සංක්‍රමණික ගෘහසේවා නීතිරීති කාන්තා අභිවෘද්ධියට ප්‍රවිෂ්ටයක් විය යුතුයි | සිළුමිණ

සංක්‍රමණික ගෘහසේවා නීතිරීති කාන්තා අභිවෘද්ධියට ප්‍රවිෂ්ටයක් විය යුතුයි

 

 

ලාංකික කාන්තාවන්ට ගෘහ ආශ්‍රිත විදෙස් රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබියාව සඳහා අවුරුදු 25ක්ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක්ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21ක්ද විය. කම්කරු අමාත්‍යවරයාගේ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් එකී වයස් සීමාව ශ්‍රී ලාංකේය කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත විදෙස් රැකියාගත කිරීමේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීම පිණිස අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදෙස් රැකියා සඳහා යොමු වන ශ්‍රී ලාංකික කාන්තාවගේ අවම වයස් සීමාව සංශෝධනය කීරීම එක් දෘෂ්ටි කෝණයකින් සාධනීය ප්‍රවිෂ්ටයකි. එහෙත් මෙය විවිධ පැතිකඩ සහ කරුණු ගණනාවක් හේතුවෙන් විවාද සම්පන්නවෙයි. පුද්ගලයෙක් වැඩිහිටියෙකු ලෙස සලකනු ලබන වයස් සිමාව 18 වුවද කාන්තාවක් මැදපෙරදිග සඳහා විදෙස්ගතවීමේ වයස් අවම වයස් සීමාව අවුරුදු 23 දක්වා විය. මෙහිදී ඒ කරුණු සැලකීමේදී කාන්තාවන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව අවකාශ හිමිවීම වඩා සාධනීය පියවරක් වෙයි; නමුත් මෙය සත්භාවයෙන් ස්වාධීන කාන්තා අයිතීන් වෙනුවෙන් කරන ලද යෝජනාවක්ද යන කරුණ විවාද සම්පන්නය. තමා කළ යුත්තේ කුමක්ද, රැකියාවක නිරත විය යුතුයිද, යන කරුණු පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව මූලික අයිතිවාසිකමකි.

ගෘහසේවයට අදාළ නොවන වෙනත් වෘත්තියක යෙදෙන වෘත්තීමය කාන්තාවන්ට විදෙස්ගතවීමේ වයස් සීමාවන් පිළිබඳ සීමාවන් නැත. කෙසේ වෙතත් වැඩිවියට පත් කාන්තාවන්ට සුදුසු නෛතික ආරක්ෂක පරිසරයක් නිර්මාණය කර රජය විසින් ගෘහ සේවයේ සහ ගෘහආශ්‍රිත රැකියා කරන පිරිසට රැකියාවේ නිරත වීමට අවකාශ ලබාදීමේ ගැටලුවක් පැන නොනගී. වයස අවුරුදු18 සම්පූර්ණ වූ පසු ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව සියලු පාර්ශ්වයන්ට හිමිවෙයි. එනම් වැඩිහිටි පුරවැසියකු ලෙස සැලකෙයි.

කෙසේවුවත් ගෘහ හා ගෘහ ආශ්‍රිත සේවාවන් සඳහා වයස සීමාව ප්‍රශ්නකාරී තත්ත්වයක් බවටපත් වූයේ බාලවයස්කාර දැරියන් අනියම් මාර්ගයෙන් විදෙස්ගතවී ඔවුන්ට සිදුවී ඇති අවාසනාවන්ත තත්ත්වයන් නිසාය. විශේෂයෙන් රිසානා නාෆික් ඝාතනය කිරීම වැනි සිදුවීමක් 2011 වසරේ දී සිදු විය;

එවැනි ඛේදනීය සිදුවීම් වඩා සැලකිල්ලට ගනිමින් සෞදී අරාබියාවට වසර 25ත් අනෙක් රටවල්වලට ගෘහ සහ ගෘහ ආශ්‍රිත සේවාවන් මැදපෙරදිග සඳහා 23 සඳහා වයස් සීමා වෙනස් වීමක් සිදු විය. කාන්තාවට වඩා වැඩි සුරක්ෂිතතාවක් අවැසි යන මතය අනුව මේ වයස් සීමා වැඩි කිරීමේ සංශෝධනය එවක ආණ්ඩුව විසින් තීරණය කරණු ලැබිණි;18 වැඩි කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත සේවාවන් සඳහා වයස 21 සීමාව වුවත් සෑම කාර්යයක්ම තීරණ කළ යුත්තේ; කෙසේ වෙතත් නීතිමය ආරක්ෂක ආධාරක ක්‍රමවේදයන් සංක්‍රමණික සේවිකාවන්ට හිමි වන්නේද යන කරුණ මතයි. මේ වයස් සීමාවන් වෙනස් කිරීම වඩා වැදගත් වෙයි.

