සහල් මාෆියාවට එරෙහිව යකා නැටූ රහස් ඩඩ්ලි සිළු­මි­ණට හෙළි කරයි | සිළුමිණ

සහල් මාෆියාවට එරෙහිව යකා නැටූ රහස් ඩඩ්ලි සිළු­මි­ණට හෙළි කරයි

‘ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සපයන්නට උර දෙන ගොවියාගේ සිට සිල්ලර කඩ හිමියා දක්වා ඉටු කරන්නේ විශාල සේවාවකි. එහෙත් අතරමැදියන් නිසා දැන් ඇතැම් ජනතාවට සිදුව ඇත්තේ බත් කෑමට නොව සහල් නැති මුට්ටිය දෙස බලා සිටීමටය. රුපියල් 150කට තිබූ සහල් කිලෝව රුපියල් 260ක් දක්වා ඉහළ යාමට ගත වූයේ මාස කිහිපයක් පමණි. මේ වන විට රජය විසින් සහල් සඳහා පාලන මිලක් ලබා දී ඇත්තේ එහෙයිනි. මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනකු අත බවට ජනතාවගේ මෙන්ම සමාජ විචාරයකයන්ගේද මතය වී ඇත. එයින්ද අරලිය සහල් නිෂ්පාදකයා වන ඩඩ්ලි සිරිසේනගේ නම මුලින්ම කියැවේ. වත්මන් සහල් අර්බුදය හා සහල් මාෆියාව සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් ඇසුරින් මේ ලිපිය සකසා ඇත.

 

සහල් සඳහා පාලන මිලක් ආණ්ඩුව ගැසට් කළා. ඇයි මේ අධික ලෙස සහල් මිල ඉහළ නංවන්නෙ?

ජනතාව වැඩියෙන් තොග තබා ගැනීමට සහල් මිල දී ගන්න පෙලඹිලා, කිලෝ 10ක් ගෙනිච්ච කෙනා කිලෝ 50ක් ගන්නවා. ඒ විදිහට අධික ඉල්ලුමක් එනකොට සැපයුම අඩු වෙලා මිල ඉහළ යන්න පුළුවන්.

ඒ කියන්නෙ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරිද?

ඉල්ලුමට අවශ්‍ය සැපයුමටත් වඩා සපයනවා. ඒත් ජනතාව හාල් ගොඩ ගහගන්න ගියොත් මේ තත්ත්වය ඇති වෙනවා. අපේ මැෂින්වල කට ලොකු කරලා වැඩියෙන් හාල් දාන්න පුළුවන්කමකුත් නෑනෙ.

ආණ්ඩුව ලබා දුන් පාලන මිලට සහල් දෙනවාද?

අනිවාර්යෙන්ම මේ වන විටත් ලබා දීල තියෙන්නෙ.

සහල් නිෂ්පාදකයන් සියලු දෙනා ඊට එකඟද?

ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ජනතාව ගැන හිතන ආත්මාර්ථකාමී නොවන සියලු දෙනා එකඟ වෙලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් කුඩා පරිමාණ සහල් මෝල් නිෂ්පාදකයන් ඇතුළු මහා පරිමාණ සහල් මෝල් නිෂ්පාදකයන් එකඟ වෙලා තියෙන්නෙ.

ඒ වුණත් පසුගිය බදාදා තිබුණු මාධ්‍ය හමුවේදී මහා පරිමාණ මෝල් හිමියෙක් ඊට එකඟ නොවන බව පැවසුවා. රටටම පෙනුණා එතැන ඇතිවුණු උණුසුම් තත්ත්වය.

ඒකෙන්වත් අනිවාර්යෙන්ම ජනතාව දැනගත යුතුයි කවුද සහල් මාෆියාකරුවන් කියලා. මෙච්චර කල් ඩඩ්ලි සහල් මාෆියාවක් කරනව කියලනෙ කිව්වෙ. මොනම හේතුවකටවත් වැඩි මිලට සහල් ගන්න එපා කියලයි මම ජනතාවට කියන්නෙ.

