

සුබ දවස - අඟහරුවාදා

වෘෂභ ලග්නය - ස්වයං රැකියාවලට සුබයි

 

ගෘහ ජීවිතය :- ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති 2 සහ 3 භාවයන්වල ගෝචර වන අතර රවි බුධ සිවුවැන්නේ සහ පස්වැන්නේ ගමන් කරයි. සෙනසුරු යෝගකාරක ලෙස 9 වැන්නේය. සතුටින් ගත කරන්නට අවශ්‍ය කරන කරුණු කාරණා සැලසෙයි. දරුවන්ගේ පැමිණීම දිගු කලකට පසු සහනයක් ගෙනදෙයි. පැමිණිය නොහැකි නම් ඥාතීන්, හිතවතුන් දුරකථනයෙන් හෝ සුවදුක් විමසයි. නිවෙස් අලුත්වැඩියා කිරිම් සිදුවෙයි. කලාත්මක අංශවල කටයුතුවලින් සැනසීම ගෙනදෙයි.

රැකියාව :- වෘතීමය කටයුතුවලදී ආදායම් තත්ත්වය තරමක් දුරට සතුටුදායක බවක් පෙන්නුම් කරයි. ස්වයංරැකියා අංශ දියුණු කර ගැනීමට සුදුසු කාල වකවානුවකි. ලිපි ලේඛන අංශවල දියුණුවක් ද පෙන්වයි. නිවසේ සිටම ආදායමක් ඉපයීමට අවස්ථා සැලසේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට සුළු සහනදායී බවක් ඇත. වෙනදාට වැඩි උනන්දුවකින් කටයුතු කරයි. අලස බව මඟ හැරේ. කලා අංශවලට සුබඵල වැඩියි.

සෞඛ්‍යය :- සෙම් රෝග, උදර රෝග මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති විය හැකි බැවින් සැලකිලිමත් වන්න. නොකළ වරදවල් තමා පිට ඒමට හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. උදේ සවස බුදුන්ට මල් පූජා කිරීම අපල අවම කරයි.

සුබ අංකය 06, සුබ වර්ණ - සුදු, ක්‍රීම්,

සුබ දවස - සිකුරාදා

 

මිථුන ලග්නය - ලිපි ලේඛන කටයුතුවලින් සුබඵල

 

ගෘහ ජීවිතය :- ලග්නාධිපති තුන් වැන්නේ සහ අනෙකුත් ග්‍රහ මාරුවීම් සහ ගෝචරවීම් අනුව මේ මාසය ඔබට සුබඵල උදාකර දෙයි. බොහෝවිට පදිංචි ස්ථානයෙන් පිට වාසය කරන්නට ද සිදුවේ. සහජ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි අතර දුවා දරුවන් සමඟ සතුටින් ගතකරන්න අවකාශ ලැබේ. උසස් නිලධාරීන්ගෙන් උපකාර හිමිවේ.

රැකියාව :- බොහෝදුරට අඩාළව පැවති රැකී රක්ෂා අංශවල දියුණුවක් දක්නට ලැබෙන අතර ආර්ථිකය සතුටුදායක අතට හැරේ. රූපලාවන්‍ය කටයුතු, ලිපි ලේඛන, ලියන කියන අංශවල අයට සුබඵල උදාකරයි. සන්නිවේදන අංශවල දියුණුවක් ද ඇති කරයි.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවන් ඔවුන්ගේ බුද්ධි මට්ටම වර්ධනය කර ගන්නා ග්‍රහබල පෙන්වයි. වෙනදා නොතිබුණු උනන්දුවකින් පොතපත පරිහරණය කරයි. ජයග්‍රහණ හිමිකර ගනියි.

සෞඛ්‍යය :- උෂ්ණාධික මෙන්ම වාතවේදනා මතු කරයි. ධර්ම ග්‍රන්ථ කියවීම, බෙදාහැරීම ඔබට අපල අවම කර සුව සහනය ළඟා කර දෙයි. සුළු අනතුරු ඇතිවිය හැකි බැවින් කලබලකාරී වැඩවල නොයෙදී කල්පනාවෙන් කටයුතු කරන්න.