නමුත් කාන්තාවන්ට විඳීමට සිදුවන දුක් ගැහැට නිසා සමහර රටවල සංක්‍රමණික සේවිකාවන් ලෙස සේවයට යාම අතිශයින්ම ඛේදනීය ඉරණමකට ගොඳුරුවිය හැකිබවට ඉතිහාසය විසින් සාක්ෂි දරයි. රිසානා නාෆික්ගේ ඛේදවාචකයෙන් පසුව සෞදි අරාබියාවට ගෘහ සේවය සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව 25 දක්වා වැඩිවිය.

රැකියා විරහිතභාවය නිසා සහ අතිශයින්ම දුෂ්කර දරුණු අර්ථික ගැටලු නිසා මෙවැනි රැකියා අවස්ථාවන් තෝරා ගත්තද එම කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය අදාළ බලධාරීන් විසින් තහවුරු කළ යුතුයි.

විශේෂයෙන් සේවා පුහුණුව භාෂාව පුහුණුව සහ වෙනත් යොමුවන අදාළ රටේ නීති පද්ධතිය සංස්කෘතිකමය සාධකයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි; එම රටවල්වල අදාළ කොන්සලර් කාර්යාලයන් හොඳින් ක්‍රියාත්මක වන්නේ ද යන කරුණ පිළිබඳව වඩා දැනුම්වත් විය යුතුයි. වයස අවුරුදු 25 සෞදි අරාබියාවට සහ අනෙක් මැදපෙරදිග රටවලට වයස 23 ලෙස නියමකර තිබුණද වයස් සිමාව 21 කිරීම කාන්තාවට දැඩි තීරණ ගැනිමේ ශක්තියක් ලබා දීමක්යැයි මෙහිදී උපකල්පනයක් කළ හැකි වූවද මුඛ්‍ය අරමුණ එසේ නොවන බවද සිතිය හැකිය. මේ වයස් සීමාව අඩු කිරීම කාන්තාවගේ අයිතිවාසිකම් සලකා කරන ලද්දක් නොවන බව ඉතා පැහැදිලියි.

2011 වසරේදී කාන්තාවන්ගේ සාංක්‍රමණික සේවිකාවන් ලෙස විදෙස් ගතවීමේ වයස් සීමාවන් වැඩි කිරීමට සාමාජීය ප්‍රශ්න මතුවීම පවුල් සංස්ථාවලට මතුවන ගැටලු යන කරුණු ප්‍රමුඛ විය. වසර පහට වඩා අඩු දරුවන් සිටින මවක් නම් ඇයට සංක්‍රමණික සේවිකාවන් ලෙස විදෙස්ගත වීමේ හැකියාවක් නොමැති බවට නීති සංශෝධනය වී තිබිණි. එයට විරුද්ධව බොහෝ කාන්තා සංවිධාන නැඟී සිටීමක් එම කාල වකවානුවේදී සිදු විය. බාලවයස්කාර දරුවන් සහ පවුල ආරක්ෂා කරගැනීම අතිශයින්ම වැදගත් වෙයි. එය අවිවාදිත කරුණකි. දරිද්‍රතාවෙන් පෙළෙන කාන්තාවන් දෙස බැලීමේදී කාන්තාවන්ට පමණක් සීමා පැනවීම නිසා විශාල අසාධාරණයක් ඇයට වන බව කාන්තා සංවිධාන පෙන්වා දී ඇත. පවුලක් තුළ පුරුෂායටද යම් වගකීමක් දරුවන් සම්බන්ධයෙන් වෙයි. බාලවයස්කාර දරුවන් සිටින කාන්තාවන්ගේ පවුල්වල වපසරිය එකම මට්ටමේ යැයිකීම අසීරුය. විවිධ තරාතිරමේ විවිධ සමාජ කණ්ඩායම්වලට අයත් පිරිස් මේ දිළිඳු පවුල් ආශ්‍රිතව සිටිය හැකිය; ඔවුන්ගේ චර්යාත්ම ලක්ෂණ සමාජ සංස්කෘතික සාධක මත තීන්දුවෙයි. එක් එක් ආකාරයේ පවුල් පසුබිම් ඇති කාන්තාවන් මේ අතර වෙයි.