ඔබ කියනව වැඩිමිලට සහල් ගන්න එපා කියල. ඒක සාර්ථක වෙයිද? නැත්නම් ජනතාවට බඩගින්නෙ ඉන්න වෙයිද?

අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. මම ඒකෙ වගකීම ගන්නවා. සහල් පාලන මිලට දුන්නෙ නැත්නම් රජය වී ටික අරගෙන සුළු පරිමාණ වී මෝල් හිමියන්ට වී ටික බෙදල දෙන්න ජනතාව වෙනුවෙන්. මගේ වුණත් කමක් නැහැ.

සහල් මිල ඉහළ යාමට පාර්ලිමේන්තුවේ 225ම වග කියන්න ඕන කියල ඔබතුමා කියලා තිබුණා. ඇයි මේ මැති ඇමැතිවරුන්ට ඒ චෝදනාව එල්ල කරන්නෙ. එයාල නෙමෙයි මිල ඔසවන්නෙ ඔබතුමාලනෙ.

එයාලනෙ මෙච්චර කල් රට පාලනය කළේ. හාල් මිල විතරක් නෙමෙයි අනෙක් හැම දේම ඉහළ යාමට ඒ අය වග කියන්න ඕන. හාල් මිල හෝ වෙනත් භාණ්ඩ මිල ඉහළ යාම ගැන රට පාලනය කරපු, කරන අය වග කියන්නෙ නැත්නම් අපිද වග කියන්න ඕන. රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න තමයි මහජන නියෝජිතයො පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.

ඔබ ජනතාව වෙනුවෙන් පාලන මිලට එකඟ වුණා. ඒත් මාස 3ක කාලයකට විතරයි. ඒ කියන්නෙ ඊට පස්සෙ වැඩි කරනව කියන එකද?

අද ඩීසල් ලීටරේ කීයද රුපියල් 400යි. අනෙක් වියදම් එන්න එන්නම වැඩි වෙනවා. මාස තුනෙක් පසුව ගොවියාට ඊළඟ කන්නයේ ගෙවන මිලත් එක්ක ඒ වෙලාවෙ ඒ වෙනකොට මිල ගැන තීරණය කරන්න වෙන්නෙ.

ඒ කියන්නෙ මේ පාලන මිලට මාස 3ක්ම ඔබතුමන්ලා සහල් දෙනවද? රටින් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැද්ද?

කිසිම අවශ්‍යතාවක් නැහැ. මාස 3කට ඇති වෙන්න හාල් නැත්නම් වී තොග මේ රටේ තියෙනවා. පාලන මිලට වඩා සතයක්වත් ගෙවන්න එපා. වැඩියෙන් අය කළොත් පොලිසියට කියන්න, නැත්නම් පාරිභෝගික අධිකාරියට කියන්න.

පොලිසියෙන්, පාරිභෝගික අධිකාරියෙන් සහනයක් ලැබෙයිද?

ඒක ඉතින් ආණ්ඩුව බලා ගන්න ඕන වැඩක්. රටක නීතියක් තියෙන්න ඕනනෙ. ඒත් එකක් කියන්න ඕන ඒවායින් ජනතාවට සාධාරණයක් වුණේ නැත්නම් අපට ඒවත් පාලනය කරන්න වෙයි ජනතාව වෙනුවෙන්.

ඒ වගේම වත්මන් සහල් අර්බුදයට කෘෂිකර්ම ඇමැතියි, අගමැතිවරයායි දෙදෙනා විශේෂයෙන්ම වගකියන්න ඕන කියලා ඔබ පවසා තිබුණා. ඇයි මේ දේශපාලකයන්ටම බෝලෙ පාස් කරන්නෙ.

අනිවාර්යෙන්ම ඒ දෙන්න විතරක් නෙමෙයි, සමස්ත ආණ්ඩුවම වගකියන්න ඕන.