සුබ අංකය 05, සුබ වර්ණය - කොළ,

සුබ දවස - බදාදා

 

කටක ලග්නය - වචනයට අන්‍යයන් ගරු කරයි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැන්නේත් බුධ සිකුරු කුජ රවි ආදීන්ගේ ගෝචර වීම් අනුවත් මිශ්‍රඵල සහිත කාලයක් වුවත් සුබඵල වැඩි බවක් දක්නට ඇත. කුටුම්භ සංරක්ෂණය, යුතුකම් අනුව ඉතා ඕනෑකමින් ඉටුකරයි. ස්ත්‍රී පක්ෂයෙන් උපකාර හිමිවෙයි. විනෝදකාමී වෙයි. ගැටලු අමතක වූවා සේ කාලය ගෙවන අතර විදේශ ගමන් සඳහා ද සිත යොමු කරයි. දුර ගමන් නිතර යෙදෙන්න පුළුවන.

රැකියාව :- තමන් කරන කියන රැකියා හා ව්‍යාපාර අංශ ඉතා උනන්දුවෙන් උද්යෝගයෙන් කරගෙන යන අතර ඒ සඳහා අවහිර බාධක යෙදෙන විට ආවේගශීලී වෙයි. ලාභ ප්‍රයෝජන සාමාන්‍ය මට්ටමේ පවතී. ඉවසීම ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍ය වේ.

 

අධ්‍යාපනය :- ඉගෙනගන්නා දරුවනට ග්‍රහමාරු ග්‍රහගෝචර වීම් අනුව තවදුරටත් තනිව වැඩ කර ගැනීමට සිදුවේ. බොහෝවිට විඩාබර අලස ගති ඇති වුවත් මවුපිය කැපවීම මත වැඩ කරගෙන යයි. සහජ දක්ෂතාවලින් ජයග්‍රහණ හිමිවෙයි.

සෞඛ්‍යය :- සෙම් රෝග, උදර රෝග වැලඳීමට හැකියාව ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමන්න. අපල සහ අසනීප අවම කර ගැනීමට සිල්වත් ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පූජා කරන්න.

 

සුබ අංකය 09, සුබ වර්ණය - සුදු,

සුබ දවස - සඳුදා

සිංහ ලග්නය - ආදායම් තත්ත්වය ඉහළට

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 12 වැන්නේ සිටියත් 11, 2 අධිපතීන් ලග්නයට පැමිණීමට අනුව නැණ නුවණින් යුතුව වැඩ කටයුතු කිරීමට පෙළඹීම නිසා ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වා ගැනීමට උනන්දු වේ. වැඩිහිටි අයට උදවු උපකාර කරමින් සමගියෙන් කල්ගෙවීමටත් සියලු වැඩ රාජකාරී තම ශ්‍රමයෙන් ඉතා කඩිසරව ඉටු කිරීමටත් අවස්ථාව සැලසේ.

රැකියාව :- පැවති බාධක සම්පූර්ණ නොවුණත් රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවල හැකි අයුරින් නියැළෙයි. එදිනෙදා අවශ්‍ය මුදල් උපයා ගැනීමට සාධාරණ මාර්ගවලට යොමුවන අතර විදෙස් ගමන් පිළිබඳව ද අවධානය යොමුකරයි.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවන් සිය උත්සාහය පෙරටුකොට විභාග අභියෝග ජය ගැනීමට උනන්දු වෙයි. ඔවුන් පැමිණෙන බාධක ගැන නොතැවී ගුරු උපදෙස් මත පොතපත හා තාක්ෂණික මෙවලම් මඟින් දැනුම උකහා ගනියි.

සෞඛ්‍යය :- මාසයේ මැද භාගයෙන් පසු පැවති අසනීපවලින් සුවයක් ලැබීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

 

සුබ අංකය 04, සුබ වර්ණය - රතු,

සුබ දවස - ඉරිදා

කන්‍යා ලග්නය - වියදම් අධික වේ

ගෘහ ජීවිතය :- ගෘහය ඇතුළත මෙන්ම ඉන් පිටත ද රැකියා ස්ථානවලදී ද අනපේක්ෂිත ගැටලු පැන නැඟීමටත් නොකළ වරදවලට චෝදනා ලැබීමටත් හැකි බැවින් පරෙස්සම් වන්න. මුල් සති දෙක සැනසීම අඩු විය හැක. අගදී සමථයකට පත්වේ.