පවුල සමාජ වටපිටාව ආදියෙන් පැනවෙන තහංචි ඉහළ වෘත්තිමය තත්ත්වයන් ඇති කාන්තාවන්ට විදෙස් ගතවීමේදී බලපෑමක් නොවෙයි. එහෙත් ඔවුන්ද සංක්‍රමණික සේවකයන් වෙයි. මේ තහංචි නිසාම අසරණ කාන්තාවන් තැරුව්කරුවන් මඟින් වෙනත් අනියම් මාර්ග මඟින් රැකියාවන් සඳහා පිටත්වීමට පෙලඹීමක් පසුගිය කාලය පුරා සිදු විය. ඒ නිසා මේ වෙනස් කරනු ලබන ක්‍රමවේදයන් යම් විධිමත් පටිපාටියක් යටතේ සිදුකිරීම වැදගත් වෙයි. අවම වශයෙන් මේ ශ්‍රමික කාන්තාවන්ට යම් අතවරයක් සිදුවන විට අදාළ අංශවලට ඒවා දැනුම්වත් කිරීම මඟින් යම්කිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමේ සැලසුම් සම්පාදනය මේ වයස් සීමා වෙනස් කිරීමත් සමඟ කළ යුතුයි.

පසුගිය රජයන් යටතේදී කාන්තාවන් ගෘහ සේවය සහ ගෘහ ආශ්‍රිත සේවාවල නිරත වීම සඳහා විදෙස්ගත වීම තහනම් කළ යුතු බවට යෝජනා විය. ඒ කාන්තාවන්ට එම රටවලදී වන හිංසා පීඩා අතවර සහ ඊට අමතරව බාලවයස්කාර දරුවන්ගේ ගැටලු සමාජයේ මූලික ඒකකය වන පවුල බිඳවැටීම් වැනි ගැටලුව නිසාවෙන් මේ ගෘහ හා ගෘහ ආශ්‍රිත සංක්‍රමණික කාන්තාවන් විදෙස් රැකියා සඳහා විදෙස්ගත වීම සුදුසු නොවන බව අදාළ අංශවල අදහස විය.

නමුත් රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයන් හමුවේ;මෙවැනි තීන්දු ගැනීමේදී මෙවැනි සමාජ විද්‍යානුකූල ගැටලු පිළිබඳව අවධානයක් යොමු කිරීමක් නොවීම කනගාටුදායක තත්ත්වයකි. කාන්තාව පවුල් සංස්ථාවට වැදගත්ය; යන අදහසේ එලඹ ගෙන එදා ගන්නා ලද තීන්දු එක්වර හකුළා ගැනීම එක්තරා උත්ප්‍රාසයට හා හාස්‍ය ජනක කරුණකි. විශේෂයෙන් මේ තීන්දුවලට හේතුව රටේ පවතින ඩොලර් හිඟය නිසා එක්තරා ඩොලර් හඹායෑමක් බව පැහැදිලි කරුණකි; එහි වරදක් නැත.

නමුත් ඩොලර් හඹා යෑමේදී හොඳ ප්‍රතිපත්තිමය කරුණු මත පිහිටා තිරසාර නව ක්‍රමවේදයන් සහ මේ රටේ කර්මාන්ත සහ සේවාවන් වැඩි දියුණු කළ යුතුය. මෙය ඒ හේතු මත බැලූවිට කාන්තාවන්ට තීරණ ගැනීමේ ශක්තිය එනම් එම රෙගුලාසියන් ලබාදීමක් බවට දර්ශනය නොවෙයි. එසේ සලකමින් ඇයට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් මෙය සිදු කළේ නම්; ඒ සම්බන්ධයෙන් ගෘහ සහ ගෘහ ආශ්‍රිත සේවයට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් යන සීමාව පැනවීම නොකළ යුතුයි. අපේ සාක්ෂරත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර උගත් බුද්ධිමත් කාන්තාවන් විශාල පිරිසක් මෙරට වෙයි. එසේ නම් ඉහළ මට්ටමේ වෘත්තිකයන් මෙරටින් විදෙස් රටවල රැකියා සඳහා සංක්‍රමණික සේවිකාවන් ලෙස විදෙස් ගතවීමට අවකාශ පුළුල් නොකරන්නේ කුමක් හේතුවෙන්ද යන්න ගැටලුවකි.

