චීන සරසවියක සිංහල පුස්තකාලයක් ගොඩනැගූ ශ්‍රී ලාංකිකයා | Page 2 | සිළුමිණ

චීන සරසවියක සිංහල පුස්තකාලයක් ගොඩනැගූ ශ්‍රී ලාංකිකයා

චීනයේ සිංහල භාෂාව උගන්වන ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා පුස්තකාලය පසුගියදා විවෘත කෙරුණා.
 
එය විවෘත කෙරුණේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි පීඨාධිපති මහාචාර්ය Liu Shusen සහ එහි සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙනි.
 
මේ අවස්ථාවට යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි පක්ෂ කමිටුවේ ලේකම් Wang Yiguang මහතා, එහි උප පීඨාධිපතිවරුන් වන මහාචාර්ය Xie Ping, මහාචාර්ය Zang Yunfa, මහාචාර්ය Wang Hao, සිංහල අධ්‍යයන අංශයේ චීන කථිකාචාර්ය Liu Ye මෙනවිය සහ එම විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව ඉගෙන ගන්නා සිසුහු පිරිසක් එක්ව සිටියහ.
 
 
පොත් දහසකින් යුත් මෙම පුස්තකාලය යුන්නාන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විෂයක් ලෙස සිංහල භාෂාව හදාරන චීන සිසුන්ගේ ප්‍රයෝජනය සදහා කථිකාචාර්ය සුගත් රත්නායක මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ කරනු ලැබීය. මේ සදහා අවශ්‍ය සිංහල පොත් ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශයෙන්, රීඩ් ප්ලස් සමූහිකයෙන් සහ සුගත් මහතා විසින් මිලට ගෙන පරිත්‍යාග කර තිබේ. කොවිඩ් වසංගත කාලය තුළ විවිධ සීමා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සිට මීට අදාල කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ඔහුගේ බිරිඳ වන නෙතිකා ආශිංශනි මහත්මිය විිසිනි. ඔහුුගේ දස හැවිරිදි ඉහන්සා රත්නායක දියණිය ද කුඩා කළ සිට එකතු කළ කැට මුදල් ද මෙම පොත් මිලට ගැනීම සදහා පරිත්‍යාග කර ඇත.
 
සුගත් රත්නායක මහතාගේ මෙම සත්කාර්ය  යුන්නාන් විශ්වවිද්‍යාල ප්‍රධානීන්ගේ ඉහළ ඇගයීමට හා ප්‍රසංශාවට ලක්ව ඇත. එය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා විෂය ගොඩනැගීමට සහ චීන - ශ්‍රී ලංකා මිත්‍රශීලී හුවමාරුව සඳහා විශාල වැදගත්කමක් ඉටුකර ඇති බව ඔවුහු පවසති. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රධානීන්ගේ මුලිකත්වයෙන් පැවති රැස්වීමක දී " ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව පුස්තකාලය" (Sri Lanka-China Frienship Library) පිහිටුවීමට තීරණය කළ බව පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේදී විදේශ භාෂා පාසලෙහි පක්ෂ කමිටුවේ ලේකම් Wang Yiguang මහතා පැවසීය. ඔහු සඳහන් කළේ මුළු විශ්වවිද්‍යාලයේ ම ගුරුවරුන් සහ සිසුන් වෙනුවෙන් සුගත් මහතාට සිය කෘතඥතාව සහ ගෞරවය පුද කරන බවයි.
 
යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි පීඨාධිපති මහාචාර්ය Liu Shusen මහතා උත්සවය අමතමින් පැවසුවේ මෙම විශාල පොත් ප්‍රමාණය අප පාසලේ සිංහල පොත් එකතුව රටේ ඉහළම විශ්වවිද්‍යාල අතරට එක් කිරීමට සමත් වූ බවයි. එම ග්‍රන්ථ මුල් කර ගනිමින් අප විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කළ  " ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව පුස්තකාලය" චීනයේ සහ ශ්‍රී ලංකාවාසී ජනතාව අතර ඇති මිත්‍රත්වයට සාක්ෂියක් වී ඇතැයි ඔහු පැවසීය. එහිදී පීඨාධිපතිවරයා සුගත් මහතාගෙන් ඉල්ලා සිටියේ හිටපු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට, රීඩ් ප්ලස් සාමුහිකයට(Read Plus Consortium), ඔබගේ බිරිඳ ඇතුළු මේ සදහා උදව් උපකාර කළ මිතුරන් සැමට අප පාසලේ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ අවංක කෘතඥතාව පිරිනමන ලෙසයි.
 