රැකියාව :- රැකියාවේ ගැටලුකාරී තත්වයන් මතු වුවත් ඒවා ක්ෂේත්‍රයේ සෑම කෙනෙකුටම පවතින ඒවා බැවින් කලකිරීම්වලට භාජනය නොවී යුතුකම් ඉටුකරලීම ගැන පමණක් සිතන්න. අන් අයට වඩා වැඩි වැඩ කොටසක් සහ බැරෑරුම් වගකීම් පැවරේ. ඉවසීම ප්‍රගුණ කිරීම ඔබේ සිත ශක්තිමත් කර ගැනීමේ මාර්ගයයි. ආදායම් ලැබුණත් වියදම් පක්ෂය වැඩිවේ.

අධ්‍යාපනය :- ඉගෙනීමේ කටයුතු නිසි පරිදි නැතත් අඩු පහසුකම් මත වුවද කරගෙන යෑමට උනන්දුවේ. දැනුම වර්ධනය වේ. විභාග සහ ඉලක්කයන් ජය ගැනීමට ශක්තිය ලැබේ.

 

සෞඛ්‍යය :- තුනටිය ආශ්‍රිත වේදනා මතු කරයි.

ජලය වැඩිපුර පානය කරන්න. සති අග පවුලේ සියලු දෙනා සමඟ බෝධි පූජාවක් පවත්වන්න. කරණීය මෙත්ත සූත්‍රය නිතර කියන්න. අපල අවම කෙරේ.

 

සුබ අංකය 02, සුබ වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

තුලා ලග්නය - ආදායම් තත්ත්වය සතුටුදායකයි

ගෘහ ජීවිතය :- දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කළත් සමගියට බාධක පැමිණිය හැකියි. එහෙත් සියලු වගකීම් දරමින් පසුබෑමකට ලක් නොවී චිත්ත ශක්තිය පවත්වාගැනීම ඔබ සතු උතුම් ගුණාංගයකි. ජයග්‍රහණ හිමිවේ. විවාහ සහකරු හෝ සහකාරිය සමඟ වාද විවාදවලට නොයන්න.

රැකියාව :- හවුල් ව්‍යාපාර, රැකී රක්ෂාවලින් ආදායම් හිමිවුවද ආවේගශීලී නොවී හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට සිතට ගන්න. ආර්ථිකය කළමනාකරණය නිසි අයුරින් සිදු නොවුණහොත් ගැටලු මතුවේ.

අධ්‍යාපනය :- ඉගෙනීමේ යෙදෙන දුවා දරුවන් දැඩි වෙහෙසකාරී තත්ත්වයක සිටියත් බුද්ධි වර්ධනය සිදුවන ග්‍රහබල ශක්තීන් නිසා පරාජය නොවේ. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ දක්ෂතා මතුකරයි.

සෞඛ්‍යය :- මුත්‍රා දෝෂ, ස්නායු ආබාධවලට ඉඩ ඇති බැවින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. නිතර දසදිසා පිරිත ශ්‍රවණය කිරීමෙන් හා සතියේ සිකුරාදා දින චෛත්‍යයක් අබියස විසිතුරු වර්ණවත් මල් පූජා කර දෙවියන්ට පින් දීමෙන් අපල අවම වේ.

සුබ අංකය 06, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික ලග්නය - සතුරු කරදර දුරු වේ

 

ගෘහ ජීවිතය :- දැඩි මතධාරීත්වයක සිට කටයුතු කළත් කුටුම්භ සංරක්ෂණය මගනොහැර යුතුකම් ඉටුකරයි. විවාහක අයට ගැටලු මතුවෙන බැවින් එක් අයකු සාමකාමී වීම හොඳය. අලස ගති මගහැරී යයි.