එම කාන්තාවන්ටද ඉහළ මට්ටමේ පුහුණුවක් ලබාදී අදාළ රටවලට සුදුසු වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් වෘත්තිමය වශයෙන් ආයතනවල සේවාවන් සඳහා යෙදවීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ කුමක් නිසාද යන්න ගැටලුවකි. සමස්ත වෘත්තීමය කාන්තාවන්ට මේ අවකාශය පුළුල් කළ යුතුයි. විදෙස්ගත වීමේ ක්‍රමවේදයන් ලිහිල් කළ යුතුයි. ආයතනික මට්ටමින් හෙද සේවයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නොයෙක් කර්මාන්ත ක්ෂේත්‍රයේ කාර්යාලවල සේවය කරන පරිගණක ක්‍රියාකරවන්නියන් තොරතුරු තාක්ෂණ වෛද්‍ය ඉජිනේරු නීතිඥ වැනි වෘත්තීමය පුහුණුවලත් කාන්තාවන් විදෙස් රටවල රැකියා සඳහා සරිලන ආකාරයට පුහුණු කර විදෙස් ගත කීරීමේ අවකාශය සැලසිය යුතුයි. එවැනි ආකල්පයක් කිසිදු ආණ්ඩුවක් යටතේ නොවුණ අතර පහළ මට්ටමේ කාන්තාවන් සේවයට යොදවා ඒ අයගේ ඉදිරි ඉරණම කුමක් වුවත් ලැබෙන විදෙස් ප්‍රේරණයන් පිළිබඳව සිතීම අනුමත කිරීමට නොහැකිය. ආයතනික මට්ටමේ සේවාවන් සඳහා යොමු කීරීම කාන්තාවට ඉතා සුරක්ෂිත වෙයි.

විශේෂයෙන් ගෘහ ආශ්‍රිතව හුදකලාව සේවය කරන කාන්තාවන්ට හිරිහැර සිදුවීමේ ප්‍රවණතාව වැඩිවිය හැකිය. දශක ගණනාවක්ම පුරා මේ කාන්තාවන්ට සිදුවන තාඩන පීඩන අසීමිතය. විදෙස් ගතවන වයස් සීමාවන් අඩුකර දිරිගැන්වීම් කිරීම කොතෙක් දුරට සාර්ථකද යන්න ගැටලු සහගතය. රටේ කාන්තාවන්ට ඉහළ අභිමානයක් ඇතිවන පරිදි ඔවුන්ට ඉහළ අවස්ථාව ඇති වන පරිදි කෙටිකාලයකදී හොඳ පුහුණුවීම් ලබාදී ගෘහසේවයට වඩා යම් ඉහළ සේවාවන් සඳහා යොමු කිරීමේ වැඩ පිළිවෙළක් නිර්මාණය කළ යුතු වන්නේ ඒ හෙයිනි. ඇගේ ආරක්ෂාව උදෙසා අදාළ අංශවල අවධානය යොමු කීරීම සහ ආධාර පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදාළ අංශ සැලකිලිමත් විය යුතුය.

මේ රටේ කාලාන්තරයක් පුරා පැවැති අවපාලනික සාධකයන් මත රටේ ඩොලර් හිඟයක් මතුවුවද මෙවැනි ඉතා කුඩා වැටුපකට විදෙස්ගත වන ගෘහ සේවිකාවන්ගෙන් ලැබෙන විදෙස් ප්‍රේරණයන් ඒ අගාධයෙන් ගොඩ ඒමට සරල විධික්‍රමයක් වෙයි. ඒ මඟින් පවතින සංකීර්ණ ගැටලු සඳහා විධිමත් පිළිතුරක් ලැබෙතැයි සිතිය නොහැකියි. රටේ පාලකයන් විසින් මේ කාන්තා පුරවැසියන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සැලසීමට ආධාරක පද්ධතියක් විදෙස්ගතවීමේ අවකාශයත් සමඟ ඊට සමගාමීව සකස් කිරීම අනිවාර්ය සාධකයකි. රටේ ජනතාව අද යාචකයන් බවටත් වෙමින් සිටියි. මේ පවතින ආර්ථික ගැටලු හමුවේ ජනතාව දණින් වැටී ඇත. ආර්ථික ප්‍රශ්න හමුවේ පීඩා විඳින ජනතාව රැකියාවන් සොයන විට ඔවුන් ඉත්තන් ලෙස පාවිච්චි කිරීම සිදු නොවීමට අදාළ අංශ වග විය යුතුයි.

ඩොලර් අවශ්‍යතාව සපුරා ගැනීම යන සාධකය මත යන අමානුෂික ආකල්පයක් පෙරදැරි නොකර ඔවුන්ගේ ජිවිත ගොඩනඟා ගැනීමේ යම්කිසි උපාය උපක්‍රමයක් මේ මඟින් සැලසීම වැදගත් වෙයි.