උත්සවයේදී අදහස් දැක්වමින් කථිකාචාර්ය සුගත් රත්නායක මහතා පැවසුවේ "චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව පුස්තකාලය" පිහිටුවීම තම විශ්වවිද්‍යාල ජීවිතයේ වැදගත් අවස්ථාවක් වනවා මෙන්ම  එය ශ්‍රී ලංකා - චීන සබඳතා ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇති බවයි. සිංහල අධ්‍යයන අංශය පිහිටුවා වසර දෙකක් ඉක්ම යාමටත් පෙර පොත් දහසකින් යුත් පුස්තකාලයක් ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බව ඔහු පැවසීය. වෙහෙස මහන්සි වී දැඩි කැපවීමෙන් ඉගෙන ගෙන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දායකවන ලෙස ද ඔහු එම අවස්ථාවට සහභාගී වු සිසුන්ගෙන් ඉල්ලීමක් කළේය.
 
සිංහල අධ්‍යයන අංශයේ චීන කථිකාචාර්ය Liu Ye මෙනවිය නව පුස්තකාලය පිළිබඳව  මෙලෙස අදහස් පළ කළාය. “මේ පුස්තකාලය හදන්න ශ්‍රී ලංකාවෙන් අපිට උදව් කරපු අයව අපි අගය කරනවා. සිංහල පොත් නොමැතිකම අපේ සිංහල අධ්‍යාපනයට තිබුණ බාධාවක්. මේ පොත් සමඟින් දැන් සිසුන්ට ශ්‍රී ලංකාව සහ රටවල් දෙකේ මිත්‍රත්වය පිළිබඳ මනා අවබෝධයක් වර්ධනය කර ගැනීමට පුළුවන්”. 
 
 
පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේදී, විදේශ භාෂා පාසලෙහි පීඨාධිපති මහාචාර්ය Liu Shusen මහතා විසින් යුන්නාන් විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුගත් රත්නායක මහතා වෙත ගෞරව සහතිකයක්  ද ප්‍රදානය කරනු ලැබීය.
උත්සවයට සහභාගී වු සිංහල භාෂාව ඉගෙන ගන්නා චීන සිසුන් කිහිප දෙනෙකු ද ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව පුස්තකාලය පිළිබඳව අදහස් දැක්වීය.
 
Fu Renyan (සිංහල නම - විශ්වී)
 
“මේ පොත් පරිත්‍යාගය හරිම හොඳයි. දෙරට සංස්කෘතික හුවමාරුවට හරිම වැදගත්. අපිත් චීන පොත් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන්න කැමතියි.”
 
Pan Jianliang (සිංහල නම - සවිත්) 
 
“අපේ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව දියුණු කරන්න මේ පොත් වැදගත් වේවි. මේවා පරිත්‍යාග කළ ඔබ ඇතුළු ශ්‍රී ලාංකික සැමට ස්තුතියි”
 
Lu Chang (සිංහල නම - ආකාශ්)
 
“මම දැක්කා රූප තියෙන පුංචි කතාන්දර පොත් ගොඩාක්. හරිම සරලයි. දැන් අපිට ඒවා කියවන්න පුළුවන්.”
 
Gong Hengying (සිංහල නම - අභිෂේකා)
“ඇත්තටම ඔබගේ ශිෂ්‍යයෙකු වීමට ලැබීම මට ගෞරවයක්. ඔබගේ දුවගේ පරිත්‍යාගය සහ බිරිඳගේ කැපවීම ගැන මට හරිම පුදුමයි.”
 
යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශය 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරනු ලැබීය. එම වසරේදී ප්‍රධාන විෂයක් ලෙස සිංහල භාෂාව හැදෑරිම සදහා චීන සිසුන් 20 දෙනෙකු ඇතුළත් කර ගත් අතර මේ වසරේ සැප්කැම්බර් මාසයේදී තවත් නවක සිසුන් පිරිසක් ඇතුළත් කර ගැනීමට නියමිතයි.
 

Comments