රැකියාව :- කරන කියන රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. හවුල් ව්‍යාපාර ආදියේදී පරෙස්සමෙන් අනෙකා සමඟ කටයුතු කිරීම ගැටලු අවම කරයි. කෘෂිකාර්මික අංශවලට යොමුවීමෙන් ද යහපත් ප්‍රතිඵල හිමි කර ගැනීමට හැකියාව පවතී.

අධ්‍යාපනය :- දුවා දරුවන් ගේ දැනුම වර්ධනය වේ. ස්වෝත්සාහයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණ හිමිවේ. නොයෙක් අංශවල දැනුම ලැබීමට සහ නව නිර්මාණ උත්පාදනයට ද යොමුවේ.

සෞඛ්‍යය :- ස්නායු රෝග පාදවල වේදනා ලේ දෝෂ මතු විය හැකියි. පවතින අපල අසනීප අවම කර ගැනීමට අසරණ සහ වයසක අය වෙසෙන පවුලකට ආහාර වේලක් දෙන්න.

සුබ අංකය 01, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

ධනු ලග්නය - අවහිරතා බාධක ගණන් නොගනී

 

ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිවුවැන්නේ සහ අනෙකුත් ග්‍රහ මාරු ගෝචර වීම් අනුව බලන කල කුටුම්භ සංරක්ෂිත කටයුතු යුතුකම්, මැනවින් ඉටු කරන කාලසීමාවකි. බාධක අවහිර ගණනකට නොගනී. ඒ ඒ අවස්ථාවන්ට නොබියව මුහුණ දෙන්නට අවශ්‍ය බුද්ධිය සහ ධෛර්ය උපදී.

රැකියාව :- අන් සියලුම දේ මෙන් රැකියාව රැක ගැනීමේ වුවමනාව මූලිකව පවතී. කිසිදින නොවිඳි අපහසුතා මැද සිය රාජකාරිය දේවකාරිය මෙන් ඉටුකරනු ලබන අතර උසස්වීම් ආදිය ලැබීමට ද හේතුයි. පෙර පින් බලය මතුවේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවන් තම කටයුතු තනිව සහ වැඩිහිටි ගුරුවර ආදීන්ගේ උපදෙස් මත කරගෙන යයි. විභාග සහ අභියෝගයන් හමුවේ නොසැලී පොතපත පරිශීලනය කිරීමෙන් හා තාක්ෂණය මත ඉටුකරගනී.

සෞඛ්‍යය :- ලේ අඩුකම, රත්පිත් ගතිය, උදර රෝග මතුවීමට පුළුවන. කොහොඹ කොළ තම්බා ගත් වතුරෙන් ඇඟපත සේදීම අපල අඩු කරන අතර අසරණ අයකුට ආහාර වේලක් සෙනසුරාදා උදේ වරුවක දෙන්න.

සුබ අංකය 05, සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා

මකර ලග්නය - ආත්ම ශක්තිය බලය වේ

 

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයේමත් අනෙකුත් ග්‍රහ මාරු සහ ගෝචරවීම් මත ඔබ වෙනදාට වැඩි චිත්ත ශක්තියක් ඇතිව කටයුතු කරයි. ග්‍රහයින් මැඩ පැවැත්විය හැකි බලයක් ඔබ සතුව ඇති සේ ක්‍රියාශීලී වීම ආශිර්වාදයකි. පවුලේ වගකීම් හරි හැටි ඉටුකරයි. සමගිය පවත්වාගෙන යයි.

රැකියාව :- රජයේ, පෞද්ගලික අංශයේ හෝ ව්‍යාපාර කටයුතු වූවත් අලස නොවී පවත්වාගෙන යයි. ලාභ පාඩු පිළිබඳව නොසිතයි. අලුත් ආදායම් මාර්ග උදාවේ. කෘෂිකාර්මික අංශයට ද යොමුවේ.

අධ්‍යාපනය :- ඉතා ඕනෑකමින් ඉගෙනුම් කටයුතුවල යෙදෙයි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වර්ධිත කාලයකි.