ඔබ කියල තිබුණා සහල් නියම මිලට දුන්නෙ නැත්නම් ‘ගේම ඉල්ලන්න‘ කියල, කාගෙන්ද ගේම ඉල්ලන්න ඕන, දේශපාලකයාගෙන්ද? හාල් මුදලාලිගෙන්ද? නැත්නම් වෙනත් අයකුගෙන්ද?

වැරැද්ද කරන කෙනාගෙන්. එයාගෙන් තමයි ගේම ඉල්ලන්න ඕන. මගෙත් එක්ක වුණත් කමක් නෑ මම වරදක් කරනවා නම්.

ඔබ ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වෙළෙන්දට රුපියල් 218ට නාඩු දීල කියනවා රුපියල් 2ක ලාභ තියාගෙන රුපියල් 220ට පාරිභෝගිකයාට විකුණන්න කියනවා. ඒක ප්‍රායෝගිකයිද? එතැනම ලොකු මාෆියාවක් තියෙනවනෙ.

අපි පුදුම කැප කිරීමක් මේ වෙලාවෙ කරල තියෙන්නෙ. 8%ට තිබුණු බැංකු පොලිය දැන් 25%ක් වෙලා. රුපියල් 212ට තිබුණු ඩීසල් ලීටරේ රුපියල් 400ක් වෙලා. ටයර් ටියුබ්, බැට්රි ඇතුළු වාහන අමතර කොටස්වල මිල අධික ලෙසින් ඉහළ ගිහින්, ඒ වගේම පැක් කරන්න ගන්න සියලු අවශ්‍ය භාණ්ඩ මිල 100%ක මිලකින් ඉහළ ගිහිල්ලා. උද්ධමනය නිසා ඇතිවුණු තත්ත්වය යටතේ ගොවියාත් ශක්තිමත් කරලා තියෙන්නෙ.

ඒක නිසා මේ වෙලාවෙ රුපියල් දෙකක් නාඩු කිලෝවකින් ලාභ ලබන ගමන් අනෙක් භාණ්ඩවලින් යම් ලාභයක් ලබා ගන්න කියලා මම සියලු සිල්ලර වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන මේ වෙලාවෙ ජනතාවගේ ප්‍රධාන ආහාරයට අපට පුළුවන් උපරිම සහනයක් දිය යුතුමයි.

අපි අවුරුදු ගාණක් ජනතාවගෙන් ලාබ ලැබුවනෙ. මේ වෙලාවෙ ජනතාවට හොඳ සහනයක් දිය යුතුමයි. අපටත් කරන්න අමාරුයි. ඒකනෙ අර මාධ්‍ය හමුවෙදි එක්කෙනෙක් පාලන මිල රුපියල් 245ක් කරන්නම ඕන කියල කිව්වෙ. මට ඒ අසාධාරණය පෙන්නන්න බැහැ. ඒ වගේම කියන්න ඕන අපි කිසිසේත්ම ඒක කරන්න දෙන්නෙත් නැහැ. මේ වෙලාවෙ ගෑස් නැතිව, තෙල් නැතුව ජනතාව විඳින දුකට අපිත් යම් ආකාරයක සහායක් දෙන්න ඕනනෙ. දෙයියනේ.. මේ හාල් කිලෝ එකක් වෙනුවෙන් ජනතාවට සහනයක් දෙන්න කියන්නෙ. කී දෙනෙක් අද හාල් කිලෝ එකක් ගන්න බැරුව ඉන්නවද?

ඔබ ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයන් මොනව කිව්වත් හාල් මාෆියාවක් තියෙනවානෙ. සිල්ලර වෙළෙන්දට විතරක් ඇයි මේ විදිහට රුපියල් 2ක ලාභයක් ගන්න කියන්නෙ.

සියලු ප්‍රශ්න මැද වෙළෙන්දා ළඟටම අපි හාල් ගෙනැත් දෙනවා. ඒ සහනය ඔවුන් ජනතාවට ලබා දිය යුතුයි. ඊට වඩා අපට කරන්න පුළුවන් දෙයක් නැහැ.