ඩොලර් හඹා යෑමේදී යම්කිසි සාර්ථක තිරසාර පොදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. සංක්‍රමණික සේවකයන් මේ බරපතළ අර්බුදයන්ට විසඳුම් සෙවීම ඉතා අපහසුයි. මෙවැනි කරුණුවලදී අපිට පුළුල් සැලසුමක් අවශ්‍යයි. සංක්‍රමණික සේවකයන්ට ඩොලර් මෙරටට එවීමට මැළිවන්නේ ඇයි යන කරුණ පිළිබඳ සැලකිලිමත් විය; විදෙස් ප්‍රේරණයන් ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් දිරිගැන්වීමක් සැලසුම් කළ යුතුයි.

උදාහරණ ලෙස පිලිපීනය වැනි රටවල මැදපෙරදිග හෝ ඕනෑම රටක විදෙස් ගතවී විදෙස් විනිමය සපයන කාන්තාවන් වීරවරියන් ලෙස සලකයි. අපේ රටේ කාන්තාවන්ගෙන් උපයන මුදල් ලබා ගැනීමට සුදානම් නමුත්; මැදපෙරදිගට යන කාන්තාවන්ට සමාජ පිළිගැනීම අවම වන අවස්ථා ද වෙයි. එය ලාංකේය සමාජ සංස්කෘතියේ ඇති දුර්වලතාවකි.

රටක් ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණය ගැනීමේදි ප්‍රතිපත්තිමය තීන්දු ගත යුත්තේද ජනතා හිතවාදී වන ආකාරයටය. රටට යහපත් වන ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි. මේ රටේ රැකියා විරහිතභාවයක් පවතියි. මේ ආර්ථික අවපාතය ඇතිවීමටත් පෙර සිටම ඒ තත්ත්වය රට තුළ වෙයි. රැකියා වෙළෙඳපොළ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී විශේෂඥයන්ගෙන් මත විමසා ඔවුන්ගේ දැනුම උපයෝගී කරගත යුතුයි.

අපේ පුරවැසියන්ගේ අනාගතය පමණක් නොව; වටිනා මානව ජීවිතයන් පිළිබඳව ගැටලු මතු නොවන ආකාරයට මේ සැලසුම් ක්‍රියාවට නැඟිය යුතුයි. මෙරට පුරවැසියන්ට විදෙස් ගතවී හෝ නොවී ගෞරවනීිය ජීවිතයක් ගත කිරීමට සැලසුම් සකස් කිරීම අතිශයින්ම වැදගත්ය.

ප්‍රමාණවත් පෝෂණය නැතිවීම ජීවිකාවක් නැතිවීම; මන්දපෝෂණය අධ්‍යාපනය කඩාකප්පල්වීම, සෞඛ්‍ය පහසුකම් නැති වීම, වැනි රටේ සමාජ ප්‍රශ්න මතුවෙමින් පවතී. වගකිවයුතු දේශපාලන අධිකාරීයේ සියලු දෙනා ජනතාවගේ දුක පිළිබඳව සානුකම්පිත ආකාරයකින් සහකම්පනයකින් නම්‍යශිලි මෙන්ම මානුෂික ආකාරයකින් කටයුතු කළ යුතුයි. රටේ ජනතාව රැකබලා ගැනීමට සහ ආරක්ෂා කිරීමට ආණ්ඩුව කොතරම් බැඳී සිටිනවාද යන කරුණ අතිශයින්ම වැදගත් වෙයි.

21 වයස් කණ්ඩායම් වලට ගෘහ සේවය ආශ්‍රිතව රැකියා අවස්ථා උදාකිරීමේ අවකාශය සලසා දුන්නද එය එම අවකාශය තුළ පීඩිත ජනතාව තවත් පීඩාවට පත් කරන දුෂ්කර අවකාශයක් විය යුතු නැත. මේ ලබා දුන් වරප්‍රසාදය තවදුරටත් පවතින දුෂ්කර වටපිටාවෙන් ඔබ්බට ගෙන යන අවකාශයක් නොවිය යුතුය. මෙවැනි තීන්දු තීරණයන් මඟින් මේවන විටත් දැඩි පීඩාකාරීව සිටින පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් කඩවන ආකාරයේ වටපිටාවකට ගෙනයාම නොකළ යුතු වෙයි. ගෞරවාන්විත ජීවිතයක් සියලු පුරවැසියන්ට ලබාදීම පාලකයන්ගේ වගකීමකි.

 

Comments