සෞඛ්‍යය :- වෙහෙසට පත්වී වැඩ කරන නිසාම අසනීප තත්ත්වයන් මතුවීමට පුළුවන. සෙම් රෝග, ලේ දෝෂ, අක්ෂි රෝග බලපවත්වයි. වස් කාලයේ භික්ෂුන්ට ඇප උපස්ථාන කිරීම,බෝධි පූජාවලට සහභාගි වීම අසනීප ගති මගහරවා ගැනීමට හේතුවේ. හැකිනම් භාවනාවක යෙදෙන්න.

 

සුබ අංකය 09, සුබ වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා

 

 

කුම්භ ලග්නය - පවුලේ සමගිය වැඩිවේ

 

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 12 වැන්නේ ද අනෙකුත් ග්‍රහ ගෝචරවීම් මාරුවීම් මත ඔබට අයහපත් බවක් නොපෙන්වයි. ගෘහය තුළ කෙරෙන කටයුතුවලට සැමදෙනාගේ සහයෝගය හිමිවේ. සාමය, සතුට පවතී. දරුසම්පත් සහ එකිනෙකාගේ ආදරය, කරුණාව විවාහකයන්ගේ දියුණුව ඇතිවේ.

රැකියාව :- කරන කියන රැකී රක්ෂා කටයුතු මගහැර නොගෙන ඒවා ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙයි. පොදු ජනතාවගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසෙන්නට සිදුවෙයි. ආර්ථිකය ගොඩ නංවාලීමට බොහෝ සේ උනන්දු වෙයි.

අධ්‍යාපනය :- කලාත්මක අංශවල ඉගෙනුම් ලබන දරුවනට ජයග්‍රහණ අත්වෙයි. සහජ දක්ෂතාව ඔප් නංවා ගැනීමට අවශ්‍ය පිළිවෙත් නිර්මාණය වේ. අනෙකුත් ක්ෂේත්‍රවල ද දියුණුවක් දැනුම වර්ධනයක් ඇති කරලීමේ ග්‍රහබල දක්නට ඇත.

සෞඛ්‍යය :- සෙම් රෝග සහ වාත රෝග උද්ගත විය හැක. තිරිසන් සතුනට, ලේනුන්ට, කුරුල්ලන්ට ආහාර ජලය දිය හැකි නම් අපල මගහැරී යයි. අබල, දුබල වයසක අයට උදවු කරන්න.

 

සුබ අංකය 09, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

 

 

මීන ලග්නය - සහජ දක්ෂතාවන්ගෙන් ඵල ලැබේ

 ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නගතව සිටියත් දෙවැන්නේ රාහු සහ කුජ සංයෝගය පවතින බැවින් අන්‍යයන් සමඟ වචන ප්‍රකාශ කිරීමේදී අවබෝධයෙන් පසුවීම වැදගත් වේ. සහජ දක්ෂතාවන්ගෙන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට සුදුසු කාලයකි. ස්ත්‍රී පක්ෂය නිසා සිත් රිදීම් ඇතිවේ.

රැකියාව :- කරන කියන රැකියා සහ ව්‍යාපාර කටයුතුවල දියුණුවක් දක්නට ලැබුණත් හවුල් ව්‍යාපාර කරුවන්ගෙන් කරදර ඇතිවිය හැක. හැකිතාක් ඉවසීමෙන් බුද්ධියෙන් ඔවුන් සමඟ ගනුදෙනු කරන්න. කෘෂිකාර්මික අංශවලට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකියාව පෙන්නුම් කරයි.

අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවන් බාධක අවහිර නොතකා තම කුසලතා වර්ධනය කර ගැනීමට දැඩි කැපකිරීමක් කළ යුතුව ඇත. හෝ චිත්ත ශක්තියෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යය :- අසනීප තත්ත්වයන් මතුවීමට ඇති ඉඩකඩ වැඩිය. රුධිර පීඩනය අඩු වැඩිවීම්, හිරිවාත ඇතිවෙයි. වෙල් මාළුන්ට ආහාර දෙන්න.

 

සුබ අංකය 03, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

Comments