 

පාලන මිල ගැන කතා කළත් ඔබතුමත් මීට කලින් අවස්ථාවලදී පනත පවා උල්ලංඝනය කරල කටයුතු කළානෙ.

රටේ ප්‍රශ්න කතා කරගන්න තැනක් නැති වුණහම, නිවැරැදි තීරණ ගන්න තීරකයෙක් නැතිවුණහම මම විතරක් නෙමෙයි ඕනම කෙනෙක් වල්මත් වෙනවා.

එහෙම අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී යම් යම් තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒත් හැකි ඉක්මනින් ඒ තීරණ නිවැරැදි කරන්න වෙනවා.

 

ඒ වුණත් එක් වරක් ඔබ ඇතුළු මහා පරිමාණ වී මෝල් හිමියන් පාලන මිලකට එකඟ වෙන්න සාකච්ඡා පවත්වලා පසුව කිලෝ එකක් රුපියල් 5කින් වැඩි කළානෙ.

ඒවා ඉතින් පරණ කතානෙ ඒවා දැන් කතා කරල වැඩක් නැහැ. අපි අද තියෙන ප්‍රශ්න ගැන කතා කරමුකො.

 

ඉදිරි මාස 8ක් අවුරුද්දක් විතර කාලය මේ මාෆියාවක් තියෙයිද? මොකද වෙන්නෙ.

ඒක ඉතින් රටේ පාලකයන්ගන් අහන්න ඕන ප්‍රශ්නයක්නෙ. මේ කාලය තුළ අපිට කාලය තුළ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරණාව.

ඔබගෙ ලාභය දිනකට රුපියල් කෝටි 10ක් කියලා සහල් නිෂ්පාදක සංගමයකින් චෝදනා තියෙනවා...

කෝටි 10 බෙදන්න නාඩු කිලෝ එකක, ඒ කියන්නෙ රුපියල් 220න්. ඒ කියන්නෙ දිනකට සමස්ත ශ්‍රී ලාංකිකයන් ආහාරයට ගන්නා සහල් ප්‍රමාණය. ඒ ගාන තමයි මගේ ලාබය හැටියට පෙන්වල තියෙන්නෙ.

 

නමුත් මේ චෝදනාව නඟන්නෙ, ඔබට විරුද්ධව කතා කරමින් ඔබ මාෆියාවක් කරනව කියන්නෙ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයෙක්නෙ.

ඔය කතාව කියන්නෙ මුදිත පෙරේරා. ඔහු කිසිම පදනමක් නැති හොර ව්‍යාපාරිකයෙක්නෙ. මට පෙන්වල දෙන්න අවුරුදු 10ක් තිස්සේ එයා සහල් සපයපු කඩයක් කොහෙද තියෙන්නෙ කියලා. ඒ වගේම කාටහරි පදනම් විරහිතව කෙනෙකුට මම හොරෙක් කියනවනම් මම සදාචාරවත් නැහැනෙ. එයාගෙ වංචාවන් ගැන දැන ගන්න DFCC බැංකුවේ වෙබ් එකේ ගහල බලන්න MUDITH PERERA VS DFCC BANK කියලා. සේරම වංචා නඩු ගැන විස්තර දැන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සම්පත් බැංකුවට පොලු තියලා ගෙවල් ඉඩම් බැංකුවට සින්න වෙලා ඉතිරි මුදල් ගන්නත් බැංකුව පියවර ගෙන තියෙන්නෙ. ඒ වගේම කලින් ආහාර දෙපාර්තමේන්තුවත් එක්ක එකතුවෙලා කරපු දූෂණ ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා. ඒ වගේ කෙනෙක් කරන චෝදනා ගැන අපි කතා කරන එකත් අපරාධයක්.

 

සහල් මාෆියාව මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් නිර්මාණය කළ බවක් කිව්වොත් ඔබ පිළිගන්නවාද?

ඕනෑම දේක පැහැදිලි තර්කයක් තියෙන්න ඕනනේ. අර මුදිත පෙරේරා වගේ බොරුවට කියල වැඩක් නැහැනෙ. මහා පරිමාණ වී මෝල් හිමියන් සපයන්නේ රටේ අවශ්‍යතාවයෙන් 35%ක් පමණ ප්‍රමාණයක්. ඒ වගේ පිරිසක් කොහොමද මාෆියාවක් නිර්මාණය කරන්නෙ 65%ක් සුළු පරිමාණ වෙළෙන්දො ඉන්නවානෙ. ඒ අය හරහා පුළුවන්නෙ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.

 

ඔබ ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගොවියාට පොහොර දීල, ණය දීල අවසානයේ කුණු කොල්ලෙට වී ටික ගන්නව කියලා චෝදනා තියෙනවා.

ඒක තමයි මම කිව්වෙ මේ ගැන නිසි ලෙසින් දැනගෙන කතා කළ යුතුයි කියලා. අපි කිසිම විදිහකින් ගොවියාට ඒ කටයුතු සිදු කරන්නේ නැහැ. අපි ගොවියාගෙන් වී මිලදී ගැනීම පමණයි කරන්නෙ.

 

ඔය තරම් ගොවියාට සහන දුන්නා නම් ඇයි ගොවියො වස බිව්වෙ, ඇයි වී අස්වැන්න ගිනි තිබ්බෙ.

ඒ වෙලාවෙ ගොවියට නිසි මිලක් ලැබුණෙ නැහැ. නමුත් අපේ ශක්තියෙන් අපි පුළුවන් දේ කරා.

 

ගොවියාගෙන් රුපියල් 120ටත් අඩු මිලකට වී අරගන්නෙ. වී කිලෝ එක හමාරක් විතර සහල් කිලෝවක් නිෂ්පාදනය වෙනුවෙන් වැය වෙනවා. ඒත් රුපියල් 218ක් දක්වා මිලකට අලෙවි කරනකොට අධික ලාභයක් තියෙනවානෙ.

බොහෝ දෙනකුට නොපෙනන ඇත්ත තමයි මේ. ගොවියාට පසුව ගමේ වී මුදලාලි ඉන්නවා, බ්‍රෝකර් ඉන්නවා, වී මෝලක් නැතුව වී රැස් කරන්නා ඉන්නවා. වී මෝල් හිමියා ඉන්නවා, සහල් තොග වෙළෙන්දා ඉන්නවා. අන්තිමට තමයි සිල්ලර වෙළෙන්දාට යන්නෙ. ඒ කියන්නෙ ලාභය 7 දෙනකුට බෙදන්න ඕන. එතකොට හිතල බලන්න තත්ත්වය කොහොමද කියලා. නමුත් මේ හත් දෙනාගෙම ලාභය වී මෝල් හිමියා ගන්න විදිහට තමයි සමාජය දකින්නෙ.

 

ඔබගේ වැඩිමල් සහෝදරයා ජනාධිපති වෙලා හිටියා. ඒකෙන් ඔබට විශාල ශක්තියක් නැත්නම් වාසියක් වුණා කිව්වොත්...

මට මාර අවාසියක් වුණේ. මම ස්වඋත්සාහයෙන් ගොඩ ආපු ව්‍යාපාරිකයෙක්. එයාගෙ දේශපාලන පසුබිම අල්ලගෙන මට මඩ ගහනවා. ඒක තමා අදටත් වෙලා තියෙන්නෙ. ඒත් දැන් රටේ ජනතාව බහුතරයක් දන්නවා මෛත්‍රීපාල සිරිසේන හා ඩඩ්ලි සිරිසේන කියන්නෙ චරිත දෙකක් කියල. නොතේරෙන අය පොඩි පිරිසක් ඉන්නවා.

සේයාරූ - හිරන්ත ගුණතිලක


 

 

Comments